Header Ads

අපි මෙතනින් ඉක්මනට යමු - - උපුල් ශාන්ත සන්නස්ගල

අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටය නරඹා පේ‍්‍රක්ෂකාගාරය මඟහැර එළියේ පඳුරු අස්සේ කුප‍්‍රකට දුම්බොන්නන් අතරට පිවිසි මම අනෙකාගේ ගින්දර ඉල්ලමි. නො පැකිළ ව මගේ සිගරට් තුඩ ගිනිලෑවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. ‘‘හොඳ වෙලාවට වයිෆ් එක්ක ආවෙ නැත්තෙ’’ හෙතෙම අහක බලාගෙන කී ය. ‘‘අපි කාගෙත් කතාව තමයි’’ මැදිවිය ඉක්මවූ තවත් සුප‍්‍රකට විචාරකයෙක් කී ය. අප දහදොළොස් දෙනා අතරට පිවිසි තරුණ සිනමාකරුවෙක් ‘‘මොනව හරි කරනවද?’’ යනුවෙන් ප‍්‍රශ්න කළේ සුපුරුදු ලෙස කලා නිර්මාණයක් රසවිඳ ඉනික්බිති මැදියම් ? වෙන තෙක් කරන කෘතියට අදාල ප‍්‍රශ්න පත‍්‍රය දිගහැරීමේ සුපුරුදු විචාරක මධුසාදය පිළිබඳ ව ඉගිකරමිනි. බොහෝ කලකට පසු මධුසාදයත්, සාද විචාරයත් අපි අත්හළෙමු. අප බොහීමියානු ජීවිත අගය කළ ද බොහීමියානුවෝ නො වූමු. අප හැමට ම ‘කුටුම්බ සෙන්ටර් පොයින්ට් එකක්’ තිබිණ. 
‘‘අපි මෙතනින් ඉක්මනට යමු’’ 
විනාඩි කීපයක දී අපි විසිරී ගියෙමු. හුදෙකලා වූ එකිනෙකා තවමත් ප‍්‍රසිද්ධියේ කතා නො කළ සහ කිසිදා කතා නො කරන ගුප්ත මනසිකාරයේ ගිලී සිටිනවාට සැක නැත. හඳයාගේ චිත‍්‍රපටය නිමා කරන ආගමික සන්දර්භය පුපුරුවා හරින තීව‍්‍රතම සංවාදය හිස්ටරික අවකාශයක දෝංකාර දෙනු මට තවමත් ඇසේ. අනෝරා වැටෙන වැස්සත්, ගහ මරා ගන්නා කුණුහරුපත්, පාතාල වෙඩිහඬත්, බුදුන්ට පිදු, පහන් දැල්වූ පහන් කණු ඔසවා ගෙන ගැහැනු ගහමරාගන්නා අසංස්කෘතික පන්සල අතහැර ‘‘අපි මෙතනින් ඉක්මනට යමු’’ යන මසිතේ තවමත් ගුගුම් දෙන දෙබස නිසා ම මෙය ලියා තබමි. තමන්ට හිතැති සරාගී සිසුවියන්ට පන්ති සාමර්ථ්‍ය දී සහකාර කථිකාචාර්ය තනතුරු ලබා දුන්, උසස්වීම්වලට ලිංගික අල්ලස් ගත්, කවි, කෙටිකතා, නවකථා, විචාර ලියන සිසුවියන් ස්වකීය අතිරික්ත අසහනය සඳහා යොදාගත් ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ අප‍්‍රකට, එහෙත් ‘දන්නෝ දනිති’ වර්ගයේ සිදුවීම් නහුතයක් මසිතේ පෙළ ගැසේ. විශ්වවිද්‍යාල තුළ බහුලවත් වෛද්‍ය හා නීති වෘත්ති තුළ සාපේක්ෂවත් සිදුවන මේ රහසිගත ගුප්ත සිදුවීම් මාලාදාමය ඓතිහාසික දිගුවකි. හඳගම මේ ‘ආරෝපිත රංගන වෙස් මුහුණු’ ගලවා අපේ අතට දී කැඩපත තිරය මත තබන හෙයින් ම බොහෝ දෙනා මේ චිත‍්‍රපටය මගහැර යෑම ස්වාභාවික ය. හඳගමගේ සිනමා විනෝදය වෙනුවෙන් තමන්ගේ සිහින විනෝදය කැප කොට රෙදි ගලවා ගැනීමට ඔවුන් සූදානම් නැත. මේ විනාශකාරී ගතිකය ඔවුනගේ ජීවන විලාසිතාව ය. ගේදොර, යානවාහන, උසස්වීම්, සමාජ නම්බුව, පාසල, පන්සල තව දුරටත් ඔවුනගේ ජීවන විලාසිතා ආකෘතිය ය. එකී සිරගත ආකෘතික රාමුව විසංයෝජනය කොට, අයිසින් ජීවිත හිල් කොට, විසිරී විවෘත වනවා වෙනුවට තව දුරටත් ඒ තුළ ගුලි වී ලඝු වීම ඔවුනගේ ස්වායත්ත යෝජනාව ය. එහෙයින් ම හඳයාගේ චිත‍්‍රපට තේමාව ‘පොදු වස්තුවක්’ නො ව අහම්බයක් ලෙස බැහැර කිරීමට ඔවුනට ශාස්ත‍්‍රාලීය වනපොත් කළ දැනුම කැඳවිය හැකි ය. ෆේස්බුක් සහ අන්තර්ජාල වෙබ් අඩවි තුළ දැනටමත් හඳයා පට්ට ගසන්නේ ‘කොමන් නොවූ දෙයක්’ හඳයාගේ මනසිකාර විකෘතිය තුළ චිත‍්‍රපටයේ පරිකල්පනය කොට ඇති බව කියමිනි. මගේ අදහස නම් මහා පොදු වස්තුවක් මගහැර යා නොදී හඳයා අහුළාගෙන අතැඹුලක් සේ අපගේ සුරතේ තබා පසෙකට වී නිහඬව සිටින බවකි. ‘ඇමරිකන් බියුටි’ චිත‍්‍රපටය වඩා හුරුපුරුදු පේ‍්‍රක්ෂකාගාරයත්, ‘ලොලීටා’ කියවා ඇති පාඨකාගාරයත් වෙනුවෙන් තරුණ කෙල්ලක හා මැදිවිය ඉක්ම වූ වියපත් පිරිමි පේ‍්‍රමයක සර්ප ඇසේ සරාගී ප‍්‍රහේළිකාව විසඳා ගැනීමට පහත සඳහන් දෙස් විදෙස් චිත‍්‍රපට හා සාහිත්‍ය කෘති පරිශීලනය කරන මෙන් යෝජනා කරමි.
