Open top menu
Thursday, June 30, 2016
ඉල්ලං කෑමේ දේශපාලනය

"ඉල්ලං කෑම'' ''ඇදගෙන නෑම'' යන්න වනිතාර්ථයෙන් දෙකක්‌ වුවද,ව්‍යංගාර්ථයෙන් එකම අදහසක්‌ දක්‌වයි. සමහරවිට ඉල්ලං කෑම සුවදායි එකක්‌ විය හැකි වුවද බොහෝaaaවිට ගතට මෙන්ම සිතටද සුවදායි නොවන අවස්‌ථාවන්ද යෙදේ. ඒ නයින් ආපසු හෑරී බලන කල 2015 වසර වූ කලී ඉල්ලං කෑමේ වර්ෂය ලෙසට හැඳින්වුවද වරදක්‌ නොවේ.

ආරම්භයේදීම එනම් ජනවාරි 08 වැනිදා 2015 වසරේ ඉල්ලං කෑමේ ආරම්භය ලෙසට සැලකිය හැකිය. ඉදිරියට වර්ෂ දෙකක්‌ පුරාවට මෙරට ජනපතිධුරය දැරීමේ හැකියාව තිබෙද්දී එවකට හිටපු ජනපතිතුමා තම ධුරය අහිමිකර ගත්තේ කලට පෙර ජනපතිවරණය පැවැත්වීමේ ප්‍රතිඵලය ලෙසිනි. කලින් පැවැත්වීමේ හේතුව වශයෙන් අදටත් ජනතාවගේ අදහසවී තිබෙන්නේ ජ්‍යෙdතිෂයේ බලපෑමක්‌ නිසා බවයි. ඒ වෙනත් සාධාරණ හේතුවක්‌ මෙතෙක්‌ ඉදිරිපත්ව නැති හෙයිනි. මෙහිදී අනුමාන කිsරීමට යමක්‌ ඉතිරිව ඇත්තේය.

හිටපු ජනාධිපතිවරයා පරදින බව තමා දැනසිටි බවද එහෙත් එවැනි දෙයක්‌ ඔහුට පැවසීමට තරම් සිතක්‌ තමාට තිබුණේ නැතැයි ජ්‍යෙdතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පැවසු බව බ්‍රිතාත්‍ය ගාඩියන් පුවත් පතට කියා සිටි බව ''දිවයින'' පුවත් පත 2015.01.15 දින වාර්තාකර සිටියේය. ජනපතිවරණය සියලු කටයුතු සඳහා ශුභ වේලාවන් සදාදුන් මෙම පුද්ගලයාගේ එම කියුම විශ්වාස කටයුතුද? පරදින බව පැවසුවා නම් එදින ජනපතිවරණය නොපවත්වන්ට ඉඩ තිබුණ හෙයිනි. එමගින් පෙනී යන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌, ජාත්‍යන්තරය හඳුනාගෙන සිටි ''ජ්‍යෙdතිෂය'' හරහා ක්‍රියාත්මක වී ඇති බව නොවේද?

කෙසේ හෝ ජ්‍යෙdතිෂයට වහල් වී 2015 වසරේ පළමුවන ඉල්ලං කෑම මෙපරිද්දෙන් ක්‍රියාත්මක විය. ඒ බව තහවුරු වන්නේ ''තමා තව දුරටත් ජ්‍යෙdතිෂය විශ්වාස නොකරන බව හිටපු ජනපති පකිස්‌තාන පුවත් පතකට පවසා ඇත.'' යන ප්‍රකාශයෙනි. (2015.03.03 දින දිවයින පුවත්පත) මෙයින් පෙනී යන්නේ ඊට පෙර එතුමා ජ්‍යෙdතිෂය විශ්වාසකර ඇති බවය.

''මහරහතුන් වැඩි මග ඔස්‌සේ'' නමැති ලිපි පෙළ ලියන යතිවරයාණන්ද මේ පිළිබඳව අදහස්‌ දක්‌වන්නේ 2015-01-25 දින දිවයින ඉරිදා සංග්‍රහයෙනි. ඒ මෙසේය.

''.... ජ්‍යෙdතිෂය මුල්කර තැනදීම එතුමා තුළින්a බුqද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසය, කර්ම ඵල කෙරෙහිත් විශ්වාසය තමන් ජීවිත කාලයත්aaaa තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ පිංකම් පිළිබඳ, විශ්වාසය එතුමන් තුළින් බැහැරව යනවා. තිරස්‌චීන ධර්මයක්‌ වන ජ්‍යෙdතිෂය කෙරෙහි විශ්වාස කොට ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරව යනකොට එතුමා තුළ සකස්‌ වන්නේ මිථ්‍යාදෘෂ්ටිකභාවය අදාළ ධර්මතාවන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයට පෙර එතුමා මැතිවරණයකට යන්නේ මාරාවේශය නිසාමය කියල. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණ පැවැති කාලයම මාරාවේශයෙන් පීඩාවට පත්a වු මාසයක්‌ බවට පත්වුනා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්‌ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම, චෝදනා, විවේචන, මිල ඉහළයැම නොසිතු ආකාරයට සිද්ධවුනා. මනුෂ්‍යයන් කුසල් මූqලයන් ගැන මොහොතකටවත් නොසිතා චෝදනා කරගත්තා මදිගසා ගත්තා. ස්‌වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්‌කර ගත්තා. තමන් මාරාවේශයට ලක්‌වු අයෙක්‌ය කියල දකින්න කාටවත්ම සතිය,සිහිය තිබුණේa නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්‌කොට මේ සියලු කොටස්‌ මාරාවේශයට පත්කරලා ජනතාව අවුස්‌සල මැතිවරණ දිනයේදීත්

, ඊට පෙර දිනත් , ඊට පසු දිනත් සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලී වුනා. භික්‌ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක්‌ නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වා දෙන ධර්මානුකූල විග්‍රහයක්‌ පමණයි....''

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා 2015.01.08 දින දක්‌වාම අගමැතිධුරය හෙබවූq පුද්ගලයා ඉවත්කොට සුළුතරයේ විශ්වාසය දිනාසිටි පුද්ගලයකු අගමැති ලෙස පත්කිරීමට නව ජනපති කටයුතු කළේය. එවිට කළ යුතුව තිබුණේa නව අගමැතිවරයාට එදිරිව විශ්වාසභංගයක්‌ ගෙන ඒමය. පසු කලකදී ප්‍රවීණයෙක්‌ ක`දුළු සැළුවේ පක්‌ෂයට හා ජනතාවට තමා ගෙන්වූ අඩුපාඩුව මතක්‌වීම නිසා වියහැකිය.·

භයානකවූත්, ප්‍රකටවූත්, අතිශයින්ම නොමනා ඉල්ලං කෑම වුයේ ශ්‍රී.ල.නි.ප ටත්ය ජනපතිතුමාටත් ආණ්‌ඩුවටත් එදිරිව වෙනත් පක්‌ෂයකින් තර`ග කළ පුද්ගලයකුට පක්‌ෂයේ සභාපතිකම භාරදීමය. කාටත් හොර රහසේම සිදුකළ ඒ කටයුත්තේ සැබෑව දන්නේ දෙදෙනකු පමණක්‌ම බැවින් ඒ ගැන සඳහන් නොකරමි. හැබැයි එකක්‌ පැහැදිළිය. ශ්‍රී.ල.නි.ප යේ සභාපතිකම බලෙන් කිසිවකුට දීමට හෝ බලයෙන් ගැනීම හෝ කළ නොහැකි බවය. හිටපු සභාපති තම ධුරය අත්හරින්නේ නම් (ඒ සඳහා නිදහස හා අයිතිය ඔහුට ඇත.) ඊළ`ග සභාපතිවරයා තේරිය යුත්තේ පාක්‌ෂිකයන් විසිනි. පුද්ගලික බූදලයක්‌ ලියන්නාසේ තනි මතයට එවැන්නක්‌ කිරීම සදාචාරාත්මක නොවන අතර ජනසම්මතවාදයටද පටහැනිය. ඒ කරන ලද නොමනා ක්‍රියාවේ ප්‍රතිඵල භුක්‌ති විඳි හා විඳින අතර, අනාගතයේදීද භුක්‌තිවිඳීමට සිදුවනු නියතය.

මෙහිදී අතීත සිදුවීමක්‌ දක්‌වනු කැමැත්තෙමි. 1964 දී ශ්‍රී ලංකා - සමසමාජ සභාග ආණ්‌ඩුව පැරැද්දවීම සඳහා එ.ජා.ප.ය සම`ග ඡන්දය ප්‍රකාශ කළේ ශ්‍රී.ල.නි.ප.යේ සී.පී.ද සිල්වා මහතා ප්‍රධාන කණ්‌ඩායම ආණ්‌ඩුව පැරදුනි. ඉක්‌බිති පැවැත්වූ මහමැතිවරණයේදී ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී.ල.නි.ප.ය පැරදුනි. එවිට එතුමිය පක්‌ෂයේ සභාපතිධුරය සී.පී ද සිල්වා මහතාට භාරදීමට කථා කළේ නැත. භාරදුන්නේද නැත. සී.පී.ද සිල්වා මහතාද එවැන්නක්‌ ඉල්ලුවේද නැත.

2015 අගෝස්‌තු 17 වැනිදා පැවැත්වූ මහමැතිවරණය සඳහා හිටපු ජනපතිට ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා දුන්නේ කුමකටද යන්න මැතිවරණ සමයේදීත්, ඉන් පසුවත් සිදුවූ සිදුවීම් වලින් පැහැදිළිය. බෙදුනොත් පැරදෙනු ඇතැයි යන භීතිකාවෙන් මුර්ජාකරවාගෙන තම සිතැ`ගි ඉටුකර ගැනීමේ කූටෝපාය ක්‍රියාත්මක විය. එකට සිටියාට දිනුවේද නැත. පක්‌ෂයේ සභාපතිවරයාම පක්‌ෂය පරාද කරවීමට කටයුතු කළ බව ප්‍රසිද්ධ කරුණකි. වෙන්ව සිට පැරදුනානම් සැබෑ විපක්‌ෂය නියෝජනය කරන්නේ ඔවුන්ය. එ.ජා.ප.යට එදිරිව සටන් කළ "එක්‌සත් පක්‌ෂය'' ප්‍රතිඵල වලින් පසු එ.ජා.ප.ට එකතු විය. එහෙත් 1977 ශ්‍රී.ල.නි.ප.යේ අන්ත පරාජයෙන් පසු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට එ.ජා.ප. රජයට එක්‌වන ලෙස යෝජනා කෙරුණේa ඇයට විදේශ ඇමැතිකමද ලබාදෙන බව සඳහන් කරමිනි. පණිවුඩය යෑවුණේ මෛත්‍රිපාල සේනානායක මහතා අතය. මැතිනිය කිසිසේත්ම ඊට එක`ග නොවීය. එදා මෙදා වෙනස මැදහත් අය තේරුම් ගනිත්වා.

තම පක්‌ෂය පැරදවීමට ලෝකයේ කිසිම සභාපතිවරයකු= ක්‍රියාකොට ඇති බවක්‌ දැනගන්නට නැත. පක්‌ෂයටත් එහි ප්‍රතිපත්තීන්ටත් දක්‌වනු ලබන බොරු ආදරය එමගින්වත් පැහැදිළි නොවීම ගැන එ.ජා.ප.ට මුක්‌කු ගසන ශ්‍රී.ල.නි.ප. පාක්‍ෂිකයන්ට නොතේරීම එම පක්‍ෂයේම අවාසනාවකි. මැතිවරණ සමයේදීම පක්‍ෂයේ ලේකම් මෙන්ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම්ද එළවා දැම්මේ නිකම්ම නොවේ. මහමැතිවරණයෙන් පැරදුන අපේක්‍ෂකයන්ට මැති ඇමැතිකම් ලබාදීම එක්‌ අරමුණකි. පැරදුන අයට සංස්‌ථා හා රජයේ විවිධ ආයතන වල විවිධ ධුර ලබාදීම එකකි. එහෙත් ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කෙරුණවුන්a ජනතා නියෝජිතයන් ලෙස පත්කිරීම මොන ආකාරයේ යහපාලනයක්‌ද? මොන ප්‍රජාතන්ත්‍රවාදයක්‌ද? මේ තත්ත්වය හැඳින්වීමේලා උචිතම ආකාරය වන්නේ "ජඩපාලනයක නව ප්‍රජාතන්ත්‍රවාදය'' ලෙසිනි.

තමන් පැරදුන බව මහජනයා විසින් ප්‍රතික්‌ෂේප කෙරුව බව හොඳින්ම දැන දැනම මැති ඇමැතිකම් භාරගන්නේ රෙදිත් ඇඳගෙනදැයි අපට ප්‍රහේලිකාවකි. ලැඡ්ජා නැතිකම මහමුදලි කමටත් (වඩාත් හොඳින් කියනවානම් ජනාධිපතිකමටත්) වඩා ලොකුය.

''අප්පච්චි මලා''යයි කියූq අයට බාප්පොච්චියෙක්‌ හා කුඩම්මා (නපුරු) කෙනෙක්‌ සිටින බව මතක්‌ වන්නට ඇත්තේ තමන්ට අහිමිවී ගිය බලතල හා වරප්‍රසාද එමගින හෝ යළි ලබාගැනුමට මිස රටට ජාතියට හා ජනතාවට ඇති ආදරයකින් නම් නොවන බව පැහැදිළිය.

''පක්‌ෂය කැඩීමේ බලවත් පාපය'', ''නව පක්‌ෂයන්ට යන එන මං නැති බව'',අවුරුදු දෙකකින් එ.ජා.ප.යෙන් ඉවත්වීම'',විනය කැඩුවන්ට උපරිම ද`ඩුවම්'','' ශ්‍රී.ල.නි. පාක්‌ෂයෙන් අගමැතිවරයෙක්‌'' වශයෙන්වූ සටන් පාඨ ඔස්‌සේ දැනටමත් ''අබ්බගාතයන් '' වී ගෙන යන සැබෑ ශ්‍රී.ල.නි. පාක්‌ෂිකයන්ට, ගිලගන්නේ නම් ලනු එමට ඇති බවව කියාපායිs ලනු ගිලීමටයි හා ඉල්ලං කෑමට ඕනෑම පුද්ගලයකුට,සංවිධානයකට, ආයතනයකට හා පක්‌ෂයකට පූර්ණ නිදහස ඇත්තේය. එහිදු බාධාවක්‌ද නැත. 2015 දී පමණක්‌ නොව මහා පරිමාණයේ ඉල්ලං කෑමක්‌ මීට පෙරද සිදුවී ඇත්තේය. එයද විමසා බලනු වටී.

අභිනවයෙන් බිහිකෙරුණුq පළාත් සභා සඳහා නියෝජිතයන් තෝරාගැනීමේ පළමු ඡන්දය, ශ්‍රී.ල.නි.ප හා මහජන එක්‌සත් පෙරමුණ වර්ජනය කළේ එම සභා බිහිකිරීමට විරෝධය පෑමටය. ප්‍රභාකරන්ගේ හා කොටි සංවිධානයේ පරාජයත් සම`ග කළ යුතුව තිබුණේ එම පක්‌ෂ දෙකේ එම ප්‍රතිපත්තිය වහා ක්‍රියාවට නැංවීමය (බාධක නැතුව නොවේ.)

නමුත් පළාත් සභාවන්ට තේරීව පත්ව සිටි ඇත්තන් තම වරප්‍රසාද හා බලතල අහිමි වන නිසාවෙන් පළාත් සභා ආහෝසි කිරීමට කැමැත්තක්‌ දක්‌වන්නේ නැත.

ඒ රට ජාතිය හෝ ජනතාව ගැන සිතා නොවේ.තම මඩිය තරකර ගැනීමේ වාසිව තකාය.

ශ්‍රි.ල.නි.ප.යේ දෙමාපියන්(බණ්‌ඩාරනායක මහතා හා මැතිනිය) විසින් රැකගෙන ආ එහි ප්‍රතිපත්ති, කඩාදැමූ හැම විටකම විපත සිදුවූයේ ජනතාවටය. පළාත් සභා පිළිබඳවද කිවයුත්තේ එයයි.

ශ්‍රී.ල.නි.ප. ප්‍රතිපත්තිය අමු අමුවේ කැඩූ බවට ජීවමාන සාක්‌ෂියක්‌ සපයා ඇත්තේ මෙසේය. ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කරනු ලැබූ (පරාජය වු) එහෙත් මන්ත්‍රීධුරයට හා ඇමතිකමට පත්කරනු ලැබූ එක්‌ පුද්ගලයකු ප්‍රකාශකර සිටියේ පක්‌ෂයේ තීරණය අනුව ඒවා භාරගත් බවය· ජනතාවගෙන් ප්‍රතික්‌ෂේප වූවනට මංත්‍රීධුරයක්‌ පවා දීම ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිය නොවේ. එය එම පක්‌ෂයේ ජනසම්මතවාදයද නොවේ. දී කිරට බළල්ලුන්(බල්ලෝත්) සාක්‌කිලු·

පක්‌ෂයක්‌ බිහිකළ යුත්තේ ජනතාව සඳහාය. ජනතාව වෙනුවෙන්ය ඒ මිස පක්‌ෂයක්‌ (විශේෂයෙන් එහි ප්‍රතිපත්තිය අමු අමුවේ කඩා දැමු) වෙනුවෙන් ජනතාව බිහිවන්නේ නොවේ. මෙම සත්‍යය අනාගත කටයුතු වලදී පිටුබලයක්‌ වේවා·

ආරියපාල මුදලිගේ
Read more
Wednesday, June 29, 2016
‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’ – වික්ටර් අයිවන්

ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත අධ්‍යයනය. මෙහි විශේෂත්වය තමයි දෙමළ උගතෙක් විසින් සිංහල කලාව පිළිබඳව දැවැන්ත ගවේෂණයක් සිදුකිරීම. එහිදී ඔහු සිංහල කලාව පිළිබඳව, ගෘහ නිර්මාණ ශිල්පය, පිත්තල, මැටි වළං සම්ප්‍රදාය පිළිබඳව සාකච්ඡා කිරීමට අමතරව ඒ කාලේ සිංහල සමාජයේ විවිධ වූ ස්වභාවයන් පිළිබඳව, ඒ අයගේ ජනවර්ග මිශ්‍ර ස්වභාවය, ඒ අයගේ ඉතිහාසය තුළ පැවති කුල භේදය පිළිබඳව තියුණු ගවේෂණයක යෙදුනා. සිංහල ජාතිකයින්ට විශේෂිත වූ සංස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා, ඒ වගේම කලාවක් සාහිත්‍යයක් තිබුණා, ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් හැඟීම බලවත් ලෙස ලබා දුන්න ප්‍රාඥයෙක් විදිහට ආනන්ද කුමාරස්වාමිව හඳුන්වන් පුළුවන්. කුමාරස්වාමිගෙ පර්යේෂණ කටයුතු ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. දකුණු ආසියාවටම විහිදුණු ආකාරයට ඔහු පර්යේෂණ කටයුතු සිදු කළා. ඔහු ඉන්දියාවෙත් විවිධ අංශ පිළිබඳව විශාල ප්‍රමාණයක් දේවල් ලියලා තියෙනවා.

කුමාරස්වාමි ලංකාවෙ ඉන්න කාලයේ, ලංකාවේ තිබුණු දියුණුම එකතුවක් ලෙස සැලකිය හැකි, ලංකාවේ ඇතිවෙන්න ඕනෙ ප්‍රතිසංස්කරණ මොනවාද යන කතිකාව සඳහා ගොඩනගාගෙන තිබුණු, ‛සිලෝන් රිෆෝමිස්ට් ලීග්’ නැමැති ආයතනයේ කැපී පෙනෙන පුද්ගලයෙක් ලෙස කටයුතු කළා. කුමාරස්වාමි එක්ක සසඳන්න පුළුවන් අන්තරජාතිකව එයාගෙ මට්ටමෙන් පිළිගැනීමකට ලක්වුණු උගතෙක්ව තාම අපිට ගොඩනගන්න පුළුවන් වෙලා නැහැ.

කුමාරස්වාමිගෙ මරණයෙන් බොහෝ කාලයකට පසු, 70 දශකයේ අවසානයේ දී කුමාරස්වාමිගෙ අත්පිටපත්, දින පොත්, පල නොකල ඇතැම් ලිපි ලේඛන ඇතුළත් පුස්තකාලය මිලදී ගන්න ලංකාවට අවස්ථාවක් ලැබුණා. නමුත් ඉතාමත්ම කණගාටුදායක තත්ත්වය තමයි ලංකාව ඒ එකතුව මිල දී ගත්තෙ නැහැ. ඒකට ඉල්ලපු මිල හුඟක් ලොකු නැහැ. ඒක ලක්ෂ 25 ක් පමණ මුදලක් වුණා. නමුත් ලංකා ආණ්ඩුව ඒක ගත්තෙ නැහැ. අවසානයේ දී ඒක මැලේසියාව විසින් මිල දී ගත්තා.
මම පුද්ගලිකව හිතන දේ තමයි නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි කියන එක. නෙළුම් පොකුණ, ආනන්ද කුමාරස්වාමිට වඩා ගොඩක් පුංචියි. ආන්නද කුමාරස්වාමිව අභිබවා අළුත් දෙයකට තැන ලැබිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. විශේෂයෙන්ම මේ වගේ කාලයක ඒක වඩාත්ම වැදගත්. අපිට ගෞරවයෙන් සමරන්න ඉන්න දෙමළ විද්වතුන් කිහිපදෙනා දිහා වඩා සංවේදීව බැලිය යුතුයි කියන එක තමයි මම හිතන්නෙ. ජාතීන් ගොඩනගන්න හීන දකින්න, නැවත මේ අය එකතු කරන්න හීන දකින සමාජයක් විදිහට මේ විදිහට ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ කියලා වෙනස් කරපු එක ඉතාමත් අවුල් ඇති කරන ප්‍රශ්නයක් කියන එක තමයි මගේ අදහස. ඒක නොවිය යුතුව තිබුණා.

වික්ටර් අයිවන්
ප්‍රධාන කර්තෘ – රාවය පුවත්පත

ආනන්ද කුමාරස්වාමි මාවත යළි පාදා ගැනීම
.silumina/2015/02/15/


ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා ආනන්ද කුමාරස්වාමි යන විද්වතා හඳුනන්නේ “මධ්‍ය කාලීන සිංහල කලා” යන කෘතියේ කතුවරයා හැටියට ය.

එකී සම්භාවනීය කෘතියේ පෙරවදනේ ආනන්ද කුමාරස්වාමි පඬිවරයා පිළිබඳව මෙසේ සඳහන් වේ.

“පෙරදිග සංස්කෘතිය ලෝ වැස්සන්ට හඳුන්වා දීමට උත්සාහ දැරු කිහිපදෙනා අතුරින් මුල් තැනක් ගත්තෙකි. ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි. කලා පිළිබඳ විශාරද දැනුමක් ඇති කරගත් මොහු කලා රසිකයෙක් පමණක් නොව ශාස්ත්‍රඥයෙක් ද, විද්‍යාඥයෙක් ද, දාර්ශනිකයෙක් ද විය.

පෙර අපර දෙ දිගම භාෂා හැදෑරූ මොහු ඉංග්‍රිසි, ප්‍රංස, ජර්මන්, ලතින් ග්‍රීක්, සංස්කෘත හා පාලි පිළිබඳ විශේෂ දැනුමක් ද, සිංහල, දෙමළ, හින්දි, පර්සියානු, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද භාෂා පිළිබඳ සාමාන්‍ය දැනුමක් ද ඇති කර ගත්තේ ය.”

“පෙරදිග දාර්ශනික සාහිත්‍යය මෙන්ම අපරදිග දාර්ශනික පොත්පත් ද බෙහෙවින් පරිශීලනය කළ මොහු පෙර අපර දෙ දිග සංස්කෘතිය පිළිබඳ තුලනාත්මක දැනුමක් ලත් මහා පඬිවරයෙකි.”

කලා ශිල්ප

භාෂා ශාස්ත්‍ර, විද්‍යා හා කලා ශිල්ප පිළිබඳව පර්යේෂණවල යෙදුණේ සෘෂිවරයකු මෙනි. ප්‍රසිද්ධියට කිසිසේත්ම කැමැත්තක් නො දැක්වූ මොහු පෙරදිග සංස්කෘතිය ලෝ වැස්සන් අතර පතුරුවාලීම තමන්ගේ ප්‍රධාන මෙහෙය වශයෙන් සැලකුවේ යැයි කිව හැකිය.

“1877 අගෝස්තු මස 22 වැනි දින කොල්ලුපිටියේ දී මෙලොව එළිය දුටු ආනන්ද කුමාරස්වාමි වැදගත් පරපුරකට අයත් වූ වෙකි. නයිට් නාමයක් (සර්) ලැබූ ප්‍රථම ආසියාතිකයා වශයෙනුත්; ඉංග්‍රිසි නීතිඥ මණ්ඩලයට ඇතුළුවීමේ භාග්‍යය ලත් ප්‍රථම ලාංකිකයා වශයෙනුත් සලකනු ලබන ශ්‍රිමත් මුත්තු කුමාරස්වාමි මහතාට දාව උපන් මොහු තමාගේ මුල් කාලය එංගලන්තයේ ගත කළ කෙනෙකි.”

