Open top menu
Sunday, April 17, 2016
ආසියාවේ සට කපට උපක්‍රමික මධ්‍යස්‌ථානය...අවුරුදු (උතුම්) පැතුම්

"අප රටට තවත් නව වසරක්‌ උදාවිය" යනුවෙන් තරමක්‌ දිග හුස්‌මකින් අනතුරුව කියෑවෙන විට ප්‍රකාශයට පත්වන හැඟීම සතුටක්‌ ද දුකක්‌ ද යන්න කල්පනා කිරීම යම් ඉක්‌මන් කමක්‌ විය හැකිය. ඒ මොක වෙතත් නව වසරක්‌ උදාවී යෑයි කියෑවෙන විට තව වසරක්‌ ගෙවී ගියේ යෑයි කියෑවීම නම් වළකනු නොහැකිමය. අන්න ඒ ගෙවී ගිය වසර අප රටට සතුටක්‌ ගෙන දුන්නේද දුකක්‌ ගෙන දුන්නේද යන්න නම් කිසිදු අවුලක්‌ නැතිව කල්පනාවට ගත හැකිය. එහෙත් ප්‍රශ්නය නම් එහිදී ලැබීමට නියමිත පිළිතුර පෙර කී දුක හෝ සතුට හෝ නොව හාස්‍යය වීමය.

සාමාන්‍යයෙන් නාට්‍ය ධර්මය තුළ හාස්‍යය සලකන්නේ සුඛ වේදනාවක්‌ හැටියටය. එහෙත්, දේශපාලන ධර්මය තුළ හාස්‍යය යන්න හැමවිටම සුඛ වේදනාවක්‌ නොවේ. දේශපාලන ධර්මය තුළ එය අසාර්ථකවීම්, අමනකම්, අධමකම්, අසමඡ්ජාතිකම් නිසා පැන නගින දුඛ වේදනාවකි. අපේ රටේ පසුගිය වසර පුරාම පැවතියේ නොකඩවා සැපයුණු එබඳු හාස්‍යයකි. ඒ හාස්‍යය ජනතාවට නොකඩවා ලබා දුන්නෝ දේශපාලනඥයෝය. ඒ ආණ්‌ඩුවේ දේශපාලනඥයෝ පමණක්‌ම නොවෙති. ඒකාබද්ධ නැති විපක්‍ෂයේත්, ඒකාබද්ධ විපක්‍ෂයේත් දේශපාලනඥයෝද හරි හරියට ඒ හාස්‍ය සැපයුවෝය. අපටම දෙකක්‌ ඇන ගන්නට සිතෙන තරමට මුද්‍රිත මාධ්‍ය වශයෙන් අපද විද්යුත් මාධ්‍යද දේශපාලනඥයන්ගේ මේ හාස්‍යය තොරතෝංචියක්‌ නැතිව ජනතාවට සපයන ලද්දේය. ජනතාව ද ඇස්‌වලින් කඳුළු පනින තුරු මේ නාඩගම්වලට සිනාසී පසුව බූවලුවලින් තමන්ටම තලා ගෙන නින්දට ගියහ. තමන් දවල් වැටුණු වළේ රාත්‍රියේද වැටී සිටින බව වටහා ගත් සමහරු තමන් ඡන්දය දුන් එකාලාට ශාප කරමින් නිදිවර්ජිතව රාත්‍රියම ගත කළහ. (වසර අවසාන භාගය වන විට රටේ විදුලි මාµsයාව දිගට හරහට විදුලිය කපා හරිමින් මේ නිදිවර්ජිතයනට පුදුමාකාර සහයක්‌ පළ කළේය).

බොහෝ මැති ඇමැතිවරුන් පෞද්ගලික මට්‌ටමෙන් කළ අමනකම්වලට සහ අසාර්ථකම්වලට අමතරව ආණ්‌ඩුව ආණ්‌ඩුවක්‌ වශයෙන් කළ ගොන්කම්ද රාශියකි. ඒ ඇතැම් අනුචිත පනත් ඉතාම උචිත සහ හදිසි අවශ්‍යතා වශයෙන් ගෙනහැර දැක්‌වීමෙන් පමණක්‌ නොවේ. ඉතාම උචිත පනත් ද ඉතාම අනුචිත ලෙස, අසංවිධානාත්මක ලෙස ගෙන ඒමෙනි. සාමාන්‍යයෙන් සභාගත රජයක පැවතිය හැකි දෙපාර්ශ, තෙපාර්ශව අතර කඹ ඇදීම් විරෝධතා, මේ රටේ මෙතෙක්‌ පැවැති කිසිදු සභාග රජයක නොමැති තරම් වර්තමාන ජාතික රජය තුළ පැවතියේ එහි ජාතික අර්ථයද හාස්‍යයට ලක්‌කරමිනි. මේවා නිසා සිදුවූ ප්‍රමාද වීම්වලින් අතපසුවීම්වලින් මඟහැරීම්වලින් ජනතාව සේම රාජ්‍ය නිලධාරීහුද බැටකෑවෝය. බොහොමයක්‌ රාජ්‍ය නිලධාරීන් මෙහිදී අවඥවට භාජනය කරන අතරම ඇතැමුන් ඉතාම අසාධාරණ අන්දමට කළින් පැවති රජයේ සෙවනැළි වශයෙන් නාම ගන්වන ලද්දොaද වූහ.

නිදහස ලැබූ දා පටන්ම මේ රටේ ප්‍රචලිත එක්‌තරා දේශපාලන සිරිතක්‌ නම් සිදුවන ඕනෑම අයහපතක හේතුව වශයෙන් ඊට කළින් පැවැති රජය නම් කිරීමය. එය සත්‍යයක්‌ විය හැකි අවස්‌ථා තිබිය හැකිය. එහෙත් සිදුවන ඕනෑම මඟුලක මූල හේතුව කළින් පැවති රජය බව ප්‍රකාශ කිරීම ඉතාම අසරණ මට්‌ටමේ මෝඩකමක්‌ වෙයි. එබඳු මෝඩකම් එකක්‌ දෙකක්‌ විශ්වාස කිරීමට ජනතාව කැමති විය හැකිය. එහෙත් එබඳු සියලු මෝඩකම් විශ්වාස කිරීමට නම් දේශපාලනඥයෝ මීට වඩා ජනතාව අන්දවන ක්‍රමයක්‌ සොයාගත යුතුය.

