Header Ads

71 කැරැල්ලේ කළු රංජී කියන කතාව

නමින් රංජිත් දිසානායක වන ඔහු හැමදෙනාම හඳුනන්නේ කළු රංජි ලෙසය. 71 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වූ ඔහු අදටත් නොනිමි අරගලයක නිරත චරිතයකි. තම හිතවතුන්ගේ දුක්ගන්නා රාල වන කළු රංජි තම අරගලකාරී අතීතය සහ වර්තමානය පිළිබඳ මෙසේ සිය හඬ අවදි කරන්නේ තමන්ටම උරුම මුනිවත රැකීමේ පුරුද්ද මදක් පසෙකලාය. හැමෝටම රංජි අයියා වන ඔහුගේ විප්ලවීය අත්දැකීම් මෙසේ බෙදාහදා ගනිමු.


● රංජි අයියගෙ ළමා කාලය එහෙම කොහොමද?
අපි හිටියේ නුගේගොඩ කන්දවත්ත පාරේ අම්මලගෙ මහ ගෙදර. මම ඉස්කෝලෙ ගියේ තර්ස්ටන් එකට. පස්සෙ පන්නිපිටියෙ ධර්මපාලෙට ගියා. අපේ තාත්තා අපි පොඩි කාලේ හරියට බොනවා. තාත්තා රජයේ සේවකයෙක්. අපේ පවුලෙ හයදෙනෙක්. මම දෙවෙනියා. අම්මා විඳින දුක්වලින් ටිකකට මට කරගහන්න සිද්ධවුණා. මට සමාජයේ අනෙක් අය ගැන හැඟීමක් එන්න පටන්ගත්තේ ඒ කාලෙම තමයි.


● ඉස්කෝලෙදී මොකද වෙන්නේ?
ජවිපෙ දේශපාලනයට ඇදිලා එන්නේ ඉස්කෝලෙ කාලෙමයි. මම ඇඞ්වාන්ස් ලෙවල් කළේ විද්‍යා විෂයන්. මෙඩිසින් යන්න තමයි හිටියේ. හරියටම අපේ විභාගෙ තිබුණෙත් 71 අප්‍රේල්වලමයි. මම ඉස්කෝලෙ ක්‍රිකට් ගහනවා. ඒක නිසා ගෙදර ඇවිත් රෑටත් පාරෙ බෝල් කරන්න පුරුදු වෙනවා. අපේ ගෙවල් ළඟ කෙනෙක් ඇවිත් ක්‍රිකට් කියන්නේ අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක් කියලා මට ඒක අතඅරින්න කියනවා. මම ඒක ඇහුවෙ නෑ. දවසක් එයාම මට ඇවිත් කිව්වා එයා සී.අයි.ඩී. එකෙන් හොයනවා නවතින්න තැනක් හොයලා දෙන්න කියලා. එයත් මේ වැඩවල ඉන්න කෙනෙක්. මම දන්න කෙනෙකුගේ ගෙදරකට දියගම පැත්තෙ මිනිහා එක්ක ගිහින් නැවැත්තුවා. ඒ යන අතරෙ මිනිහා මට ජවිපෙ දේශපාලනය පෙව්වා. දියගමට යනකොට මම තීන්දු කරලා ඉවරයි ජවිපෙ දේශපාලනය තමයි කරන්න ඕන කියලා. ඔහොම තමයි පක්ෂෙට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මම ජවිපෙ දේශපාලනය ධර්මපාලෙට ගේනවා. ළමයින්ට මම පන්ති කරනවා. සමහර ගුරුවරුන්ට පවා මම පන්ති කළා.