විචිත්‍රත්වය

“1889 දී වයස අවුරුදු දොළහක් වූ අවස්ථාවේ දී ආනන්ද කුමාරස්වාමි ඉගෙනීම සඳහා එංගලන්තයේ වෛක්ලිප් විද්‍යාලයට බැඳුණේය. අවුරුදු 6 ක් එහි ඉගෙන ගෙන නවීන විද්‍යාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබුවේය. ඉන්පසු භූ ගර්භ විද්‍යාව හා උද්භිත විද්‍යාව පිළිබඳ පළමුවන පෙළේ ගෞරවය සහිත ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බී. එස්. සී. උපාධිය 1900 දී ලබාගත්තේය.”

“1903 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකු වශයෙන් කටයුතු කළ මොහු ලංකාණ්ඩුවේ ඛණිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් පත්වී ලංකාවට පැමිණ තම රාජකාරි කටයුතු සම්බන්ධව ලංකාවේ සෑම පළාතකම ගමන් කෙළේය.”

කොළඹ හත ආනන්ද කුමාරස්වාමි මාවත පසුගිය පාලන සමයේ දී ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස වෙනස් කෙරිණ. නව පාලනය යටතේ යළි එම නම වෙනස් කරමින් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙසට තැබීය.මෙහි දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආනන්ද කුමාරස්වාමි මාවත විවෘත කළ අවස්ථාවයි. රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා ද මෙහි සිටී.

“ඛණිජ වර්ග සොයමින් ගිය මේ ගමන්වලදී පුරාවිද්‍යාත්මක තොරතුරු, සමාජ විස්තර හා කලා ශිල්ප පිළිබඳ විස්තර ද සෙවීමට මොහු පෙලඹුණේය. මෙම පෙලඹීම මොහුගේ පමණක් නොව කලා රසිකයන් කාගේත් භාග්‍යයට හේතු විය. තමන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල දක්වමින් මොහු කලා ශිල්ප පිළිබඳ ලිපි ලේඛන ලියන්නට ද විය. මේ අතර ලංකාවේ කලා ශිල්ප බටහිරට හඳුන්වා දීම සඳහා විශාල ග්‍රන්ථයක් ද පිළියෙල කෙළේය. ඒ මධ්‍යකාලීන සිංහල කලා නමැති ග්‍රන්ථයයි.”

ආනන්ද කුමාරස්වාමි පඬිවරයා පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ලබා ගැනීමට ඉහත කී විස්තරය වුව ද ප්‍රමාණවත්ය. එහෙත් ඔහුගේ ජීවිතයේ විචිත්‍රත්වය තවත් ඈතට විහිදෙයි.

කුමාරස්වාමි පරපුරේ නිජබිම යාපනය වුවද, පසු කලෙක ඔවුහු කොළඹට පැමිණ හෙට්ටිවීදිය වාසස්ථානය කර ගත්හ. ඔවුහු ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රාහ්මණ වංශිකයෝ වූහ. කුමාරස්වාමිගේ පියා වූ ශ්‍රීමත් මුතු කුමාරස්වාමි වයස 45 දී මියයන විට ළදරු ආනන්දගේ වයස අවුරුදු දෙකකි. ඔහුගේ මව එලිසබෙත් ක්ලේ නමැති ඉංග්‍රිසි ජාතික කාන්තාවකි. සැමියාගේ අකල් මරණයෙන් කම්පාවට පත් වූ ඈ සිය දරුවා ද රැගෙන එංගලන්තය බලා ගියාය.

1902 ජුනි මස 19 දින ආනන්ද කුමාරස්වාමි එතල් මාරි පැට්රිජ් නම් ඡායාරූප ශිල්පිනිය සමඟ විවාහ වී අනතුරුව ලංකාවට පැමිණියේය. මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ ඇති ඡායාරූප සියල්ලම ගන්නා ලද්දේ එතුමිය විසිනි. වසර 13 කට පසු මේ විවාහය බිඳ වැටුණු පසු රතන් දේවි නම් ගායිකාව ආනන්ද කුමාරස්වාමිගේ බිරිය බවට පත්වූවාය.

රතන් දේවි ඉංග්‍රිසි ජාතික කාන්තාවක වුවද, භාරත සංගීතයට වශී වූ කලාකාරියකි. ඈ බ්‍රිතාන්‍යයේ හැම ප්‍රදේශයකම සංචාරය කරමින් ඉන්දියානු ගීත ගායනා කළ කලා ශිල්පිනියකි. මේ විවාහයෙන් ඔවුනට දරු දෙදෙනෙකු ලැබුණු අතර නාරද නම් පුත්‍රයා ගුවන් අනතුරකින් මිය ගියේය. දියණියගේ නම රෝහිණී ය. සිය පුත්‍රයාගේ වියෝවෙන් කම්පාවට පත් රතන් දේවි දැඩි සේ අසනීපව මිය ගියාය.

විමර්ශනය

ඇමෙරිකාවේ බොස්ටන් කලාගාරයේ උසස් තනතුරකට ඇරැයුම් ලැබී ආනන්ද කුමාරස්වාමි 1917 ඇමෙරිකාවට සංක්‍රමණය වී 1922 දී ස්ටේලා බ්ලොච් නම් ඇමෙරිකා කලාකාරිය සමඟ විවාහ විය. ඔහුගේ බිරිය වයසින් අවුරුදු 29 ක් ළාබාල වූ අතර ආනන්ද කුමාරස්වාමි මේ අවදියේ සංස්කෘත හා පාලි ධර්ම ග්‍රන්ථ විමර්ශනයට අත ගසා තිබුණේය.

1927 දී ඔහු ඉන්දියාවේ ඉතිහාසය සහ ඉන්දුනිසියාවේ කලාව යන කෘතින් දෙක ප්‍රකාශයට පත් කෙළේය.

1930 දී මේ විවාහය ද බිඳ වැටුණු අතර ආනන්ද කුමාරස්වාමි ලුයිසා රන්ස්ටයින් නම් කාන්තාව විවාහ කර ගත් අතර ඔවුනට රාමා පොන්නම්බලම් නම් පුත්‍රයකු ද විය. වයස අවුරුදු 22 දී කතෝලික ආගමට සම්බන්ධ වූ ඔහු පසුව පූජකවරයකු බවට පත්ව 2006 දී අභාවයට පත් විය.

බොස්ටන් කලාගාරයේ ප්‍රධානම තනතුරු දැරු ආනන්ද කුමාරස්වාමි 1947 සැප්තැම්බර් 09 දින ඇමෙරිකාවේ මැසචුසෙට්ස් හි නෙඩ්හැම් හිදී අවසන් හුස්ම හෙළන තුරුම ආසියානු කලාව හා සංස්කෘතිය බටහිර ලෝකයට හඳුන්වාදීමේ උත්සාහයේ නිරත විය. ඔහු විසින් ලියන ලද, කෘති සංඛ්‍යාව බොහෝය. අවාසනාවට මෙන් ඒවායින් බොහොමයක් සිංහලයට නැඟී නැත.

නිදහස් අරගලය

කුමාරස්වාමි පරපුර මෙරට දේශපාලනයට හා නිදහස් අරගලයට සම්බන්ධ වූ අරුණචාලම් පොන්නම්බලම් පොන්නම්බලම් රාමනාදන් යන වීරවරයන් සමඟ සබැඳී පවතී. ආනන්ද කුමාරස්වාමිගේ පියා වූ මුතු කුමාරස්වාමි කලම්බු ඇකඩමි (පසුව කොළඹ රාජකීය විද්‍යාලය) විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නීතිවේදියකුව මහා බ්‍රිතාන්‍යයේ නීතිඥයකු ලෙස කටයුතු ‍ෙකළේය. හරිශ්චන්ද්‍ර නාටකය ඉංග්‍රිසියට පරිවර්තනය කළ ඔහු මහ වංශය ඇතුළු බෞද්ධ මූලාශ්‍ර කීපයක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ බව Sri Lanka Tamil Strugle කෘතියේ සඳහන් වේ.

කුමාරස්වාමි පරපුර මෙරට ව්‍යවස්ථාදායකයේ ආරම්භයේ සිටම එයට සම්බන්ධව සිටියහ. එසේම හින්දු සංස්කෘතියේ සහ දෙමළ භාෂාවේ අභිවෘද්ධිය සඳහා ඔවුහු මහත් සේවාවක් ඉටු කළහ. හින්දු ආගමික පූජ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට ද නොපැකිල ඉදිරිපත් වූ ඔවුහු පටු ජාතිවාදින් නොවී සිංහල ජනතාවගේ සුබ සිද්ධියට ද අදාළව කටයුතු කළහ. උතුරේ නිල නොලත් ලෙස ක්‍රියාත්මක වූ වහල් මෙහෙය තහනම් කිරීමට ඉදිරිපත් වූ ඔවුහු ද්‍රවිඩ සංස්කෘතියේ බලපෑම කල්පනාවට ගනිමින් යාපනයේ ජනතාව සඳහා පොදු ජාතික ඇඳුමක් නිර්මාණය කර ගත්හ.

ආනන්ද කුමාරස්වාමි පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරුණ­ාචලම් යන එක පරපුර මේ ඇඳුම ප්‍රචලිත කිරීමට උත්සුක වූයේ තමනුත් එම ඇඳුමෙන්ම සැරසීමෙනි. ආනන්ද කුමාරස්වාමි ලංකාවේ රැඳී සිටි කාලයේ දී මේ ද්‍රවිඩ ජාතික ඇඳුමෙන් සැරසී මහජනයා ඉදිරියට ආවේය.

ආනන්ද කුමාරස්වාමිගේ බුද්ධියේ පුළුල් පරාසය පැහැදිලි වන්නේ ඔහු විසින් ලියා ඇති කෘති සංඛ්‍යාව විමසන විටය. ඔහුගේ කෘතීන් පිළිබඳව ලියැවී ඇති විචාරයන්ගේ සංඛ්‍යාව ද අති මහත් ය.

කරුණාරත්න අමරතුංග

Read more
Tuesday, June 28, 2016
සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම

2015/10/16/
ලෝකයේ ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවිතයට අදාළ අනුස්‌මරණ සංවත්සර, උපන්දින ආදිය යෙදෙන්නේ දෛවෝපගත අන්දමටය.

ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ජීවිත සිදුවීම ද එබඳුය. ඇගේ අභාවයෙන් 15 වැනි සංවත්සරය අපි පසුගිය 10 වැනිදා සැමරුවෙමු. ඇය ජීවිතයෙන් සමු ගැනීම ඓතිහාසික පසුබිමක සිදු වීමද විශේෂත්වයකි. ඇයට ගෞරවයක්‌ ලෙස එය සැකෙවින් මෙහි සඳහන් කිරීම වටිනේ යෑයි සිතමි.

එදා මැතිවරණ දිනයකි. මීට පෙර ඇය සිය ඡන්දය පාවිච්චි කළේ සිය පුත් අනුර බණ්‌ඩාරනායක මහතා සමඟ ගොසිනි. නමුත් මෙදින යෙදී තිබූ මැතිවරණයේදී අනුර එජාපයට සම්බන්ධ වී සිටීම නිසා ඇය ඡන්දය පාවිච්චි කිරීමට අත්තනගල්ල ශ්‍රී සංඝබෝධි විදුහලට ගියේ ඇගේ දියණිය සුනේත්‍රා බණ්‌ඩාරනායක සමඟය. ඇය ඡන්ද මධ්‍යස්‌ථානයට ගියත් ඇගේ ඇඟිලි තුඩු අතරේ පැන්සල රඳවා ගැනීමට නොහැකි විය. අත ඉදිමී ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම එයට හේතුවය. එහෙත් ඇය ඡන්ද මධ්‍යස්‌ථානයේ මැතිවරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකුට කතා කොට ඇගේ කැමැත්ත ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන්නැයි ඉල්ලා සිටියේ "පුටුවට ලකුණු කරන්න මනාප දාන්න එපා" යනුවෙනි. ඇගේ මේ අන්තිම මැතිවරණ කැමැත්තට, පසු දින මාධ්‍ය විශාල ප්‍රචාරයක්‌ ද ලබා දී තිබුණි.

ඇය ඡන්දයේදී තම කැමැත්ත ප්‍රකාශ කර ආපසු එමින් සිටියදී අසනීප තත්ත්වය තරමක්‌ නරක අතට හැරුණි. සුනේත්‍රා මහත්මිය ඇය රෝහලකට රැගෙන යැමට ගත් උත්සාහයට ද විරෝධය දැක්‌වීම නිසා කඩවත නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකින් ප්‍රතිකාර ලබා ගත් නමුත් ඇයට අප අතරේ රැඳෙන්නට මාරයා අවසර දී තිබුණේ පැය 2 කට අඩු කාලයකි. ඇය අන්තිම හුස්‌ම හෙලුවේ දේශපාලනික වශයෙන් තම පක්‍ෂයට යුතුකම ඉටුකිරීමෙන් අනතුරුවය.

සිරිමාවෝ බණ්‌ඩාරනායක නමැති චරිතය විවිධ විචිත්‍ර හා විෂම චරිතයකි. මේ ලිපිය 'දිවයිනේ' පළවන අද ද ඇගේ ජීවිතයේ සංවත්සරයක්‌ යෙදී ඇත. ඒ ප්‍රජා අයිතිය අහෝසි කිරිමේ 25 වන සංවත්සරයයි. මෙවැනි සංවත්සර සඳහා උළෙලක්‌ සංවිධානය නොවුණත් ඇය මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් ආකාරයත් ඉන් ඇය මුදවා ගැනීමට කටයුතු කළ ආකාරයත් මේ ලිපියෙන් සාකච්ඡා කිරීම උචිත යෑයි සිතමි. ඒ වෙන කරුණක්‌ නිසා නොව පාර්ලිමේන්තුවේදී විවිධ කරුණු හමුවේ අපේ දේශපාලනඥයන් හැසිරෙන ආකාරය විමසීම අප කාට කාටත් ප්‍රයෝජනවත් වන බැවිනි.

1977 ජුලි 20 දින පැවැති මැතිවරණයෙන් ජය ලැබූ එජාපය එතැන් සිට සති කීපයක්‌ තුළ ව්‍යවස්‌ථා සංශෝධන හා අණපනත් කීපයක්‌ සම්මත කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දුන්නේය. එහි පළමුවැන්න 'සර්ව බලධාරී' විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවන ව්‍යවස්‌ථා සංශෝධනයයි. දෙවැන්න තම ප්‍රබලම දේශපාලන විරුද්ධවාදිනිය වු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කලකට තරග බිමෙන් ඉවත් කර තැබීමේ යෝජනාවය. එවකට එජාප රජයේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඊ. එල්. සේනානායක මහතා රජය පත්ව සිව්වන සතියේදී පමණ පාර්ලිමේන්තුවට ලිපි ගොනුවක්‌ ඉදිරිපත් කරමින් වේගවත් කථාවක්‌ කළේය. එහිදී ඔහු සඳහන් කළ එක්‌ කරුණක්‌ මෙසේය.

'අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමිය ඇයට අයත්ව තිබී රජයට පවරා දුන් ඉඩම්වල වටිනාකම දස ගුණයකින් වැඩි කිරීම සඳහා බිංදුවක්‌ එකතු කර තිබෙනවා' යෑයි සේනානායක මහතා චෝදනා කළේය. නමුත් මෙම චෝදනාව අමූලික බොරු චෝදනාවක්‌ බව පසුව අනාවරණය විය.

එදා බණ්‌ඩාරනායක මැතිනිය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර ඕනෑම සාධාරණ පරීක්‍ෂණයකින් එම චෝදනා ඔප්පු කරන්නැයි රජයට අභියෝග කළාය. එවේලෙහි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු "බිංදුමතී ගෙදර පලයන්" යෑයි පාර්ලිමේන්තුව තුළ මොර දුන්නෝය. එම හැසිරීම අනුමත කළ නොහැකි බව අවබෝධ කර ගත් එවකට කථානායක ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතා සභාව කල් තැබීමට සූදානම් වෙත්ම සභා ගැබට පිවිසි එවකට අගමැති ඡේ. ආර්. ජයවර්ධන මහතා සන්සුන් වන ලෙස මන්ත්‍රීවරුන්ට අතින් සංඥා කළේය.

අනතුරුව වසර 2 1/2 කට පසුව 1980 ඔක්‌තෝබර් 16 දින සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට ඡන්දය විමසීමේදී එදා යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් තිදෙනකු මෙදා රජයේ ද අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන්නේය. බණ්‌ඩාරනායක මැතිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරයකු ද අද පාර්ලිමේන්තුවේ සිටින්නේය. ඒ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාය.

ඒ පූර්විකාවයි

කඩිමුඩියේ කොමිසම පත් කළ අන්දමත් එහි තීරණත් අවසානයේදී වසර 2 1/2 කට පසු 1980 ඔක්‌තෝබර් මස 16 වැනි දින පාර්ලිමේන්තුව බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අන්දමත් මැනවින් විස්‌තර කෙරෙන පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව දෙසට අපි අවධානය යොමු කරමු.

දිනය 1996 අප්‍රේල් 08 වැනිදාය.

හැන්සාඩ් කොලම 1254

විෂය -

සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනිය විෂයෙහි 1980.10.16 දිනැති සම්මතියá නිෂ්ප්‍රභ කිරීම

යෝජනාව ඉදිරිපත් කරමින් අධිකරණ හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා ඉතා අනුවේදනීය කතාවක්‌ කළේය. 1980 ඔක්‌තෝබර් 16 වැනිදා බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෙදූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාරාත්මක දේශපාලනයට පටහැනි, ද්වේශ සහගත සිද්ධීන් සියල්ල එකින් එක පීරිස්‌ මහතා විස්‌තර කළේය.

කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද රෙගුලාසි, කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද විශේෂ කොමිෂන් ආඥා පනත් සහ කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද දඬුවම් සියල්ල දින වකවානු සහිතව මහාචාර්ය පීරිස්‌ සභාවට පෙන්වා දුන්නේය.

බණ්‌ඩාරනායක මැතිනිය එදා ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීන්දුවෙන් පසු කළ සමුගැනීමේ ප්‍රකාශය ද අමාත්‍ය පීරිස්‌ සභාගත කළේය.

බණ්‌ඩාරනායක මැතිනිය පවසා සිටියේ ප්‍රජා අයිතිය ඇතිව හෝ නැතිව තමා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන සේවය ජීවිතාන්තය දක්‌වා ඉටු කරන බවය.

මේ හැන්සාඩ් වාර්තා සියල්ල අඩංගු පොතක්‌ අනාගත පරම්පරාව සඳහා සුරක්‍ෂිතව තබා ගැනීම පිණිස මුද්‍රණය කර ජනතාව අතර ප්‍රචලිත කිරීමට විදේශගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී පිරිසක්‌ පියවර ගනිමින් සිටින නිසා මේ අවස්‌ථාවේ ඉහත කී විවාදයට සම්බන්ධ වූ කථිකයන් කළ ප්‍රකාශ කීපයක්‌ පමණක්‌ මේ ලිපියට අඩංගු කරමි.

අමාත්‍ය ජී. ඇල්. පීරිස්‌ මහාචාර්යවරයාගේ දීර්ඝ කතාවෙන් පසු නැගී සිටියේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යි.

වික්‍රමසිංහ මහතා ඉතා කෙටි කතාවක්‌ කළේය. ඔහු කියා සිටියේ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද්දේ නීත්‍යනුකූලව කොමිෂන් සභාවක තීන්දුව අනුව බවය. එම නිසා එක්‌සත් ජාතික පක්‍ෂය මේ විවාදයට එක්‌ නොවන බවත්, මේ යෝජනාව ඵල රහිත බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. තම පක්‍ෂය විවාදයට සම්බන්ධ නොවී සභාවෙන් පිට වී යන බව පැවසූ වික්‍රමසිංහ මහතා එක්‌ මන්ත්‍රීවරයෙක්‌ පිළිබඳ විශේෂ ප්‍රකාශයක්‌ කළේය.

අනුර බණ්‌ඩාරනායක මහතා 1980 දී කොමිෂන් සභා තීන්දුවට විරුද්ධව ඡන්දය දුන් නිසා ඒ මහතාට සභාවේ නැවතී නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට පක්‍ෂයේ අවසරය ඇති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉන්පසු එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටවී ගියහ.

ඉක්‌බිති නැගී සිටියේ ලක්‍ෂ්මන් ජයකොඩි ඇමැතිවරයා ය. ඔහු ද කොමිෂන් සභාව පිහිටුවීමේදී අනුගමනය කළ සදාචාරාත්මක නොවූ ක්‍රියාමාර්ග දැඩිව විවේචනය කළේය.

ජයකොඩි මහතාගෙන් පසු නැගී සිටියේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාය. 1980 ඔක්‌තෝබර් මාසයේ පමණක්‌ නොව ඊට පෙර 1977 අවිනීත බිංදු කතාව සිදුකළ අවස්‌ථාවේ එදා විපක්‍ෂ නායක ධුරය දැරූ ඒ අමිර්තලිංගම් මහතා ඇතුළු දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද ඒකාධිපතිත්වයට විරුද්ධවද ක්‍රියා කළ අන්දම ඔහු සභාවට මතක්‌ කර දුන්නේය.

පරරාජසිංහම් මහතාගෙන් පසු නැගී සිටියේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය. ඒ මහතා ද එදා කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු රාශියක්‌ හෙළි කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් පසු ඉතා සන්සුන්ව සභාව ආමන්ත්‍රණය කළ අමාත්‍ය බර්නාඩ් සොයිසා කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද කොමිෂන් සභා රෙගුලාසි, නීතියට සම්පූර්ණයෙන් පටහැනි බව පෙන්වා දෙමින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා නිකුත් කළ ප්‍රකාශයන් සභාගත කළේය.

බර්නාඩ් සොයිසා මහතාට පසුව කතා කළ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාය නීතිමය කරුණු රාශියක්‌ පෙන්වා දෙමින් එදා පැවැති ඒක පුද්ගල කොමිෂන් සභාව සම්පූර්ණ දේශපාලන බලපෑම්වලට යටත් වූවක්‌ බව ඔහු පෙන්වා දුන්නේය.

ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඇමැතිවරයාගෙන් පසු සභාව ඇමතූ නීලන් තිරුචෙල්වම් මහතා බණ්‌ඩාරනායක මැතිනිය ජාතියට කළ සේවය විස්‌තර කළේය. කිසිම පැකිලීමකින් තොරව යෝජනාවට පක්‍ෂව තමා ඡන්දය දෙන බව ද තිරුචෙල්වම් මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉනික්‌බිතිව සභාව ඇමතූ අමාත්‍ය අෂ්රොµa මහතා ප්‍රශ්න කළේ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට මුදාගෙන ලංකාව ස්‌වෛරී ජනරජයක්‌ කළ නිසාද යන්නයි.

රාජරත්නම් මන්ත්‍රීවරයාගේ දෙමළ කථාවෙන් පසු ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා තමා කවදත් වැඩ කළේ ප්‍රතිපත්ති ගරුකව සිතට එකඟව බව පවසමින් 1970 දී සිය පියාණන්ට ද විරුද්ධව බණ්‌ඩාරනායක මැතිනියට ආධාර කළ අන්දම විස්‌තර කළේය.

ගුණවර්ධන මහතාට පසු සභාව ඇමතූ ඩී. එම්. එස්‌. බී. දිසානායක ඇමැතිවරයා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය නිර්දය ලෙස විවේචනය කළේය.

ඩී. සිද්ධාර්ථන් මහතා පැවසුවේ එදා තම දිවංගත පියාණන් වූ ධර්මලිංගම් මන්ත්‍රීවරයා බණ්‌ඩාරනායක මැතිනිය වෙනුවෙන් කළ කතාව ගැන තමා ආඩම්බර වන බවය.

සිංහලෙන් කතා කළ සතාසිවම් මහතා බණ්‌ඩාරනායක මැතිනිය වතු කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව වෙනුවෙන් අර්ථසාධක අරමුදල් ඇති කිරීමට ගත් පියවර සභාවට සිහිකර දුන්නේය. ජී. ඇල් පීරිස්‌ ඇමැතිවරයා කෙටි පිළිතුරු කතාවක්‌ කළේය.

ඉන්පසු ඡන්ද විමසන ලදී. පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ නම් මේ වැදගත් අවස්‌ථාවේ වාර්තා කිරීමට අවශ්‍ය යෑයි රිචඩ් පතිරණ ඇමැතිවරයා කළ යෝජනාවට සභාව එකඟ විය. සභාවේ සිටි මන්ත්‍රීවරු 124 දෙනාම යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අතර බණ්‌ඩාරනායක අගමැතිනිය ඡන්දය දීමෙන් වැළකී සිටියාය.