ඇත්ත වශයෙන්ම දැන් රටේ පවතින්නේ සංවර්ධන උපාය මාර්ග, විදේශ වෙළෙ¹ම පිළිබඳ උපාය මාර්ග, මහජන සෞඛ්‍ය නඟා සිටුවීම පිළිබඳ උපාය මාර්ග, රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ උපාය මාර්ග නොව බලය පවත්වාගන්නේ කෙසේද යන උපාය මාර්ග පිළිබඳ ප්‍රශ්නයක්‌ බව රහසක්‌ නොවේ. මාධ්‍ය මර්දනය පිළිබඳව මෙතෙක්‌ පැවැති සම්ප්‍රදායික මර්දන ක්‍රමවේද (කළින් ආණ්‌ඩු අනාගත්) වෙනුවට ආණ්‌ඩුව වෙනත් මර්දන ක්‍රමවේද සොයන සෙයකි. වෘත්තීය අරගල මර්දනය පිළිබඳව මෙතෙක්‌ පැවැති සම්ප්‍රදායික මර්දන ක්‍රම වේද වෙනුවට (කළින් ආණ්‌ඩු නාගත්) ආණ්‌ඩුව වෙනත් මර්දන ක්‍රමවේද සොයන සෙයකි. ජාතික සම්පත් ජනතාවගේ ඇස වසා වෙළ¹ම් කිරීම මෙතෙක්‌ පැවැති සම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස්‌ ක්‍රමයකට සිදු කිරීමට තැත් කරන සැටියකි.

මේ යන ආකාරයට අනාගත ශ්‍රී ලංකාව හැඳින්විය හැක්‌කේ "ආසියාවේ ඓශ්චර්යය"" "දෙවැනි සිංගප්පූරුව" වැනි වදන්වලින් නොව "ආසියාවේ සට කපට උපක්‍රමික මධ්‍යස්‌ථානය" වැනි වදනකිනි. එය සමාජ - ආර්ථික වශයෙන් ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වීම" වෙනම ප්‍රශ්නයකි. එහෙත්, එය උපක්‍රමවලින් ලෝකයේ අංක එකට ඒම සිකුරුය. උපක්‍රම කන්නදැයි? අසන්නා ප්‍රති විප්ලවකාරයෙකැයි හංවඩුගැසීම මීළඟ වසරටය. එතෙක්‌ මේ කොමඩිය පැණි කොමඩුවක්‌ මෙන් අනුභව කිරීම නව වසරේද ජාතික යුතුකමය.
divaina -
Read more
Tuesday, April 12, 2016
අර්ජුනගේ ක‍්‍රිකට් හුරතලය

ටිරන් කුමාර බංගගමආරච්චි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බලය අත් නොහැර රඟදක්වන රංගනයම අර්ජුන රණතුංග ක‍්‍රිකට් පුටුව ඉල්ලා රඟදක්වමින් සිටී. මේ දෙපළ හැසිරෙනුයේ එකම විදියටය. දෙදෙනාටම ඇත්තේ කෑදරකමය. බලයට ඇති කෑදරකමය.
ක‍්‍රිකට් ලෝක කුසලානයක් දිනූ පළිියට එරට ක‍්‍රිකට්වල එකම උරුමක්කාරයා දිනූ කණ්ඩායමේ නායකයා නම් ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින් කෙසේ උඩ පැනිය යුතුද? ඉන්දියාවේ දෝනි මොන කස්තිරම් ඇල්ලිය යුතුද?

මෙරට ක‍්‍රිකට් පුටුව යනු අරුම පුදුම පුටුවක්ද? එය කතානායකකමටත් වඩා ලොකුද? ඇමති තනතුරුවලට වඩා ලොකුද? වත්මන් ක‍්‍රිකට් පාලක මඬුල්ල විසුරුවා අතුරු කමිටුවක් පත්කර එහි බලය තමන්ට දෙන්නැයි යදින්නට තරම් අර්ජුන රණතුංග හිඟන වන්නේ ඇයි?

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හටගෙන ඇති අටඅනූවක් රෝග අර්ජුන ආවායැ’යි කියා සුව කළ හැකි නොවේ. අර්ජුනද ක‍්‍රිකට් ආයතනයේ කලක් සිටි අයෙකි. එහිදී ඔහු ප‍්‍රශ්න වැඩි කළා මිස අඩු කළ බව අපට මතක නැත. මෙරට ක‍්‍රිකට් පරිපාලනයට අර්ජුන කොහෙත්ම නොගැළපෙන්නෙකි.

අර්ජුන අද නවකයන්ට අත දුන් හැටි කියනුයේ හෙළුවෙන් උපන් ගාණටය. ඔහුගේ ක‍්‍රීඩා දිවිය තුළ ඔහු කළ දෑ අප ඇති පදම් ලියා ඇත. එබැවින් පරණ කතා නැවත ලිවීම පල රහිතය. එහෙත් මෙරට ක‍්‍රිකට් විනාශ වී ඇති බව සැබෑය. එයට අර්ජුනද වගකිවයුතු බව ඔහු අමතක කරනුයේ හිතාමතාමය. පසුගිය කාලයේ ක‍්‍රිකට් විනාශ කළ ප‍්‍රබලතමයා නිශාන්ත රණතුංගය. ඔහු හැර සියලූදෙනාට අතදිග හැර පහර ගැසූ අර්ජුන නිශාන්තගේ වරදක් නොදුටුවා පමණක් නොව ඔහු සමගම මෙවර තරගයටද ඉදිරිපත් විය. අර්ජුන කතා කරන මහ ලොකු විනය ඇත්තේ කොහිද? 1996 ලෝක කුසලානය දිනූ අර්ජුන ගෞරවාන්විත ලෙස සමු නොගෙන 1999 වසරේ ලෝක කුසලානයට තරග කර අජූත වූයේ ඇයි? එවිට ක‍්‍රීඩාව කඩා වැටී නොතිබුණිද?

ඇමති තනතුරු පවා අතහැර ක‍්‍රිකට් පුටුව භාරගන්න තමන් කැමතියැ’යි අර්ජුන පහුගිය කාලයේ කීවේය. අද ඔහු ඇමතිකමෙහි හිඳිමින්ම ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කර එහි සභාපතිකම ඔහුට දෙන්නැයි ඉල්ලයි. මේ කුමන ගණයේ විහිළුවක්ද?

එකල පරිපාලන තනතුරු සඳහා අර්ජුන අරවින්ද දෙපිළ බෙදී තරග කළහ. එකල අප අරවින්ද සමග කළ සාකච්ඡුාවකදී ඔහු නායකත්වයේ බරට වැඩිපුර කර නොගැසුවේ ඇයිද යන පැනය දැමූ විට අරවින්ද කීවේ ඉන්න කෙනා ඒක අතහරින්නේ නැහැනේ යන්නය. එලෙස අත නොහැර අල්ලා සිටියේ කවුද යන්න ආයේ අමුතුවෙන් කිවයුතු නොවේ. අද මේ දෙගොල්ලෝම එකතු වී සැවොම සිනා ගස්සති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල පරාජයවීමේ සියලූ වගකීම් අරවින්ද භාරගන්නා බව ඔහු කියයි. එසේ නම් ප‍්‍රශ්නයක් නැත. දැන් සියල්ල හරිය. මාසයක් තේරීම් කමිටුව නියෝජනය කළ අරවින්ද වගකීම භාරගන්නේ ඇයි? මේ හතර බීරි කතා මොනවාද? අනෙක් අතට ක‍්‍රිකට් බලන අය සැබෑ නිරීක්ෂණයකට පැමිණ උත්තර බඳිනුයේ නම් අප දිනන මට්ටමකවත් හිටියාද යන්න හිතට එකඟව උත්තර බඳිනවා නියතය. තරග දෙස නිසි අවධානය යොමු කරනුයේ නම් අප බංග්ලාදේශයට මෙන්ම ඇෆ්ඝනිස්ථානයට වඩා ද අන්තය. ඔවුහු ඊට වඩා කුසලතා මේ තරගාවලිය තුළ පෙන්වූහ.