● රංජි අයියලට කවුද පන්ති කළේ?
කීපදෙනෙක් කළා. ප්‍රේමපාලලා වගේ අය තමයි අපට පන්ති පහ කළේ. ප්‍රේමපාල කියන්නේ මහ නඩුවෙ විත්තිකරුවෙක්. අපිට පන්ති කළේ මහරගම පන්නිපිටිය වගේ තැන්වල. කඳවුරුවලට එහෙමත් ගියා. මහ නඩුවෙ පළමුවෙනි විත්තිකරු පියතිලක, පියසිරි කුලරත්න වගේ අය මේ තැන්වලදී අපට දේශපාලනය කියා දුන්නා. නාරම්බැද්දේ පියදස්සි කියලා හාමුදුරු කෙනෙකුත් අපට පන්ති කළා. ඒ හාමුදුරුවන්ගේ කතා අහගෙන ඉන්නකොට ඕන කෙනෙකුගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. මේවා අපේ ඇඟට පත්තියම් වුණා.
5

● 71 කැරැල්ල වෙලාවෙ ඔබට පැවරුණු රාජකාරිය මොකක්ද?
එතකොටත් විජේවීර යාපනේ හිරගෙදරනේ හිටියේ. විජේවීර බේරගන්න කොළඹින් කණ්ඩායමක් යන්න සූදානම් කරලා තිබුණා. විශ්වවිද්‍යාලවල අය තමයි ගියේ. ඒ අයට යන්න බස් එක සූදානම් කරන වැඩ ඔක්කොම මට පැවරිලා තිබුණා. ඊබට් සිල්වා බස් එකක් බුක් කළේ. දැන් මගේ බිරිඳත් එතකොට අපේ ඉස්කෝලෙමයි. එයයි මමයි තමයි බස් එක බුක් කරන්න ගියේ. කට්ටිය බස් එකට දාලා ටවුන්හෝල් එකෙන් බස් එක බාරදෙන්න තිබුණෙ. මම ඒක කළා. කරාටි සැම්සන් කියලා කෙනෙකුට තමයි බස් එක බාර දුන්නේ. මම ගියේ නෑ යාපනේ ගමනට.


● පොලිසිවලට ගහන්න එහෙම ගියේ නැද්ද?
අපිට තිබුණෙ පනාගොඩ කෑම්ප් එකට ගහන්න. ශිෂ්‍ය අංශයෙ කණ්ඩායම් හතරක් බෙදලා අපට දුන්නේ පනාගොඩට ගහන්න. අපි වැඬේට යන්න සූදානම් වෙනකොට කළු ලකී ඇවිත් කිව්වා යන්න එපා කියලා. මොකද ඊට කලින් දවසෙ වැඬේ ලීක් වෙලා. ආයුධ එක්ක ලොරියකුත් අහුවෙලා. ඒක නිසා කොළඹ පහරදීම් නවත්තන්න තීරණය කරලා තිබුණෙ. මොකද පොලිසි අපේ ප්‍රහාරය දැනගෙන එතකොටත්. අපි ආයුධ එහෙම හංගපු තැන් අයින් කරලා ආරක්ෂිත තැන්වලට යන්න තීරණය කළා.


● අප්‍රේල් 5 වෙනිදා මොකද කළේ?
මම හිටියේ පිළියන්දල පැත්තේ ගෙදරක. අපි කලින් සැලසුම් කරගෙන ඉඳපු තැනක් ඒක. ඊට පස්සෙ අපි සුපුරුදු පරිදි පක්ෂෙ වැඩ කරගෙන යනවා. ඒ අතරෙ එක එක රස්සාවලුත් කරනවා. මම නාට්ටාමි වැඩකුත් කළා ගම්පොළ පැත්තෙ දන්න කෙනෙකුගේ ලොරියක. ඔය අතරේ මට මුණ ගැහෙනවා නන්දන මාරසිංහ. නන්දන එක්ක මම ගොඩක් එකතු වෙනවා. අපි වව්නියාවේ ලොකු කඳවුරක් කළා. මාරෙ තමයි ඒක සංවිධානය කළේ. ඒක තනිකර වෙපන් ටේ්‍රනින් එකක්. ඔය කාලෙ අපි හමුදාවෙන් හොයනවා. ඔය අතරෙම තමයි අනුරාධපුර හිරගෙදර කඩන්නේ. පණිවිඩ හුවමාරුව දියුණු නැති ඒ කාලේ ඒ ගැන හොඳ දක්ෂයෙක් හිටියා. මිනිහා අනුරාධපුර හිරගෙදර හිටියේ. මිනිහා බේරගන්න තමයි අනුරාධපුර හිරගේ කැඩුවෙ. ඒ හිරගෙදර කඩලා එකසිය හතළිස් ගාණක් එළියට ගන්නවා. මරුසිරා එහෙමත් ඒ වෙලාවෙ එළියට එනවා.