– Divaina
Read more
Monday, June 27, 2016
බෙදුම්වාදී හොර බල්ලාට ෆෙඩරල් පොල්බෑයෙන් දමාගැසීම

බණ්ඩාර දසනායක 
හොර බල්ලාට පොල්බෑයෙන් දමා ගැසුවා වගෙයි කියා අපේ කියමනක් තිබේ. මේ කියමන යෙදෙන්නේ යම්කිසි මෝඩකමක් එක් අතකට ඇඟවීමටය. හොර බල්ලාගේ පරමාර්ථය හොරා කෑමය. හොර බල්ලෙකු විසින් ගෙදරක මනුස්සයන් කන බොන දෙයක් හොරා කා දමනු ලැබීම යම්කිසි අලාභයකි. එහෙයින් එවැන්නක් නතර කරනවා මිස හොරාකන්නට එන බල්ලෙකුට උගේ අරමුන ඉටු කරගැනීමට ඉඩ දීම අනුවන කමකි. එවැන්නක් කිසිවෙකුත් කරන්නේද නැති අතරම බොහෝ විට සිදු වෙන්නේ හොර බල්ලා පන්නා දැමීමය. එහෙත් එය කිරීමට පොල් බෑයකින් ඌට දමා ගැසීම මෝඩ කමක් වන්නේ සමහර විට හොර බල්ලා හොරා කන්නට මාන බලා සිටියේද පොල් බෑයම වීමට ඉඩ ඇති නිසයි. එසේ වූ විට ඌට පොල් බෑයෙන් දමා ගසා එලවා ගත්තද හොර බල්ලාගේ පොල් බෑය හොරාකෑමේ අරමුණ ඉටු වී හමාරය. සතෙකුට කන්නට දී සැනසීම වෙනමම දෙයකි. එහෙත් හොරා කන එකා දැනුවත්ව හෝ නොදැනුවත්ව සැනසීමට යෑම තවත් දෙයකි. මේ නිදසුන එක්තරා විදිහකින් සමපාත වන්නේ අපේ රටේ ඇතැම් උගත් බුද්ධිමත් යැයි කියාගන්නා විශේෂයෙන් වාමාංශිකයින් ලිබරල්වාදීන් ආදී පුද්ගලයන් කියන පරිදි මෙරට ජාතිකත්වය පිළි නොගන්නා උතුරේ හා නැගෙනහිර දෙමළ දේශපාලන කණ්ඩායම් වලට බලය ලැබෙන පරිදි බලය බෙදන දේශපාලන විසඳුමකින් රට බෙදීමේ බෙදුම්වාදය තුරන් කළ හැකිය යන මිථ්‍යාව සමගය.
බටහිර මතවාදී ආධිපත්‍යයේ රාමුවක් තුල පිහිටා ඇති අපේ අධ්‍යාපනය තුලින් බිහිවෙන බටහිර පරමාදර්ශය කොට ගත් උගතුන්ට මෙරට දෙමළ ඉතිහාසය හා දෙමළ ජාතිවාදයේ විකාශනය පිළිබඳ සත්‍ය වටහා ගැනීමේ හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ එය තේරුම් ගැනීමට අවශ්‍ය මානසික සංවේදීබව අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන මතවාද තුලින් මොට කර තිබීමයි. ඔවුන්ට අනුව අපේ රටේ දෙමළ ජාතිවාදයක් හෝ වෙනත් සුළු ජන වර්ගවාදයක් නැත. මේ අයගේ දැක්මට අනුව ඇත්තේ සිංහල ජාතිවාදයකි. මොවුන් සිංහල ජාතිවාදය ලෙස හඳුනාගන්නේ මෙරට ජාතිකත්වය හා ජාතිකත්ව රාමුව තුල ඇති ජාතික මතවාද අනුව සිංහල බෞද්ධ බහුතරයක් ක්‍රියා කිරීමයි. මේ උගතුන්ට අනුව අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් වූ පසු මේ රටට ආවේනික හා රට රටක් ලෙස ගොඩනැගුවා වූ සිංහල බෞද්ධ බහුතරයගේ ජාතික නායකත්වය රටේ රාජ්‍යත්වයට හා පාලනයට නැවත උරුමකම් කීම, ලෝකය ඉදිරියේ සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය විදහා පෑම අනෙකුත් ජනකොටස් වලට කරන අසාධාරනයකි. එමෙන්ම ඔවුන්ට අනුව එය වැරදිය. ඒ අයුරින් ගත් කළ අධිරාජ්‍යවාදියා රට අත්හැර ගිය පසු ඔහුගේ වහල් සේවකයන්ට අවශ්‍ය ආකාරයට අධිරාජ්‍ය වරප්‍රසාධ තුල සිටිමින් රටේ ජාතික අනන්‍යතාවය යටපත් කිරීමට ඉඩ නොදීම හා රටෙන් පැත්තකට උරුමකම් කියමින් බෙදුම්වාදී මාර්ගයක ගොස් වෙනම රටක් හැදීමට ඉඩ නොදීමත් අධිරාජ්‍යවාදීන්ගේ සේවකයන් විසින් ගොතන ලද ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පයට එරෙහි වීමත් සිංහල ජාතිවාදයයි. මේ ඔවුන් ලද අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන බටහිර ගොන් මතවාද වලින් ඔවුන්ගේ මොළ කුරුවල් කර ඇති ආකාරය මිස වෙනත් දෙයක් නොවේ. ලංකාව තුල ඇත්තේ මේ අනුකාරක උගතුන් කියන ආකාරයේ සිංහල ජාතිවාදයක් නොවේ. ඇත්තෙන්ම තිබෙන්නේ සිංහලයාගේ නිවටකමකි. රටක් ලෙස ලොව ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය ප්‍රතිපත්තිවත් හරියට ක්‍රියාත්මක කරගත නොහැකිව වසර දහස් ගනනක් තිස්සේ තමන් හා තම ආදි පරම්පරා ගනනාවක් විසින් ගොඩනැගූ රට තුල තමන්ම අසරන වී සිටීම වත්මන් සිංහල බෞද්ධයාට අත් වී තිබෙන සැබෑ ඛේදවාචකයයි.
මාක්ස්වාදය ලෙනින් වාදය ලිබරල්වාදය, පස්චාත් නූතනවාදය, කාන්තා විමුක්තිවාදය ආදී බටහිර මතවාද වලින් මොළ කුරුවල් කරගත් කවරෙක් කුමක් කීවද මේ රටෙ උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමළ ජනයාගේ ඉතිහාසය වැඩි ඈතකට දිවයන්නක් නොවේ. පැහැදිලිවම ඔවුන් මෙරටට සංක්‍රමණය වී ඇත්තේ ලන්දේසින්ගේ දුම්කොල වගාවත් සමග ලන්දේසි වැවිලිකරුවන්ගේ කම්කරුවන් ලෙසයි. එදා ලන්දේසින්ට කන්ද උඩරට රාජධානියේ රජුගේ නීතියට යටත්ව සියල්ල කිරීමට සිදු වූ හෙයින් ඔවුන් රජුට එරෙහිව ඉන්දියානු වහල් සේවකයන් බලගැන්වීමට උපායශීලීව කටයුතු කළෝය. පසු කලෙක මෙරට පාලන බලය ගිවිසුමකින් අත්පත් කරගත් ඉංග්‍රීසින් එලෙස බලගැන්වූ දෙමළ ප්‍රභූ පැලැන්තියට තවත් වරප්‍රසාද ලබාදී මෙරට සමස්ථ ජාතිකත්වයටම එරෙහිව සවිබල ගැන්වීය. ඉංග්‍රීසීන් උත්සහ කළේ හැකිනම් ඔවුන් මේ රට අත්හැර යන දාට ඔවුන්ගේ කීකරු ඉන්දියානු වහල් සේවක පැලැන්තියට රටේ සමස්ථ පාලන බලයම පවරා රටට ආවේනික සිංහල බෞද්ධ ජනයාගේ සියළු උරුමයන් මෙන්ම චින්තනයද යටපත් කර දමා යෑමටයි. මේ බටහිර අධිරාජ්‍යවාදී කොල්ලකරුවන්ගේ කීකරු සේවකයන් ලෙස හැදී වැඩුනු ඉන්දියානු දෙමළ වහල් සේවකයින් බටහිර ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ හයියෙන් බලගැන්වී සිටි ආකාරය අනුව ඔවුන් කිසි විටකත් කෙදිනක හෝ මෙරට සිංහල බෞද්ධ ජනයා රාජ්‍ය පාලනය හිමිකරගනිමින් මුළු රටම මෙහි ආවේනික ජාතික අනන්‍යතාවය තුලට ගැනීම බලාපොරොත්තු නොවීය. එවැන්නක් බලාපොරොත්තු නොවුනා පමණක් නොව ඊට ඉඩ නොදීමටද ඔවුන් කටයුතු කළෝය. ඉංග්‍රීසින්ගෙන් මෙරට නාමික නිදහසක් ලබාගත් දා පටන් පෙර කී ලෙස බලගැන්වී සිටි දෙමළ ජාතිවාදීන් හැම විට උත්සහ කළේ රටට ආවේනික ජනයා වූ සිංහල බෞද්ධයාගේ චින්තනය අනුව ගොඩනැගි ජාතිකත්වයක් ස්ථාපිත වීම වැලැක්වීමටයි. එසේ බැරිනම් සිංහල බෞද්ධ ජාතිකත්වය සමග සම වන ලෙස උතුරටත් නැගෙනහිරටත් දෙමළ ජාතිවාදීන් ඔවුන් වෙනම ජාතියක් ලෙස සලකාගනිමින් වෙනම ජාතික අනන්‍යතාවයක් අටවා ගැනීම හෝ කළ යුතුය යන මතයේ සිටියෝය. මේ සිද්ධි එකක්වත් යටපත් කළ නොහැක. එසේ යටපත් කර වර්තමාන දේශපාලනය හා ජාතික ගැටළු තේරුම් ගැනීමටද හැකියාවක් නැත.
අධිරාජ්‍යවාදීන් රට අත් හැර ගිය පසු උතුරේ හා නැගෙනහිර ස්ථාපිත වී තිබූ දෙමළ ජාතිවාදය අධිරාජ්‍යවාදියාගෙන් පසුවට මෙරට ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය යටපත් කිරීමේ කාර්යට අත ගසා තිබුණි. එහෙත් එය කළ නොහැකි බව තේරුම් ගත් අදිරාජ්‍යවාදීන්ගේ සේවක දෙමළ ජාතිවාදී නඩය උතුරත් නැගෙනහිරත් අල්ලා තම බුක්තියට සවි කරගැනීම හෝ කිරීමට කටයුතු කළේ ඒ තුලින් හෝ මෙරට ජාතිකත්වය දුර්වල කිරීමටය. නිදහසින් පසුවටද දේශපාලනය තුල පනහට පනහ ඉල්ලීම ආදී ක්‍රියා වල නිරත වෙමින් සිංහලයා සමග සම වීමටත් උතුරට හා නැගෙනහිරට වෙනම පාලනයක් ඉලක්ක කරමින් සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් වෙන්ව දෙමළ ජාතිකත්වයක් බලෙන් ඇති කිරීමට දෙමළ නිජභූමි මිථ්‍යාව පවා ගොඩනැගුවේ දෙමළ ජාතිවාදීන් අධිරාජ්‍යවාදියාගේ හයිය ඇඟට ගෙනය. පසු කලෙක කොටි ත්‍රස්තවාදය දක්වා වැඩුනු මේ දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාවේ සහයද ඇතිව ඇතිව සමස්ථ ජාතියටම තර්ජනය කරමින් විටෙක සාකච්චා කරමින් තවත් විටක ආරක්ෂක අංශ වලටත් සිංහල ගම් වැසියන්ටත් පහර දෙමින් නිවට ආණ්ඩු නැටවීමටද සමත් විය. කොටියා පසුබසින විට සාකච්චා කර එකළ සිටි රාජ්‍ය නායකයින්ගෙන් දේශපාලන විසඳුම් ඉල්ලා පොල් බෑයට ඉව අල්ලන හොර බල්ලාගේ භූමිකාවද ඉඳ හිට කළ ආකාරය කාටත් අමතක වන්නට පුළුවන්කමක් නැත. අනුකාරක ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් එකළද කොටියා පැරදවිය නොහැකිය යන තර්කය ගෙන එමින් කොටි ත්‍රස්තවාදය ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන්ට දොලපිදේනි නොදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය යන මතය බලෙන් මුළු රටටම ගිල්ලන්නට උත්සහ කළෝය. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමගද කොටියා පුරුදු සෙල්ලම කරන්නට ගොස් තමන්ගේ අවසානය සනිටුහන් කර ගත්තේය. කොටියා යුධමය අතින් පරාජය කර සුන් කර දැමීම ජාතිය විසින් පැනගතයුතුව තිබූ ප්‍රධාන කඩයිම් තුනෙන් එකකි. අනෙක් කඩයිම් දෙක නම් දෙමළ නිජභූමි මිත්‍යාව ඇතුළුව දෙමළ ජාතිවාදී ඊලාම් බෙදුම්වාදය මතවාදීවත් මුළුමනින්ම පරාජය කිරීම හා රටට ආවේනික ලෙස සිතන පතන මේ රටට ගැලපෙන අදහස් මතවාද ඇති පිරිස රටේ තීරක බලවේගය බවට පත් කරගෙන රටටම ආවේනික ඉදිරි ගමනක් යෑමයි. එහෙත් අවාසනාවට පළමු කඩයිම අමාරුවෙන් පැනගත් පසු දෙවන හා තුන්වන කඩයිම් පැනගැනීමට රටටත් නායකත්වයටත් නොහැකි විය.
මෙකී දෙවන හා තුන්වන කඩයිම් පැන ගැනීමට නොහැකි වීම තුල දේශපාලන දූරදර්ශී බව හා විජාතික කුමන්ත්‍රන සාර්ථක වීමත් සමග අපගේ ජාතික හතුරු කඳවුරට පක්ෂ රජයක් බිහි වීමෙන් දැන් නැවත්ත් රටම විඳවන තත්වයක් උද්ගතව ඇත.මේ තත්වය තුල නැවතත් රාජ්‍ය නොවන තක්කඩි සංවිධානත් බෙදුම්වාදීන්ට පක්ෂ බටහිර රටවල තානාපතිවරුනුත් නැවතත් අපේ රට ගැන තීරන ගන්නා තත්වයක් ඇතිවී තිබේ. එදා කොටි ත්‍රස්තවාදය පරාජය වීමත් සමග යටගිය ඊලාම් බෙදුම්වාදය අළු යට ගිනි පුපුරු මෙන් දැන් නැවතත් එලියට පැමිණ ගිනි ජාලාවක් වීමට තැත් කරයි. එක් පසෙකින් ජාත්‍යන්තරය ලවා අපගේ රනවිරුවන්ට දඬුවම් කරන්නට සැලසුම් කරන අතරම අනෙක් පසින් බෙදුම්වාදී දෙමළ ජාතිවාදී හොරබල්ලා ෆෙඩරලයට ඉව අල්ලමින් ඇත. සටන් කර ලබා ගැනීමට නොහැකි වූ ඊලම ෆෙඩරල් විසඳුමක් හරහා හොර පාරෙන් ලබා ගැනීමට සියළු සැලසුම් දියත් වෙමින් ඇත. අද වනවිට හොරුන් ලෙස ලේබල් ගසා දේශපාලනිකව පලි ගන්නේ එදා කොටි ඊලාම් සිහිනය බොඳ කළ සටනට නිවැරදි නායකත්වය දුන් ජන නායකයන්ගෙන් හා ඔවුන්ට සහය වූ සෙසු දෑහිතකාමීන්ගෙන් පමණි. නැවත වරක් රාජ්‍ය නොවන සංවිධාන වල හොර තක්කඩින්, ඔවුන්ගේ මාධ්‍ය කරුවන් ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් ඇතුළු අවස්ථාවාදී දේශපාළුවන් බෙදුම්වාදී ඊලාම් හොර බල්ලාට ෆෙඩරල් දොල පිදේනිය ලබා දිය යුතු බවට මතයක් ගොඩනගමින් එය රටට ගිල්ලවීමට උත්සහ කරමින් සිටිති.
රාජ්‍ය නොවන සංවිධාන හෝ ඒවායේ ආවතේව කරුවන් ඇතුළු විජාතික බලවේග සමග කෙලින්ම සම්බන්ධ පුද්ගලයන්ගේ මානසිකත්වය අමුතුවෙන් තේරුම් ගන්නට අවශ්‍ය නොවේ. ඒ ඔවුන්ගේ අරමුණු පැහැදිලි බැවිනි. එහෙත් විජාතික අධ්‍යාපනය ඔස්සේ විජාතික මතවාද ගිලගත් මෙරට සිටින සිතන්නට බැරි අනුකාරක උගතුන්ගේ මානසිකත්වය ගැනනම් අප සොයා බැලිය යුතුය. මොවුන්ට අනුව රට බෙදෙන්නට යන්නේත් බෙදුම්වාදී අරගල සිදුවන්නේත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රට පුරා බලෙන් ස්ථාපිත කිරීම නිසාය. මේ අය සිතන ආකාරයට උතුරේ හා නැගෙනහිර වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක වූ සටන සාධාරනය. ඔවුන්ගෙන් සමහරෙක් කොටි ත්‍රස්තවාදයට එරෙහි වුවත් වැඩිදුරට කියන්නේ කොටියා යුධමය වශයෙන් පරාජය කළද දෙමළ ජනයාට සිංහල ජාතිකත්වය පිළිගැනීමට සිදුවීම අසාධාරන දෙයක් බැවින් ඒ සලකා ඔවුන්ගේ අනන්‍යතාවය අනුව රටෙන් කොටසකට බලය බෙදෙන දේශපාලන විසඳුමකින් බෙදුම්වාදය අවසන් කළ යුතුය. මේ උගතුන් කියන්නේ ඉන් පසුවට ඔවුන් සමග සම්මුති වලට එළඹ රටේ පාලනය ගෙනයා යුතු බවයි. ඔවුන්ට අනුව එවිට සියළු ප්‍රශ්න විසඳේ. මේ ඔවුන්ගේ මොළ කුරුවල් කළ බටහිර මතවාද තුලින් ඇති කර තිබෙන බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයේ තරමයි. මේ ජාතික සමගි මානසික අධි ශික්ෂණය තුලින් ඔවුන්ට හුරු කර තිබෙන්නේ මෙරටට ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය සුළු ජන කොටස් වලට ඉවසිය නොහැකි කරදරයක් යන්න හා ඊට එරෙහිව කෙරෙන අරගල ඔවුන්ගේ සාධාරන අයිතීන් වෙනුවෙන් යන්නත්, සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව සුළු ජන අන්තගාමී කණ්ඩායම් කවර දෙයක් කළත් එයට පක්ෂ වී එහි සාධාරනය දැකීම ජාතික සමගිය යන්නත් ලෙස සැලකීමටය.
මේ පුහු උගතුන්ගේ මනස්ගාත වලට අප තවත් කන් දිය යුතු නොවේ. මොවුන් චන්ද්‍රිකාගේ කාලයේ සිටම ඔය මනස්ගාත දෙඩෙවුවා අපට මතකය. ඔවුන්ට අනුව ඊලාම් බෙදුම්වාදී හොරබල්ලාට ෆෙඩරල් පොල්බෑයෙන් දමා ගැසුවේනම් ප්‍රශ්නය විසඳෙන්නේ ෆෙඩරලය ඔස්සේ ඊලමට පාර කපා දීමෙනි. එවිටද මේ හිතන්නට බැරි මෝඩ උගත් රැල කියනු ඇත්තේ රටක් බෙදීම වරදක් නොවන බව හා දෙමළ ජනයාගේ සාධාරන අරගලය අනුව එය සිදු වුනා කියායි. මේ උගතුන් කියන ආකාරයට සිංහල භාශාව රාජ්‍ය භාෂාව වීම හෝ මේ සිංහල රටේ ජාතික කොඩිය උතුරේ ලෙළදීම වත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රටපුරා ස්ථාපිත වීම නිසාවත් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වී නැත. ඇත්තේ අධිරාජ්‍යවාදී වහල් සේවකයා තම ස්වාමියාගේ හයිය ගෙන ලොව අනෙකුත් ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය ප්‍රතිපත්තිවත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අනුව මෙරට කිසිදු රජයකට ගෙන යෑමට ඉඩ නොදීමේ මහන්තත්ත කමකි. අදටත් මෙයට එකම විසඳුම ඊලාම්වාදියාට දොලපිදේනි දීම නොව දෙමළ නිජභූමි මිථ්‍යාව සමගින් දෙමළ ජාතිවාදය දේශපාලනය තුලත් මතවාදීවම පරදවා කුණු කූඩයට යැවීමයි. ඒ සඳහා කළ හැකි හෑම වැඩ කොටසක්ම කිරීමට බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයෙන් මිදීම අත්‍යවශ්‍ය වේ. සිංහල බෞද්ධ ජාතිකත්වය රට පුරා ස්ථාපිත වීම වරදක් නොව වෙනත් රටවල් සමග බැලුවද විය යුත්තකි. එයින් සුළු ජන කොටස් වලට අසාධාරනයක් වන්නේ නැත. මෙරට ජාතිකත්වය හරියට පිළිගන්නා ඒ සමග එක්ව එකට ඉදිරි ගමනක් යෑමට සුළු ජනවර්ග වල යම් පිරිසක් අනිවාර්ය ලෙසම කැමතිය. ඒ කාරනය අමතක කරමින් බෙදුම්වාදීන්ට දොලපිදේනි දීම ප්‍රශ්න විසඳීමක් නොව නැති ප්‍රශ්න ඇති කිරීමකි. මේ රටේ උතුරු හා නැගෙනහිර හැර සෙසු පලාත් වල දෙමළ ජනයාට මෙරට ජාතික අනන්‍යතාවය ගැටළුවක් වී නැත. කළ යුතුව ඇත්තේ රටේ අනෙකුත් ප්‍රදේශ වල සිටින දෙමළ ජනයා ජීවත් වන පිළිවෙලට උතුරේත් නැගෙනහිරත් දෙමළ ජනයාට ජීවත් වීමට හැකි බව පෙන්වීමය. ඊලාම්වාදියාට දොලපිදේනි දීම පැත්තක තබා 13 වන ව්‍යවස්ථා සංශෝධනයද සමගින් පලාත්සභාද අහෝසි කළ යුතුය. ඉන්දියාව හෝ බටහිර කියන කියන දේ කිරීමට අප බැඳී සිටිය යුතු නොවේ. බෙදුම්වාදය පරදවා රටේ ජාතිකත්වය සමග එකට සිටින සියළු ජනකොටස් ඒකරාශී කර ගනිමින් අප රටක් ලෙස අළුත් ගමනක් යා යුතුය. එය අපට කළ හැකිය.

බණ්ඩාර දසනායක
Read more
Sunday, June 26, 2016
71 කැරැල්ලේ කළු රංජී කියන කතාව

නමින් රංජිත් දිසානායක වන ඔහු හැමදෙනාම හඳුනන්නේ කළු රංජි ලෙසය. 71 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වූ ඔහු අදටත් නොනිමි අරගලයක නිරත චරිතයකි. තම හිතවතුන්ගේ දුක්ගන්නා රාල වන කළු රංජි තම අරගලකාරී අතීතය සහ වර්තමානය පිළිබඳ මෙසේ සිය හඬ අවදි කරන්නේ තමන්ටම උරුම මුනිවත රැකීමේ පුරුද්ද මදක් පසෙකලාය. හැමෝටම රංජි අයියා වන ඔහුගේ විප්ලවීය අත්දැකීම් මෙසේ බෙදාහදා ගනිමු.


● රංජි අයියගෙ ළමා කාලය එහෙම කොහොමද?
අපි හිටියේ නුගේගොඩ කන්දවත්ත පාරේ අම්මලගෙ මහ ගෙදර. මම ඉස්කෝලෙ ගියේ තර්ස්ටන් එකට. පස්සෙ පන්නිපිටියෙ ධර්මපාලෙට ගියා. අපේ තාත්තා අපි පොඩි කාලේ හරියට බොනවා. තාත්තා රජයේ සේවකයෙක්. අපේ පවුලෙ හයදෙනෙක්. මම දෙවෙනියා. අම්මා විඳින දුක්වලින් ටිකකට මට කරගහන්න සිද්ධවුණා. මට සමාජයේ අනෙක් අය ගැන හැඟීමක් එන්න පටන්ගත්තේ ඒ කාලෙම තමයි.


● ඉස්කෝලෙදී මොකද වෙන්නේ?
ජවිපෙ දේශපාලනයට ඇදිලා එන්නේ ඉස්කෝලෙ කාලෙමයි. මම ඇඞ්වාන්ස් ලෙවල් කළේ විද්‍යා විෂයන්. මෙඩිසින් යන්න තමයි හිටියේ. හරියටම අපේ විභාගෙ තිබුණෙත් 71 අප්‍රේල්වලමයි. මම ඉස්කෝලෙ ක්‍රිකට් ගහනවා. ඒක නිසා ගෙදර ඇවිත් රෑටත් පාරෙ බෝල් කරන්න පුරුදු වෙනවා. අපේ ගෙවල් ළඟ කෙනෙක් ඇවිත් ක්‍රිකට් කියන්නේ අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක් කියලා මට ඒක අතඅරින්න කියනවා. මම ඒක ඇහුවෙ නෑ. දවසක් එයාම මට ඇවිත් කිව්වා එයා සී.අයි.ඩී. එකෙන් හොයනවා නවතින්න තැනක් හොයලා දෙන්න කියලා. එයත් මේ වැඩවල ඉන්න කෙනෙක්. මම දන්න කෙනෙකුගේ ගෙදරකට දියගම පැත්තෙ මිනිහා එක්ක ගිහින් නැවැත්තුවා. ඒ යන අතරෙ මිනිහා මට ජවිපෙ දේශපාලනය පෙව්වා. දියගමට යනකොට මම තීන්දු කරලා ඉවරයි ජවිපෙ දේශපාලනය තමයි කරන්න ඕන කියලා. ඔහොම තමයි පක්ෂෙට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මම ජවිපෙ දේශපාලනය ධර්මපාලෙට ගේනවා. ළමයින්ට මම පන්ති කරනවා. සමහර ගුරුවරුන්ට පවා මම පන්ති කළා.