ඇත්තට මුහුණදීම වෙනුවට බොරු සිංහ කතා මවමින් ව්‍යාජ ආතල් ගන්නා රටක් පරාජයෙන් පසුත් ගොතනුයේ සුරංගනා කතාය. එවන් වටාපිටාවක අර්ජුන කරනුයේ තමන්ට දෙන්න මේක ගොඩ ගන්නම් යන්නය. මෙරට ක‍්‍රිකට් පිල ලෝක කුසලානයක් දිනනවාට අකමැතිම පුද්ගලයෙකු වේ නම් ඒ අර්ජුන බව අපි මීට බොහෝ කලකට පෙර ලියුවෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව එසේ වුවහොත් ඔහුට 1996 ලෝක කුසලානයෙන් දිවි ගෙවන්නට බැරිවන නිසාය.

යුද්ධයෙන් පසු එම ජයග‍්‍රහණයට අයිතිකාරයන් බොහොමයක් ඇතත්, ක‍්‍රිකට් ලෝක කුසලානය දිනීමේ එකම හිමිකරුවා අර්ජුනය. අනූහයේ නොකී රහස් ද අද ඔහු වමාරමින් සිටී. මේ විගඩමකි. විස්සයි විස්ස ලෝක ශූරයන් වීමට ශ‍්‍රී ලංකාවද සමත් විය. ඒ අතීතය වළලා මෙවර විස්සයි විස්ස ලෝක ශූරතාවලිය යන අතරතුර 1996 ලෝක ශූරතාවලිය දිනූ ජය සැමරීය. ඒ අර්ජුනගේ ළාමක වින්දනයන්ය. ඔහු එය සැමරුවේද විස්සයි විස්ස තරගයක් පවත්වමිනි.
මෙරට ක‍්‍රිකට් විනාශය ගැන විවාදයක් නොපවතී. එයට එකම හේතුව තරග පරාජය නොවේ. කෙනෙකු දිනන විට තව කෙනෙකු පරාජය විය යුතුමය. එය අරුමයක් නොවේ. එහෙත් හදාගත යුත්තේ අපට වඩා කෙරුමෝ නැතැයි සිතන ළාමක චින්තනයය.

අනෙක් හැම රටක්ම ක‍්‍රීඩාවක් ලෙස ඉදිරියට යද්දී අප යනුයේ ආපස්සටය. එනම් අපි සිංහයෝය. සිංහ පැටව්ය. ඒ නිසා සියල්ලන් බියවිය යුතුය.

රට වෙනුවෙන් මැරෙන කෝලිට වඩා ක‍්‍රීඩාව වෙනුවෙන් ක‍්‍රීඩා කරන කොදෙව්වෝ ඉහළය. අවශ්‍ය බොරු රට නොව ක‍්‍රීඩාව ක‍්‍රීඩාවක් ලෙස කිරීමය. එවිට එය ඉබේටම රටේ ගෞරවය ඔසවා තබනු ඇත. මේ විප්ලවය කරන්න ඕනෑවටත් වඩා විනයගරුක වන අර්ජුනට බැරිය. ඔහු සැබැවින්ම ක‍්‍රිකට්වලට අත නොදා සිටිය යුතුමය. එය කතානායකලාටත් කළ හැකි කෙංගෙඩියක් නොවේ. එහෙත් දැන් ඉන්නේ ඔහුය.

අර්ජුන ඉදිරියේ මේ මොහොතේ ක‍්‍රීඩා ඇමතිවරයා පෙනී සිටින ආකාරය අපි අගයමු. ක‍්‍රීඩාවට අතුරු කමිටු අනවශ්‍යය. අතුරු කමිටු ක‍්‍රීඩාව විනාශ කළා මිස ක‍්‍රීඩාව නගා සිටියේ නැත. එබැවින් ක‍්‍රීඩා ඇමති ක‍්‍රියා කළයුත්තේ අර්ජුනට ඕනෑ විදියට නොවන බව සැබෑය. ක‍්‍රිකට් ද එක සංගමයක් පමණි. ක‍්‍රීඩා ඇමති ක‍්‍රියාකළ යුත්තේ එලෙසය. ඔහුට කතානායක ක‍්‍රිකට් සභාපතිද ලොකු විය යුතු නැත. ඔහු අයිසීසී අවුල සිය කාලය ඉක්මවන තෙක් නොවිසඳාගෙන සිටින්නට උත්සාහ ගනු ඇත. එයට පිළියම් සෙවීම වටී.

මෙවර ඉදිරිපත් වූ සැම ගැන අප කල්තබාම කීවේ සියල්ලන්ම හොරු බවය. දැන් සැවොම හොරු සමග හෙළුවෙනි. මේ ක‍්‍රිකට් යහපාලනයේ උදාවයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කිසිදු හිරිකිතයකින් තොරව නොබෝදා ඉල්ලා සිටියේ තමන්ට නැවත රට දෙන්න කරලා පෙන්වන්නම් යනුවෙනි. දැන් අර්ජුන කියනුයේද එවැන්නකි. මහින්ද රාජපක්ෂ තවමත් හිතනුයේ ඔහු හැර මේ රට කළ හැකි කිසිවකු නැති බවය. අර්ජුන සිතනුයේද ඔහු හැර මෙරට ක‍්‍රිකට් පරිපාලනය කළහැකි කිසිවකු නැති බවය. ඉතින් කිවයුත්තේ කුමක්ද? මෙපමණකි.
මරු ඩබල



අතුරු කමිටුවක්  ඕනෑකර තිබේ | අර්ජුන රණතුංග

අතුරු පාලක මණ්ඩලයක් නැවත පත්කිරීම සුදුසුයි කියලා මම කියන්නේ වර්තමාන පරිපාලනයේ තියෙන අඩුපාඩු දිහා බලලයි. දැන් බලන්න ක‍්‍රිකට් නිලවරණය පවත්වලා මේ වනවිට මාස හතරක් වෙනවාග තවම ක‍්‍රිකට් සභාපතිවරයාට අයිසීසී එකට යන්න බැරිවෙලා තියෙනවා. අවුරුදු කිහිපයකට පෙර මම අතුරු පාලක මණ්ඩලයට පත්වෙනකොට ක‍්‍රිකට් අයාතනය පාඩු ලබන ආයතනයක්. ඒත් මම පත්වෙලා ඒක ලාබ ලබන ආයතනයක් බවට පත් කළා.