Movies
American Beauty| American Pie| An Education| The Graduate| Harold and Maude| Liberal Arts (About a professor at uni)| Lost in Translation|The reader| Fish Tank| White Palace| Magic in the moonlight| The Piano Teacher|Tadpole|How Stella got her groove back|Seeking a friend for the end of the world|Autumn in New York|The Ballad of Jack and Rose| Fair Love| Girl with a Pearl Earring|Elegy (About a lecturer at university)
Novels
On the Island - Tracey Garvis Graves |Undeniable - Madeline Sheehan| Still Life with Bread Crumbs |Nobody's Hero - Kallypso Masters| Kulti - Mariana Zapal |Monster in His Eyes (Series I ) - J. M. Darhower| Soul Deep - Pamela Clare|Sense of Place - N. R. Walker| The Night We Met - Tara Taylor Quinn|The one and only - Emily Giffin|The Girl with a Pearl Earring - Tracy Chevalier|What was she thinking - Zoe Heller|Lolita - Vladimir Nabokow|The Reader - Bern hard Schlink| Constance - Patrick McGarth (About a lecturer)
මේ ලේඛනයේ බහුතරයක ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ හා සිසුවියක අතර ගොඩනැගෙන සම්බන්ධතාව බව ද සිහිකරමි.
මවිසින් ලියා ඇති ‘කොළපාට ඇස්’ නවකථාව ද එවැන්නකි. එහෙයින් ම හඳයාගේ චිත‍්‍රපටයේ තේමාව අහම්බයක් නො ව මඟහැරුණු අසම්පූර්ණතාවේ ප‍්‍රහේළිකා ගැටලූව වෙනත් කෝණයකින් දැකීමකි. එහෙත් එයට කිසිඳු විසඳුමක් නැත. බුදුන්ට, ඕෂෝට, ඇරිස්ටෝටල්ට, ප්‍රොයිඞ්ට, ලැකාන්ට, මාක්ස්ට විසඳීමට නො හැකි වූ විඳවීම තුළ ම විඳීම අත්පත් කොටගන්නා ස්ත‍්‍රී ප‍්‍රහේළිකාව හඳගමට ද කිසිදා විසඳීමට බැරි ය. ‘‘පිරිමියා විසින් හිස ගසා ගන්නා ආදර වස්තුව - ස්ත‍්‍රියයි’’ යනුවෙන් කාල් මාක්ස් පැවසූයේ එහෙයිනි.
‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටය ඇරඹෙන රූප රාමු පෙළත්, චිත‍්‍රපටයේ නිමාව සනිටුහන් කරන රූප පෙළත් එකිනෙකට සමපාත ය. චිත‍්‍රපටයේ සිවුමංසලක චරිත සතරකි. මැදිවිය ඉක්මවූ, වියපත් බවට ආසන්න විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. (ද්‍රිතිමත් චැටර්ජි) ඔහුගේ බිරිඳ අපහසුවෙන් හා සංයමයෙන් රූපයත් සම්මත පවුල් ආකෘතියත් රකින ශිෂ්ට බිරිඳකි. (ස්වර්ණා මල්ලවාරච්චි) වැඩිමහල් පුතා විදේශගත ය. දියණිය ස්වකීය ශෝකය කුමක් දැයි දැන නො දැන හුදෙකලා වූ ජාත්‍යන්තර පාසැලකට යතැයි සිතෙන හුදෙකලා දැරිවියකි. (සඳලි හඳගම) මේ සම්මත කුටුම්බයට කඩා පනිනා ග‍්‍රාමීය පසුබිමක් සහිත රැඩිකල්, තරුණ, සරාගී විශ්වවිද්‍යාල සිසුවියකි. (රිතිකා කොඩිතුවක්කු)
මේ සිවුමංසල චරිත සඳහා නිශ්චිත නළුවරණයක් නො කළේ නම් මුළු චිත‍්‍රපටය ම බිඳ වැටීමට ඉඩ තිබිණ. හඳගමගේ නළුවරණ ඉව සහ ප්‍රඥාව ශාස්ත‍්‍රාලීය දුහුනන් සඳහා සබුද්ධික අධ්‍යයන පරිච්ඡේදයකි. ඉංග‍්‍රීසි බස සුරුව උසුරුවන, කැඩිච්ච සිංහල සංයමයෙන් කියන, නිහඬ බව සතර අභිනය තුළ ම තීව‍්‍ර කරන මහාචාර්යවරයාගේ චරිතය චරිතාංග වනස්පතියෙකි. ස්වර්ණාගේ දෙබස් උච්චාරණය, රංගන ප‍්‍රතිවේදය හා කැමරාව ඉදිරියේ දක්වන සංයමය ඈ තවමත් ලාංකේය සිනමාවේ (සිංහල සිනමාවේ නො වේ) විශිෂ්ටතම චරිතාංග නිරූපණ ශිල්පිනිය බව තහවුරු කරන්නකි. සිසුවියගේ චරිතය කිසි යම් ටෙලි නිළියක් කක්කා බෙට්ටක් හලන්නට මෙන් තටමතටමා රඟපෑවා නම් අපේ ඇස අග නෝක්කාඩුව හටගනු නියත ය. සිසුවිය අධ්‍යක්ෂවරයා කී දේට අමතර ව කිසිවක් නො කළ බව පැහැදිලි ය. එහෙයින් ම රූපණය පූර්ණ ය. දියණිය ස්වකීය ගර්භාෂ ඉරියව්වේ සිට පීඩනය පුපුරා යෑමේ වාචික කිනිසි පහර දක්වාත්, ඉනික්බිති ව අසංස්කෘතික පන්සල් රණ්ඩුවේ දී දක්වන නිහඬ ප‍්‍රතිපදාව දක්වාත් රේඛීය සිනමා රංගන වින්‍යාසය අවිච්චින්න ව පවත්වා ගනී. නළු - නිළිවරණ විභාගයෙන් හඳගම ඉහළින් ම සමත් ය.