අනුරාධපුර හිරගෙදර කඩන එකේ මූලිකයා නන්දන මාරසිංහ. මිනිහා ඒවට හරි දක්ෂයි. පාළු ගෙදරක අපි මේ ගැන සාකච්ඡා කළේ. මාරෙ අපිට වැඩ කොටස් බෙදලා දුන්නා. මට මාරෙ පෙනුනේ ඒවෙලාවෙ චේගුවේරා වගේ. කාටවත් හානියක් වුණේ නැතුව හිරගේ කඩලා කට්ටිය එළියට ගත්තා. අපි යනකොට ඇතුළෙ කට්ටිය වැඬේට සූදානම් වෙලා හිටියේ. කලින් සියල්ල ප්ලෑන් කරලා තිබුණෙ. හිරෙන් ආපු අය සමහරු කැලේට ගියා. තව සමහරු කොළඹ ආවා. ඒ වෙලාවෙ මට මැලේරියාවත් හැදිලා හිටියේ.


● ඔය වෙද්දි විජේවීර හිරේ?
ඔව් එයා වැලිකඩ. නන්දන මාරසිංහට ඕනවුණා කොහොම හරි විජේවීර එළියට ගන්න. ඒ කාලේ වැලිකඩ හිරගෙදර ඉස්සරහ තිබුණා පොදු වැසිකිළියක්. අපි ඒකෙ ඉඳලා උමගක් හාරලා විජේවීරව ගන්න උත්සාහ කළා. ඒක හරි ගියේ නෑ. එහෙම නැත්නම් හෙලිකොප්ටරේකින් බැහැලා විජේවීර අරගෙන යන්න පොඩි අදහසකුත් තිබුණා. ඒක පුහුණුවට වියදමක් යනවනේ. ඒ සල්ලි හොයන්න මාරෙ උපක්‍රමයක් දැම්මා. හමුදාවෙ සල්ලි අරගෙන කොළඹ ඉඳලා අනුරාධපුරේ යන කෝච්චිය තලාවෙදි අල්ලගෙන සල්ලි උදුරගන්න. ඔය අතරෙ තමයි මම මොරටුවෙදී අහුවෙන්නේ හමුදාවට.


● රංජි අයියා අහුවුණේ කොහොමද?
මම මොරටුවෙදී අහුවුණේ. මාතර දිස්ත්‍රික්කයේ ජවිපෙ ලේකම්ගෙ මල්ලිට නවතින්න තැනක් ඕන කියලා කිව්වම මම එයාට කොළඹ එන්න කියලා එයාව ගන්න ගිය වෙලාවෙ තමයි අහුවෙන්නේ. මම එයාට පෝස්ට්කාඞ් එකක් දැම්ම. අහවල් දවසෙ මොරටුව ස්ටේෂන් එකේදී හම්බවෙන්න කියලා. ඒ වෙද්දිත් සී.අයි.ඩී. එක මිනිහා පස්සෙ ගිහින් තියෙනවා. මගේ ප්ලෑන් එකත් එයාලට අහුවෙලා. මම ස්ටේෂන් එකේ කියපු වෙලාවට ගියා. එතකොටත් එයා අරගෙන. එයාගෙන් විස්තර අහගෙන. මම ස්ටේෂන් එකේදී දකිනවා නොඉවසිල්ලෙන් ඉන්න මිනිස්සු කීපදෙනෙක්. මට සැකහිතිලා මම එතනින් මාරුවෙන්න හදනකොට එතන ඉඳපු කෙනෙක් “රංජිත්” කියලා කෑගැහුවා. බලනකොට පක්ෂෙන් අයින්වෙලා පක්ෂෙ තොරතුරු සී.අයි.ඩී. එකට දෙන කෙනෙක් එයාලා එක්ක ඇවිත්. එයා තමයි මගේ නම කියලා කෑගැහුවෙ. මම දුවලා ගිහින් වේගයෙන් යන ඩබල් ඩෙකර් බස් එකක එල්ලුනා. ඒ කට්ටියත් බස් එක පස්සෙන් එනවා. මට කල්පනා වුණා බස් එක නවත්තන තැනකදී එයාලට මාව අහුවෙනවා නේද කියලා. ඒනිසා යන බස් එකෙන්ම පැනලා මුහුද පැත්තට දිව්වා. අර කට්ටියත් මගේ නම කිය කිය මගේ පස්සෙන් එනවා. දුවලා ගිහින් තාප්පෙක එල්ලෙන්න හදද්දි මගේ කලිසමත් ඉරෙනවා. තාප්පෙට ගොඩවෙන්න කලින් මාව අල්ලගත්තා. මාව ගෙනාවේ ගල්කිස්ස පොලිසියට. පොලිසියෙදීත් මං පැනලා දිව්වා. රිසව් එකේ ඉඳපු රාලහාමිලා දුවගෙන ඇවිත් ආපහු මාව අල්ලගත්තා. ඊට පස්සේ හතරවෙනි තට්ටුවට ගෙනාවා.