● රංජි අයියලට කවුද පන්ති කළේ?
කීපදෙනෙක් කළා. ප්‍රේමපාලලා වගේ අය තමයි අපට පන්ති පහ කළේ. ප්‍රේමපාල කියන්නේ මහ නඩුවෙ විත්තිකරුවෙක්. අපිට පන්ති කළේ මහරගම පන්නිපිටිය වගේ තැන්වල. කඳවුරුවලට එහෙමත් ගියා. මහ නඩුවෙ පළමුවෙනි විත්තිකරු පියතිලක, පියසිරි කුලරත්න වගේ අය මේ තැන්වලදී අපට දේශපාලනය කියා දුන්නා. නාරම්බැද්දේ පියදස්සි කියලා හාමුදුරු කෙනෙකුත් අපට පන්ති කළා. ඒ හාමුදුරුවන්ගේ කතා අහගෙන ඉන්නකොට ඕන කෙනෙකුගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. මේවා අපේ ඇඟට පත්තියම් වුණා.
5

● 71 කැරැල්ල වෙලාවෙ ඔබට පැවරුණු රාජකාරිය මොකක්ද?
එතකොටත් විජේවීර යාපනේ හිරගෙදරනේ හිටියේ. විජේවීර බේරගන්න කොළඹින් කණ්ඩායමක් යන්න සූදානම් කරලා තිබුණා. විශ්වවිද්‍යාලවල අය තමයි ගියේ. ඒ අයට යන්න බස් එක සූදානම් කරන වැඩ ඔක්කොම මට පැවරිලා තිබුණා. ඊබට් සිල්වා බස් එකක් බුක් කළේ. දැන් මගේ බිරිඳත් එතකොට අපේ ඉස්කෝලෙමයි. එයයි මමයි තමයි බස් එක බුක් කරන්න ගියේ. කට්ටිය බස් එකට දාලා ටවුන්හෝල් එකෙන් බස් එක බාරදෙන්න තිබුණෙ. මම ඒක කළා. කරාටි සැම්සන් කියලා කෙනෙකුට තමයි බස් එක බාර දුන්නේ. මම ගියේ නෑ යාපනේ ගමනට.


● පොලිසිවලට ගහන්න එහෙම ගියේ නැද්ද?
අපිට තිබුණෙ පනාගොඩ කෑම්ප් එකට ගහන්න. ශිෂ්‍ය අංශයෙ කණ්ඩායම් හතරක් බෙදලා අපට දුන්නේ පනාගොඩට ගහන්න. අපි වැඬේට යන්න සූදානම් වෙනකොට කළු ලකී ඇවිත් කිව්වා යන්න එපා කියලා. මොකද ඊට කලින් දවසෙ වැඬේ ලීක් වෙලා. ආයුධ එක්ක ලොරියකුත් අහුවෙලා. ඒක නිසා කොළඹ පහරදීම් නවත්තන්න තීරණය කරලා තිබුණෙ. මොකද පොලිසි අපේ ප්‍රහාරය දැනගෙන එතකොටත්. අපි ආයුධ එහෙම හංගපු තැන් අයින් කරලා ආරක්ෂිත තැන්වලට යන්න තීරණය කළා.


● අප්‍රේල් 5 වෙනිදා මොකද කළේ?
මම හිටියේ පිළියන්දල පැත්තේ ගෙදරක. අපි කලින් සැලසුම් කරගෙන ඉඳපු තැනක් ඒක. ඊට පස්සෙ අපි සුපුරුදු පරිදි පක්ෂෙ වැඩ කරගෙන යනවා. ඒ අතරෙ එක එක රස්සාවලුත් කරනවා. මම නාට්ටාමි වැඩකුත් කළා ගම්පොළ පැත්තෙ දන්න කෙනෙකුගේ ලොරියක. ඔය අතරේ මට මුණ ගැහෙනවා නන්දන මාරසිංහ. නන්දන එක්ක මම ගොඩක් එකතු වෙනවා. අපි වව්නියාවේ ලොකු කඳවුරක් කළා. මාරෙ තමයි ඒක සංවිධානය කළේ. ඒක තනිකර වෙපන් ටේ්‍රනින් එකක්. ඔය කාලෙ අපි හමුදාවෙන් හොයනවා. ඔය අතරෙම තමයි අනුරාධපුර හිරගෙදර කඩන්නේ. පණිවිඩ හුවමාරුව දියුණු නැති ඒ කාලේ ඒ ගැන හොඳ දක්ෂයෙක් හිටියා. මිනිහා අනුරාධපුර හිරගෙදර හිටියේ. මිනිහා බේරගන්න තමයි අනුරාධපුර හිරගේ කැඩුවෙ. ඒ හිරගෙදර කඩලා එකසිය හතළිස් ගාණක් එළියට ගන්නවා. මරුසිරා එහෙමත් ඒ වෙලාවෙ එළියට එනවා.

අනුරාධපුර හිරගෙදර කඩන එකේ මූලිකයා නන්දන මාරසිංහ. මිනිහා ඒවට හරි දක්ෂයි. පාළු ගෙදරක අපි මේ ගැන සාකච්ඡා කළේ. මාරෙ අපිට වැඩ කොටස් බෙදලා දුන්නා. මට මාරෙ පෙනුනේ ඒවෙලාවෙ චේගුවේරා වගේ. කාටවත් හානියක් වුණේ නැතුව හිරගේ කඩලා කට්ටිය එළියට ගත්තා. අපි යනකොට ඇතුළෙ කට්ටිය වැඬේට සූදානම් වෙලා හිටියේ. කලින් සියල්ල ප්ලෑන් කරලා තිබුණෙ. හිරෙන් ආපු අය සමහරු කැලේට ගියා. තව සමහරු කොළඹ ආවා. ඒ වෙලාවෙ මට මැලේරියාවත් හැදිලා හිටියේ.


● ඔය වෙද්දි විජේවීර හිරේ?
ඔව් එයා වැලිකඩ. නන්දන මාරසිංහට ඕනවුණා කොහොම හරි විජේවීර එළියට ගන්න. ඒ කාලේ වැලිකඩ හිරගෙදර ඉස්සරහ තිබුණා පොදු වැසිකිළියක්. අපි ඒකෙ ඉඳලා උමගක් හාරලා විජේවීරව ගන්න උත්සාහ කළා. ඒක හරි ගියේ නෑ. එහෙම නැත්නම් හෙලිකොප්ටරේකින් බැහැලා විජේවීර අරගෙන යන්න පොඩි අදහසකුත් තිබුණා. ඒක පුහුණුවට වියදමක් යනවනේ. ඒ සල්ලි හොයන්න මාරෙ උපක්‍රමයක් දැම්මා. හමුදාවෙ සල්ලි අරගෙන කොළඹ ඉඳලා අනුරාධපුරේ යන කෝච්චිය තලාවෙදි අල්ලගෙන සල්ලි උදුරගන්න. ඔය අතරෙ තමයි මම මොරටුවෙදී අහුවෙන්නේ හමුදාවට.


● රංජි අයියා අහුවුණේ කොහොමද?
මම මොරටුවෙදී අහුවුණේ. මාතර දිස්ත්‍රික්කයේ ජවිපෙ ලේකම්ගෙ මල්ලිට නවතින්න තැනක් ඕන කියලා කිව්වම මම එයාට කොළඹ එන්න කියලා එයාව ගන්න ගිය වෙලාවෙ තමයි අහුවෙන්නේ. මම එයාට පෝස්ට්කාඞ් එකක් දැම්ම. අහවල් දවසෙ මොරටුව ස්ටේෂන් එකේදී හම්බවෙන්න කියලා. ඒ වෙද්දිත් සී.අයි.ඩී. එක මිනිහා පස්සෙ ගිහින් තියෙනවා. මගේ ප්ලෑන් එකත් එයාලට අහුවෙලා. මම ස්ටේෂන් එකේ කියපු වෙලාවට ගියා. එතකොටත් එයා අරගෙන. එයාගෙන් විස්තර අහගෙන. මම ස්ටේෂන් එකේදී දකිනවා නොඉවසිල්ලෙන් ඉන්න මිනිස්සු කීපදෙනෙක්. මට සැකහිතිලා මම එතනින් මාරුවෙන්න හදනකොට එතන ඉඳපු කෙනෙක් “රංජිත්” කියලා කෑගැහුවා. බලනකොට පක්ෂෙන් අයින්වෙලා පක්ෂෙ තොරතුරු සී.අයි.ඩී. එකට දෙන කෙනෙක් එයාලා එක්ක ඇවිත්. එයා තමයි මගේ නම කියලා කෑගැහුවෙ. මම දුවලා ගිහින් වේගයෙන් යන ඩබල් ඩෙකර් බස් එකක එල්ලුනා. ඒ කට්ටියත් බස් එක පස්සෙන් එනවා. මට කල්පනා වුණා බස් එක නවත්තන තැනකදී එයාලට මාව අහුවෙනවා නේද කියලා. ඒනිසා යන බස් එකෙන්ම පැනලා මුහුද පැත්තට දිව්වා. අර කට්ටියත් මගේ නම කිය කිය මගේ පස්සෙන් එනවා. දුවලා ගිහින් තාප්පෙක එල්ලෙන්න හදද්දි මගේ කලිසමත් ඉරෙනවා. තාප්පෙට ගොඩවෙන්න කලින් මාව අල්ලගත්තා. මාව ගෙනාවේ ගල්කිස්ස පොලිසියට. පොලිසියෙදීත් මං පැනලා දිව්වා. රිසව් එකේ ඉඳපු රාලහාමිලා දුවගෙන ඇවිත් ආපහු මාව අල්ලගත්තා. ඊට පස්සේ හතරවෙනි තට්ටුවට ගෙනාවා.


● එතෙන්දි මොකද කළේ?
මාව ගැටගහලා තමයි ගැහුවෙ. මට ඒ වෙලාවෙ බය නන්දන මාරසිංහ ගැන. මිනිහා කොළඹ ඉන්නවනම් අපේ ගෙදරටත් එනවා යනවා. මිනිහාට කොළඹ ඉන්න එපා කියන්න ඕන කියලා හිතලා ඒ පණිවිඬේ දීගන්න ක්‍රමයක් කල්පනා කළා. මම සී.අයි.ඩී. එකට කිව්වා මාව ගෙදර එක්ක යන්න එතකොට පාරෙ යන එන අයගෙන් පක්ෂෙට සම්බන්ධ අය පෙන්නන්නම් කියලා. ඒ අය මාව ගෙදර ගෙනිච්චා. මම අම්මට වඳින අතරෙ කනට කරලා කිව්වා මාරෙට කොළඹින් යන්න කියන්න කියලා. සී.අයි.ඩී. එක කෑගහනවා කෝ පෙන්නනවා කියපු කට්ටිය කියලා. මගේ පණිවිඬේ දීගත්ත නිසා මම කිව්වා කවුරුවත් පක්ෂෙට සම්බන්ධ අය තාම දැක්කෙ නෑනේ කියලා. එදත් අරගෙන ගිහින් හොඳටම ගැහුවා.


● නන්දන මාරසිංහ අහුවුණේ කොහොමද?
එයා මරදානේ ටෙක්නිකල් කොලේජ් එක ළඟදී අහුවුණේ. මිනිහා නම් අහුවෙච්ච ගොඩක් තැන්වලින් පැන්නා. යාපනේ හිරගේ කඩන්න ගිහින් පැනලා ගිය එකම කෙනා මාරෙ. වැඬේ අසාර්ථක වුණා කියලා දැක්ක ගමන් ජටාවකුත් ගැටගහගෙන මාරෙ පැනලා ගියා. මාරෙ කෝච්චිවලින් පවා පැනලා බේරිලා තියෙනවා. ඇත්තටම මාරෙ කියන්නේ වීරයෙක්. හරිම පරමාදර්ශී චරිතයක්.


● රංජිත් අයියා කොච්චරකල් හිරේ හිටියද?
අවුරුදු හයක් විතර හිටියා. මම මහ නඩුවෙ හිටියෙ නෑ. යාපනේ හිරගේ කඩපු එකටයි අනුරාධපුර හිරගේ කඩපු එකටයි අහුවුණේ. අපේ ජීවිතේ අර්ථවත් වුණේ හිර ගෙදර ජීවිතේ නිසාම තමයි. අපි හොඳටම කියෙව්වා. රුසියන් පොත් ඔක්කොම වගේ අපි කියෙව්වේ හිර ගෙදරදී.


● හිරෙන් එළියට ඇවිල්ල පක්ෂයේ වැඩ කළාද?
මම කෙළින්ම වැඩ කළේ නෑ. ගොඩක් අය එළියට ඇවිල්ලා ආපහු වැඩ පටන් ගත්තා. මාරසිංහත් වැඩ කළා. ඒත් මාරසිංහට පක්ෂයෙන් පොඩි කොන් කිරීමක් ආවා. මොකද මාරෙ එතකොටත් දක්ෂ ජනප්‍රිය චරිතයක්. මිනිහා සෙන්ට්‍රල් කොමිටියෙනුත් අයින් කරලා තිබුණෙ අන්තිමට. මාරෙ මාත් එක්කත් ඒවා ගැන හරියට කතා කළා. මාරෙ තරම් දක්ෂ නැති අය මාරෙට ඊර්ෂ්‍යාකම් කරන්න ඇති. ඒක සාමාන්‍ය ස්වභාවෙනෙ.


● රංජි අයිය විජේවීර එක්ක තිබුණු ගනුදෙනුව කොයි වගේද?
මට එහෙම ලොකු ගනුදෙනුවක් තිබුණේ නෑ. මට මුණගැහිලා තියෙන්නෙත් එක සැරයක් විතරයි. දවසක් අපේ කෙනෙක් එක්ක මං ගැන විජේවීර කතා කරලා තියෙනවා. එයාට විජේවීර කියලා තියෙනවා “ඔය කළු රංජි ගැන කවුරුත් කියනවා මටත් දවසක මුණගස්සනවා කියලා” මම එතකොට සෙන්ට්‍රල් කොමිටියෙවත් හිටියෙ නෑ. මම විජේවීර හම්බ වෙන්න ගියේ නෑ. අන්තිමට හම්බවුණේ මාරසිංහ එක්ක ගිය වෙලාවක. අපි ළඟ විජේවීරට තිබුණෙ ගෞරවයක්. අපිට ඕනකමක් තිබුණේ නෑ එයා ළඟට ගිහින් කතා බහ කර කර සමීප වෙන්න. අපි අපේ වැඩ කොටස කළා. විජේවීර එයාගෙ වැඬේ කළා. විජේවීරගෙ ආරක්ෂාව ගැන අපි හොඳ සෝදිසියෙන් ඉන්නවා. ඉස්සර විජේවීරගෙ ආරක්ෂකයා විදියට හිටියෙ දෙල්ගොඩ රාජා කියන කෙනා. අපි දන්න තොරතුරු අපි රාජාට ගිහින් කියනවා. හිරෙන් ආවට පස්සෙ මම සක්‍රීයව වැඩ කළේ නෑ. මම හිරේදීම මාරෙට ලියුමක් ලියල දුන්නා මම ආපහු පක්ෂෙ වැඩ කරන්නේ නෑ කියලා. හැබැයි මම පක්ෂෙට ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ කියලත් කිව්වා.


● ඇයි කලකිරීමක් ඇති වුණාද?
හිරේදී ඇති වුණු යම් යම් ප්‍රශ්න නිසා මට ඒක දරාගන්න බැරුව හිටියේ. අපේම අය අපිට විරුද්ධ වුණා හිරේදි. හිරේදී පක්ෂෙ අය කණ්ඩායම්වලට බෙදුණා. එක අරමුණක් වෙනුවෙන් වැඩ කරපු අය හිරේදී අපටම ගහන්න හදනකොට ඒක ඉවසන්නේ කොහොමද? හැබැයි ඊට පස්සෙත් මම විජේවීරගෙ රැස්වීම් බලන්න එහෙම යනවා. සමහර වෙලාවට මගේ ඇස්වලට කඳුළුත් එනවා. මොකද මම පක්ෂෙත් නෑ. මම ඒ විප්ලවයට ආදරේ කරපු මිනිහෙක්. ඇත්තටම 71 කැරැල්ලෙන් පස්සේ ගොඩක් අය පක්ෂෙ අතඇරල දැම්මා.


● නන්දන මාරසිංහ එක්ක දිගටම යාළුකම් ගෙනිච්චද?
ඔව්, මම පක්ෂෙ වැඩවලින් අයින්වෙලා හිටියත් නන්දන මට කියනවා අපේ ඇසුර නවත්තන්න බෑ කියලා. එතකොට පක්ෂෙන් නන්දනව අයින් කරන්න තීරණය කරල තිබුණේ. මාරෙ පක්ෂෙන් අයින් කරපු දවසෙ ගෙදර ගිහින් හොඳටම අඬල තියෙනවා. මොකද මිනිහා පක්ෂෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරපු කෙනෙක්නේ. එයා කියලා තියෙන්නේ එයාව හදාගත්තු අම්මයි තාත්තයි එයාව අයින් කළා වගේ දෙයක් පක්ෂෙන් කළේ කියලා.

මේ සිදුවීමෙන් පස්සේ මාරෙ මට නිතර නිතර හමුවෙනවා. මේ කියන කාලේ මම බිත්තර විකුණනවා. මාරෙ මට කියනවා මේ ඇති වෙච්ච තත්ත්වය හදාගන්න පුළුවන් වෙන්නේ කලාවෙන්. ඒක නිසා ඒ ගැන කල්පනා කරමු කියලා. එහෙම කියලා තමයි මාරෙ “කාලයේ රාවය” පටන් ගත්තේ. මාරේ “ගොළු මුහුදේ කුණාටුව” චිත්‍රපටිය කරන්නත් සූදානම් වුණා ෂෙල්ටන් පයාගල එක්ක. මගදි ඒකෙනුත් මාරෙ අයින් කරනවා. මොකද මාරෙ හවුලෙ අතගහන වැඩවලදී නිතරම කැපී පේනවා. ඒ එයාගේ දක්ෂතාව නිසා. අනෙක් අයට ඒක අල්ලන්නේ නෑ. ඔය චිත්‍රපටියේ නිෂ්පාදකයා හොයන්න යන්නෙත් මාරෙයි මමයි. හර්ෂ කුමාර නවරත්න තමයි ඒකෙ නිෂ්පාදකයා. මාරෙ තමයි ඔහු මේ වැඬේට හවුල් කර ගත්තේ. මාරෙ මේකට හරියට මහන්සි  වුණා. ඒත් අන්තිමට ෂෙල්ටන් මාරෙව ඒ වැඩෙන් අයින් කරනවා. මම ෂෙල්ටන් හම්බවෙන්න ගිහින් අහනවා ඇයි මාරෙට එහෙම කළේ කියලා. ෂෙල්ටන් කිව්වෙ මාරෙ අතිධාවනකාරී චරිතයක් කියලා. මටත් මේකට අප්සෙට්.

නිෂ්පාදකයා පවා හොයාගත්තු මාරෙ මේකෙන් අයින් කරපු එක ගැන මම කෙලී සේනානායකටත් කිව්වා. කෙලියි මමයි තවත් කීප දෙනෙකුයි හර්ෂ කුමාර නවරත්න හම්බවෙලා මාරෙට රුපියල් පනස් දාහක් ඉල්ලලා දුන්නා. මොකද මාරෙ මේ වැඬේට ගොඩක් මහන්සි වුණානේ. මාරෙ ඒක ගන්න කැමැති වුණේ නෑ. මගේ ළඟ තිබුණු බයික් එකත් මම මාරෙට දුන්නා. මගේ ළඟ තිබුණෙ අලුත ගත්තු ක්‍ෘ 125 බයික් එකක්. අර නිෂ්පාදකයාගෙන් හම්බවුණ රුපියල් පනස්දාහ මාරෙ එදාම එයාගෙ යාළුවෙකුට දීලා තිබුණා. ඒ යාළුවගෙ ලොරිය කැඩිලා කිව්වම ඒක එයාට දීලා. මාරෙ ඒ වගේ චරිතයක්.


● නන්දනව මරන්නෙ ඇයි?
87 විතර කාලේ මාරෙව කෙලීව අපි ඔක්කොම මරන්න ජේ.වී.පී. එක තීරණය කරලා තිබුණේ. අපිට එළියේ යම් හයියක් තිබුණු එක ජේ.වී.පී. එකට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකෙනුත් මාරෙ විශේෂයි. මාරෙට අනතුරක් තියෙනවා කියලා දැනගත්තම කෙලීයි මමයි මාරෙව කොළඹ ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට මාරෙ අනුරාධපුරේ හිටියෙ. මම අනුරාධපුරේ ගිහින් මාරෙ හම්බවෙලා කියනවා කොහොමහරි උඹව රට යවන්නම් කියලා. මම එතකොට මැලිබන් හන්දියේ කඩයක් කළා ඉලෙක්ටි්‍රක් බඩු විකුණන. මම ඒ බඩු ටික ඔක්කොම විකුණලා මාරෙව රට යවන්න හැදුවේ. මාරෙ ඒකට කැමැති වුණේ නෑ. එතකොට මාරෙ සෙරෙප්පු බිස්නස් එකක් කළා. මාරෙ කිව්වා සුමාන දෙකකින් විතර කොළඹ එන්නම් කියලා. හරියටම මාරෙ කොළඹ එනවා කියපු දවසෙ තමයි අනුරාධපුර පොළේදී වෙඩි තියලා මැරුවේ.

මාරෙ මට දවසක් කියනවා, ගාල්ලේ ගුරුවරයෙක් ඉන්නවා. එයා කොළඹ ගෙන්නලා කාමරයක් දීලා එයාට ලියන්න කියන්න පහසුකම් හදලා දෙන්න ඕන කියලා. පඩියක් දෙන්න විදියකුත් ලෑස්ති කරන්න ඕන කියලා කියනවා. මොකද එයා කවි සින්දු එහෙම ලියන කෙනෙක් කියලා මාරෙ මට කියනවා. මාත් ඒක බාරගන්නවා කරමු කියලා. ඒත් මාරෙ ඊට කලින් මැරෙනවා. ඒ ගාල්ලෙ ඉඳලා කොළඹ ගෙන්නමු කියපු කවි සින්දු ලියපු ගුරුවරයා තමයි රත්න ශ්‍රී විජේසිංහ. මාරෙ මැරුණට පස්සෙ මම මේක රත්නශ්‍රීට කිව්වම රත්නෙ ඇඬුවා. මාරෙ ඒ වගේ තමයි මිනිස්සුන්ට ආදරේ කළේ.


● රංජිත් අයියටත් අනතුරක් තිබුණ නම් 88-89 භීෂණ කාලේ කොහොමද බේරුණේ?
මම රට අත ඇරලා ගියානේ. මම රටින් රටට පැන පැන ගිහින් ඉතාලියේ හිටියා ටික කාලයක්. මම ගියේ 88. ඒ රට යන්න මග පෑදුණු විදියත් දිග කතාවක්. මේ දේවල් වෙනම පොත් ලියන්න පුළුවන් කතා. අහම්බෙන් හම්බවෙන අය එක්ක තමයි අපේ ජීවිත වෙනස් වුණේ. අපේ ජීවිතවල ගොඩක් දේවල් අහම්බෙන් වෙච්ච දේවල් වගේ. මට තර්ජන තිබුණු කාලේ දවසක් මගේ බිරිඳත් එක්ක ගමනක් යනකොට වෑන් එකකින් ආපු කීප දෙනෙක් වයිෆ් ළඟට ඇවිත් කිව්වා “නන්දන මාරසිංහ මරපු එක ගැන රංජිට තැන තැන කියන්න එපා කියන්න” කියලා. මාව මරන්නෙ නැත්තේ නන්දා මාලනීගෙ කීමට කියලා එයාලා මගේ වයිෆ්ට කියලා තියෙනවා.


● ආපහු ලංකාවට එන්නෙ කොයි කාලෙද?
1998 විතර තමයි ආපහු ලංකාවට එන්නේ. මම රට ඉන්න කොටත් කළේ මෙහේ ඉද්දි කරපු දේවල්ම තමයි. අනුන්ට උදවු කරපු එක තමයි වැඩිපුර කළේ. මට අහම්බෙන් හම්බවෙච්ච කෙනෙකුට මම කර කර ඉඳපු රස්සාව දීලා තමයි මම ආවේ. අවුරුදු ගාණක් සිට රට ඉඳලා එද්දි ටිකට් එකටවත් මගේ ළඟ සල්ලි තිබුණෙ නෑ.