අතුරු කමිටු නෑ| ක‍්‍රීඩා ඇමති


මම පැහැදිලිව කියනවා කවුරු කොච්චර කෑගැහුවත් ක‍්‍රීඩාවේ පාලනයට අතුරු කමිටු ගෙන එන්නෙ නැහැ. අපේ අලූත් ක‍්‍රීඩා නීතිය අනුව ක‍්‍රීඩා සංගම්වල තනතුරුවලට දේශපාලනඥයන් පත්වීම වළක්වන්න කටයුතු කරනවා. මේ වනවිට ඒ යෝජනාව මම ඉදිරිපත් කරලා තියෙනවා.
අතුරු කමිටුවක් දාගෙන ක‍්‍රිකට් ආයතනයේ සභාපති තනතුර ලබාගන්න අද අර්ජුන රණතුංග මහතාට අවශ්‍ය වෙලා තිබෙනවා. අර්ජුන ක‍්‍රිකට්වලදී හොඳ නායකයෙක්. ඒක විවාදයක් නැහැ. හැබැයි අර්ජුන හොඳ පරිපාලකයෙක් නෙමෙයි. ඒ නිසා අතුරු කමිටු දාලා ක‍්‍රිකට් විනාශ කරන්න මම කැමති නැහැ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් අයිසීසීය පවත්වන පරීක්ෂණය සඳහා ඔහුට යම් කාලසීමාවක් ලබාදී තිබෙනවාග යම් හෙයකින් සුමතිපාල මහතා එම පරීක්ෂණවලින් අසමත් වුවහොත් ඒ පිළිබඳ සාකච්ඡුා කර තීන්දුවක් ගන්නවා.
ravaya -
Read more
Monday, April 11, 2016
පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන් රාවණා යළි අවදි වෙයිද?

ඕනෑ ක මි න් ම මෙවැනි මාතෘ කාවක් මා යොදා ගත්තේ මේ දිනවල අපේ සමාජය කිති කවන, මුලා කරන මිථ්‍යා විශ්වාසයක් හෑල්ලූ කිරීමට.

රාවණා යයි රජකු ප‍්‍රාග් ඓතිහාසිකව මෙරට සිටියායැ’යි තහවුරු කිරීමට සාහිත්‍යයෙන්, ශිලා ලිපිවලින් හෝ පුරා විද්‍යාත්මකව කිසිදු සාක්ෂියක් නැහැ. භාරතීය ප‍්‍රබන්ධයක් තම මූලාශ‍්‍රය කර ගෙන, එයත් විකෘති කොට දේශීයත්වයක් ආරෝපණය කර තනා ගත් ජනප‍්‍රිය විශ්වාසයක් පමණයි රාවණා කියන්නේ.

‘සංස්කෘතික රාජ්‍ය අමාත්‍යාංශය රාවණා රජුගේ වතගොත සොයයි’ මැයෙන් 2015 ජූලි මස පළවූ පුවතකට ප‍්‍රතිචාර දැක්වූ හෑගොඩ විපස්සී හිමි කීවේ ‘මෙය ථේරවාද බුදුදහම විනාශ කිරීමට අටවන ලද පඹගාලක්’ බවයි. දැන් එම පඹගාලේ ඇමතිවරුන් පවා පැටලී ඇතැ’යි එහිමියන් අදාළ රාජ්‍ය ඇමතිට ලියූ ලිපියක කියා සිටියා.

රාවණාගෙන් පියවරක් ආපස්සට ගනිමු. මෙවැනි ජනප‍්‍රිය විශ්වාසයන්ට ශාස්ත‍්‍රීය පදනමක් හා විද්‍යාත්මක මුහුණුවරක් දීම දැන් විලාසිතාවක් බවට පත්වෙලා. එයට ව්‍යාජ විද්‍යායැ’යි කියනවා (pseudoscience)

ව්‍යාජ විද්‍යාව යනු බැලූ බැල්මට විද්‍යාත්මක යයි මතුපිට පෙනීමක් දෙන්නට තැත් කරන, එහෙත් (විද්‍යාවේ සැබෑ මූලික පදනම වන) තර්කානුකූල හා විචාරශීලී පදනමක් කිසිසේත්ම නැති මුලා කිරීමක්.

‘යථාර්ථය සමග සසඳන විට අපේ වත්මන් විද්‍යාත්මක දැනුම ප‍්‍රාථමිකයි හා සීමිතයි. එහෙත් එය අප ශිෂ්ටාචාරය සතු මාහැඟිම සම්පතයි.’ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් එසේ කීවා. අසම්පූර්ණ වූ දැනුමක් සහිත විද්‍යාව ටිකෙන් ටික භෞතික ලෝකය ගැන මානවයන් සතු අවබෝධය පුළුල් කරනවා. එහෙත් එයට හැම දෙයක්ම පහදාදීමේ හැකියාවක් (මේ දක්වා) නැහැ.

එය ටිකෙන් ටික මග සොයා යා යුතු චින්තන චාරිකාවක්. අයාලේ නොගොස් හරි මගෙහි කෙමෙන් ඉදිරියට යන්නට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්නේ විද්‍යාත්මක ක‍්‍රමය මගින්. එහි මූලික හරය නම් ඕනෑම සිදුවීමක් හෝ ප‍්‍රපංචයක් නිරීක්ෂණ හා කල්පිත හරහා ගවේෂණාත්මකව විමසා බලා පමණක් නිගමනවලට එළැඹෙන්න යන්නයි. (මෙයට සමාන්තර චින්තනයක් සමහර සාමයික ඉගැන්වීම්වලද හමුවනවා.)

මේ ක‍්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට යනවා වෙනුවට ඉක්මනින්, කෙටි මාර්ග හෙවත් ෂෝට්කට්වලින් අප ගෙන යෑමට හා සියලූ පිළිතුරු ඉක්මනින් ලබා දෙන්නට ඇතැමුන් පෙරට එනවා. සමහරවිට විද්‍යාත්මක පෙනුමක් ද සහිතව මතු වන මේවා ව්‍යාජ විද්‍යාවන් බව අපි සිහි තබා ගත යුතුයි.

ව්‍යාජ විද්‍යාවන්ගේ පැතිරීම හා ඒවායින් ජන සමාජයට කරන දිගුකාලීන හානිය ගැන දැඩි අවධානයක් යොමු කළ අයකු නම් අමෙරිකානු තාරකා විද්‍යාඥ හා විද්‍යා සන්නිවේදක ආචාර්ය කාල් සේගන් (Carl Sagan, 1934-1996).
ඔහුගේ ජීවිතයේ අවසාන දශකයක පමණ කාලයක් වැඩිපුරම කැප කළේ විද්‍යාවේ නාමයෙන් පෙනී සිටිමින් අහිංසක ජනයා (සමහරවිට රජයන් පවා) මුලා කරමින් බඩ වඩා ගත් ව්‍යාජ විද්‍යා වංචනිකයන් හෙළිදරව් කිරීමටයි. මේ ගැන හොඳ සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක විග‍්‍රහයක් ඔහු ලියූ අවසන් පොත වූ ‘භූතයන් පිරුණු ලෝකය’ (The Demon Haunted World, 1996) තුළ හමු වනවා.