මහාචාර්යවරයාගේ බිරිඳ පිරිමි දරුවකු ද ගැහැනු දරුවකු ද මධ්‍යම පාන්තික සමතුලිත සිහිනයට දායාද කළ සාම්ප‍්‍රදායික මහාචාර්ය ආකෘතියේ සිරගත ගැහැනියකි. ගේදොර පිළිවෙළ, ආහාර සැකසුම, ඇඳුම්පැළඳුම් විලාසිතා, කතාබහ සියල්ල එකතුකොට සමාජ විලාසිතාවට අදාළව සතරාභිනය සන්ධානගත කිරීමට ඈ සමත් ය. ඇගේ යෝජනාව අහිංසක ගෘහස්ථයකි. ‘ගෘහස්ථ කුටුම්බ ජීවිතය කිසිසේත් අහිංසක නැත’ යන්න ඇයට අවබෝධ වන්නට තරම් පෞද්ගලික ඉතිහාස අත්දැකීමක් තවම හමු වී නැත. විශ්වවිද්‍යාල සිසුවිය මැදිහත් වන තෙක් ඇයට ඇත්ත කුටුම්බය හමු වන්නේ නැත.
‘ගැහැනියකට දරාගන්න පුළුවන් භෞතික ශක්තිය සමච්චල් කරනවා වාගේ තවත් වෙනත් දෙයක් නෑ’
යන ස්වකීය සබුද්ධික පිරිමි මහාචාර්ය ස්වාමියාගේ වාචික සිද්ධාන්තය ඈ ප‍්‍රතික්ෂේප කරන්නේ ‘මහපොළොව වගේ ගැහැනියකට වේදනාව උසුලන්න පුළුවන්’ වර්ගයේ වැඩවසම් ප‍්‍රබන්ධගත දෙබසකිනි.
‘ඇඟට නෙමෙයි හිතට. ඒ වේදනාවට පුළුවන් මහාමේරු පර්වතය උස්සල පොළොවෙ ගහන්න.’
යන්න තුළ ‘වේදනාව’ යනු කුමක් දැයි චිත‍්‍රපටය පුරා ම විස්තෘත ව තිබී නාභිගත කිරීමට චිත‍්‍රපට වියමනට හැකි වෙයි. හඳගමගේ සියලූ කලා සාහිත්‍ය කෘති තුළ ඇති සංවාද බෙහෙවින් ම ප‍්‍රහේළිකා සහගත ය. ප‍්‍රහේළිකා විසඳීමට අසමත් පොදු මිනිසා හඳගම මඟහැර ගොස් චෝදනා කරන්නේ ද ‘මොකක් ද කියන්න හදනව වගේ, තේරෙන්නෙ නෑ.’ යනුවෙන් කියමිනි. ‘සිරීපාදේ කාලේ සමනල්ලූ වන්දනාවේ යනවා’, ‘සම්බා හාල් හරි ගණන් නේ ද?’ වැනි අංජබජල් සංවාද ඔහුගේ කලා කෘති තුළ බහුල ය. ‘සමනල්ලූ’ සහ ‘සම්බා හාල්’ අතර සම්බන්ධය කියවා ගැනීමට පුහුණු කළ පේ‍්‍රක්ෂකාගාරයක්, රසිකාගාරයක්, පාඨකාගාරයක් අත්‍යවශ්‍ය ය. වෙසක් තොරන් වර්ගයේ චිත‍්‍රපට බහුප‍්‍රචාරයට පත් වූ රටක සාංදෘෂ්ටිකවාදී හෝ විඥානධාරා රීතියේ සාහිත්‍ය සංවාද කියවීමේ පරිචයක් සහිත පුරුදු පුහුණු කළ සබුද්ධික බහුතර මානව සම්පතක් අපට නැත. මහාචාර්යවරයාගේ බිරිඳ ‘වේදනාව’ යනුවෙන් අර්ථ ගන්වන ජීවිතය අප සවිඥානික ව කියවන්නේ නැත්තේ එහෙයිනි. ඇගේ වේදනාව කුමක් ද? ‘ඇයට අඬන්න දෙන්න’
ගැහැනුන්ගේ කඳුළ වෙනුවෙන් පිරිමි කියති. වැඩිහිටි පිරිමි ස්වාමියා, අඬන්න හේතුව කුමක් වුවත් ‘මුදා හැරීම’ වේදනාවේ සහනය බව ප‍්‍රත්‍යක්ෂ කොටගත්තෙකු සේ කියන්නේ ය. ස්වාමියා ඔළුවේ කැක්කුමක් යැයි කී විට ‘දේශගුණේ වෙන්නැති’ යැයි කීමත්, නාන කාමරයට එබී තනියම ‘ස්නාන ස්වයං සරාගී මනසිකාර ප‍්‍රීතිය’ බුක්ති විඳින විට එතැනට කඩා පැන ‘ඔයාට උණ හැදීගෙන එනවා ඇති’ යැයි කීමත් අසූචි කේක් ගෙඩියක තවරා ඇති අයිසින් පැණිරස දිව ගෑමක් මිස කුටුම්භ ගැටලූවේ ඇත්ත ගඳ සුවඳ ඉව කිරීමක් නො වන්නේ ය. වෙසක් කාලයේ කොළඹ වාහන තදබදය පිළිබඳවත්, වෙළඳපළ පිළිබඳවත් සැමියා සහ බිරිඳ අතර සිදුවන සංවාදයන් ද විලාසිතා ආකෘතියේ ම ‘හායි ඩාලිං’ වර්ගයේ ව්‍යාජයන් මිස කුණුවෙන කුටුම්බ ජීවිත පතුලේ තුවාල කැළැල් දැකීමක් නො වන්නේ ම ය. ‘කසාද බඳීන්න පිරිමින්ට නියම කරපු වයසක් නෑ’ යන අසම්මත, මුරණ්ඩු ඇත්ත වාක්‍යය ස්වකීය පුත‍්‍රයා පිළිබඳ ව මහාචාර්යවරයා කියන විටත් ලොකු පුතාගේ විවාහය, ආදරය, ජීවිතය, මංගල්‍යය, සතුට පිළිබඳ ව්‍යාජ සිහිනමය විලාසිතා ගොන්නක් සමාජය හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට අනාගත සිහින දකින බිරිඳ ‘ඇහැරෙන්නේ’ නැත. ‘මම මෝඩයෙකු ලෙස ගන්න එපා’ යැයි නිරන්තර ව කීව ද බිරිඳ කිසිසේත් ම දිගුකාලීන විවාහක ශරීර අත්දැකීම් ද මානසික අද්දැකීම් ද ඒ ප‍්‍රකාශය තුළ කිරා මැන බලන්නේ නැත. මේ ලෞකික කුටුම්බයේ අර්බුදයට විසඳුමක් පතා පන්සලට ඈ දක්කාගෙන යෑම ආගම පිළිබඳ ව ලාංකේය ජන විඥානයේ දිශානතිය සලකුණු කරන්නකි. ඈ නිරන්තර ව පන්සල වෙත ඇදී යන්නේත්, ස්වාමියා නිවසට පැමිණෙන හැම මොහොතක ම බුදු පිළිමයක් වඳිනු පෙනෙන්නේත් මේ හුටපට අලකලංචි මැද්දේ ය. ආගමෙන් පිහිටක් නැති බවත් තව දුරටත් ගුප්ත, ගූඪ බෞද්ධ පැවැත්ම තුළ නිසි පිළිතුරක් නො මැති විටත් සවිඥානික ඈ තේරුම් ගන්නේ සිසුවියගේ ප‍්‍රකාශන සියල්ල යථාර්ථය ලෙස තහවුරු වූ පසු ව ය. ආශාවට ඇද නො වැටී කිසිවෙකුට අහිමි වීම තේරුම්ගත නො හැකි ය. මේ අතීතයට අවසානයක් නැත. වර්තමානයක් ද අනාගතයක් ද ඇත.
ඈ වේදනාවේ ක්ෂිතියෙන් මිදෙන්නට ආගමේ කිහිලිකරු විසඳුම මොහොතකට පසෙක තබා කුටුම්බය තුළට සිසුවිය කැඳවා නිවස තුළ ම ගැටලූව පිළිසිඳවා ගැනීමේ ශිෂ්ට උත්සාහයක් ගන්නී ය. ‘පිරිමි දරුවාගේ කාමරය’ ඇයට වෙන් කිරීම ද ලිංගිකත්වය පිළිබඳ පැරණි කියවීම ප‍්‍රශ්නකොට ‘පිරිමි මෙන් ගැහැනියට සිතන්නට ඇති ඉඩ’ අවකාශය විවර කරදීමකි. දැන් චිත‍්‍රපටයේ වචනාර්ථයන්හි අන්තර් විනිවිදීම ජීවිතය පිළිබඳ තෙතමනය මතු කිරීමක් දක්වා පුළුල් පරාසයකට විහිදෙයි. එහෙත් රූපයෙන් උසස් වයස්ගත පිරිමියා හෙවත් මේ ‘සිල්වර් ෆොක්ස්’ නිවැරදි ව කියවීමට දරුවන් වැදූ පළියට, බිරිඳ වූ පළියට, මහාචාර්ය බිරිඳක් වූ පළියට ගැහැනියකට නො හැකි ය.
‘මං ඒ ළමයට කිව්වා මෙහෙ ඉඳගෙන ඔයත් එක්ක ම කැම්පස් යන්න කියලා. එයාට උදව් කරන්න, ඒ ළමයා ඉන්න තැනට ඔයා යන එක ඔයාට හොඳත් නෑ. ඒ ළමයාට හොඳත් නෑ.’
ගැඹුරින් සරාගී ආදරය අත්විඳින්නන්ට උප්පැන්න වයස බලනොපාන බවත් වයස්ගත ව පිරිමි තරුණයන් සේ මියයන්නට කැමැති බවත් ඈ වටහා ගත්තේ නැත. වයස යනු මනසට මිස ක‍්‍රියාවට හේතු කාරණාවක් නො වන්නේ ය. තම සැමියා සිසුවිය සමඟ රැඳී සිටින්නට පරම හේතුව තමාගේ වයසින් අඩකටත් අඩු වයසක ඈ සිටීම යන ප‍්‍රතික්ෂේපිත ඇත්ත ඈ වටහා ගන්නේත් නැත. චිත‍්‍රපටයේ රූප රාමු විශාල ප‍්‍රමාණයක සමාධිගත මෙහෙණියක සේ බුදු පිළිමය වඳින බිරිඳ රාත‍්‍රියට පිරිමියාගේ යටිබඩ අතගාන්නී ය. පිරිමි වාරණයකි. එකී වාරණයෙන් මිදීමට උත්තරයක් ඇයට බුදුන් වැඳීමෙන් ලැබෙන්නේ නැත. චිත‍්‍රපටයේ බොහෝ රූප රාමුවල බිරිඳ ඇස් ඇර අවකාශගත වන අතර පිරිමියා ඇස් වසා සිහින මත යැපෙයි. කුරා කුහුඹුවකුටවත් වරදක් නො කළ සාම්ප‍්‍රදායික ආගම් හිතැති බිරිඳ ඉදිරියේ හැකිළෙන පිරිමි ලිඟුව සිහිනෙන් ඍජු වී පොරෝනය ටෙන්ට් ගසා තිබෙනු දකින බිරිඳ වික්ෂිප්ත වන්නේ තව දුරටත් ‘වේදනාව’ අර්ථ ගන්වමිනි. එහිදී ඇය නැවත ‘ඇත්ත’ හමුවේ.