● ලංකාවට ඇවිල්ලා මොකද කරන්නේ?
ඒත් පරණ පුරුදු වැඩම තමයි. රාවය පත්තරේට සම්බන්ධවෙලා වැඩ කළා. පොත් ගහන වැඩ කළා. තාම ඒවා කරනවා. උදව්වක් කවුරු හරි ඉල්ලුවොත් මම බෑ කියන්නෙ නෑ. ඒකට උත්සාහයක් හරි දානවා. මං හිතන්නේ මට ඒවා කරන්නත් කොහෙන් හරි ශක්තියක් ලැබෙනවා. මට ලැබෙන චාන්ස් අනුන්ටම තමයි දෙන්නේ. හැබැයි මම ගෙදරට යුතුකම් ටිකත් හරියට කරනවා. මගේ බිරිඳ අසනීප වෙලා ඉද්දි මම මාර දුකක් විඳගෙන ඒ දේවල් පිළිවෙළක් කරගත්තේ. මං හිතන්නේ අපි අනුන්ට උදවු කරන්න ඕන. අපි නැත්නම් අපේ ළඟ ඉන්න අයට වෙන කවුද උදවු කරන්නේ.

රට ඉඳලා ඇවිත් මම කරපු පළමුවෙනි වැඬේ නන්දන මාරසිංහලගෙ පවුලෙ අයට ගෙයක් හදලා දෙන එක. ඒකට කීපදෙනෙක් උදවු කළා. ගුණදාස කපුගේ ෂෝ එකක් කරලා අපට ඒකට මුදල් ටිකක් හොයලා දුන්නා. අපි ඊට පස්සේ නන්දන මාරසිංහ පදනම කියලා එකක් පිහිටෙව්වා. ඒකෙන් පොත් එහෙම පළ කළා.


● රංජි අයියගේ අනන්‍යතාවයක් තමයි ක්‍ෘ 125 බයික් එක?
ඒක කාලයක් තිස්සෙ මම පදින බයික් වර්ගය. ඒකෙ පොත් පෙට්ටි එහෙම බැඳගෙන යන්න ලේසියිනේ. මම ඉස්සර බයික් එකේ වොෂින් මැෂින් පවා බැඳගෙන ගිහින් විකුණනවා. මගේ දරුවො කාටත් අද කාර් තියෙනවා. ඒත් මම යන්නේ ක්‍ෘ 125  බයික් එකේ. මම හැමදාම උදේට අවදිවෙලා වයිෆ් නැගිටින්න කලින් ගෙදර වැඩ ඔක්කොම කරනවා. එයාට කරන්න දෙයක් නෑ. ඊට පස්සේ දවසේ කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් ලියනවා. දවසෙම තැනින් තැනට දුවන එක තමයි වැඬේ. හැම මොහොතකම මොකක් හරි වැඩක. නිකං නෑ කිසිම වෙලාවක.


● දැන් රංජි අයියගේ වයස කීයද?
ඒක කියන්න කලින් මම කතාවක් කියන්නම්. අපේ අම්මා නැතිවෙන්න කලින් අසනීප වෙලා ඉන්න කාලේ මම අපේ රට ඉන්න මල්ලි කෙනෙකුට කතා කරලා කිව්වා අම්මා බලලා යන්න එන්න කියලා. එයා ඇවිත් අම්මා ළඟටම වෙලා හිටියා. මම එයත් එක්ක කතා කරන වෙලාවක මිනිහා මට කියනවා අපේ පරම්පරාවෙ ගොඩක් පිරිමි අය නැති වුණේ අවුරුදු 67 න්, අපේ පවුලෙ ඒක පරික්ෂා කරන්න වෙන්නේ අයියාගෙන් නේද කියලා. ඒක කිසිම අනාදරේකින් කියපු කතාවක් නෙවෙයි. අපි දෙන්නා අඩියක් ගහන ගමන් ඔය කතාව කතා වුණේ. මට මේ කතාව හිතට වැදුණා. මම කල්පනා කළා ඒ අනුව මට තව තියෙන්නේ අවුරුදු දෙකයි නේද කියලා. දැන් මම මේ අවුරුදු දෙක ඇතුළෙ අවුරුදු දහයක විතර වැඩ කරන්න දුවනවා. මේ අවුරුදු දෙක ඇතුළෙ උපරිම වැඩ ටිකක් කරන්න ඕන. පරම්පරාවෙ ආරෙට 67 මැරෙයිද නැද්ද ෂුවර් කරන්න බෑ. ඒත් ඒකට සූදානමින් ඉන්නේ.

ප්‍රියන්ත කොඩිප්පිලි
Read more
Saturday, June 25, 2016
මහණ වෙන්න තිබ්බ ආශාව මල්ලී අතහැරියේ බණ්‌ඩාරනායක මහත්තයාට හාමුදුරු කෙනෙක්‌ වෙඩි තිබ්බ නිසා ....සෝමවංශ ගැන මතකය

මහණ වෙන්න තිබ්බ ආශාව මල්ලී අතහැරියේ බණ්‌ඩාරනායක මහත්තයාට හාමුදුරු කෙනෙක්‌ වෙඩි තිබ්බ නිසා
සෝමවංශ ගැන මතකය සොහොයුරා සහ සොහොයුරු පුතා අවදි කරයි

* වමතින් පන්දු යවන දකුණතින් පිත්ත හසුරුවන දක්‍ෂ ක්‍රීඩකයෙක්‌...
* පරාජය කිරීම ඓතිහාසික වැරැද්දක්‌ කියලා බාප්පා කිව්වා...

ශ්‍රී ලංකාව සතුව පවතින්නේ අති දැවැන්ත සටන්කාමී ප්‍රෙෘඪ ඉතිහාසයක්‌. සොලී ආක්‍රමණිකයාගේ සිට අවසන් ආක්‍රමණිකයා වූ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයා දක්‌වා එකා පරයමින් එකා බැගින් පැමිණි සියලු ආක්‍රමණිකයන් සමඟ අපේ මුතුන් මිත්තන් ගැටුණේ ජයග්‍රහණය ලබා ගැනීමට පමණක්‌ම නොවේ. "අපි තොපට යටත් නොවන්නෙමු·" යන පණිවුඩය සතුරාටත්, අනාගත පරපුරටත් තදින් කාවැද්දීම පරාජය දැක දැක පවා දණින් නොවැටීමේ ගුණය ඔවුහු එමගින් පෙන්වා සිටියෝය.

ක්‍රි.ව. 1505 න් ඇරැඹුණු බටහිර ආක්‍රමණිකයාට එරෙහි අරගලය විවිධ කාලවලදී විවිධ නායකයන් අතින් පණ පොවමින් විටෙක ජයග්‍රහණයද, විටෙක පරාජයද ලබමින් 1948 දක්‌වා දිව ගියේය. 1948 න් පසුව අප ලැබූ නාමික නිදහස සැබෑ නිදහසක්‌ බවට පත්කරලීමේ දැවැන්ත අභියෝගය රෝහණ විඡේවීර නම්වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී සටන්කාමියාගේ දෙව්ර මත ඉතිහාසය විසින් තබන ලද්දේය. ඉන්දියානු අමෙරිකානු ඔත්තු සේවාවල අණ දීම්වලට අනුව ක්‍රියාත්මක වූ උතුරේ බෙදුම්වාදී කොටි ත්‍රස්‌තවාදය පරාජය කරලීම සහ අධිරාජ්‍ය ගැති එජාප ආණ්‌ඩුව පලවාහැරීම යන ලේ වැකි අභියෝග දෙක එක මිටට ගෙන පරාජය කිරීම නම්වූ තීරණාත්මක සටන තුළ තම ජීවිතය පූජා කළ රෝහණ විඡේවීරයන්ගේ අවසන් පණිවුඩය

නිවැරැදිව වටහාගත් සෝමවංශ අමරසිංහ නම් අසහාය විප්ලවවාදියා "ශ්‍රී ලාංකේය සමාජය කොටි ත්‍රස්‌තවාදය පරාජය කළ යුතුය· කළ හැකිය·" යන අධිෂ්ඨානයට පණ පොවා, අධිෂ්ඨානය යථාර්ථයකින් අවසන් කිරීමට සමත් වූ අව්‍යාජ සුන්දර මහා පුරුෂයා විය. එසේම ඔහු ලාංකේය සමාජයට තව බොහෝ කාලයකට පහළ නොවන දුර්ලභ ගනයේ බුද්ධිමතෙකි. ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ දී ඔහු සමඟ ගතකළ ඔහුගේ ජීවතුන් අතර සිටින වැඩිමහල් සොහොයුරා වන පියසේන අමරසිංහ මහතා සහ ඔහුගේ පුත්‍රයා වූ මයුර අමරසිංහ මහතා සමඟ කළ සංවාද සටහන මෙසේ පළකර සිටිමු.

ප්‍රශ්නය - සෝමවංශ අමරසිංහ නම් චරිතය දේශපාලනඥයෙක්‌, විප්ලවවාදියෙක්‌, උපායශීලී විශේෂඥයෙක්‌. එහෙත් ඔහු ඔබගේ ලේ ඥතියා. සෝමවංශ අමරසිංහ ඥති සම්බන්ධකම් පවත්වා ගැනීමේදී හැසිරුණේ කොහොමද? ඔහුගේ පෞද්ගලික ජීවිතය ගතකළේ කොහොමද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට වගේම ගම්වැසියන්ටත් හරිම ලැදියි. නිතරම සිනාමුසු මුහුණින් සිටියා. ගමේ පන්සලත් එක්‌ක ඉතා කිට්‌ටු බැඳීමකින් කටයුතු කළා. පාසල් ගොස්‌ ආපසු ඇවිත් ඉස්‌සෙල්ලාම කරන්නේ පන්සලේ වත්ත පිරිසිදු කරන එක. මහණ වීමේ බලාපොරොත්තුවකින් තමයි කුඩා කාලය ගතකළේ. ඒ නිසාම බොහොම අල්පේච්ඡ ජීවිතයකට කුඩාකල සිටම පුරුදු වුණා. බණ්‌ඩාරනායක මහත්තයට හාමුදුරුනමක්‌ වෙඩි තබා මැරූ නිසා මහණ වීමට තිබූ වුවමනාව මල්ලී අත්හැර දැමුවා.

අධ්‍යාපනයේ දී මල්ලී ඉතාම දක්‍ෂයි. ඒ කාලේ තිබුණු "යුනිවර්සිටි එන්ට්‍රන්ස්‌" විභාගයට ගණිත අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී ඉඳල කළුතර දිස්‌ත්‍රික්‌කයෙන්ම පළමුවැනියා වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළු නොවී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙක්‌ ලෙස කටයුතු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳුණා. එහිදී පැවැත්වූ අවසාන විභාගයෙන් ඔහු ඔහුගේ කණ්‌ඩායමේ සිටි 125 දෙනකුගෙන් පළමුවැනියා බවට පත්වුණා.

ක්‍රීඩා අංශයෙන් ගත්තත් විශාල දක්‍ෂකම් පෙන්නුවා. වමතින් පන්දු යවන දකුණතින් පිත්ත හසුරුවන දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ ලෙස කළුතර විද්‍යාලයේ තබා ඇති වාර්තා තවමත් බිඳහෙළා නැහැ.

මල්ලී සංගීත අංශයෙන්, ජල තරංග වාදකයෙක්‌ ලෙස කැපී පෙනෙන දක්‍ෂකම් පෙන්නුවා. නමුත් 1983 ජවිපෙ තහනමින් පසුව නැවත ප්‍රසිද්ධ දේශපාලනයට එනකම් අපිව බලන්නවත් ආවේ නැහැ.

මයුර අමරසිංහ මහතා - බාප්පා ගැන මට තිබෙන්නේ ගෞරවය මුසු ඉතාම සුන්දර මතකයක්‌. බාප්පා ගැන මම කුඩා කාලයේදී පවුලේ ඥතීන්ගෙන් අසා තිබුණා. එහෙත් මම කුඩා කාලයේදී කෙදිනකවත් බාප්පව හැබැහින් දැකලා නැහැ. නමුත් බාප්පාගේ දේශපාලනය නිසා මට මගේ තාත්තාව, මම ඉතාම කුඩා කාලයේදී අහිමිවීමට ගොසින් හාස්‌කමකින් වගේ තාත්තාගේ ජීවිතය බේරුණා. එහෙම වුණා කියා මට බාප්පා කෙරෙහි තරහක්‌ ඇති වුණේ නැහැ. බාප්පාව ළඟින් ඇසුරු කරන්නට ලැබුණේ බාප්පා ජවිපෙය අතහැර පැමිණියායින් පසුවයි. ඔහු ඉතා ලෙන්ගතු පුද්ගලයෙක්‌. කලබල නැහැ. තමන්ගේ අරමුණ කෙරෙහි හඹාගෙන යන්නට පොර බැදුවා. පෞද්ගලික දේපළ කෙරෙහි කිසිදු ඇල්මක්‌ තිබුණේ නැහැ. ඇඳුම් පැළඳුම් වුණත් පිරිසිදුව පිළිවෙළට තබාගත්තා මිසක්‌ ඒවා ගොඩ ගසා ගන්නට උත්සාහ කළේ නැහැ. මට වගේම මගේ පුතාට, මගේ බිරිඳට හරිම ලෙන්ගතුව සැලකුවා. සෑම විටම මගේ බිරිඳගෙන් සමාජයේ සිදුවන චලනයන් පිළිබඳව විමසුමට ලක්‌කළා.

බාප්පා තමන්ට කියා පෞද්ගලිකව කිසිදු දෙයක්‌ ඉතුරු කරගෙන නැති එක සම්බන්ධව හිටියේ ඉතාම සතුටින්. බෞද්ධ දර්ශනයේ එන අත්හැරීම කියන ගුණාංගය ඉතාම හොඳින් බාප්පා ප්‍රගුණ කර තිබුණා කියලයි මට හිතෙන්නේ.

බාප්පා මට කෙටි කාලයකට ළඟින් ඇසුරු කරන්නට ලැබුණු මානව ගුණාංගවලින් පිරුණු මහා පුරුෂයෙක්‌ කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්නය - ජවිපෙ අතහැර ගොස්‌ නැවත දේශපාලනය කරන කෙනකුට ජවිපෙන් එල්ල වන බලපෑම සුළු පටු නැහැ. ජවිපෙය තුළ දැරූ වගකීම අනුව එය තව තවත් තීව්‍ර වනවා. සෝමවංශ අමරසිංහ මහතාට ඔවුන්ගෙන් එල්ල වූ පීඩනය කොහොමද?

පියසේන අමරසිංහ මහතා - ජවිපෙන් ඉවත් වූ අයට තාඩන පීඩන එල්ල කරන බව මම අසා තිබෙනවා. මල්ලී තමන්ට අනතුරක්‌ සිදු කරයි කියන හැඟීමෙන් හිටියා. ඒ නිසා එයාගේ ගමන් බිමන්වලදී විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූවා. ජවිපෙ මල්ලීට කායිකව හානි කිරීමට වඩා මානසික පීඩනයක්‌ එල්ල කරන්නයි උත්සාහ කළේ. මල්ලී පැමිණි මුල් දිනවල නැවත කැඳවාගෙන යැමට විවිධ පිරිස්‌ ආවා. ඔවුන් හැමදෙනාම වාගේ හැඟීම්බර බවකින් තමයි කටයුතු කළේ. සමහරු නම් කලබලකාරී වීමට උත්සාහ ගත්තා. එහෙත් මල්ලී ඒවාට බිය වුණේ නැහැ. ජවිපෙයේ දැනටත් හිටින රටම දන්නා හිටපු මන්ත්‍රීවරයෙක්‌ නිතරම මල්ලීව නැවත ජවිපෙයට

රැගෙන යැමට සාමකාමී උත්සාහයක්‌ දැරුවා. නමුත් ඔහු අපට කියා සිටියේ මල්ලීට මානසික රෝගී තත්ත්වයක්‌ තිබෙනවා කියායි. ඔහු ඉතා සියුම්ව උත්සාහ කළේ මල්ලී මානසික රෝගියෙක්‌ය යන්න පවුලේ උදවිය අතර තහවුරු කරන්නයි. මල්ලී ජවිපෙන් එළියට ඇවිදින් කළ පළමු රූපවාහිනි සාකච්ඡාවෙන් පසු මම ඔහුට කතා කර ඇසුවා "තවමත් මල්ලිට පිස්‌සු කියා කියනවද" කියා. ඔහු එවිට නිහඬ වූවා.

මල්ලිගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට පැමිණි ජ.වි.පෙ. පහළ සාමාජිකයන් තුළ පවා මල්ලිට මානසික රෝගී තත්ත්වයක්‌ තිබූ බව තහවුරු කර ඇති බව ඔවුන්ගේ කතාබහේදී මට අවබෝධ වුණා.

සමහර නායකයෝ ඔහුට ප්‍රසිද්ධියේ "පිස්‌සා" කිව්වා. මල්ලීට එල්ල කළ පීඩනය තුළ මල්ලී දුර්වල මනසක්‌ තිබූ අයෙක්‌ නම් ඇත්තටම පිස්‌සු වැටෙන්නට ඉඩ තිබුණා.

මයුර අමරසිංහ මහතා - බාප්පා ජවිපෙන් ඉවතට පැමිණි මුල් කාලයේ දී බාප්පා සමඟ සියලු ගමන් බිමන් ගියේ මම. ඔහු සමහර පුද්ගලයන් සමඟ සාකච්ඡා පැවැත්වූයේ මාගේ කාර් රථය ඇතුළේ ඉඳගෙන. ඔහුට සැකයක්‌ තිබුණා තමන්ට අනතුරක්‌ කරයි කියා.

දිනක්‌ බාප්පා ජවිපෙ පැලවත්ත කාර්යාලයට ලිපියක්‌ භාරදීමට මගේ රථයෙන් ගියා. එහිදී ඔහු රථය කාර්යාල පරිශ්‍රයට නොගන්නා ලෙසත්, ඔහු එන්නට විනාඩි හතර පහකට වඩා ගියහොත් කාර්යාලය ඇතුළට නොඑන ලෙසත් කෙළින්ම පොලිසියට යන ලෙසත් රට දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

බාප්පා කිව්වා වගේම එදා ඒ ලිපිය භාරදී එළියට එනවිට පුද්ගලයෙක්‌ අඬ අඬා ඇවිදින් බාප්පාව බදාගෙන කාර්යාලය ඇතුළට රැගෙන යැමට උත්සාහ කළා. බාප්පා ඔහුව තල්ලු කර දමා කාර් රථයට ඇවිත් ගොඩවුණා.

ජවිපෙය හැර යන ඕනෑම අයකුට ජවිපෙ දක්‌වන ප්‍රතිචාරය බාප්පාට කියා වෙනසක්‌ වූවේ නැහැ යන්නයි මගේ හැඟීම.

බාප්පා අවසාන දින කිහිපයේ ගමන් බිමන් යැමට භාවිත කළේ බාප්පා අලුතින් සෑදූ පක්‍ෂයේ ජයන්ත මහතාගේ මෝටර් සයිකලය. බාප්පාගේ චිතකයේ ගිනි නිවීමටත් පෙර අවමඟුල් උත්සව භූමියේ ගාල්කර තිබූ එම බයිසිකලයට කිසියම් පිරිසක්‌ අලාභහානි කර තිබුණා.

ප්‍රශ්නය - බිඳී විසිරී ගිය ජවිපෙය සෝමවංශ අමරසිංහ මහතාගේ මරණය විසින් එකම වහලක්‌ යටට ගෙන ආවා කියායි අපට හිතෙන්නේ. ඔහුගේ අවමඟුල් උත්සවයේ වැඩ කටයුතුවලදී ජවිපෙය සහ ජවිපෙ හැරගිය වුන්ගෙන් ලැබුණු සහයෝගය කෙළෙසද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී ජවිපෙන් එළියට ඇවිදින් ජවිපෙය නිවැරැදි දිශාවකට තල්ලු කරන්නයි උත්සාහ කළේ. එසේ නොවන වග ඔහුට දැනුණු පසු ඔහු ජවිපෙයේ ඉහළ නායකත්වය පිළිබඳ දැක්‌වූයේ සෘණාත්මක ආකල්පයක්‌. එනිසාම ඔහුගේ මරණය සම්බන්ධව යම් යම් අදහස්‌ විටින් විට අප සමඟ පැවසුවා. අපි හැකි තරම්, ඔහු ජීවතුන් අතර සිටියදී ඔහුගේ ඉල්ලීමට අනුව කටයුතු කිරීමට උත්සාහ කළා. පවුලේ සාමාජිකයන් වන මමත්, මගේ පුතාත් ඇතුළත් වන විදියට මල්ලී අවසාන වරට නායකත්වය දුන් ජනතා සේවක පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මෙන්ම නන්දන ගුණතිලක, අචල ජාගොඩ වැනි ජවිපෙන් ඉවත්වූ පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක්‌ මගින් සියලු කටයුතු කරනු ලැබුවා. මල්ලිගේ ඉල්ලීමට අනුව ජවිපෙය කමිටුවට ගැනීමට අප කැමැති වූයේ නැහැ. එහෙත් ඔවුන්ට අවමඟුලට සහභාගි වීමට, රැඳී සිටීමට කිසිදු බාධාවක්‌ කළේ නැහැ. දේහය තැන්පත් කර තිබූ පැලවත්තේ පිහිටි මගේ සොහොයුරියගේ නිවසේ ජවිපෙ නායකයන් මෙන්ම ජවිපෙ සාමාජිකයෝ විශාල පිරිසක්‌ දිවා රාත්‍රී රැඳී සිටියා. සමහර වැඩ කටයුතුවලටත් ඔවුන් සහභාගි වූවා. බොරැල්ල කනත්තේ දී පැවැත්වූ අවසන් කටයුතුවලට ජවිපෙ වත්මන් නායකයකුට ගුණ කතාවක්‌ කිරීමට අවස්‌ථාව අවශ්‍ය බව පහළ සාමාජිකයන් හරහා ඉල්ලීමක්‌ කළා. එහෙත් කිසිදු නායකයෙක්‌ අපෙන් සෘජුව ඉල්ලීමක්‌ කළේ නැහැ. කමිටු තීන්දු කළා බොරැල්ල කනත්තේ දී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට ගුණ කතාවක්‌ දෙන්නට. නමුත් ඔවුන් කනත්තට පැමිණ සිටියේ නැහැ.

මයුර අමරසිංහ මහතා - බාප්පා තමාගේ මරණයේ කටයුතු සිදුවිය යුතු ආකාරය සමහර අවස්‌ථාවල අප සමඟ පවසා සිටියා. එහිදී ඔහුගේ අවමඟුලේ කටයුතුවලදී මූලිකත්වය නොගත යුතු අය සම්බන්ධව ඔහු පවසා සිටියා. අපි ඒ අනුව ඔහුගේ ඉල්ලීමට උපරිම සාධාරණය කරන්නට උත්සාහ කළා. ඒ නිසාම බාප්පාගේ මෘත දේහය බාර ගැනීම සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන්නට අපි උත්සාහ කළා.

තාත්තා ඉහතින් සඳහන් කළා මෙන්ම නම් වශයෙන් සඳහන් කළ නොහැකි තරම් විශාල පිරිසක්‌ අවමඟුල් උත්සවයේ සියලු කටයුතුවලදී අපට විවිධාකාරයෙන් සහයෝගය පළ කළා. කිසිවෙක්‌ අපගේ තීන්දු තීරණ අභියෝගයට ලක්‌ කළේ හෝ බලහත්කාරයෙන් ඒවා වෙනස්‌ කරන්නට උත්සාහ කළේ නැහැ. අපිත් කමිටුවේ වැඩිදෙනාගේ මතයට ගරුකර සමහර දේවල්වලට එකඟ වූවා. අපට උදව් කළ සියලු දෙනාම කනත්තට පැමිණියත් ජවිපෙ කවුරුවත් කනත්තට පැමිණියේ නැහැ. ඒ විතරක්‌ නෙවෙයි අපේ හිතවතුන් අපට කී ආකාරයට ජවිපෙ සාමාජිකයන් කිසිවෙකුට බොරැල්ල කනත්තට එන්නට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් පැලවත්තේ දේහය තැන්පත් කළ නිවසේ සිටි සියලු ජවිපෙ සාමාජිකයන් කනත්තට යැම වළක්‌වා තිබුණා. එසේම කනත්තේ දොරටුව අසල හිඳිමින් කනත්තට පැමිණි බාප්පාට ආදරය කළ අහිංසක ජවිපෙ සාමාජිකයන් ආපසු හරවා එවා තිබුණා. මම දේශපාලනය කළ කෙනෙක්‌ නෙවෙයි. හැබැයි මම ජවිපෙ සංවිධාන ශක්‌තිය ගැන පුදුමයට පත්වුණු කෙනෙක්‌. නමුත් සංවිධාන ශක්‌තිය අශෝභන වැඩවලටත් යොදාගත හැකි බව මම තේරුම් ගත්තා.

ප්‍රශ්නය - සෝමවංශ අමරසිංහ මහතාගේ අවසාන කාලය ඔබලා ඇසුරේ ගතකළා. ඔහු ඔහුගේ දේශපාලන ජීවිතයේ ගත් තීන්දු තීරණ පිළිබඳව විවේචනාත්මක අදහස්‌ දැක්‌වූයේ නැතිද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී අපි ළඟට ආවයින් පසුව ගැඹුරු දේශපාලන සාකච්ඡා මා සමඟ කිරීමට උත්සාහ කළේ නැහැ. එහෙත් යම් යම් අවස්‌ථාවල ඉතා වැදගත් දේ ප්‍රකාශ කළා. ඒවා බොහෝ විට ඔහු ප්‍රකාශ කළේ මා සමඟ විවේකීව ගතකරන අවස්‌ථාවලදීයි.

මයුර අමරසිංහ මහතා - බාප්පා අපි සමඟ ගතකළේ ඉතාම සැහැල්ලු ජීවිතයක්‌. සමාජයේ සිදුවන යම් යම් චලනයන් පිළිබඳව අදහස්‌ ගත්තේ මගේ බිරිඳගෙන්. එහෙත් පසුගිය මැයි මාසයේ අන්තිම සතියේ දිනයක රාත්‍රියේ එක දිගට පැය එකහමාරක්‌ විතර මා සමඟ දේශපාලනය කතා කළා. එහිදී ඔහු ඉතාම හැඟුම්බර වූවා. මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ කොටි ත්‍රස්‌තවාදීන්ගේ යුද්ධය කළ යුතු ආකාරය පිළිබඳව වාද විවාද කළ සැටි කිව්වා. බාප්පා කිවූ දේවල්, බැසිල් රාජපක්‌ෂ මහතා, බාප්පාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි දිනයේ ඒ විදියටම තහවුරු කළා. ඔවුන් දෙපළගේ කතා ඇසූ මට මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවට බාප්පා කොතරම් ධනාත්මක බලපෑමක්‌ කර ඇති දැයි හිතුණා. බාප්පා එදා රාත්‍රියේ එක්‌වරම තද සුසුමක්‌ ඉහළට ඇද "මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කිරීම ඓතිහාසික වැරැද්දක්‌" කියා කිව්වා.

සෝමවංශ අමරසිංහ අවසාන කාලයේ දී ලේඛන කටයුතුවල නියෑලුණු බවයි ඔහු ළඟින් ඇසුරු කළ අය පවසන්නේ. එහෙත් ඔහු ලියූ දේවල් මාධ්‍යයට යොමු වූවේ නැහැ. ඔහු ලියුවේ මොනවාද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී නිතරම යමක්‌ ලියමින් තමයි කාලය ගතකළේ. එහෙත් මම ඒවා මොනවාද කියා සෙවීමට කටයුතු කළේ නැහැ. එහෙත් ඔහු ලියුවේ අපේ රටට, ඔහුගේ පක්‍ෂයට වැදගත් දේ යෑයි මට හිතෙනවා.

මයුර අමරසිංහ මහතා - බාප්පා අවසන් කාලයේ දී ඉතා වැදගත් හෙළිදරව්වක්‌ ලිතව ඉදිරිපත් කරන්න උත්සාහ කළා. එය බොහෝ විට තමන් ජවිපයේ ගතකළ අවසාන වසර කිහිපය පිළිබඳව කියායි මට හිතෙන්නේ. මම එහෙම කියන්නේ බාප්පා කියූ ඓතිහාසික වැරැද්ද සිදු කළේ ජවිපෙ ය මූලික වී කියායි ඔහු එදා පැහැදිලි කළ නිසයි. බාප්පා ලියූ වෙනත් දේ ඔහුගේ පක්‍ෂයට බාර දුන්නා. බාප්පාගේ පුතා ඉසුරු අමරසිංහ විසින් යම් යම් ලියවිලි වගයක්‌ ජවිපෙට බාර දුන්නා කියායි මට මතක තිබෙන්නේ. එහෙත් අවසාන කාලයේ ලියූ ලිපි ලේඛන නම් ජවිපෙය සතුව නැතිව ඇති. බාප්පා ඉතාම සූක්‍ෂම නිසා ඒ ලියවිලි කවුරු ළඟ හෝ සුරක්‍ෂිතව තබා තිබෙන බවයි මගේ හැඟීම. බාප්පා දැඩිව විශ්වාස කළා ලිත සටහනක්‌ තබා මියයා යුතු වග. වරෙක ඔහු ඔහුගේ අන්තිම කැමැති පත්‍රයද ලියන්නට උත්සාහ කළා. කෙසේ වෙතත් ඒ වැදගත් ලියවිල්ල බාප්පාගේ දර්ශනය විශ්වාස කරන යමෙක්‌ අත තිබුණොත් සමාජයට ඉදිරිපත් කරාවි.

සාකච්ඡා කළේ - ලක්‌මිණි ඇල්ලේවල
Read more
Friday, June 24, 2016
උසාවි භූමියේදී නීතියේ කන්‍යාව දූෂණය කළ හැටි

කේ.ඩබ්ලිව්. ජනරංජන

පසුගිය සතියේ සිකුරාදා හැම සිංහල පත්තර යකම පාහේ මුල් පිටුවේ පළමු පුවත ලෙස සඳහන්ව තිබුණේ අලි හොරකමට සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේට ඇප ලබාදුන් සිදුවීමයි. ඊට පෙර දීර්ඝ කාලයක් පුරා නීතියේ ඇසට වැලි ගසමින් තිළිණ ගමගේ කටයුතු කළ ආකාරය වාර්තා නොකර සිටි මේ බොහෝ පුවත්පත්වලටත් ඒ වනවිට සිදුවීම මඟහැර යා නොහැකි තරමේ බරපතළ තත්ත්වයක් ඇතිවී තිබිණි.

අත්අඩංගුවට ගැනීමේ උපදෙස් නිකුත් කැරුණු මැයි 13 වැනිදා සිට දින විස්සක පමණ කාලයක් ලජ්ජා නැති ලෙස නීතියෙන් කට්ටි පනිමින් සිටි සැකකාර මහේස්ත‍්‍රාත්වරයා ජුනි 2 වැනිදා ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේය. ඒ වනවිට වාර තුනක්ම ඔහු රහස් පොලිසියට යෑම මඟහැර තිබුණු අතර, රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට තැනින් තැන වටලමින් සිටියේය. මේ තත්ත්වය මත ඔහු කෙළින්ම පැමිණියේ ඉහළ මහලේ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්නගේ නිල කාමරය ආසන්නයටය. ඒ විනිසුරුවරුන් පමණක් භාවිත කරන විදුලි සෝපානයෙන් බවද දැනගන්නට තිබේ. ඔහු එතැන සිටියේ තමා අත්අඩංගුවට ගැනීමෙන් වැළකෙන්නටය. එවැනි තැනකදී ඔහු අත්අඩංගුවට ගන්නට රහස් පොලිසිය වුවද ඉදිරිපත් නොවෙයි. එතැනින් කෙළින්ම කනිෂ්ක විජේරත්න මහේස්ත‍්‍රාත් වරයාගේ උසාවියට ඇතුළු වූ සැකකාර මහේස්ත‍්‍රාත් වරයා වෙනුවෙන් නීතිඥවරු විශාල පිරිසක් පෙනීසිටියෝය. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සේවාදායකයන්ගේ නඩු වෙනුවෙන් තිළිණ ගමගේ ඉදිරියේ පෙනීසිටින නීතිඥවරුන් සැලකිය යුතු පිරිසක්ද මේ මොහොතේ තමන්ට අතිශය හිතවත් මේ සැකකාර මහේස්ත‍්‍රාත්වරයා වෙනුවෙන් පෙනීසිටීම විශේෂයකි. සැකකරු කළු කෝට් එකක් ඇඳ උසාවියේ සිටි අතර, මහේස්ත‍්‍රාත්වරයා එය ගලවන ලෙස සැකකරුට නියම කළේය. සැකකරුවකු කළු කෝට් එකක් ඇඳගෙන සිටීම කිසි ආකාරයකින් අධිකරණයේ ක‍්‍රියාපටිපාටියට පටහැණි දෙයක් නොවන නමුත්, තමාගේ ස්වාධීනත්වය උලූප්පා පෙන්වන්නට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න එසේ නියම කරන්නට ඇත.

ගංගොඩවිල මහේස් ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න සැකකාර මහේස්ත‍්‍රාත් වරයාගේ සමීප මිතුරකු බව මුළු නීති ක්‍ෂෙත‍්‍රයම දනියි. එසේ තිබියදී, මේ නඩුව අසන්නට කිසිම සදාචාරාත්මක සුදුසුකමක් මේ මහේස්ත‍්‍රාත්වරයාට නැත. තිළිණ ගමගේගේ නඩුව ඇසීම ගැන සැකයක් තමාටම ඇති බව මේ මහේස්ත‍්‍රාත්වරයා දෙවරක්ම විවෘත උසාවියේදී පෙන්වූයේය. මැයි 30 වැනිදා මේ නඩුව පළමුවරට තමා ඉදිරියේ කැඳවූ විට මහේස්ත‍්‍රාත්වරයා නඩුවේ පාර්ශ්වයන්ගෙන් විමසා සිටියේ තමා මේ නඩුව අසනවාට කිසියම් විරෝධතාවක් තිබෙන්නේද යන්නයි. ඒ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් අධිකරණයට කීවේ, ඔබතුමාම එය තීරණය කළ යුතු බවය. එදින නඩුව විමසූ කණිෂ්ක විජේරත්න, එය ජුනි 2 වැනිදාට කල් තැබුවේය. ජුනි 2 වැනිදා නඩුව කැඳවූ විට ඔහු නැවතත් ඇසුවේ තමා නඩුව අසනවාට පාර්ශ්වයන්ගේ විරෝධයක් තිබෙනවාද කියාය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට කීවේ, සැකකාර මහේස්ත‍්‍රාත් සමඟ ඔබතුමාගේ සම්බන්ධය හුදු රාජකාරි සම්බන්ධයක් පමණක් නම් ප‍්‍රශ්නයක් නොවන බවත්, එහෙත් ඇත්තේ පෞද්ගලික සම්බන්ධයක් නම් ඔබතුමා මේ නඩුව අසනවාට දැඩි ලෙස විරෝධය දක්වන බවත්ය. මහේස්ත‍්‍රාත්වරයා ඒ විරෝධය සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් නොදක්වාම නඩුව දිගටම ඇසුවේය. නීතිපතිවරයා පොදු දේපළ පනත යටතේ සැකකාර මහේස්ත‍්‍රාත්ට චෝදනා ගොනුකළ හැකි බව පැහැදිලිව කියා තිබෙද්දී, රජයේ අධිනීතිඥවරයා පැරණි නඩු තීන්දුද උපුටා දක්වමින් අලි පැටියා පොදු දේපළක් බව පැහැදිලි කරද්දී, මහේස්ත‍්‍රාත්වරයා තීරණය කළේ එය පොදු දේපළ පනත යටතට නොවැටෙන බවයි. නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාමාණිකයන් කියන්නේ අලි පැටියා පොදු දේපළක්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ මේ නඩුව විභාගයට ගන්නා මහාධිකරණයට බවයි. මිනීමැරීමක් හෝ ස්ත‍්‍රී දූෂණයක් හෝ සම්බන්ධයෙන් චෝදනා කොට අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවකු රක්‍ෂිත බන්ධනාගාරගත කරනවා හැරෙන්නට එය මිනීමරුමක්ද, ස්ත‍්‍රී දූෂණයක්ද යනුවෙන් තීරණය කිරීමේ බලයක් පහළම අපරාධ උසාවිය වන මහේස්ත‍්‍රාත් අධිකරණවල සිටින කනිෂ්ඨ විනිසුරුවරුන්ට නැත. පොදු දේපළ පනත යටතේ වන බරපතළ වැරදි සම්බන්ධයෙන්ද තත්ත්වය එසේය.

මේ හා සමාන නඩුවක් වූ උඩුවේ ධම්මාලෝක හිමි සම්බන්ධ කාරණයේදී කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය එහිමියන් පොදු දේපළ සම්බන්ධ වරදක් කළ බවට චෝදනා කොට රිමාන්ඞ් බන්ධනාගාරගත කළේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එහිමියන්ට ඇප ලබාගැනීම සඳහා නීතිඥවරුන් උසාවියෙන් කළ ඉල්ලීමේදී දක්වනු ලැබුවේ, ‘සුවිශේෂ හේතු’ය. ඇප ලබාගැනීමට සුවිශේෂ හේතු දැක්වීමක් අවශ්‍ය වන්නේ පොදු දේපළ පනත යටතේ වරදක් කළැ’යි චෝදනා කරන විටය. කණිෂ්ක විජේරත්න මහේස්ත‍්‍රාත්වරයාගේ තිරණයෙන් මේ සම්බන්ධ යෙන් සාමාන්‍යයෙන් පවතින නීතිමය තත්ත්වයද ප‍්‍රශ්නයට ලක්කෙරේ.

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක් වන්නටයැ’යි බැසිල් රාජපක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැම්මේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ වැදගත් කාරණයක් වුණේ, කාර්ය පටිපාටියේ තිබෙන කරුණු දක්වමින් සැකකරුවන් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට කරන ඉල්ලීම් අධිකරණය පිළිගතහොත් පොලිසියට කිසිම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වන බවය. ඒ තර්කයම තිළිණ ගමගේගේ සිදුවීමටද යෙදුවහොත්, නීතිපතිවරයා කරන චෝදනා ගැන අවසන් තීන්දු මහේස්ත‍්‍රාත්වරුන් දෙන්නට ගියහොත් කිසිම වරදක් සම්බන්ධයෙන් නඩු විභාග අවශ්‍ය නොවන්නේය. එහෙත්, සාමාන්‍ය මිනිසුන් පොදු දේපළ සම්බන්ධයෙන් හෝ වෙනත් බරපතළ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන විට මහේස්ත‍්‍රාත්වරුන් කරන්නේ පොලිසිය කියන දෙයවත් නොඅසාම රිමාන්ඞ් කරන්නට නියෝගය ලිවීමයි. එහෙත් ගජමිතුරන් හෝ විශේෂ පුද්ගලයන්යැ’යි මහේස්ත‍්‍රාත් වරුන් සලකන සැක කරුවන් හෝ සම්බන්ධයෙන් නීතිය සාමාන්‍ය මිනිසාට යෙදෙන ආකාරයෙන් යොදන්නේ නැත.

තමා නඩුව ඇසීම ගැන තමාටම සැකයක් ඇතිවී තිබෙන කල, ඒ ගැන ප‍්‍රසිද්ධියේ විමසනවාට වඩා මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න කළ යුතු වූයේ නඩුව නොඅසා සිටීමයි. පැරණි සිදුවීමක් දක්වමු. තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කළ විට ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිගත් අතර, දීර්ඝ කාලයකට ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කළේය. ඒ තීරණය දුන් විනිසුරු මඬුල්ලේ විනිසුරු ඊවා වනසුන්දරද සිටියාය. නීතිපතිව සිටි කාලයේ තමා සවස වැඩ ඇරී ගෙදර යන ගමන් අරලිය ගහ මන්දිරයට කැඳවා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය පිරිනැමූ හැටි ගැනත්, මහින්ද රාජපක්‍ෂ සමඟ පැවැති සමීප ඇසුර ගැනත් කාලයකට පෙර ඊවා වනසුන්දර මහත්මිය පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡුාවක් උපුටා ලිපියක් පළකළ රාවය විමසා සිටියේ, ඇය ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ නඩුවක් ඇසීම කෙතරම් සදාචාරාත් මකද, අපක්‍ෂපාතීද යන්නයි. විනිසුරුවරිය මේ කාරණය දැඩි ලෙස අවධානයට ගත් බවක් පෙනෙන්නට තිබුණු අතර, ඊට පසු ඇය ඉදිරියට ආ බැසිල් රාජපක්‍ෂ සම්බන්ධ එවැනිම පෙත්සමක් ගැන ඇසීමෙන් වළකින බව විවෘත අධිකරණයේදී ප‍්‍රකාශ කළාය. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසි කළේ බැසිල් රාජපක්‍ෂගේ එම පෙත්සමයි.

එහෙත්, නීති වෘත්තිය සම්බන්ධ පරිණත දැනුමක් හා ගෞරවයක් තිබෙන ඇය වැන්නවුන්ගෙන් කණිෂ්ක විජේරත්න වැනි කනිෂ්ඨ නිලධාරීන් ආදර්ශ ගන්නා බවක් නොපෙනේ. ඒ නොදන්නාකම නිසාම නොවේ. සැඟවුණු වෙනත් අරමුණු නිසාය. කණිෂ්ක විජේරත්න තම මිතුරාගේ නඩුව ඇසීම ප‍්‍රතික්‍ෂෙප කළා නම් විය හැකිව තිබුණේ වෙනත් විනිසුරුවරයකු එය අසා පොදු දේපළ පනත යටතේ රිමාන්ඞ් කිරීම හෝ නොකිරීම ගැන හෝ ගැන තීරණයක් කිරීමයි. නීතියට අනුව එහිදී ඇත්තේ තිළිණ ගමගේ රිමාන්ඞ් වීමට වැඩි සම්භාවිතාවකි. මේ තත්ත්වය තම මිතුරාට අත්වනවාට අකමැති මිතුරකුගේ මැදිහත්වීමකි කණිෂ්ක විජේරත්න පෙන්නුම් කළේ.

කොහොම වුණත් තිළිණ ගමගේට ඇප දීමට තීරණය වුණේ සවස 6.45ට පමණය. රුපියල් ලක්‍ෂ විසිපහ බැගින් ශරීර ඇප හතරක්ද රුපියල් ලක්‍ෂ පහක මුදල් ඇපයක්ද නියම කෙරිණි. ශරීර ඇපවලින් එකක් රජයේ සේවකයකු විය යුතුය. සාමාන්‍යයෙන් උසාවි කාර්ය මණ්ඩලය සවස 4.15 වන විට සේවය අවසන් කරන අතර, 3.45 වන විට ඇප මුදල් භාරගැනීම අවසන් කරයි. මේ දිනයේ උසාවි කාර්ය මණ්ඩලය සවස 7 වනතුරු උසාවියේ සිටි බව පුවත්පත් වාර්තා කළේය. ශරීර ඇප තබන පුද්ගලයන්ගේ අනන්‍යතාව, පදිංචිය හා උසාවියට අවශ්‍ය වෙනත් කාරණා පරීක්‍ෂා කොට ඇප බැඳුම්කර අත්සන් කිරීමට සැලකිය යුතු වේලාවක් ගන්නා බව සරල රථවාහන වැරදිවලට දඩ ගසා වරුවක් පමණ උසාවියේ රස්තියාදු වන සාමාන්‍ය ජනතාව පවා දනිති. පුදුමයකට මෙන් මේ සියලූ කරුණු සම්පූර්ණ කොට සැකකාර මහේස්ත‍්‍රාත්වරයා පැය භාගයකින්, එනම් සවස 7.15 වන විට අධිකරණ භූමියෙන් නික්ම ගියේය. එහෙත්, ලක්‍ෂ පහක ඇප මුදල තැන්පත් නොකරය.

අධිකරණයෙන් ඇප නියම කළ විට, ඒ ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් අපහසුවක් ඇත්නම්, දිනයක් අවශ්‍ය නම් ඒ ගැන විවෘත උසාවියේ ඉල්ලීමක් කළ යුතුය. රුපියල් ලක්‍ෂ 5ක ඇපය සම්බන්ධයෙකන් තිළිණ ගමගේගේ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක් විවෘත අධිකරණයේ නොකෙරිණි. යම් හෙයකින් එවැනි ඉල්ලීමක් රෙජිස්ට‍්‍රාර් වරයාටද කළ හැකිය. එවිට රෙජිස්ට‍්‍රාර්වරයා ඒ ගැන නඩු පොතේ සටහනක් යොදා යළිත් මහේස්ත‍්‍රාත්වරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරයි. ඇප සඳහා වෙනත් දිනයක් ලැබෙන්නේ මහේස්ත‍්‍රාත්වරයා රෙජිස් ට‍්‍රාර්ගේ සටහන අනුමත කළහොත් පමණකි. මේ අවස්ථාවේදී එවැන්නක්ද සිදු නොවුණු බවට පැහැදිලි වන්නේ මහේස්ත‍්‍රාත්වරයා ඇප නියම කළ වහා විනිසුරු අසුනෙන් බැස උසාවි භූමියෙන්ද පිටව ගිය බැවිනි. ඒ අනුව තිළිණ ගමගේ පිටව යන්නේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් තොරවය. ඇප මුදල තැන්පත් කරන්නේ පසුවදා දහවල්ය. ඇප කොන්දේසි සපුරන්නේ නැති පුද්ගලයකුට අධිකරණ භූමියෙන් පිටවීම තහනම්ය. උසාවියේ පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් ඒ ගැන වගකිව යුතුය. මේ අවස්ථාවේ ඒ වගකීමද පැහැර හැර තිබෙන බව පෙනෙයි. එය සැලසුමක කොටසක්ද?

තිළිණ ගමගේ උසාවියෙන් පිටව ගිය ආකාරයද පාතාල ක‍්‍රියාන්විතයක් සිහිගන්වයි. ඔහු උඩුමහලෙන් පහළට බැස්සේ විනිසුරුවරුන්ගේ සෝපානය පාවිච්චි කරමිනි. නීතිඥවරුන්ගේ හා මැරයන්ගේ ආරක්‍ෂාව හා ආවරණය ඇතිවය. විනිසුරුවරුන්ගේ වාහන නවත්වන සීමාවට ගෙන්වාගත් සුදු වෑන් එකක නැගී ඔහු පිටව යනවිට රථය වටකරගත් මැරයෝ මාධ්‍යවේදීන් ඡුායාරූප ගැනීම බලහත්කාරයෙන් වළක්වන්නට උත්සාහ කළහ. ඒ රටේ නීතිය රකින්නට අනුන්ට නියෝග දෙන නඩුකාරයකු පාතාලයකුගේ තත්ත්වයට වැටී සිටි ආකාරයයි. මෙවැනි පුද්ගලයන් විනිශ්චයාසනාරූඪ වූ කල ඒ රටේ මිනිසුන්ට නීතිය ගැන ඇති විශ්වාසය කුමක්ද?

ජුනි 2වැනිදා ගංගොඩවිල උසාවියේ සිදුවූ නින්දිත සිදුවීම්වලට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න හා සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ වගකිව යුතුද නැද්ද? ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මේ ප‍්‍රශ්නය දැන් අධිකරණ සේවා කොමිසම වෙතින් නඟා තිබේ. එහි සභාපති ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අගවිනිසුරු වරයා අමතා ජුනි 6වැනිදා යවන ලිපියකින් දක්වා ඇත්තේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන ලෙසය.

තිළිණ ගමගේ හා කණිෂ්ක විජේරත්න අතර ඇති සමීප මිතුරුකම ගැන තොරතුරු තිබියදී කණිෂ්ක විජේරත්න මේ නඩුව ඇසීමෙන් වැළකී සිටිය යුතුව තිබියදී හා රජයේ නීතිඥවරයා විරෝධය පළකරද්දී නඩුව ඇසීම, තිළිණ ගමගේට විශේෂයක් වශයෙන් රාත‍්‍රි 7 වනතුරු නඩුව ඇසීම, තිළිණ ගමගේට පැමිණීමට හා ආපසු යෑමට විනිසුරුවරුන් පමණක් භාවිත කරන විදුලි සෝපානය යොදාගැනීමට ඉඩදීම, ඇප කොන්දේසි සපුරන්නේ නැතිව තිළිණ ගමගේට පිටව යන්නට ඉඩ හැරීම යන කාරණා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ රටේ අධිකරණය හැසිරුණු විසුළු හා ලජ්ජාසහගත ආකාරය ගැන රටේ සියල්ලෝම දනිති. ඒ ආණ්ඩුව පෙරළුවේ යළිත් එලෙස පක්‍ෂග‍්‍රාහීව නඩු අසනු දකින්නට නොවේ. තරාතිරම, යාළු මිත‍්‍රකම් නොසලකා නීතිය සමානව හා සාධාරණව ක‍්‍රියාවේ යොදවනවා දකින්නටය. ඒ පිරිසිදු තත්ත්වයට කුමන හේතුවක් නිසා හෝ අභියෝග කරන ඕනෑම පුද්ගලයකු සැලකිය යුත්තේ නීතියේ කන්‍යාව මහදවාලේ දුෂණය කරන දූෂකයන් ලෙසටය. අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසමක් තිබෙන්නේ මෙලෙස නීතිය දූෂණය වීමෙන් වළක්වා මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය නීතිය වෙනුවෙන් පවත්වාගැනීමේ වගකීම ඉටු කරන්නටය.
ravaya -
Read more
මහා ඇලැක්සැන්ඩර් සහ මුහුණුපොත

ප්‍රභාශ්වර

පුරාණ ග‍්‍රීක රාජ්‍යයක් වන මැසිඩෝනියාවේ, ‘පෙලා’හිදී, ක‍්‍රිස්තු පූර්ව 356දී ඉපදුණු මහා ඇලැක්සැන්ඩර්, වයස 20 එළැඹෙත්ම එරට රජතුමා ලෙස සිංහසනාරූඪ විය. ඔහුට වයස අවුරුදු 30 වන විට ග‍්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විසිර තිබුණු සියලූම රාජ්‍යයන් හෙතෙම සිය මිලිටරි ආක‍්‍රමණයන් ඔස්සේ තම අධිරාජ්‍යයට ඈඳා ගත්තේය. යුද සැලසුම් හා අදාළ ප‍්‍රඥාවෙන් අගතැන්පත් මහා ඇලැක්සැන්ඩර් බොහෝ ඉතිහාසඥයන් හඳුන්වන්නේ ලොව අපරාජිත මහා සේනාධිනායකයා ලෙසය. කුඩා කල සිටම (වයස අවුරුදු 16 සපිරෙන තෙක්) ඔහුගේ නිල ගුරුවරයා වූයේ මහා ග‍්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ය. එහෙයින් ලොව සියලූ දර්ශනවාද ගැඹුරින් හැදෑරීම පිණිස මහා ඇලැක්සැන්ඩර් තම විවේක කාලයෙන් වැඩි කොටසක් යෙදැවීය.