● එතෙන්දි මොකද කළේ?
මාව ගැටගහලා තමයි ගැහුවෙ. මට ඒ වෙලාවෙ බය නන්දන මාරසිංහ ගැන. මිනිහා කොළඹ ඉන්නවනම් අපේ ගෙදරටත් එනවා යනවා. මිනිහාට කොළඹ ඉන්න එපා කියන්න ඕන කියලා හිතලා ඒ පණිවිඬේ දීගන්න ක්‍රමයක් කල්පනා කළා. මම සී.අයි.ඩී. එකට කිව්වා මාව ගෙදර එක්ක යන්න එතකොට පාරෙ යන එන අයගෙන් පක්ෂෙට සම්බන්ධ අය පෙන්නන්නම් කියලා. ඒ අය මාව ගෙදර ගෙනිච්චා. මම අම්මට වඳින අතරෙ කනට කරලා කිව්වා මාරෙට කොළඹින් යන්න කියන්න කියලා. සී.අයි.ඩී. එක කෑගහනවා කෝ පෙන්නනවා කියපු කට්ටිය කියලා. මගේ පණිවිඬේ දීගත්ත නිසා මම කිව්වා කවුරුවත් පක්ෂෙට සම්බන්ධ අය තාම දැක්කෙ නෑනේ කියලා. එදත් අරගෙන ගිහින් හොඳටම ගැහුවා.


● නන්දන මාරසිංහ අහුවුණේ කොහොමද?
එයා මරදානේ ටෙක්නිකල් කොලේජ් එක ළඟදී අහුවුණේ. මිනිහා නම් අහුවෙච්ච ගොඩක් තැන්වලින් පැන්නා. යාපනේ හිරගේ කඩන්න ගිහින් පැනලා ගිය එකම කෙනා මාරෙ. වැඬේ අසාර්ථක වුණා කියලා දැක්ක ගමන් ජටාවකුත් ගැටගහගෙන මාරෙ පැනලා ගියා. මාරෙ කෝච්චිවලින් පවා පැනලා බේරිලා තියෙනවා. ඇත්තටම මාරෙ කියන්නේ වීරයෙක්. හරිම පරමාදර්ශී චරිතයක්.


● රංජිත් අයියා කොච්චරකල් හිරේ හිටියද?
අවුරුදු හයක් විතර හිටියා. මම මහ නඩුවෙ හිටියෙ නෑ. යාපනේ හිරගේ කඩපු එකටයි අනුරාධපුර හිරගේ කඩපු එකටයි අහුවුණේ. අපේ ජීවිතේ අර්ථවත් වුණේ හිර ගෙදර ජීවිතේ නිසාම තමයි. අපි හොඳටම කියෙව්වා. රුසියන් පොත් ඔක්කොම වගේ අපි කියෙව්වේ හිර ගෙදරදී.