එහි ප‍්‍රවේශයේදී ඔහු මෙසේ කියනවා: ‘සැබෑ විද්‍යාව පදනම් වී ඇත්තේ සැම දෙයක්ම ප‍්‍රශ්න කිරීම හා තහවුරු කිරීමකින් තොරව කිසිවක් පිළි නොගැනීම මතයි. මේ සංශයවාදී බව (scepticism) සමාජයේ බොහෝ දෙනකුට දිරවා ගන්නට අමාරුයි. ඔවුන්ට ඕනෑ වී ඇත්තේ සියලූ තතු පහදා දෙන, අවිනිශ්චිත බවින් තොර හා සිතේ කුකුස එසැණින් සංසිඳුවන ආකාරයේ ක‍්‍රමවේදයක්. ව්‍යාජ විද්‍යාකරුවන් අමතන්නේ මේ මානසිකත්වයටයි.’
මිථ්‍යා විශ්වාස සහ ව්‍යාජ විද්‍යාව අතර ඥාති සබඳතාවක් ඇති බවත්, එසේ වුවත් මිථ්‍යාවලට වඩා ‘සම්භාව්‍ය’ හා ගරු ගාම්භීර පෙනුමක් ඇතිව සමාජගතවීමට ව්‍යාජ විද්‍යා සමත් බවත් සේගන් පෙන්වා දුන්නා.

‘ඇත්තටම කෙතරම් අපූරුද පිටසක්වල ජීවීන් සොයමින් අප මෙතරම් වෙහෙස වනවා වෙනුවට ඔවුන්ට බුරුතු පිටින් අපේ ලෝකයට ඇවිත් හැංගිමුත්තන් කරනවා නම්? නොඑසේ නම් සිහින හරහා අපේ අනාගතය ගැන අනාවැකි කියනවා නම්? පාරඓන්ද්‍රීය චිත්ත බලවේග හරහා අපේ එදිනෙදා වැඩ කරගත හැකි නම්? ඒත් මේ සියල්ල විද්‍යාවේ සළුපිලි කිහිපයක් දවටා ගත් ව්‍යාජ විද්‍යාවන්ට උදාහරණයි. ඒවායේ තිබෙන සංත‍්‍රාසමය ආකර්ෂණය නිසා බොහෝ දෙනා එයට ඇදී යනවා.’ සේගන් පැවසුවා.

මෙකී නොකී සංසිද්ධීන් ගැන බොහෝ කලෙක සිට මානව සමාජයේ කුතුහලයක් පවතිනවා. සැබෑ විද්‍යාව මේවා ගැන පර්යේෂණ කරන්නේ සූක්ෂ්ම ලෙස සාක්ෂි සොයා යෑමෙන්. එය කල් ගත වන, වෙහෙසකර ව්‍යායාමයක්.
මේ අතර ඉක්මන් හා ලාබදායක ත‍්‍රිල් සොයන්නෝ ව්‍යාජ විද්‍යාවන්ට හසු වනවා. ව්‍යාජ විද්‍යා දැඩි ලෙස සාක්ෂි හා තර්කානුකූල වීම ඉල්ලා සිටින්නේ නැහැ. ව්‍යාජ විද්‍යා පතුරවන්නෝ ඇදහිලි හෝ අනුමාන මත ඒවා පිළිගන්නට යැ’යි දක්ෂ ලෙස ඇවිටිලි කරනවා.

ව්‍යාජ විද්‍යා දශක ගණනාවක් තිස්සේ ලොව පැවතියත් මෑත කාලයේ ඒවා මහත් සේ ප‍්‍රචලිත වූයේ ජනමාධ්‍ය නිසා බව සේගන් පෙන්වා දෙනවා.

‘පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන්වලට බොහෝ විට ඕනෑ තාවකාලික ප‍්‍රමෝදයක් ලබා දිය හැකි සැහැල්ලූ තොරතුරුයි. ව්‍යාජ විද්‍යාවන්ගේ සරල විග‍්‍රහයන් හා කුමන්ත‍්‍රණවාදී කතා මාධ්‍යවලට යසට ගැළපෙනවා. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ව්‍යාජ විද්‍යා ව්‍යාප්තියේ ලොකුම හවුල්කරුවන් බවට මාධ්‍ය පත්ව සිටිනවායැ’යි සේගන් පහදා දෙනවා.

ව්‍යාජ විද්‍යාවන්ගේ ව්‍යාප්තියට ජනප‍්‍රිය සංස්කෘතිය ද බොහෝ සේ දායක වී තිබෙනවා. හොලිවුඞ්, බොලිවුඞ් හා වෙනත් සම්ප‍්‍රදායන්ගේ වෘත්තාන්ත චිත‍්‍රපටත්, විවිධ රටවල නිපදවන නාට්‍යමය ටෙලිවිෂන් වැඩසටහනුත් ව්‍යාජ විද්‍යා සංකල්ප හරහා ඩොලර් කෝටි ගණන් ආදායම් උපදවාගෙන තිබෙනවා.

අප මේ කතා කරන්නේ සම්භාව්‍ය ගණයේ විද්‍යා ප‍්‍රබන්ධ කතා හා චිත‍්‍රපට ගැන නොව අභව්‍ය ගණයේ, ෆැන්ටසි ආකාරයේ නිර්මාණ ගැනයි. ලොව පුරා ජනප‍්‍රිය වූ X-Files වැඩසටහන් මාලා මේ දෙවැනි ගණයට වැටෙනවා. 1993-2002 වකවානුවේ මේ වැඩසටහන් 202ක් නිපදවන ලද අතර වසර 13ක නිහැඬියාවකින් පසු 2016 ජනවාරියේ නැවතත් අලූතින් නිපදවීම අරඹා තිබෙනවා.

X-Files ආරම්භ වූ කාලයේ ඒ ගැන සේගන් කළ තක්සේරුව මෙයයි. ‘සංශයවාදී හා විචාරශීලී ලෙසින් අද්භූත හා අසාමාන්‍ය සිදුවීම් විමර්ශනය කරනවායැ’යි පෙන්වූවත් ඇත්තටම X-Files කතා මාලාව කරන්නේ එයට ප‍්‍රතිවිරුද්ධ දෙයක්. එනම් අභව්‍ය සිදුවීම් හා පිටසක්වල ජීවී සබඳතා ගැන අමෙරිකානු සමාජයේ ප‍්‍රචලිත ජනප‍්‍රිය විශ්වාස තවත් තහවුරු කිරීම හා මේවා වසන් කිරීමට රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක් ඇති බව පේ‍්‍රක්ෂකයන්ට ඒත්තු ගැන්වීමයි. මෙය කිසිසේත් විද්‍යාත්මකව යමක් ගවේෂණය කිරීම නොවෙයි.’