මුහුණුපොතේ නිර්මාතෘ මාර්ක් එලියට් සුකර්බර්ග්, උසස් පෙළ සිසුවකු ලෙස ඇමරිකාවේ, නිව් හැම්ප්ෂයර්හි ‘ෆිලිප්ස් එක්ස්ටර්’ ඇකඩමියේ උගන්නා කාලයේදී එම විදුහලේ කඩු හරඹ කණ්ඩායමේ නායකත්වය දැරීය. මාර්ක් පොත්පත්වලට කෙතරම් ඇබ්බැහි වූවෙකුද යත්, හෙතෙම උසස් පෙළ අවසානයේදී සම්භාව්‍ය සාහිත්‍යය හා අදාළව උසස් ඩිප්ලෝමාවක් දිනා ගත්තේය. 2002 වසරේදී මාර්ක් හාවර්ඞ් සරසවියට ඇතුළු වූ අතර ‘මුහුණුපොත’ නමැති සමාජ වෙබ් වේදිකාව ඔහු ගොඩනැගුවේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ කාමර යක සිටය. මුලින් හාවර්ඞ්හි සිසු සිසුවියන්ට පමණක් සීමාවූ ‘මුහුණුපොත’ 2004 වන විට අන්තර්ජාලයේ ව්‍යාපාරයක් ලෙස ගොඩනැංවීමට මාර්ක් ක‍්‍රියා කළේය. ඇක්සෙල් පාට්නර්ස් නමැති ආයෝජකයා ඇමරිකන් ඩොලර් මිලියන 12.7ක් මුහුණුපොතෙහි ආයෝ ජනය කළේ 2005 වසරේදීය. ඒ වනවිට මුහුණුපොතෙහි නිත්‍ය සාමාජිකත්වය ලබා සිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 5.5ක් විය.

ගෝලීය ව්‍යාප්තිය

මා, මාර්ක් සුකර්බර්ග් මහා ඇලැක්සැන්ඩර්ට සමාන කරන්නේ, ඔහු වයස 18දී ඉතා සුළුවට ආරම්භ කළ සිය සමාජ වෙබ් අඩවිය වෙත 31 වැනි උපන් දිනය සමරන මොහොත වනවිට බිලියන 1.6ක ලෝකවාසීන් පිරිසක් යළි නොගැළවෙන පරිදි ඈඳාගෙන සිටින හෙයිනි. මෙය සැබැවින්ම මහා ඇලැක්සැන්ඩර්ගේ භෞතික අධිරාජ්‍යයට වඩා සුවිසල් හා අපරාජිත අධිරාජ්‍යයක් වග මෙහිදී අවධාරණය කළ යුතුය. මුහුණුපොත යනු වත්මනෙහි ලොව හයවැනි විශාලතම පොදු සමාගම වන අතර එහි වෙළෙඳපොළ අගය ඇමරිකන් ඩොලර් බිලියන 325 ඉක්මවයි. ඇමරිකානුවන් සිය අන්තර්ජාල සැරිසැරුම් කාලයෙන් 22%ක්ම වෙන්කරන්නේ මුහුණුපොත සඳහාය. ගූගල් හා යූටියුබ් යන දෙකම වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ සිය කාලයෙන් 11%ක් පමණි. අන්තර්ජාලය හා අදාළ නොවරදින න්‍යායන් 03ක් තිබුණි. පළමුවැන්න නම් සමාජ වෙබ් අඩවිවල ආයු කාලය ඉතා කෙටියැ’යි යන මතවාදයයි. දෙවැන්න, ඒවායින් මුදල් හම්බ කිරීම කිසිසේත් කළ නොහැකිය යන අදහසයි. සමාජ වෙබ් අඩවි ඔස්සේ දැන්වීම් ප‍්‍රචාරණය කොට මුදල් ඉපැයීම, හරි යන වැඩක් නොවේය යන මතය මෙහි තෙවැන්නයි. මාර්ක් සුකර්බර්ග් Facebook හරහා මෙකී න්‍යායයන් තුනම සුනු විසුනු කර දැමීය. වසර 30ක මැතිවරණ ඉතිහාසයකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාවද සිය 2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණය, මුහුණුපොතේ සයිබර් අවකාශය වෙතින් විශාල බලපෑමකට ලක්වූ එකක් වග පැහැදිලිව පෙන්නුම් කළේය. ‘කොමසාරිස්ට කියන්න’ යන නාමයෙන් ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයාද මුහුණු පොතේ පිටුවක් අරඹමින් ඡුන්දදායකයන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික අවකාශයක් සලසා දුන්නේය. තම ඡුායාරූප, පවුලේ තොරතුරු හා පෞද්ගලික රසවින්දනය යන දේවල් සිය සමීප ඥාතීන් හා මිත‍්‍රයන් සමග බෙදාහදා ගැනීම, දේශපාලන මතවාද හුවමාරු කරගැනීම යනාදිය අද බොහෝ දෙනෙක් සිදුකරන්නේ ‘මුහුණු පොත’ හරහාය. 2008 ඇමරිකානු ජනපතිවරණයෙන් ජයගත් බැරැක් ඔබාමා MyBo (My Barack Obama)  නමැති මුහුණුපොතේ පිටුව ඔස්සේ තමන්ට සහයෝගය දක්වන සිිවිල් සංවිධාන කණ්ඩායම් 35000ක් පමණ ගොඩනගා ගෙන සිිටියේය. මුහුණු පොත හරහා හෙතෙම 2008දී රැස්වීම් ලක්ෂ දෙකක් සංවිධානය කළ අතර ඩොලර් මිලියන 30ක ‘මැතිවරණ වියදම්’ අරමුදලක්ද ස්ථාපිත කළේය.

දිගුකාලීන සැලසුම

මුහුණුපොතට වත් මනෙහි සම්බන්ධව සිටින ලෝවාසීන් බිලියන 1.6කගේ රසඥතාවන්, ඕනෑඑපාකම්, දේශපාලන මතවාදයන් යනාදි මෙකී නොකී දේ 100%ක් නිවැරදිව විශ්ලේෂණය කිරීම මුහුණුපොතේ පරිගණක විශේෂඥයෝ විසින් සිදුකරති. මේ තොරතුරු ප‍්‍රචාරක ආයතන සමග බෙදා හදා ගැනීම ඔස්සේ ‘මුහුණු පොත’ විවිධ වෙළෙඳ සමාගම්වලට සුවිසල් ඉලක්කගත ජනකායක් විවර කර දෙයි. යෞවන මලල ක‍්‍රීඩකයන් සඳහා පෝෂ්‍යදායී විටමින් පාන අලෙවි කරන සමාගම්, මුහුණුපොත හරහා එම ක‍්‍රීඩකයන්ගේ මව්පියන් ආමන්ත‍්‍රණ කරයි. ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ සිය අලෙවි ප‍්‍රචාරණය සිදුකිරීම සඳහා ලොව විවිධ සමාගම්, 2015 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 70ක් වියදම් කළේය. මින් 19%ක්ම උකහා ගත්තේ මුහුණු පොතයි. අන්තර්ජාලය හරහා ඡුායාරූප බෙදා හදාගන්නා සේවාවක් සැපයූ ඉන්ස්ටග‍්‍රෑම් ආයතනය, මතුදා තම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට තර්ජනයක් වේයැ’යි සිතූ මාර්ක් සුකර්බර්ග්, 2012දී ඩොලර් බිලියනයකට එම සමාගම මිලට ගත්තේය. සේවකයන් 13ක් පමණක් සිටි, හරිහමන් ලාභයක් පවා නොලැබූ එවැනි කුඩා ආයතනයක් මිලට ගැනීම මෝඩකමක් ලෙස සැලකූ බොහෝ ඇමරිකානු ව්‍යාපාරිකයෝ එදා මාර්ක්ට ඒ ගැන උසුලූ විසුලූ කළහ. ඉන්ස්ටග‍්‍රෑම් හරහා ලොව විවිධ සමාගම්වලට වෙළෙඳ ප‍්‍රචාරණය සඳහා අදාළ ඉඩකඩ ත්‍්ජැඉදදන විසින් සලසා දීම ඔහු ආරම්භ කළේ 2015 වසරේදීය. 2016 වනවිට දැන්වීම් ප‍්‍රචාරණය මගින් පමණක් ඉන්ස්ටග‍්‍රෑම් ත්‍්ජැඉදදන වෙත උපයා දුන් මුදල ඩොලර් බිලියන දෙක ඉක්මවීය. ග‍්‍රාහකයන් මිලියන 450කගෙන් සමන්විත ‘වට්ස් ඇප්’ නමැති සන්නිවේදන සේවාව අත්පත් කරගැනීම සඳහා 2014දී Facebook ඩොලර් බිලියන 22ක් වැය කළේය. 2016 වන විට වට්ස් ඇප් ග‍්‍රාහක සංඛ්‍යාව බිලියනයක් දක්වා ඉහළ ගොස් තිබේ. ස්මාර්ට් දුරකතන ග‍්‍රාහකයන් හා අදාළ දත්ත නව තාක්ෂණික මෙවලම් හරහා අතිසියුම් ලෙස විශ්ලේෂණය කරන ‘ඔනවෝ’ නමැති ඊශ‍්‍රායල සමාගම, Facebook විසින් මිලට ගත්තේ 2013 වසරේදීය. මේ අත්පත් කරගැනීම වෙනුවෙන් මාර්ක් වැය කළ මුදල ඩොලර් මිලියන 120කි. වෙළෙඳපොළ තරගයේදී Facebook තර්ජනයක් විය හැකි සමාගම් ගැන ඇස ගසාගෙන සිට ඒවා මිලට ගැනීම සුදුසුද නැද්ද යන්න තීරණය කරන්නේ ඔනවෝ සමාගමයි. මුහුණුපොතේ සාමාජිකයන්ට ‘වට්ස් ඇප්’ ඔස්සේ විවිධ සමාගම්වල භාණ්ඩ හා සේවාවන් සහන මිලට ලබාගැනීමේ අවස්ථාව හා ඒවායේ කළමනාකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවකාශය දැන් මාර්ක් විසින් විවර කොට තිබේ. නෙදර්ලන්ත ගුවන් සේවය සිය පිවිසුම් පත‍්‍ර දැන් ‘වට්ස් ඇප්’වලින් සිය ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරනු ලබයි.

ආර්ථික බලපෑම

මුහුණුපොතෙහි මෘදුකාංග යොදා ගනිමින් බ්ලොග් අඩවි, අලෙවි ප‍්‍රවර්ධන ව්‍යාපෘතීන් හා තරග, ගනුදෙනුකරුවන් ඉලක්ක කොටගත් උපකාරක සේවා සහ තම නිපැයුම් ඉලෙක්ට්‍රොනික වේදිකා ඔස්සේ අලෙවි කරගැනීම යනාදි බොහෝ දේවල් සංවිධානය කරගැනීමේ හැකියාව ව්‍යාපාරිකයන්ට දැන් විවර වී තිබේ. පරිගණක ක‍්‍රම ලේඛකයන්ට (Programmer) නව මෘදුකාංග නිර්මාණය කොට ඒවා මුහුණුපොත භාවිත කරන ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ අවස්ථාවද මේ හරහා හිමිවෙයි. ක‍්‍රම ලේඛකයන්, ව්‍යාපාරිකයන් හා ගනුදෙනුකරුවන් එකිනෙකාට මුණගස්වන Facebook අලෙවි කරන වේදිකාව විසින් 2014 වසරේදී ඩොලර් බිලියන 148ක ගෝලීය වෙළෙඳාමක් හා මිලියන 2.3ක ගෝලීය රැකියා නිපැයුමක් ජනිත කරනු ලැබීය. ඇමරිකාව තුළ ක‍්‍රියාකාරී සාමාජික යන්ගෙන් 33%ක්ම ඊට ප‍්‍රවේශවන්නේ තම ස්මාර්ට් ජංගම දුරකතන මගිනි. ඇපල් හා ගූගල් ප්ලේ වෙතින් නොමිලේ බාගත හැකි ලොව මුල්පෙළේ උපාංග දහයට හිමිකම් කියන්නේ මුහුණුපොතයි. මුහුණුපොතේ අතිනවීන මෘදුකාංග හා ජනප‍්‍රිය උපාංගවලට ඇබ්බැහි වන බහුතරය, ඉතා වේගයෙන් ඒවා බාගත හැකි අලූත්ම ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලට ගැනීමට පෙළැඹෙයි. එමගින් ස්මාර්ට් ෆෝන් හා ටැබ්වලට ඇති ගෝලීය ඉල්ලූම බෙහෙවින් ඉහළ යයි. එවිට, එම උපකරණ නිෂ්පාදනය කරන සමාගම්වල, ඒවා තොග හා සිල්ලර වශයෙන් අලෙවි කරන වෙළෙඳුන්ගේ ආදායමද ඊට සමගාමීව ඉහළ යයි. 2013දී මුහුණුපොත, සිය internet.org නමැති නිර්මාණය හරහා අන්තර්ජාල සබඳතා නොමැති ජනයාට ඊට (සීමිතව හෝ) සම්බන්ධවීමේ අවස්ථාව උදාකර දුන්නේය. මිල අධික නොවන ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔස්සේ සෞඛ්‍ය, අධ්‍යාපන හා ආණ්ඩුවේ විවිධ තොරතුරු රැුගත් වෙබ් අඩවි වෙත නොමිලේ පිවිසීමේ හැකියාව කෙන්යාවේ, සැම්බියාවේ හා ටැන්සානියාවේ සාමාන්‍ය ජනතාවට internet.org මගින් විවර විය.

2014 ජුනි මාසය වනවිට කුඩා හා මධ්‍යම පරිමාණයේ ගෝලීය ව්‍යාපාරයන් මිලියන 30ක් පමණ ඊ වෙළෙඳාම සඳහා මුහුණු පොතේ පිටු අරඹා තිබුණි. ලොව විශාල සමාගම් මිලියන 1.5ක්ම සිය අනාගත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා යොදා ගන්නේ facebook වෙබ් වේදිකාවයි. 2013 සිට 2014 දක්වා ගෙවී ගිය වර්ෂය තුළ පමණක්, මුහුණුපොතට සම්බන්ධ වුණු අලෙවිකරුවන්ගේ සංඛ්‍යාව 50%කින් ඉහළ ගියේය. චීන රජය මුහුණුපොතට තහංචි දමා තිබෙන්නේ එමගින් පුරවැසියන් අතර අනවශ්‍ය දේශපාලන සංවාද හටගනීයැ’යි යන බියෙනි. එහෙත් මාර්ක් සුකර්බර්ග් චීන (මැන්ඩරින්) භාෂාව හොඳින් ප‍්‍රගුණ කොට තිබෙනවා පමණක් නොව එරට සිංහුවා සරසවියේ උපදේශක මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. facebook සාමාජිකයන්ගේ ඇවතුම්-පැවතුම් හා පුද්ගලික තොරතුරු, ලොව අංක එකේ අලෙවි ප‍්‍රචාරකයන් හා බහුජාතික සමාගම් සමග හුවමාරු කරගනිමින් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් උපයන Facebook අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව 2016 මාර්තු මාසයේදී ජර්මනියේ ව්‍යාපාර තරගකාරිත්ව අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කළද එය තර්කානුකූල අවසානයක් කරා ගෙනයන්නට එහි බලධාරීහු අසමත් වූහ. මහා ඇලැක්සැන්ඩර් සිය ලෝක ආක‍්‍රමණවලට තිත තැබුවේ වයස අවුරුදු 32දී ඔහු මරණයට පත්වීමත් සමගය. භාෂා 37කින් ක‍්‍රියාත්මක වන මුහුණුපොත, වයස 31 පසුවන මාර්ක් සුකර්බර්ග් සමග සිය සයිබර් අධිරාජ්‍යය ව දුරටත් පුළුල් කරනු නිසැකය.

ravaya -
Read more
Tuesday, June 21, 2016
ආණ්ඩුව වට්ටන්න පුළුවන්  -  උපුල් ජෝශප් ප්‍රනාන්දු

1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්‍ෂ නායක ධුරය හිමි නොවීය. ඒත් ඇය ඒ ගැන කම්පා වුණේ නැත. ලොව ප්‍රථම අගමැතිනිය සහ නොබැඳි ජාතීන්ගේ සභාපතිනිය ලෙස ගෞරවයට ලක් වී සිටි ඇය 1977 පරාජයෙන් පසු අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙස ජේ.ආර්.ගේ ආණ්ඩුවට දැඩි ලෙස පහර ගැසුවාය. තුනෙන් දෙකක බලයක් නොව හයෙන් පහක බලයක් හිමි ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයට වට කොට පහර ගහද්දීත් ඇය නොබියව නොසැලී සිටියාය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ පළමු අය - වැය ඉදිරිපත් කරමින් රොනී ඩි මෙල් කීවේ මම අද ආවේ රත්වත්තේලාට රත්වෙන්න දෙන්න කියාය. මැතිනිය නොසැලී ඔහුගේ චෝදනා සහ කර්කශ ප්‍රහාර අසාගෙන සිටියාය. ඇය උත්තර දෙන වෙලාව ආ විට රොනීට වැටෙන්න ගැහුවාය.

ඇය පමණක් නොව ඇයත් සමඟ පාර්ලිමේන්තුවේ සිටි පුත් අනුර රොනීට ප්‍රේමදාසට ගැහුවේ වැටෙන්නය. අනුර පාර්ලිමේන්තුවේ සිය පළමු කතාව කරද්දී යූ.ඇන්.පී. ආණ්ඩුවම 'හූ' කීහ. ඒත් අනුර සැලුණේ නැත. හූ හඬ මැද්දේ ඔහු කතාව කරගෙන ගියේය. ජේ.ආර්. බණ්ඩාරනායක මැතිනියට එරෙහි ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ගෙන ආවේ ඒ කාලයේය. විශේෂ ජනාධිපති කොමිසමකින් ඇයට එරෙහි චෝදනා විභාග කරනු ලැබීය. ඇය කවදාවත් ජේ.ආර්.ට කතා කළේත් නැත. ජේ.ආර්.ට පණිවුඩ යැව්වේත් නැත. එලෙස පණිවුඩ යවනවා නම් ඇයට හොඳ චැනල් එකක් තිබිණි. ඇගේ සොහොයුරු සීවලී රත්වත්තේගේ දුව විවාහ වී සිටි උපාලි විජයවර්ධනය. උපාලි ජේ.ආර්.ගේ බෑනා කෙනකු විය. ඒත් මැතිනිය ජේ.ආර්.ට පණිවුඩ යැව්වේ නැත. ඇය ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට මුහුණ දුන්නාය. ඇය පාර්ලිමේන්තුවට සමුදෙන අවසන් දිනයේ එඩිතර කතාවක්ද කළාය.


"ඇයි එදා මැතිනිය වගේ අද මහින්ද පාර්ලිමේන්තුවේ සටන් නොකරන්නේ...?"
මැතිනිය සහ අනුර එදා කළ සටන හොඳ හැටි දන්නා ශ්‍රී ලංකාකාරයන් අහන්නේ ඔය ප්‍රශ්නයය.
"ඇයි මහින්ද විශ්වාසභංගයට ඡන්දය නොදී ජපන් ගියේ...?"
"ජපානයේ කොහෙන්ද ඡන්ද...?"
"ජපානයේ ලංකාවේ මිනිස්සුන්ට කතා කරලා කොහෙ ආණ්ඩු පෙරළන්නද...?"


ශ්‍රී ලංකාකාරයෝ මේ දවස්වල කටු කුටු ගාන්නේ ඔහොමය.
කතාව ඇත්තය. විශ්වාසභංගය දින මෛත්‍රිපාල ජනාධිපතිකම පැත්තක තියල පාර්ලිමේන්තුවට ඇවිත් තමන් හදපු ආණ්ඩුව ආරක්‍ෂා කරන්න වැඩ කළේය. එහෙනම් මහින්දත් හිටපු ජනාධිපතිකම පැත්තක තියලා ආණ්ඩුව වට්ටවන්න පාර්ලිමේන්තුවේ ගේම ගැසිය යුතුව තිබිණි. විශ්වාසභංගයට දින නියම වූ විට ඔහු කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන්ට පෞද්ගලිකවම කතා කරමින් ඔවුන් දිනා ගන්න එකය. රනිල් සමඟ ප්‍රශ්න තියෙන යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ට කතා කරමින් ඔවුන් දිනා ගන්න එකය. මහින්ද මේ කිසිත් කළේ නැත. ඔහු ජපන් යන්න ටිකට් ලෑස්ති කළේය. ඔහුගේ ලේකම් ලවා තානාපති වරප්‍රසාද ඉල්ලමින් සිටියේය. එක්කෝ මහින්ද මේ විශ්වාසභංගය තුනෙන් දෙකින් පරදින බව දැන සිටියේය. එහෙනම් විශ්වාසභංගය ගෙනාවේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ. 2014දී යූ.ඇන්.පී.ය මහින්දගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එද්දී මංගල එයට තදින්ම විරුද්ධ විය. ඔහු කීවේ මෙය මහින්දට ශක්තිය පෙන්වන්න යූ.ඇන්.පී.ය මහින්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් කියාය. කතාව ඇත්තය. ආණ්ඩුවක් ශක්තිමත්ව සිටියදී විශ්වාසභංග ගේන්නේ උපාය දන්නේ නැති මෝඩ විපක්‍ෂයක්ය.


"ඒ කියන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ විශ්වාසභංගයත් මෝඩ උපායක්ද...?"
ඒකාබද්ධ විපක්‍ෂය මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් කඩන්නය. ඔවුන් හිතුවේ යූ.ඇන්.පී.යේ සජිත්ලා රවීව ආරක්‍ෂා කරන එකක් නැහැ කියාය. විශ්වාසභංගයෙන් පසු දිනේෂ් කීවේ මේ විශ්වාසභංගයට යූ.ඇන්.පී.යේ කොටසක් කැමැති වුණා කියාය. ඒත් විශ්වාසභංගයට එක ඡන්දයක් යූ.ඇන්.පී.යෙන් ගන්න බැරි විය. ඒ කියන්නේ මේ විශ්වාසභංගය ගෙන ඇවිත් තම ශක්තිය පෙන්වන්න යූ.ඇන්.පී.ය දිනේෂ්ලාව පාවිච්චි කර ඇති බවය. අන්තිමේදී සජිත් රවී රකින්න කතාවක්ද කළේ ඒකාබද්ධ විපක්‍ෂය අන්දමන්ද කරවමිනි. ඒකාබද්ධ විපක්‍ෂයට ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් කඩන්න බැරි වුණා පමණක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් මෛත්‍රි කඩා ගත්තේය. ජ.වි.පෙ. නැතිනම් ඒකාබද්ධ විපක්‍ෂය පරදින්නේ ඇප නැතිවය.


මහින්ද එක්කෝ මෙය දැන සිටියේය. නැතිනම් මහින්ද මේ විශ්වාසභංගයේදී මොකක් හෝ පෙරළියක් වේ යැයි ජේ‍යාතිෂ ලණුවක් කාලා සිටියේය. එහෙමත් නැතිනම් මහින්ද, මෛත්‍රි හෝ රනිල් එක්ක ඩීල් එකක් දමා තිබුණේය. මහින්ද විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ හිටපු ජනාධිපතිවරයකු මන්ත්‍රි තත්ත්වයකට පත් නොවිය යුතු නිසා යැයි දිනේෂ් බී.බී.සී. සේවයට කියා තිබිණි. එය මහ විහිළු කතාවකි. මහින්ද පාර්ලිමේන්තු ආවේ ආණ්ඩුව වට්ටන්න නම් හිටපු ජනාධිපති ලේබලය අමතක කරලා, ඒ ගේම ගැසිය යුතුය. එහෙම නැත්නම් හිටපු ජනාධිපති ලේබලය ආරක්‍ෂා කරගෙන ගෙදර සිටිය යුතුය. මහින්දට හමුදා ආරක්‍ෂාවත් ඕනාය. හිටපු ජනාධිපතිට දෙන නිල නිවෙසත් ඕනාය. නිල කාර්යාලයත් ඕනාය. වාහනත් ඕනාය. ඒ වරප්‍රසාදත් ඕනාය. විදේශගත වෙද්දී හිටපු ජනාධිපතිට දෙන තානාපති වරප්‍රසාදත් ඕනාය. මේ ඔක්කොමත් එක්ක ආණ්ඩු වට්ටන්න බැරිය. හොඳම නිදසුන මහින්ද උගන්ඩා යෑමය. උගන්ඩා වැනි රටවල රාජ්‍ය නායකයන් ඉන්නේ ආණ්ඩු බලය හිමි රාජ්‍ය නායකයෝ එක්කය. විපක්‍ෂය සමඟ එවැනි රටවල නායකයන්ට ගනුදෙනුවක් නැත. හොඳම නිදසුන චීනයය. මහින්ද චීනයට ඔච්චර කරලාත් පරාජය වූවාට පසු චීනයට යාගන්න බැරි විය. චීනය, උගන්ඩාව වැනි රටවල් ඉන්නේ ආණ්ඩු එක්කය. එවැනි රටවලට විදේශ රටවල විපක්‍ෂ එක්ක ගනුදෙනුවක් නැත. විපක්‍ෂයන්ට තම රටවල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න උදවු කරන්නේ බටහිර රටවල්ය. ලංකාවේ ආණ්ඩු පෙරළන්න නම් පළමුව ඉන්දියාවේ හොඳ හිත දිනා ගත යුතුය. එහෙත් මහින්දට බටහිර රටවල් සමඟ මිත්‍ර වීමට හෝ ඉන්දියාවේ හොඳ හිත දිනා ගැනීමට උපාය මාර්ග නැත. වත්මන් ආණ්ඩුව පෙරළන්න උපාය මාර්ගයක් නැත. මහින්ද තාමත් හිතන්නේ තමන් රටේ ජනාධිපති කියාය. පහුගිය කාලයම ඒකාබද්ධ විපක්‍ෂය සටන් කළේ මහින්දට හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නටය. නිල නිවාසය ලබා දෙන්නටය. වාහන ලබා දෙන්නටය. මේවාට මහින්දවාදීන් චූන් වුණාට සාමාන්‍ය ජනතාව චූන් වෙන්නේ නැත. චූන් කරන්නත් බැරිය.