● හිරෙන් එළියට ඇවිල්ල පක්ෂයේ වැඩ කළාද?
මම කෙළින්ම වැඩ කළේ නෑ. ගොඩක් අය එළියට ඇවිල්ලා ආපහු වැඩ පටන් ගත්තා. මාරසිංහත් වැඩ කළා. ඒත් මාරසිංහට පක්ෂයෙන් පොඩි කොන් කිරීමක් ආවා. මොකද මාරෙ එතකොටත් දක්ෂ ජනප්‍රිය චරිතයක්. මිනිහා සෙන්ට්‍රල් කොමිටියෙනුත් අයින් කරලා තිබුණෙ අන්තිමට. මාරෙ මාත් එක්කත් ඒවා ගැන හරියට කතා කළා. මාරෙ තරම් දක්ෂ නැති අය මාරෙට ඊර්ෂ්‍යාකම් කරන්න ඇති. ඒක සාමාන්‍ය ස්වභාවෙනෙ.


● රංජි අයිය විජේවීර එක්ක තිබුණු ගනුදෙනුව කොයි වගේද?
මට එහෙම ලොකු ගනුදෙනුවක් තිබුණේ නෑ. මට මුණගැහිලා තියෙන්නෙත් එක සැරයක් විතරයි. දවසක් අපේ කෙනෙක් එක්ක මං ගැන විජේවීර කතා කරලා තියෙනවා. එයාට විජේවීර කියලා තියෙනවා “ඔය කළු රංජි ගැන කවුරුත් කියනවා මටත් දවසක මුණගස්සනවා කියලා” මම එතකොට සෙන්ට්‍රල් කොමිටියෙවත් හිටියෙ නෑ. මම විජේවීර හම්බ වෙන්න ගියේ නෑ. අන්තිමට හම්බවුණේ මාරසිංහ එක්ක ගිය වෙලාවක. අපි ළඟ විජේවීරට තිබුණෙ ගෞරවයක්. අපිට ඕනකමක් තිබුණේ නෑ එයා ළඟට ගිහින් කතා බහ කර කර සමීප වෙන්න. අපි අපේ වැඩ කොටස කළා. විජේවීර එයාගෙ වැඬේ කළා. විජේවීරගෙ ආරක්ෂාව ගැන අපි හොඳ සෝදිසියෙන් ඉන්නවා. ඉස්සර විජේවීරගෙ ආරක්ෂකයා විදියට හිටියෙ දෙල්ගොඩ රාජා කියන කෙනා. අපි දන්න තොරතුරු අපි රාජාට ගිහින් කියනවා. හිරෙන් ආවට පස්සෙ මම සක්‍රීයව වැඩ කළේ නෑ. මම හිරේදීම මාරෙට ලියුමක් ලියල දුන්නා මම ආපහු පක්ෂෙ වැඩ කරන්නේ නෑ කියලා. හැබැයි මම පක්ෂෙට ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ කියලත් කිව්වා.


● ඇයි කලකිරීමක් ඇති වුණාද?
හිරේදී ඇති වුණු යම් යම් ප්‍රශ්න නිසා මට ඒක දරාගන්න බැරුව හිටියේ. අපේම අය අපිට විරුද්ධ වුණා හිරේදි. හිරේදී පක්ෂෙ අය කණ්ඩායම්වලට බෙදුණා. එක අරමුණක් වෙනුවෙන් වැඩ කරපු අය හිරේදී අපටම ගහන්න හදනකොට ඒක ඉවසන්නේ කොහොමද? හැබැයි ඊට පස්සෙත් මම විජේවීරගෙ රැස්වීම් බලන්න එහෙම යනවා. සමහර වෙලාවට මගේ ඇස්වලට කඳුළුත් එනවා. මොකද මම පක්ෂෙත් නෑ. මම ඒ විප්ලවයට ආදරේ කරපු මිනිහෙක්. ඇත්තටම 71 කැරැල්ලෙන් පස්සේ ගොඩක් අය පක්ෂෙ අතඇරල දැම්මා.


● නන්දන මාරසිංහ එක්ක දිගටම යාළුකම් ගෙනිච්චද?
ඔව්, මම පක්ෂෙ වැඩවලින් අයින්වෙලා හිටියත් නන්දන මට කියනවා අපේ ඇසුර නවත්තන්න බෑ කියලා. එතකොට පක්ෂෙන් නන්දනව අයින් කරන්න තීරණය කරල තිබුණේ. මාරෙ පක්ෂෙන් අයින් කරපු දවසෙ ගෙදර ගිහින් හොඳටම අඬල තියෙනවා. මොකද මිනිහා පක්ෂෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරපු කෙනෙක්නේ. එයා කියලා තියෙන්නේ එයාව හදාගත්තු අම්මයි තාත්තයි එයාව අයින් කළා වගේ දෙයක් පක්ෂෙන් කළේ කියලා.