X-Files කතා සඳහා කැමැත්තක් අපේ පේ‍්‍රක්ෂකයන් අතර ද තිබෙනවා. ඒවායේ කතා රසය ඉහළයි. ප‍්‍රබන්ධ හැටියට විනෝදය ලබාදීමේ විභවය ඉමහත්. ඒවා නරඹන්නට මාත් කැමතියි. මේවා හුදෙක් ප‍්‍රබන්ධ මිස සත්‍ය ගවේෂණයක් නොවන බව සිහිතබා ගන්නවා නම් එහි වරදක් නැහැ.

එහෙත් X-Filesවලින් දුටු දේ තම ‘සාක්ෂි’ ලෙස ගනිමින් අභව්‍ය සිදුවීම් ගැන දිගින් දිගට තර්ක කරන සමහරුන් මා දැක තිබෙනවා.

රාවණා ප‍්‍රවාදයන් ගැන කීමට ඇත්තේද එයයි. භාරතීය මහා කාව්‍යයක් වන රාමායණය කතාවක් ලෙස රස විඳීම හා එය දේශීය ලෙස හැඩගසා ගැනීම වරදක් නොවෙයි. (රාමායණය මුල් කෘතියේ දුෂ්ටයකු ලෙස නිරූපණය කැරෙන රාවණා රජු, ලාංකික සමහරුන්ට වීරයෙක්.)

එහෙත් ප‍්‍රබන්ධයක එන චරිතයක් සැබෑ කොට ගනිමින් එය ‘සනාථ කිරීමට’ පුරාවිද්‍යා සාක්ෂි සොයා යෑම හා අවිචාරශීලී ලෙස තර්ක කිරීම එක්තරා ආකාරයක ව්‍යාජවිද්‍යාවක් හා ස්වයංමුලාවක් පමණයි. X-Files විශ්වාස කරන අය හා රාවණා අදහන්නන් අතර වෙනසක් නැහැ. ගවේෂණාත්මක මාධ්‍ය වේදියකු වන සජීව විජේවීර මෑතදී මේ ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා තැබුවා.‘රාවණා යනු අමු මිථ්‍යාවකි… රාවණාට ඇතැයි කියන ඔළුගෙඩි ගාණට අං තට්ටු මේ මෝඩයන්ගේ හිස මත සවි කළ යුතුය. රාවණා කතා පුවත හා සම්බන්ධ නම් ගම් ඇතැයි කියන සෑම තැනකටම ගියෙමි. මගහැරුණා නම් ඒ එකක් දෙකක් වැනි සුළු සංඛ්‍යාවක් පමණක් විය යුතුය. වසර 14ක ගවේෂණයන්ගේ ප‍්‍රතිඵලය වූයේ රාවණා කතාව මිථ්‍යාවක් බව දැනගැනීමයි.’

‘රාවණා සිටියායැ’යි කියන යුගයේ අපේ මුතුන් මිත්තෝ ජීවත් වූයේ ගල් යුගයේය. මේ ඇත්ත තේරුම් ගනිමු. එය තේරුම් නොගත්තද කමක් නැත. මානසික රෝගී කාන්තාවන් සමග ගොස් ජනතාව ගොනාට අන්දවා මිථ්‍යාව වපුරමින් ප‍්‍රසිද්ධිය සොයා යන්න එපායැයි වගකීමෙන් මාධ්‍ය මෙහෙයවනවායැයි කියන ආයතනවලින් අපි ඉල්ලා සිටිමු.’

ඔහුගේ විග‍්‍රහය මා ඉත සිතින් පිළිගන්නවා.
රාවණා, පිටසක්වල ජීවීන්, භූත ආත්මයන් හෝ වෙන ඕනෑම දෙයක් ගැන තනි තනිව විශ්වාස කිරීමේ පුද්ගල නිදහස සමාජයේ තිබෙනවා. එහෙත් මේවා ගැන ‘විද්‍යාත්මක’ මුහුණුවරකින් කතා කරමින් ජන සමාජය නොමග යැවීම දක්වා එම නිදහස පැතිරෙන්නේ නැහැ. ව්‍යාජ විද්‍යාවන් තලූ මරමින් සමාජගත කරන ජනමාධ්‍ය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම ඉක්මවා යාමක්.

මේ ප‍්‍රබන්ධ නැති වුණාට අසිරිමත් ලෙස විග‍්‍රහ කළ පැරණි උරුමයන් ඕනෑ තරම් මෙරට තිබෙනවා. ඉතා හොඳින් පුරාවිද්‍යාත්මකව තහවුරු වූ වාස්තු විද්‍යාත්මක, ලෝහ විද්‍යාත්මක හා වාරිකර්මාන්ත හපන්කම් තිබෙනවා. මේවා පෙන්නුම් කරන්නේ අපේ පැරැුන්නන් සතු වූ තාක්‍ෂණික හැකියාවන්.
එතකොට පිටසක්වල ජීවීන් මෙහි එන්නේත් නැද්ද?

පිටසක්වල ජීවය පැවතිය හැකි බවත්, හිතකර පරිසරයක් හා පරිණාමීය සාධක ඇති ඇතැම් ග‍්‍රහලෝකවල බුද්ධිමත් ජීවින් බිහිව සිටිය හැකි බවත් අද බහුතරයක් විද්‍යාඥයෝ පිළිගන්නවා. එහෙත් තවමත් මේ පිළිබඳ තිරසාර සාක්‍ෂියක් නැහැ.

මේ ගවේෂණ හා ඒවායේ බුද්ධිමය පදනම හරවත් හා රසවත්. එහෙත් ඒවා ඉදිරිපත් කරද්දී ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබන්ධ වන X-Files වැනි ප‍්‍රභවයන්ගේ හමු වන මතවාදයන්ද එකතු කළොත් මුළු සන්නිවේදනයම ව්‍යාජ විද්‍යාත්මක වනවා.

ඉතින් අභව්‍ය හා පරිකල්පනීය දේවල් ටිකක් මාධ්‍ය සන්නිවේදනවලට එකතු කිරීම ඔය කියන තරම් වරදක්ද?
පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හෝ ඉන්ටර්නෙට් හරහා (නාට්‍යමය නොවන) සන්නිවේදන කරන විට ව්‍යාජ විද්‍යා සංකල්ප එකතු කිරීම හරියට ආහාර පිසින විට කෘත‍්‍රිම රසකාරක යොදන්නා වගේ. අජිනොමොටෝ ඇතුළු රසකාරක අපේ රටේ හෝටල් හා අවන්හල්වල ප‍්‍රමිතියකින් තොරව බහුලව යොදනවා. ඒ වෙලාවට කෑම රසය තීව‍්‍ර කළත් මේ රසකාරක දිගු කාලීනව අපේ ශරීරයට අහිතකරයි.