‘බැල්ලී’
‘පට්ට වේසි වරෙන් කන්න’
යනාදි සියලූ භාෂාමය උක්ති ලෞකික සංයමය ව්‍යාජ ආගමික සීල සමාධියෙන් යටපත් කළ නො හැකි බව සනාථ කරන්නකි. රට්ටුන්ට බණ කියන ඇතැම් භික්ෂූන් කුණුහරුපයෙන් ජනී ජනයා ඇමතීම මේ තත්වයේ ම සමාජ ප‍්‍රකාශනයකි. ලිඟුව කෙළින් වීමේ දර්ශනයත් සමඟ නැවත ඇයට යථාර්ථය මුණගැසේ.
‘අර කෙල්ලත් එක්ක බුදිය ගන්න ඕන නම් යන්න. දොර ඇරලා තියෙන්නේ.’
හඬන බිරිඳ සහ හිනැහෙන කෙල්ල පේ‍්‍රක්ෂකයාට සම්මුඛ වන්නේ එහිදී ය. ඈ නැවත පන්සල් පුනරාගමනය ඇරඹුවත් ස්වකීය තරුණ දියණිය පන්සල් රැුගෙන යන්නේ නැත. දරුවා බුදුන් වඳින විට ‘විකාර කරන්න එපා.’ යනුවෙන් මව කියන්නී ය. ‘මොකක් ද තරුණ ළමයින්ට ඔය තරම් තියෙන පන්සල් පිස්සුව?’ පන්සල් යෑම ‘විකාර’ සහ ‘පිස්සු’ අදහසක් ලෙස දකින ගැහැනිය පන්සල් යන්නේ ඇයි? පිරිමියාගේ ඉරණම පුරෝකථනය කරන්නට බැරි ස්ත‍්‍රියගේ හිස්ටීරියාව ඈ තුළ ම ඈ කුඩුපට්ටම් කරගනිමින්, විශාදයට පත්වෙමින්, ප‍්‍රතිවිරෝධතා මත ම ගැටෙමින් ස්ත‍්‍රිය ආත්මීය අරගලය
කරන්නී ය. ඇයට සබුද්ධික විද්‍යාත්මක ඥාන භාවිතාවක් ලැබෙන තුරු ඈ උත්කර්ෂයට නංවාගෙන ඇති, සදාචාර සහ සංස්කෘතික ජීවන වංචාව කේන්ද්‍රීය වූ බල ව්‍යුහය සහිත ආගමෙන් ගලවා නො ගත යුතු ය. ආගම හෝ වෙන යම් බලයක් හමුවේ ස්ත‍්‍රිය වසඟය තෝරා ගනී. පුරුෂ බල ව්‍යුහයට හා ආධිපත්‍යයට නිතැතින් ම නතුවේ. එයින් ම ප‍්‍රමෝදයට පත්වේ. විද්‍යාත්මක ඥාන භාවිතාවක් එන්නත් නො කොට මෙකී හිස්ටරිකත්වයෙන් හා විපරීත තත්ත්වයෙන් ඈ විසන්ධි කළ හොත් තවත් මාරාන්තික මානසික ව්‍යාධියකට ඈ පත්වනු ඇත. මන්ද බුද්ධික සාම්ප‍්‍රදායික වැඩවසම් හා ගෝත‍්‍රික ඇගයීම් හා ශිෂ්ට ව ගනුදෙනු කරන ගැහැනියක අතර එකම චරිතයක ප‍්‍රතිවිරෝධතාව විසඳුමකින් තොර ව බිරිඳගේ චරිතයෙන් විද්‍යමාන වේ.
සිසුවියගේ විශාදයේ වස්තුව මහාචාර්යවරයා ය. ඔහු ඇයගේ අශ්ශීල ආශාවේ වස්තුව ය. ඔහුට එකී වේදනාවේ ක්ෂිතියෙන් මිදෙන්නට නො හැකි ය. වේදනාත්මක සතුටේ ‘යතුර’ හැම විට ම සිසුවිය අතේ ය. හිස්ටරික ආදර කරදරය මැද ඔවුහු ආත්මරාගී උන්මත්තක පරමෝකර්ෂයක වෙළී සිටිති. ආචාර්යවරයාගේ ශාස්ත‍්‍රාලීය අධ්‍යයන වපසරියේ සවිඥානක දෘෂ්ටියට පූර්වෝක්ත ෆැන්ටසිය දිගේලී වී ආතති මනසිකාරයක හෙතෙම හිරගත වේ. සරාගී ජීවිතයක අර්චනකාමී දිගුකාලීන පැල්ලසය සායම් කවන බව පෙනෙන්නේ සිසුවියගේ බෝඩිමට රිංගා ඇගේ තනපට ඇතුළු යට ඇඳුම් සිඹිමින් ලාලසාත්මක පුරුෂ භාවයේ ශාපය ඔහු වේදනාවක් සේ විඳින විට ය. හෙතෙම ලිංගික පුලන්නෙකු නො වූවත් සිසුවිය ඇතුළු වූ ආත්මරාගී ෆැන්ටසි විභවය ස්වකීය නිවස තුළ නිෂ්ක‍්‍රීය පරාරෝපිතයෙකුගේ ශුන්‍යතා නිහඬ බවකට හෙතෙම තල්ලූ කර දමයි. බිරිඳ යහනට පිවිසෙන හැම විට ම නාභිය මත අත තබා බිරිඳකගේ සින්නක්කර ලිංගික කලාපය ඇයට තහනම් කලාපයක් බවට පත් කරයි. බිරිඳට ලිංගික කලාපය තහනම් කරයි; වාරණය කරයි.