මේ සිදුවීමෙන් පස්සේ මාරෙ මට නිතර නිතර හමුවෙනවා. මේ කියන කාලේ මම බිත්තර විකුණනවා. මාරෙ මට කියනවා මේ ඇති වෙච්ච තත්ත්වය හදාගන්න පුළුවන් වෙන්නේ කලාවෙන්. ඒක නිසා ඒ ගැන කල්පනා කරමු කියලා. එහෙම කියලා තමයි මාරෙ “කාලයේ රාවය” පටන් ගත්තේ. මාරේ “ගොළු මුහුදේ කුණාටුව” චිත්‍රපටිය කරන්නත් සූදානම් වුණා ෂෙල්ටන් පයාගල එක්ක. මගදි ඒකෙනුත් මාරෙ අයින් කරනවා. මොකද මාරෙ හවුලෙ අතගහන වැඩවලදී නිතරම කැපී පේනවා. ඒ එයාගේ දක්ෂතාව නිසා. අනෙක් අයට ඒක අල්ලන්නේ නෑ. ඔය චිත්‍රපටියේ නිෂ්පාදකයා හොයන්න යන්නෙත් මාරෙයි මමයි. හර්ෂ කුමාර නවරත්න තමයි ඒකෙ නිෂ්පාදකයා. මාරෙ තමයි ඔහු මේ වැඬේට හවුල් කර ගත්තේ. මාරෙ මේකට හරියට මහන්සි  වුණා. ඒත් අන්තිමට ෂෙල්ටන් මාරෙව ඒ වැඩෙන් අයින් කරනවා. මම ෂෙල්ටන් හම්බවෙන්න ගිහින් අහනවා ඇයි මාරෙට එහෙම කළේ කියලා. ෂෙල්ටන් කිව්වෙ මාරෙ අතිධාවනකාරී චරිතයක් කියලා. මටත් මේකට අප්සෙට්.

නිෂ්පාදකයා පවා හොයාගත්තු මාරෙ මේකෙන් අයින් කරපු එක ගැන මම කෙලී සේනානායකටත් කිව්වා. කෙලියි මමයි තවත් කීප දෙනෙකුයි හර්ෂ කුමාර නවරත්න හම්බවෙලා මාරෙට රුපියල් පනස් දාහක් ඉල්ලලා දුන්නා. මොකද මාරෙ මේ වැඬේට ගොඩක් මහන්සි වුණානේ. මාරෙ ඒක ගන්න කැමැති වුණේ නෑ. මගේ ළඟ තිබුණු බයික් එකත් මම මාරෙට දුන්නා. මගේ ළඟ තිබුණෙ අලුත ගත්තු ක්‍ෘ 125 බයික් එකක්. අර නිෂ්පාදකයාගෙන් හම්බවුණ රුපියල් පනස්දාහ මාරෙ එදාම එයාගෙ යාළුවෙකුට දීලා තිබුණා. ඒ යාළුවගෙ ලොරිය කැඩිලා කිව්වම ඒක එයාට දීලා. මාරෙ ඒ වගේ චරිතයක්.


● නන්දනව මරන්නෙ ඇයි?
87 විතර කාලේ මාරෙව කෙලීව අපි ඔක්කොම මරන්න ජේ.වී.පී. එක තීරණය කරලා තිබුණේ. අපිට එළියේ යම් හයියක් තිබුණු එක ජේ.වී.පී. එකට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකෙනුත් මාරෙ විශේෂයි. මාරෙට අනතුරක් තියෙනවා කියලා දැනගත්තම කෙලීයි මමයි මාරෙව කොළඹ ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට මාරෙ අනුරාධපුරේ හිටියෙ. මම අනුරාධපුරේ ගිහින් මාරෙ හම්බවෙලා කියනවා කොහොමහරි උඹව රට යවන්නම් කියලා. මම එතකොට මැලිබන් හන්දියේ කඩයක් කළා ඉලෙක්ටි්‍රක් බඩු විකුණන. මම ඒ බඩු ටික ඔක්කොම විකුණලා මාරෙව රට යවන්න හැදුවේ. මාරෙ ඒකට කැමැති වුණේ නෑ. එතකොට මාරෙ සෙරෙප්පු බිස්නස් එකක් කළා. මාරෙ කිව්වා සුමාන දෙකකින් විතර කොළඹ එන්නම් කියලා. හරියටම මාරෙ කොළඹ එනවා කියපු දවසෙ තමයි අනුරාධපුර පොළේදී වෙඩි තියලා මැරුවේ.