ව්‍යාජ විද්‍යා එකතු කිරීම් ද මෙයට සමානයි. තාවකාලික සන්ත‍්‍රාසයක්, ප‍්‍රමෝදයක් හෝ කුතුහලය ඇවිස්සීමක් කළත් දිගු කාලීනව මේවා අපේ තර්කන ශක්තිය හා විචාර බුද්ධිය මොට කරනවා. එබන්දක් සිදුවන බව බොහෝ දෙනාට දැනෙන්නේ නැහැ.

රාවණා හා X-Files වලින් ඇරැුඹුණු මානසික හානිය කල් ගත වූ විට නතර වන්නේ දේශපාලනික අවස්ථාවාදීන් කියන ඕනෑම ප‍්‍රබන්ධයක්, ප‍්‍රලාපයක් ද ගෙඩිපිටින් පිළි ගන්නා ජන සමාජයක් බිහි වීමෙන්.
ඔලමොට්ටල සමාජයක් හා ඡුන්දදායක පිරිසක් මෙරට බිහිවනු දැකීමට කැමති කවුද?

නාලක ගුණවර්ධන
ravaya -
Read more
Saturday, April 9, 2016
ඇමැතිවරු 91 යි අපි පටි තද කර ගනිමු

තවත් රාජ්‍ය ඇමැතිවරයකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ඊයේ (07 දා) වාර්තා වී තිබිණි.

ඒ අනුව මේ වන විට ඇමැතිවරු 46 ක්‌ද, රාජ්‍ය ඇමැතිවරු 20ක්‌ ද, නියෝජ්‍ය ඇමැතිවරු 25 ක්‌ද ලෙසින් ඇමැති සංඛ්‍යාව 91 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. පසුගිය 6 වැනිදා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන විට ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේ තවත් අයට ආණ්‌ඩුවට විත් ඇමැතිකම් ගැනීමට ඉඩ තිබෙන බව ය. අප විශ්වාස කරන්නේ ද මේ ඇමැති පෝලිම තවත් දිග්ගැස්‌සෙන්නට ඉඩ ඇති බව ය. පරණ ආණ්‌ඩුවේ වැරදි කියමින්, ඒ ආණ්‌ඩුවේ රෙකෝඩ් කඩමින් යන ආකාරයට ඇමැතිවරු ගණන තවත් දහයකින් පහළොවකින් එහා මෙහා වීමේ වරදක්‌ නැත.

කැබිනට්‌, රාජ්‍ය, නියෝජ්‍ය, ව්‍යාපෘති මේ ආදී වශයෙන් විවිධ ප්‍රභේදවලට අයත් මැති ඇමැතිවරුන්ගෙන් පිsරීගත් ලොව විශාලතම ඇමැති මණ්‌ඩලය හිමි රට හැටියට වාර්තා තැබුවේ ශ්‍රී ලංකාව ය. එවැනි ඉතිහාසගත වාර්තාවක්‌ අබිබවා යන්නට මේ ආණ්‌ඩුවේ අකමැති කිසිවකුත් සිටිය නො හැක. අපේ රටේ ඇමැති මණ්‌ඩලය තෝරන්නේ අපූරු ආකාරයට ය. පිල් මාරු කළ අයටත්, පිල් මාරු කිරීමට සූදානම් යෑයි කියන අයටත් ලැබෙන මසුරන් වටිනා තෑග්ග කුමන වර්ගයේ හෝ ඇමැතිකමකි. කෙරුවාව කවර එකක්‌ වුවද වැඩිම මනාප ගත් මන්ත්‍රීවරයා සතුටු කරන්නට දෙන පිදේනියත් ඇමැති පට්‌ටමය. ඔළු ගෙඩි ටික එහා මෙහා කර බහුතර බලය හදා ගන්නට දෙන්නෙත් ඇමැතිකම් ය. රටට ජනතාවට වැඩක්‌ වන ආකාරයට නියමිත විෂයයන් තෝරා ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමේ ක්‍රමය අහෝසි වී ගොස්‌ බොහෝ කල් ය.

2015 ජනවාරි 08 වැනිදායින් පසු ඇමැති බර අඩු කිරීම කෙරෙහි ආණ්‌ඩුව වැඩි බරක්‌ දරනු ඇතැයි ජනතාව විශ්වාස කළහ. ජනතාව එසේ සිතන්නට සාධාරණ හේතු තිබිණි. ඉකුත් ජනාධිපතිවරණයේදීත්, මහා මැතිවරණයේදීත් වත්මන් ආණ්‌ඩුව එවැන්නක්‌ ගැන කී කතාව ජනතාව තුළ විශ්වාසය ගොඩනංවා තිබිණි. ඇත්තෙන්ම ඒ විශ්වාසය තුළ නිල්, කොළ, රතු වශයෙන් පාට තිබුණේ ද නැත. වත්මන් ආණ්‌ඩුවත් සම්මත කරගත් 19 වැනි සංශෝධනයෙන්a ද ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කර තිබුණේ 30 ක්‌ ලෙසය. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිට 19 වැනි සංශෝධනය දක්‌වා ජනතාව තැබූ විශ්වාසය බිඳ දමන්නට ආණ්‌ඩුවත් වැඩි කල් ගත්තේ නැත. දුසිම් ගණනින් වුව ඇමැතිවරු පත් කිරීම ගැන අපේ අමනාපයක්‌ නැත. එහෙත් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ නඩත්තු කරන්නට යන වියදම ගැනත්, රට පත්ව ඇති මූල්‍ය අර්බුදය ගැනත් වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ කල්පනා කළ යුතු බව අපි කියමු. (රටේ මූල්‍ය අර්බුqදයක්‌ තිබෙන බවත්, ඒ නිසාම බදුÊබර වැඩි වන බවත් පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළ බව කිව යුතු ය. එමෙන්ම ආණ්‌ඩුවේ ඇමැතිවරු මාධ්‍යයට ඒ බව ප්‍රකාශ කළ බව ද සටහන් කරමු.)

ඇමැති ධුර සංඛ්‍යාව රටේ ආර්ථිකයට පවා ඔරොත්තු නොදෙන ආකාරයට ඉහළ දැමුවේ 2000 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් පසු තේරී පත් වූ චJද්‍රිකා කුමාරතුංග රජයයි. 2001 දී බලයට පත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජය ද ඇමැති ධුර සංඛ්‍යාව 75 ක්‌ දක්‌වා ඉහළ දැමී ය. 2013 දී බලයට පත් ආණ්‌ඩුවේ ඇමැතිධුර සංඛ්‍යාව ද 104 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.