‘සර් මගේ ඇඟේ හැම අස්සක් මුල්ලක් ම දන්නවා. සර් හොයන්නෙ මොනව ද කියලා මට තේරෙන්නේ නෑ. තේරුම් ගන්න ඕනත් නෑ. මැඩම් ළඟ නැති - මං ළඟ තියෙන මොකක් දෝ දෙයක් සර් හොයනවා. මං කැමැතියි සර්ගෙ ආශාව වෙලා ඉන්න. ඒ වෙනුවෙන් මගේ මුළු ජීවිතය ම කැප කරන්න ඕන මට. සර් මගේ ජීවිතේ හරහා චාරිකාවක් යනවා. මං ඒක විඳිනවා. මැඩම් හිතනව ද සර් කරන්නෙ වැරැද්දක් කියලා ? මට එහෙම හිතෙන්නේ නෑ. ඇයි මං එහෙම හිතන්නේ ? තමන්ගේ ජීවිතේ මඟහැරුණු ආශාව තව කෙනෙක් තුළ හොයන එකේ වැරැද්ද මොකක් ද?’
සිසුවිය දුරකථන ඇමතුමකින් පිරිමියාගේ ගෘහමූලික ආත්ම වංචාව හා බිරිඳකගේ ආරක්ෂණවාදී ස්වාමීත්ව සාරය කීතු කීතුකොට දමන්නී ය. ‘බලය පිරිමින් අත ය’ යන පුරුෂ මූලික ජීවන වංචාව පවුල් සංස්ථාව පිළිබඳ ශාස්ත‍්‍රාලීය බොරුව ඈ කුඩුපට්ටම් කරන්නී ය. ධනේශ්වරයේ කුඩා ම ඒකකය වූ පවුලේ කුටුම්බගත අයිසිං ආවරණය සිසුවියගේ ශරීරය හා ලිංගය විසින් පාලනය කරන, ව්‍යාජ ප‍්‍රගතිශීලී ජීවිත කුඩුකරන, කුහක ඊනියා සදාචාරයේ රෙදි ගලවන, අප පැළඳි ආරෝපිත රංගන වෙස් මුහුණ ගලවා අප අතට ම දෙන නාට්‍යෝචිත ගැටුම සිනමා වියමන තුළ තීව‍්‍ර ව නැගෙන්නේ
ඉනික්බිති ව ය. ආචාර්යවරයාගේ කොළපාට ඇස්වලට සම්මුඛ වන සරාගී නිරුවත් රූපය බිරිඳගේ උත්ප‍්‍රාසයට හසුවන්නේ තමන්ට නැති ඇයට ඇති අනෙකා හඹා යන වස්තුව අහිමි වීමේ ස්ත‍්‍රී වේදනාව ජුගුප්සාවෙන් ප‍්‍රකාශ කිරීමෙනි:
‘ඔයා දැන් හීනියට හිටියට පස්සෙ වයසට යනකොට අල ගෝනියක් වගේ මහත් වෙයි.’
වයස් පරතරයේ ආදරය යනු පරම්පරා අතර මිත‍්‍රත්වයේ රෝමාන්තික ස්වරූපය යි. එය පිරිමියාගේ අරුමැසිවාදී කලාපයයි. හුදෙකලා කාමරයක පොරෝනය තුළට ගුලිවෙන සිසුවිය ‘මං කාටත් හොරෙන් සර්ට පෙන්වන්නම්’ කියා ඔහුට සම්මුඛ කරන්නේ ආශාවේ වස්තුව තුළ ඇති රෝමාන්තික සිහින නිමේෂය යි.
‘ඔයාට ජීවිතයක්, මට පවුලක්, මේක භයානක සෙල්ලමක්’ බව ආචාර්යවරයා පුන පුනා සිසුවියට කියද්දී ඈ බිරිඳට දුරකථනයෙන් කියන්නේ ‘සමනල්ලූ’ හා ‘සම්බා හාල්’ පිළිබඳ කතාව ම ය.
‘මං ආසයි සර්ගේ දරුවෙක් මගේ බඬේ දරාගෙන ඉන්න’
විශ්වවිද්‍යාල දේශන මගහරින මහාචාර්යවරයාත් සිසුවියත් නිතර ම යන්නේ මුහුද අද්දර අවන්හල් වෙත ය. මුහුදත් අවකාශයත් අතර ක්ෂිතිජයේ ඔවුන් සොයනා ජීවිතය මායාවක් ව පවතිනු පෙනේ. හඳගම ‘ඇහැරෙන්න’ යැයි කියන්නේ එකී ක්ෂිතිමය සිතුවිල්ලෙන් ද? සාංචි විහාර චාරිකාව, අශෝක අධිරාජ්‍යයේ නිල බිරිඳ සහ පෙම්වතිය, ඡුද්දන්ත ජාතක කතාවේ, සඳත් විල අසබඩ චුල්ල සුභද්‍රා හා මහා සුභද්‍රා කථාව ආදි බෞද්ධ පුරාණෝක්ති කතා සියල්ල ලස්සන සාධුලා ලස්සනට බණ කියන චිත‍්‍රපට කතා ලෙස සිසුවිය බැහැර කරන්නී ය. ආචාර්යවරයාගේ බිරිඳ තරුණ ගෑනු ළමයි පන්සල් යාම ‘පිස්සුවක්’, ‘විකාරයක්’ යැයි කියන්නේ ද බණ කතා තුළ හමුවන ප‍්‍රබන්ධයන්හි යටි අරුත් යට සැඟවුණු ආගමික ස්ථානයන්හි ගුප්ත වනචරකම් දැන නො දන්නා සේ සිටින උවැසි උවැසියන්ගේ ආගමේ අබිං මත සබුද්ධික විචාරය හා ජීවිත විනිස මත්කොට ඇති නිසා ම ය. කුටුම්බ ජීවිත ප‍්‍රශ්නාවලියෙන් ලෞකික ගැටලූ සඳහා ආගමේ පිහිට පැතීම ඔසුවක් නො ව මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමකි. මෙකී යථ සිසුවියට සම්මුඛ වන්නේ ගැටිස්සී කාලයේ ම ය. නාගරික අසපුවෙන් නො ව සිසුවියට අප තිගස්සවන අවලස්සන ඇත්ත හමුවන්නේ ගමේ පෞරාණික පන්සලෙනි. ලස්සන ස්වර ගායනා සහිත පැණි තැවරුණු බණකථා විහිළු යට ඇති පාදඩ සන්දර්භය ඈ ප‍්‍රත්‍යක්ෂ කොටගන්නී ය.