දමිළ ජාතික සන්ධානය විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය නොදීම ආණ්ඩුවට රතු එළියකි. ජ.වි.පෙ. විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමත් ආණ්ඩුවට හොඳ නැත.
"ඉතින් ආණ්ඩුව පෙරළන්න කවුද ටී.එන්.ඒ. එකත් එක්ක කතා කරන්න ඉන්නේ..."?
මහින්දවාදීන්ගේ වැඩේ ටී.එන්.ඒ. එකට කොටි හංවඩුව ගහන එකය. ටී.එන්.ඒ. නැතිව ආණ්ඩු පෙරළන්නත් බැරිය. ජනාධිපතිවරණයක් දිනන්නත් බැරිය. මහින්දවාදීන් ජ.විපෙ. එක්ක මාර වෛරය. පසුගියදා විජිත හේරත්ගේ රිය අනතුරට ලක් වුණාම විජිතට මඩ ගැසුවේ ඔවුන්ය.
"ඉතින් ජ.වි.පෙ. එයිද ආණ්ඩු පෙරළන්න...?"
මහින්ද මේ ගැන හිතන පාටක් පේන්න නැත. මහින්ද ජනාධිපති හැව අත්හරින තෙක් මෛත්‍රිට සහ රනිල්ට රජ මඟුල්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Monday, June 20, 2016
විජාතික පඟරනැට්ටන් ජාතිකත්වයට කෝචොක් දැමීම

- බණ්ඩාර දසනායක-
වසර 2015 ජනවාරි 8 වනදා ලංකා දේශපාලන ඉතිහාසයේ නැවත වතාවක් ජාතිකත්වය යටපත් කරමින් විජාතික බලය ඉස්මතු විය. ඒ කවර අඩුපාඩු මැද වුවත් මේ රට රටක් ලෙස ස්වෛරී ලෙස ඉදිරියට ගෙන ගිය මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහ කර විජාතික බලවේග සමග එක්ව මයිත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට උතුරු නැගෙනහිර සුළු ජනවර්ගවල බෙදුම්වාදී අන්තගාමීන් අතිමහත් බහුතරය හා බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන සිංහලයන් සැලකිය යුතු පිරිසක් එක්ව කටයුතු කිරීමත් සමගයි. ඊට අමතරව ජනප්‍රිය තොරොම්බල් කරත්ත පසුපස දුවන්නට පුරුදු වී සිටින නාගරික පොෂ් මෝඩ තරුණ පිරිස හා අළුතෙන් චන්ද බලය හිමි වූ සියල්ල සෙල්ලමට ගන්නා හිතන්නට බැරි ලාමක චන්දදායකයින් විශාල පිරිසක්ද මේ කටයුත්තට උර දුන්නෝය. මේ ගැන මා කලින් ලියූ ලිපියෙන්ද කීවෙමි. >>
විජාතික ගැති රජයක් විධායක බලය එපා කියූ සිරිසේනගේ විධායකයේ උපරිම බලහත්කාරය යොදා ස්ථාපිත කර ගැනීමත් සමග එදා මෙදා තුර මේ වන තෙක්ම සිදුවන්නේ විජාතික බලවේගය විසින් ජාතිකත්වය මැඩ පැවැත්වීමය. යහපාලන රෙදි කඩමාල්ලෙන් හෙළුව යන්තම් වසාගෙන ජාතිකත්වය පැත්තේ සිටින සියල්ලන් වෙත වෛරී පලිගැනීමේ හස්තය දිගු කිරීමට විජාතික ගැති දේශපාළුවන් ක්‍රියා කළේ රටෙන් පිටත සිටින එංගලන්තයේ හා ඉන්දියාවේ විජාතික නඩය ප්‍රමුඛ සෙසු ජාතිකත්ව විරෝධීන් එකතුවේ අභිමතය පරිදි වේ. මේ සියළු සතුරුකම් කරන අතරතුර ඒ සියල්ල වසා ගැනීමට විජාතික පඟර නැට්ටන් වූ මෙරට යහපාලන දේශපාළුවෝ කී කාටත් තේරෙන අතේ පැලවන බොරු බේගල් ජාතිකත්වයට කෝචොක් දැමීමක් විය. ජාතිකත්වය දිනෙන් දින දුර්වල කරමින් ජාතික බලවේග වලට පහර ගසමින් කෝචොක් දැමීමද දැන් ඉදිරියට යමින් ඇත.

විජාතික යහපාලුවෝ උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කරමින් හමුදාව ඉවත් කර දෙමළ සන්ධානයේ බෙදුම්වාදී ෆෙඩරල්වාදීන්ගේ හිතසුව පිනිස කටයුතු කරන අතරතුර ජිනීවා යෝජනා වලට අනුව ඊනියා මානව හිමිකම් කඩ කළේ යැයි කියමින් යුධ හමුදාවට දඬුවම් කිරීමට විජාතික යුධ අධිකරන පිහිටුවීමට පවා සැලසුම් කළේය. සිවිල් වැසියන් ඝාතනය කළේයැයි චෝදනා කරමින් හමුදා රනවිරුවන්ට දඬුවම් කෙරිනි. ඒත් ඔය කියන සිවිල් වැසියන් අනියම් ආකාරයට හෝ කෙලින්ම කොටි සමග ගනුදෙනු කළාද එසේ නැත්නම් ඊලාම්වාදී දෙමළ ජාතිවාදය තුල සිටියාද කියා සොයන්නට පරික්ෂණ කෙරුනේ නැත. සිවිල් පිට සිටි කොටි සාමාජිකයන් බෙදුම්වාදීන් නොවූ දෙමළ ජනයාට මෙන්ම සිංහල ගම් වැසියන්ට කළ අපරාධ හා සැහැසිකම් ගැන පරීක්ෂණද නැත. සියල්ල ඒ අයුරින් සිදු වෙද්දී ඊනියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තරයේ මෙරට ජාතිකත්වයට එරෙහි විජාතික හතුරු පාර්ශවයට පොරොන්දු වූ සිරිසේන ජනාධිපතිවරයා තමන් ඒ තුලින් රනවිරුවන්ගේ ගෞරවය රැකි බවත් ඒ නිසා දැන් ජිනීවාහි අපේ රට ගැන කතා නොකරන බවත් කියා විහිළුවක් කර ජාතියට කෝචොක් දැමීය. සිරිසේන මහතා කළ ඒ ටික කළ පසු බොහෝ විජාතික අවශ්‍යතා ඉටු වී හමාර බැවින් කොහොමත් අපේ රට ගැන අමුතුවෙන් කතා කරන්නට අවශ්‍ය නොවේ. වැදගත් වන්නේ ඊලාම්වාදී බෙදුම්වාදීන්ට කිසිදු ජයග්‍රහනයක් අත් කර නොදී ඔවුන්ට හිතවත් රටෙන් පිටත බලවේග වලටද හිස නොනමා ජාත්‍යන්තරයේද අපට හිතවත් රටවල් සමග සමීප සබඳතා පවත්වමින් රටේ ස්වෛරීත්වය රැකගෙන ඉදිරි ගමනක් යෑම බව ඉහමොළයක් ඇති මන්දබුද්ධික නොවන කාටත් තේරෙන කාරනයයි. එහෙත් යහපාලන විජාතික පඟර නැට්ටන් ජාත්‍යන්තරයේ මෙරට ජාතිකත්වයට එරෙහි බලවේගවලට හිතවත් රටවල් සමග යටත්විජිතවාදී සම්බන්ධතා අළුත් කරගන්නට ක්‍රියා කළේ ඊලාම්වාදීන්ගේ හිත සුව පිනිස ක්‍රියාකර ජාතිකත්වයට හෙන පාත් කරමිනි.

පසුගිය රජයේ නම කැත කළ සියළුම කාලකන්නින්ගේ පවු මහින්ද රාජපක්ෂ මහතාට පටවමින් ඔහුගෙන් හා පවුලේ සාමාජිකයන්ගෙන් පලිගන්නට මහින්ද හොරා කියමින් මන්තර ජපකර "FCID " නමින් ඇටවූ රනිල්ගේ විජාතික පොලිස් ඒකකය හරහා පරික්ෂණ කෙරුනේ රටේ ඒකීය භාවය හා ජාතිකත්වය වෙනුවෙන් පෙනී හිටි පුද්ගලයන්ට එරෙහිව පමණි. මේ සියළු පරීක්ෂණ කරන්නට කැපවුනේ හොරකම් නොකළ සිල්වතුන් නොව සියළු ජඩකම් හොර මැරකම් ලාංකික දේශපාලනයේ කරලියට ගෙන ආ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන්ට අනුව සියළු හොරකම් සිදු වී ඇත්තේ 2005න් පසු මහින්ද රාජපක්ෂ පාලන සමයේයි. වෙනත් එකක් තියා මේ ඊනියා යහපාලන රජය බලයට පත්වූ පසුත් මහබැංකුවට අත් වූ ඉරනම ගැන " FCID "ය දැනගෙන හිටියේ නැත. රාජිතගේ නැවු ගනුදෙනු ගැන දන්නේත් නැත. රවී කරුනානායක උන්නැහේගේ හොර මගඩි ගැනනම් කොහොමටත් නොදනියි. සිරිසේනගේ යහපාලන කොටස්කරුවෙක් වූ පසු සජින් වාස්ගේ කේස්ද අමතක වන්නට ඇත. පහුගිය කාලයේ විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ උප්පැන්නේත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ ගැටළුවත් රටේම ජාතික ප්‍රශ්නයක් බවට පත් කළේ ඔහු විජාතික බලවේග වලට එරෙහිව ජාතිකත්වය පැත්තේ සිටි නිසා මිස වෙන හේතුවක් නිසා නොවේ. ඇතැම් විට විමල් වීරවංශ මහතා ජාතිකත්වයට එරෙහිව ෆෙඩරල්වාදියෙකු වී යහපාලනයේ කොටස්කරුවෙකු වූයේනම් ඔහුගේ බිරිඳගේ උප්පැන්නය ගැටළුවක් නොවනවා පමණක් නොව ඔහුට හොර ගමන් බලපත්‍ර දුසිමක් වුවත් හදාගෙන ලෝකය වටේ යන්නටද හැකියාව ලැබෙන්නට තිබුණි.අද ඇත්තේ අමුතුම මාදිලියේ නඩු ඇසීම් හා පරීක්ෂණ කිරීම්ය. කෙටියෙන්ම කිවහොත් අද දෙමළ ජාතිවාදයට කප්පම් දීමට පක්ෂව ෆෙඩරල් වාදියෙක් වෙන්නට හැකිනම් ඕනෑම එකෙකුට ඕනෑම විදිහක හොරකමක් තක්කඩිකමක් කළ හැක. මහින්ද රාජපක්ෂ මහතාට මෙතරම් රිදවීමටත් ඔහු හොරෙකු යැයි හංවඩුගසමින් ඔප්පු කළ නොහැකි චෝදනා එල්ල කරන්නේත් හංගපු රත්තරන් හොයමින් රට හිනස්සන පරීක්ෂණ කරමින් කෝචොක් දමන්නේත් එදා නන්දිකඩාල්ල් කලපුවේදී ප්‍රභාකරන් එලොව යවා ඊලාම්වාදී විජාතික දෙමළ ජාතිවාදීන්ගේ සියළු බලාපොරොත්තු සුන් කරමින් රාජපක්ෂ මහතා බටහිර හා ඉන්දියානු සතුරු බලවේග වල උදහසට ලක් වී සිටීම නිසයි. මහින්ද රාජපක්ෂ මහතා එදා කොටින්ට බයේ බෙදුම්වාදීන් සනසවමින් ඔවුන්ට දොලපිදේනි දීමට සැලසුම් කර කොටියාට යහතින් ඉන්නට ඉඩ හැර තිබුණේනම් ඔහු බලයෙන් පහ කිරීමට ඊනියා යහපාලනයක් ඇටවීම අවශ්‍ය නොවන්නට තිබුණි. එසේ වූයේනම් මේ වනතෙක් මහින්ද ජනාධිපතිව සිටිනවා පමණක් නොව රන්ජන් රාමනායකලාට රනිල් වික්‍රමසිංහලාට තාජුඩීන් මතක් වෙන්නේත් නැත. ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම තේරුම් නොගෙන මේ ප්‍රශ්න වල පසුබිම තේරුම් ගත නොහැකි බව අප කියන්නේ හේතු ඇතිවයි.

රටට ජාතියට රනිල් ප්‍රමුඛ විජාතික පඟරනැට්ටන් කරන සියළු කෙනහිලිකම් හා පහරදීම් පත්තරේ කියවා පමණක් දැනගන්නා අපගේ කෝචොක් ජනාධිපති සිරිසේන මහතා නොකියන කතාවකුත් තිබේ. එනම් බ්‍රිතාන්‍ය හා ඉන්දියාව ප්‍රමුඛ පිටස්තර විජාතික බලවේග ජනවාරි 8 වනදා සිරිසේන මහතා ජනපති ලෙස පත්කිරීමට වලිකෑවේම සියල්ල පත්තරෙන් දැනගෙන කුමක් හෝ ප්‍රකාශයක් කර ඉන් එහා යමක් නොකරමින් රනිල්ට රට බාරදී පැත්තකට කර තැබීමට බවයි. සුන්නි අන්තවාදීන්ද එක් පැත්තකින් රට ගිලගැනීමට මාන බලමින් සිටිති. රිෂාඩ් බදුඩීන් නම් කැලෑ පාළු ගහල පෙරේතයා විල්පත්තු කැලෑව තුල මුස්ලිම් ජනාවාස හැදීම සරුවට කරමින් සිටියි. නැගෙනහිර මුසොලු අන්තවාදීන් අන් සියළු ජනයාට තර්ජනයක් වී හමාරය. නැගෙනහිර මහ ඇමතියා පහුගියදාක නාවික හමුදා නිලධාරියෙකුට බැනවැදීමේ සිද්ධියේදීද බොරු ප්‍රොටොකෝල් කතාවක් පටලවා අවසානයේ මහ ඇමතියාට නාවික හමුදාව ලවාම බෝජන සංග්‍රහයක්ද ලබාදී ජාතියටම කෝචොක් දැමීමට යහපාළුවෝ කටයුතු කළෝය. ඒත් අපගේ කෝචොක් ජනපති සිරිසේනට ස්ත්‍රී තනපටයක් උඩයන විටනම් හදිසියේ නින්දෙන් ඇහැරී සිංහල බෞද්ධ සංස්කෘතිය මතක් වී මඩු වලිගය අතට ගන්නට සිත් පහල වෙයි. පන්සල් වල පවා නීත්‍යානුකූලව ඇති දැඩි කළ අලි ඇතුන් ගැනත් ප්‍රශ්න කරමින් " NGO " සත්ව කරුනාව හිසට ගෙන සිංහල බෞද්ධ සංස්කෘතියේ වැදගත් අංගයක් වන පෙරෙහැරට වින කිරීමට යහපාළුවෝ කටයුතු කළ අතර කෝචොක් ජනපතිට එතැනදීනම් සිංහල බෞද්ධ සංස්කෘතිය මතක් උනේ නැත. කැලෑ සතුන් වන අලි ඇතුන්ට කන්න බොන්න දී ලෙඩදුක් ගැන සොයා බලමින් උන් රැකබලාගැනීම මහ කැලෑවේදී කවුරුන් කරනවාදැයි " NGO " කාරයන්ගෙන් ප්‍රශ්න කරන්නටත් බටහිර රටවල රේස් අස්සයන් වයසට ගියපසු වෙඩි තබා මරාදමන බටහිර සත්ව කරුනාව ගැන ප්‍රශ්න කරන්නටවත් කිසිවෙක් නොසිටීම තවත් අභාග්‍යක් විය. අවසානයේ කෝචොක් සිරිසේන ජනපති අවුරුදු කාලයේ හිසතෙල් ගෑමට අලියෙකු හොයාගන්නට ගොස් රටම පස්චාත්භාගයෙන් හිනැස්සවිය. ඊනියා සංහිඳියාවට මුවා වී චන්ද්‍රිකා කුමාරතුන්ගද බුද්ධාගම පාසල් විෂය මාලාවෙන් ඉවත් කළ යුතු බවක් කියා ජාතික බලවේග වලට කෝචොක් දැම්මේ රට ජාතිය ගැන කතා කිරීම දඬුවම් කළයුතු වරදක් බවට පත් කිරීමටද පාරම්බාමිනි.

2015 ජනවාරි 8න් ඇරඹි විජාතික බලවේග ශක්තිමත් වීමේ හා ජාතික බලවේග දුර්වල වීමේ අඛන්ඩ ක්‍රියාවලියේම එක් පියවරක් ලෙස පහුගිය සතියේ සාලාව යුධ හමුදා අවිගබඩාව පුපුරා ගියේදැයි දැන් බොහෝ සැක මතු වෙමින් තිබේ. එය ඉතා සාධාරනය. කොටි ත්‍රස්තවාදීන්ටවත් කිරීමට නොහැකි වූ දෙයක් දැන් කොටි පරාජය කර ඇති මොහොතේ හදිසියේම සිදු වූයේ කෙසේද? ඒ තරමට හමුදා ආරක්ෂක සැලසුම් හා පරිපාලනය දුර්වල වීද? එසේනම් එය කෙසේ සිදු වුනිද? රනවිරුවන් බොරු චෝදනා මත සිරභාරයට ගැනීම හමුදා බුද්ධි අංශය දුර්වල කිරීම, දෙමළ ජාතිවාදීන්ට කප්පම් දීමට හොර සැලසුම් සෑදීම හා දෙමළ ජාතිවාදීන්ගේ උවමනාවට කොටි පැරදවීමේ සටන සාර්ථක කරගැනීමට උර දුන් සියළු රනවිරුවන්ට හා එවකට සේනාධිනායක වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එල්ලවන බොරු චෝදනා දෙස බලන විට සාලාවේ සිද්ධියද එහිම එක් ඉදිරි පියවරක්දැයි සැක හිතෙන්නේ කාහට වුවත් ඉබේටමය. මෙහි සැකය වඩා තීව්‍ර කරවන්නේ අදාල සිද්ධිය ගැන පරීක්ෂණ වලින් හමුදා බුද්ධි අංශය ඉවත් කර පොලිස් අපරාධ පරීක්ෂණ අංශයට එම කටයුත්ත භාරදීමට යහපාළුවන් ක්‍රියා කිරීමේ සිද්ධියයි. මේ වන විට පොලීසිය යනු තනිකරම රනිල් වික්‍රමසිංහගේ විජාතික රජය රජය ආරක්ෂා කරන විජාතික පවුරක් පමණි. එයින් මේ සිද්ධිය ගැන නිවැරදි පරික්ෂණයක් බලාපොරොත්තු විය නොහැක. ග්‍රාමසංවර්ධන සමිතියක ලේකම්කමකටවත් සුදුසු නැති ආරක්ෂක ලේකම් මේ සිද්ධියේදී ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනය ගැන කිසිත් නොතකා තවත් කෝචොක් කතාවක් කීවේය. ඒ මෙම පිපිරීම සිදු වී තිබෙන්නේ හමුදා පුහුණු වීමක ඇති වූ වරදකින් බවයි. මේ අරුම පුදුම පුහුනුවීම් න්‍යාය හරියට බෙල්ල කපාගෙන ජීවිතාරක්ෂාව පුහුනු වීමක් වැනිය. මෙවැනි කතා කියන ගොන් බාස්ලා හොඳ මළ ගෙවල් වල පාළු කැපීමට රෑ එළිවනතෙක් බූරුවා ගැසීම වැනි දේකට මිස වෙනත් වැඩකට නොවේ. මෙවැනි කෝචොක් ආරක්ෂක ලේකම්ලාද විජාතික බලවේග වලම ආවතේවකරුවන් බව දැන්වත් අප තේරුම් ගත යුතුය.

සාලාව අවි ගබඩාව පිපිරීමත් සමග තවත් විශේෂ සිදුවීමක් විය. කොටි විග්නේශ්වරන් උතුරෙන්ද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව ප්‍රකාශ කිරීමයි. ඔහු මේ බව කියා ඇත්තේ සාලාව සිද්ධියෙන් පසු බොරු බියක් මවා පෙන්වමිනි. උතුරෙන් ඉතිරි හමුදා කඳවුරු ටිකත් ගලවා දැමීමට අවශ්‍ය හේතුවක් හදා ගැනීම පහසු වන ආකාරයටත් හමුදාව අවි බලය අතින් තවත් දුර්වල වන ආකාරයටත් මෙය සැලසුම් සහගතව උනාද යන සැකය මෙයින්ද වඩා තීව්‍ර වේ. යහපාළුවන් විජාතික බලවේග වල සහයෙන් රටේ බලය ඇල්ලූ දා සිට ජාතිකත්වයට කොඩිවිනයක් වෙමින් ජාතියටම කෝචොක් දැමීමේ වැඩ පිළිවෙල හමුවේ මෝඩ සිංහලයන් තවත් කියන්නේ ආණ්ඩුවේ බදු පැනවීම් හා ආර්ථික ප්‍රතිපත්ති වල වැරදි පමණකි. ඔවුන්ට මේ විජාතික බලවේග ඔවුන්ටත් එක්කම කරන හදි හූනියම් ගැන දැනීමක් නැත. ඒ එක් අතකින් ඔවුන් ලබා ඇති අධ්‍යාපනයේ හා බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයේ තරමය. විජාතික බලවේග වල නා නා ස්වරූපයේ විවිධාකාර ව්‍යාධිජනක විෂබීජ වලින් ජාතියම දුර්වල වෙමින් පවතින මේ මොහොතේ අප කළ යුත්තේ පළමුව අපට අප විසින් එනම් අපේ ජාතිය වූ සිංහල ජාතිය විසින් ගොඩනගා ඇති රටක් තිබෙන බව නැවත මතක් කරගැනීමයි. බටහිර සියළු මතවාද ගිලගනිමින් අපට ලෝකයේ ඕනෑම රටක ජීවත් විය හැකි බවට පාරම්බාන එවුන්ට ඔය කියන තරමට රටවල් වල ගොස් තමන්ගේ රටේ මෙන් ජීවත් වීමට හැකියාවක් නැත. අපට දැන් නැවතත් ජාතික මතවාද වලට ශක්තිය සපයමින් නැවත පන ගැන්වීමක් අවශ්‍ය වේ. මේ යහපාළුවන් ජාතියට වින කටින හැටිත් එසේ කරමින් ජාතියටම කෝචොක් දමන හැටිත් බලාගෙන 2020 වනතෙක් සිටින්නට හැකියාවක් නැත. ඒ වනවිට මේ තක්කඩින් ජාතිකත්වයේ කොන්ද කඩා දමනු නිසැකය. මේ යන ආකාරයටනම් ඉදිරි මැතිවරණ වලදීත් ජාතිකත්වය පැත්තට ජන බලය තිබුණද සාධාරණ ලෙස චන්ද පවත්වා යහපාළුවන් ජාතිකත්වයේ දේශපාලන කණ්ඩායමකට බලය ලබා ගැනීමට ඉඩ දේ යැයි සිතිය නොහැක. පලාත්සභා චන්දයද කල් දමා ගන්නේ යහපාළුවන්ට ජන බලයක් නැති බිය හේතුවෙනි. අප වහා කළ යුත්තේ රටේ ජාතිකත්වය පැත්තේ සිටිමින් ජාතික මතවාද ශක්තිමත් කර ඒ මත පිහිටා කොන්දේසි විරහිතව ජාතික අරමුණු වෙනුවෙන් ජාතිය පෙලගැස්වීමට අවශ්‍ය පසුබිම සැකසීමය. එහිදී අන් සියළු ප්‍රශ්න වලට ලබා දිය යුත්තේ ජාතික් හා විජාතික ගැටුමේදී ජාතිකත්ව කඳවුර ජයග්‍රහණය කරවීමේ කාරනාවට වඩා අඩු ප්‍රමුඛත්වයකි. මේ කටයුත්තට පක්ෂ පාට අමතක කර සියළු දේනාම ජාතියක් ලෙස උනන්දු කරවිය යුතුය.

යුතුකම සංවාද කවය
Read more

Popular Posts

Popular Posts