මේ සියලු ඇමැතිවරුන්ට සිය වැටුපට අමතරව දීමනා, වරප්‍රසාද රැසක්‌ හිමිවේ. ජනතාවට සේවය කිරීම උදෙසා පත් කර යවන ජනතා නියෝජිතයෝ සිය බදුÊමුදලින් නඩත්තු කිරීමට සිදුවන්නේ ජනතාවට ය. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාම කී පරිදි 'තවත් ඇමැතිකම්' ඉල්ලූ අය ද පාර්ලිමේන්තුවේ සිටිති. එයින් කියෑවෙන්නේ තත්ත්වය තරමක්‌ බරපතළ බව ය. නැවතත් හෙට අනිද්දා වන විට ඇමැති මණ්‌ඩලය තව තවත් විශාල වීමත් රටේ ජනතාවට 'පටිය තදකර ගන්නටම' වීමත් අනිවාර්ය ය.
divaina -
Read more
Friday, April 8, 2016
මුං චණ්‌ඩි නොව නොන්ඩින් ය

මේ වන විට රටේ බිම් මට්‌ටමේ සිටම පාදඩකම ව්‍යාප්ත වී හමාරය. ගමේ බෝක්‌කුව උඩ බීඩි උරන රස්‌තියාදු ගසන මිනිසාගේ පාදඩකමට වඩා කසිප්පු විකුණන එකාගේත්, ගංජා විකුණන එකාගේත් පාදඩකම ටිකක්‌ වැඩි ය. ඊටත් එහාට ගිය විට කප්පම් ගන්නා, මිනී මරණා පාතාලයන්ගේ පාදඩකම බොහෝ සෙයින් වැඩිය. පොලිසියේ ඇත්තේත් අමුතුම වර්ගයේ පාදඩකමකි. දේශපාලන පාදඩකම යනු මේ සියල්ලන්ගේම එකතුවක්‌ බව දැන් දැන් සිදුවෙමින් පවතින දේ අනුව හොඳින්ම තහවුරු වී තිබේ.

ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබූ බෞද්ධාලෝක මාවතේ 'මැරවරයාගේ' ප්‍රවෘත්තිය උදාහරණ සහිතවම ඒ දේශපාලන පාදඩකම රටට පෙන්වා දී තිබිණි. රාජකාරියට ගොස්‌ නැවත 'දිවයින' පුවත්පත් කාර්යාලය කරා එන ගමනේදී 'දිවයින' රියෑදුරුවරයාටත්, මාධ්‍යවේදියාටත් තර්ජනය කර පහර දී තිබුණේ මහ මාර්ගයේ විනය හෝ නොදන්නා දේශපාලන හයිය හිතට ගත් මැරවරයෙක්‌ ම බව විශ්වාසයෙන් ම කිව හැකිය. කිසිදු හිරිකිතක්‌ නොමැතිව පාදඩකම අමු අමුවේම ප්‍රදර්ශනය කරන මේ මැරවරයා 'දිවයින' මාධ්‍යවේදියාගෙන් ද රියෑදුරාගෙන් ද විමසා ඇත්සේ "අඩෝ දන්නවාද ඩෝ... මම කවුද කියලා" යනුවෙනි.

අපට කියන්නට ඇත්තේ ඒ බව අමුතුවෙන් 'දැනගන්නට' අවශ්‍ය නැති බවය. තමන් සුනඛ කුලයට අයත් සතකු බව මේ මැරවරයා ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න අසා චණ්‌ඩිකම් පෙන්වන අමනයන් වර්ග කිහිපයකි. පළමු කොටස සෘජුවම දේශපාලනයට සම්බන්ධ අයයි. දෙවැනි කොටස දේශපාලනඥයන්ට ළඟම ඥාතීන් වන අයයි. (ඒ අතර දූ දරු සබඳතා, වෙනත් ඥති සබඳතා තිබිය හැක.) ඊළඟ කොටස දේශපාලන හයිය හිතට ගත් දේශපාලනඥයන්ගේ සමීපතම හිතවතුන් ය. හතර වැනි කොටස දේශපාලනඥයන්ගේ සියලුම සට්‌ටඹි වැඩ කරන, බත් බැලයෙකි. පස්‌වැනි කොටස දේශපාලනඥයන්ගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයකට හෝ අමාත්‍යාංශයට අයත් කාර්ය මණ්‌ඩලයේ ලිපිකරු, කාර්යාල කාර්ය සහායක, රියෑදුරු, පුද්ගලික සහකරුවන්, සම්බන්ධීකරණ ලේකම්වරු මේ ආදී වශයෙන් බොහෝමයකි.

දැනගන්නට ඇති පරිදිත්, පෙනෙන්නට ඇති පරිදිත් මේ අමනයා 'රියෑදුරු' වර්ගයට අයත් එකෙකි. යහපාලන ආණ්‌ඩුව මේ ගැන බොහෝ සේ කල්පනා කළ යුතු ය. රියෑදුරුගේ හැසිරීම මෙසේ වී නම් රථය හිමි අයත්, අදාළ දේශපාලනඥයනුත් කොහොමට ඇත් ද? මෙවැන්නන් හතරපස්‌ දෙනෙක්‌ සිටින ඕනෑම ආණ්‌ඩුවක්‌ වැඩිකල් නො ගොස්‌ ගෙදර යෑවීමට තරම් මේ අමන තකතීරු හැසිරීම් හේතු වන බව කිව යුතු ය.

මේ පහරදීමත්, තර්ජනය කිරීමත් සිදු වන මොහොතේ, ඒ අසල පොලිස්‌ නිලධාරියකු ද සිටින බව ඒ මොහොතේ ගත් ඡායාරූපය සාක්‍ෂි දරයි. මේ බත් බැලයා කිසිදු වග විභාගයකින් තොරව සුනඛ ගති ප්‍රදර්ශනය කරන්නේ පොලිස්‌ නිල ඇඳුමට හෝ කිසිදු ගරුසරුවක්‌ නොමැතිව ය. ඉන් ඉඳුරාම පැහැදිලි වන්නේ ඒකා කොයි තරම් නම් දේශපාලන හයිය හිතට ගෙන ඇතිදැයි යන්න ය. ඒ නිසාම මෙය අතිශය නරක පූර්වාදර්ශයක්‌ බව කිව යුතු ය.

මහ දවාලේ මිනිසුන් පැහැරගෙන ගොස්‌, දේශපාලනඥයන් නඩු අහන රටක, දේශපාලනඥයන් මිනිසුන් යටකර පලා යන රටක, ඒ හයිය තිබෙන රියෑදුරකු යෑයි කියන අමනයකු මිනිසුන්ට පහරදීමෙන් පමණක්‌ නතර වේද?

යහපාලනය යටතේ මහජන නියෝජිතයන් මෙවැනි 'සුළු සුළු' කාරණා ගැන එතරම් තැකීමක්‌ නො කරන බව පෙනේ. ඒ නිසාම මේ පාදඩ බත්බැලයාට හෙට අනිද්දා උසස්‌වීමක්‌ වුව ලැබෙන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩි ය. මේ ආණ්‌ඩුවේ දින සියය වැඩපිළිවෙල යටතේ මහජන නියෝජිතයන්ට ආචාර ධර්ම පද්ධතිය හඳුන්වා දෙන බව කීවේය. ආචාර ධර්ම හාංකවිසියක්‌වත් නො දන්නා දේශපාලනඥයන් සිටින රටක, බත්බැලයන් ගැන කතා කළ යුතුම නැත.

divaina -
Read more

Popular Posts

Popular Posts