‘හාමුදුරුවෝ බණ කියනකොට මං ඉස්සරහින් වාඩි වුණා ම බණ වරදිනවලූ. ගමේ ගෑනු මාව එළවනවා.’
කුටුම්බයෙන් බැට කන ගැහැනිය ස්වකීය ජීවිතය ඉල්ලා සිටින බණ දේශන මායාවේ ස්වප්නය, මෙසේ පා පහර දී බිඳ දමනවාට ගැහැනු කැමැති නැත. මහාචාර්යවරයාගේ බිරිඳ බුදුන් වඳින, පන්සල් යන කිසිදු විටෙක බුදු බණ සජ්ඣායනා කරන්නේ නැත. ශබ්ද නගා පන්සිල් ගන්නේ නැත. ත‍්‍රිපිටකය, ධම්ම පදය කියන්නේ නැත. බොහෝ ගැහැනු මෙන් ඈ ද ජීවන වේදනාව රහසින් මුමුණන්නී ය. සිනමා පටයේ දී හඳගම කරන්නේ ඔවුනට හොරෙන් ළැම කුහරයේ කැමරාවක් සහ රෙකෝඩරයක් සඟවා අප හමුවේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ප‍්‍රතිනිෂ්පාදනයක් ලෙස චිත‍්‍රපටය මුදා හැරීම ය. චරිත සතරක් නො දන්නා ගුප්ත ජීවිත පතුල විනිවිදින කැමරාවක් තිබුණ නිසා කිසිවකු අධ්‍යක්ෂවරයාට දොස් කිව යුතු නැත. සිනමාව අප අපව ම කියවන මාධ්‍යයක් වන්නේ ම අප තුළ රහසේ සඟවන ඇස්, කන්, නාසාදි පංචේන්ද්‍රය අනෙකා කියවන නිසා ම ය. එහෙයින් තමාගේ ආත්ම ප‍්‍රතිබිම්බය හෙළි වෙතැයි බියැති කිසිවකු මේ චිත‍්‍රපටය මගහැර යනවා මිස ඒ තුළින් තමා කියවා ගන්නේ නැත. චිත‍්‍රපටයේ සංවාද හා රූපාවලිය යට වියා ඇති යටි වියමන සබුද්ධික දේශපාලන කතිකාවකට දොරගුළු විවර කරන්නේ ය. විශේෂයෙන් ම චිත‍්‍රපටය ආගමික සන්දර්භයක් මත එළා අතුරා තිබීම මේ මොහොතේ සියලූ ආගමික රෙජීම් කියවා ගැනීමට මග හසර කියනා යතුරකි. සිසුවිය ගැටිස්සී කාලයේත් බණ අසනා විට සිටි ඉරියව්ව අප දැක නැත. එය දළ රූපයක් සේ මවාගත හැකි වන්නේ දෙතුන් වතාවක් මහාචාර්යවරයාගේ කාරයේ පිටුපස අසුනේ සිට බෝකුව දමමින් ඈ ඉදිරි අසුනට පනින ජවනිකා සිහිකිරීම ඔස්සේ ය. පන්සලේ ඉදිරි පෙළ වාඩි වී ඈ ‘අපාය’ ප‍්‍රදර්ශනය කළ විට බණ දෙසන්නාගේ නිල ඇඳුම යටින් අපායේ යන්න ආසා කරන ‘පව්කාරයෙකු’ සිටින බව අප සිනමාපටය හරහා කියවා ගත යුතු ම ය.
සුහිතෘ දියණිය සමඟ නිල පිතෘ ගනුදෙනුවක් කරන පියා ‘හායි’ කී පමණින් දියණිය එකී කුටුම්භ සම්ප‍්‍රදානය තුළ දියවී සම්මතය තුළ ආකෘතික ජීවිතයකට පිවිසෙන්නේ නැත. ජාත්‍යන්තර පාසලක උසස් පෙළ කරන වයසේ සිසුවිය තාක්ෂණික මෙවලම් තුළ සොයන්නේ විනෝදය නො ව ජීවිතය බව පැහැදිලි ය. දහදොළොස් වතාවක් පියා චොක්ලට්, සීනිබෝල ගෙනවිත් දී ‘හායි’ කී පමණින් ඈ යුතෝපියාව බිඳ දමා බිත්තර කටුවෙන් එළියට කළ එළි බසින්නේ නැත. රවුම් වේවැල් පුටුවේ ඈ නිරන්තර ව සිටින ඉරියව්වත්, මාතෘ ගර්භාෂයක දරුවෙකු ගුලි වී සිටින ඉරියව්වත් සමාන ය. මේ ගර්භාෂය සිදුරුකොට මහාමේරු පර්වතය පොළොවේ ගසන, සිහින කුඩුකරන ඉවසිය නොහැකි වේදනාවකින් ඈ යථාර්ථයට එළිබැසිය යුතු ය.
‘ඇයි මොකද තමුසෙට රිදෙනව ද?’
යන දියණියගේ ප‍්‍රකාශය පියාට එරෙහි පළමු සිසේරියන් සැත්කමේ පිහිපාර බව පැහැදිලි ය. අනන්‍යතා අර්බුද සතරක, සතරමං සන්ධි නිවසක සතර අත දිවෙන අසංවිධිත සිනමා වියමන සංවිධිත කියවීමක් ලෙස හැදෑරීමට ආචාර්යවරයාගේ රූපවාහිනී සාකච්චාව සියල් මාර්ග නො ව එක් මගක් විවර කරන්නකි. ‘ඒ ළමයා කොහොම පාලනය කරන්න ද තේරෙන්නේ නෑ’ යන අභ්‍යන්තරික වාගාලාප පාපොච්චාරණය සිසුවියට පමණක් නො ව ස්වකීය දියණියට ද අදාළ කියවීමකි. යථාර්ථය යනු සත්‍යය නො වන්නේ ය. යථාර්ථය යනු පවතින සහ පැවතුණු දේ ය.
‘එකවර ම ජීවිතවල අනන්‍යතා ගැටුමක් ඇති වෙනවා. හැම තැන ම මිනිස්සු තමන්ව හොයනවා. මම කවුද? මේ සමාජයේ මගේ ස්ථානය කුමක් ද? යනාදි වශයෙන්; තමන්ගේ දුබලතාව නිසා හැමවිට ම අල්ලා ගන්න යමක් හොයනවා.’
හඳගමගේ චිත‍්‍රපටය මෙන් ම මේ ලියවිල්ල ද අසංවිධිත ය. ‘ඇහැරෙන්න’ යැයි හඳගම හඬ නගා කීව ද මේ මනෝභ‍්‍රාන්තික සිහිනයෙන් අවදි විය නො හැකි ය. සිසුවියගේ විලවුන් සුවඳ සමඟ ආචාර්යවරයාගේ පපුව පහුරු ගෑ නිය පහරවල ලේ සුවඳ තවමත් මට දැනේ. ‘එයා එක්ක එන්න, පාළුයි.’ යන්න තුළ ම කියවෙන්නේ ‘වේදනාවේ විනෝදය’ නැවත ජීවිත තුළට කැඳවීමකි. ඈ ගේ හැම තැනමත් ජීවිත පතුලේත් පිච්ච මල් සුවඳ තවරා ගොස් ය. ‘අර බැල්ලි ආව නේද?’ යන පරස්පරය අනෙක් අතට කියන්නේ ‘බැල්ලිගේ සුවඳ’ මේ මොහොතේත් ස්වකීය ජීවිතවලට අත්‍යවශ්‍ය බව ය. ලේ සහ මල් සුවඳ මෙන් ය. චිත‍්‍රපටයේ කිසිදු චරිතයකට නාම, ග‍්‍රාම, වග වාසගම් නැත. කුල, ගෝත‍්‍ර, දේශ සීමා නැත. ස්ථාන කිසිවක් අනන්‍යතාව සලකුණු නො කරයි. කාලය සහ අවකාශය අවිනිශ්චිත ය. එහෙයින් අපට කැමැති තැනක, කැමැති රූප රාමුවක කැමති කාලයක පෙනී සිටිය හැකි ය. බීජ බිංදු කාර්ය ලෙස කිසිවකුට මුල, මැද, අග සහසම්බන්ධයක් චිත‍්‍රපටයේ නැතත නැත. කිසිදු ජීවිතයකට නිශ්චිත ආරම්භයක් හෝ අවසානයක් නැත.
තවමත් අනෝරා වැටෙන වැස්ස ය. පන්සලෙන් ඇසෙන පාතාල වෙඩි හඬ ය.
‘පට්ට වේසි, දැන් එනව මෙතන රහත් වෙන්න’
කියා ඇරඹෙන පන්සල් සටන මාරාන්තික ව එකිනෙකා මරාගෙන කන අශීලාචාර හයිනා යුද්ධයකි. මල් වට්ටිය බිම දමන උවැසිය බුදුන්ට පහන් පිදු යකඩ කණුව මාරාවේෂයෙන් ඔසවා ගන්නී ය. ඒ අනෙකා මරාගෙන
කන්නට ය. පන්සලේ පමණක් නො ව ලෙඩ සුව කරන කතෝලික ක‍්‍රිස්තියානි පල්ලි ද, ගල් රූප වඳින කෝවිල් ද, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට කිහිලිකරු සපයන ඉස්ලාම් දහම ද ඇතුළු සියලූ ආගම් හා එකී මර්මස්ථාන මේ කියවීමට අයත් ය. ශිෂ්ට ජීවිත සංවාදයක් තුළ සබුද්ධික ප‍්‍රඥාව මෙහෙයවා දෘෂ්ටිවාදී තලයක නොවිසඳුණු ගැටලූවක් පන්සලේ දී; ආගමික මර්මස්ථානයන්හි දී අසංස්කෘතික ව පුපුරා යන්නේ ය. කුටුම්බයට ඇතුළු වූ විට සිසුවියගේ ‘ඉලක්කය’ වරදිනවා සේ ම ආගමික මර්මස්ථානයේ දී ජීවන මග
වරදින්නේ ය. චිංචිමානවිකාවන්ගේ රෙද්ද කැඩූ විට ඇත්තේ දරමිටි නො ව ආශාවේ වස්තුව ය.
චිත‍්‍රපටය නැරඹූ දින මධුවිතක් තොලගා මේ ප‍්‍රශ්න පත‍්‍රය සාකච්ඡා කිරීම අපි හිතාමතා මඟහැරියෙමු.
දැන්; තනි තනිව හුදෙකලාවේ විශාදයට පත් වී ආදම්ගේ ඉල ඇටය සෙවීමේ තේරුමක් නැත.
‘නිකං අඬන්න පුළුවන් නම් හිනාවෙන්න බැරි ඇයි?’ ‘ඇගේ ඇස අග’ දී හඳගම ප‍්‍රශ්න කරන්නේ ය. ඉතිං ‘උඹලට නිකං හිනාවෙන්න පුළුවන් නම් මට අඬන්න බැරි ඇයි?’ යනුවෙන් මම පෙරළා හඬමින් ප‍්‍රශ්න කරමි. හඳගම කීවාට අප ඇහැරෙන්නේ නැත. ඇහැරිය යුතු ද නැත. මට කීමට ඇත්තේ ද හඳගමගේ සම්බා හාල් හා සමනල්ලූ සිරීපාදෙ ගිය කතාව ම ය.
‘අපි මෙතනින් ඉක්මනට යමු.’
- උපුල් ශාන්ත සන්නස්ගල -

2 comments:

  1. හඳයා උපතින්ම විකෘති මනසක් තියන එකෙක් බව මේ කුනුහරපයෙන් පෙනෙනවා. මූ බ්‍රොතල් එකක් දාගත්තනම් මීට වැඩිය හොඳයි.

    ReplyDelete
  2. අනිවාර්යයෙන් බැලියයුතු කතාවක්..

    ReplyDelete

Powered by Blogger.