මාරෙ මට දවසක් කියනවා, ගාල්ලේ ගුරුවරයෙක් ඉන්නවා. එයා කොළඹ ගෙන්නලා කාමරයක් දීලා එයාට ලියන්න කියන්න පහසුකම් හදලා දෙන්න ඕන කියලා. පඩියක් දෙන්න විදියකුත් ලෑස්ති කරන්න ඕන කියලා කියනවා. මොකද එයා කවි සින්දු එහෙම ලියන කෙනෙක් කියලා මාරෙ මට කියනවා. මාත් ඒක බාරගන්නවා කරමු කියලා. ඒත් මාරෙ ඊට කලින් මැරෙනවා. ඒ ගාල්ලෙ ඉඳලා කොළඹ ගෙන්නමු කියපු කවි සින්දු ලියපු ගුරුවරයා තමයි රත්න ශ්‍රී විජේසිංහ. මාරෙ මැරුණට පස්සෙ මම මේක රත්නශ්‍රීට කිව්වම රත්නෙ ඇඬුවා. මාරෙ ඒ වගේ තමයි මිනිස්සුන්ට ආදරේ කළේ.


● රංජිත් අයියටත් අනතුරක් තිබුණ නම් 88-89 භීෂණ කාලේ කොහොමද බේරුණේ?
මම රට අත ඇරලා ගියානේ. මම රටින් රටට පැන පැන ගිහින් ඉතාලියේ හිටියා ටික කාලයක්. මම ගියේ 88. ඒ රට යන්න මග පෑදුණු විදියත් දිග කතාවක්. මේ දේවල් වෙනම පොත් ලියන්න පුළුවන් කතා. අහම්බෙන් හම්බවෙන අය එක්ක තමයි අපේ ජීවිත වෙනස් වුණේ. අපේ ජීවිතවල ගොඩක් දේවල් අහම්බෙන් වෙච්ච දේවල් වගේ. මට තර්ජන තිබුණු කාලේ දවසක් මගේ බිරිඳත් එක්ක ගමනක් යනකොට වෑන් එකකින් ආපු කීප දෙනෙක් වයිෆ් ළඟට ඇවිත් කිව්වා “නන්දන මාරසිංහ මරපු එක ගැන රංජිට තැන තැන කියන්න එපා කියන්න” කියලා. මාව මරන්නෙ නැත්තේ නන්දා මාලනීගෙ කීමට කියලා එයාලා මගේ වයිෆ්ට කියලා තියෙනවා.


● ආපහු ලංකාවට එන්නෙ කොයි කාලෙද?
1998 විතර තමයි ආපහු ලංකාවට එන්නේ. මම රට ඉන්න කොටත් කළේ මෙහේ ඉද්දි කරපු දේවල්ම තමයි. අනුන්ට උදවු කරපු එක තමයි වැඩිපුර කළේ. මට අහම්බෙන් හම්බවෙච්ච කෙනෙකුට මම කර කර ඉඳපු රස්සාව දීලා තමයි මම ආවේ. අවුරුදු ගාණක් සිට රට ඉඳලා එද්දි ටිකට් එකටවත් මගේ ළඟ සල්ලි තිබුණෙ නෑ.


● ලංකාවට ඇවිල්ලා මොකද කරන්නේ?
ඒත් පරණ පුරුදු වැඩම තමයි. රාවය පත්තරේට සම්බන්ධවෙලා වැඩ කළා. පොත් ගහන වැඩ කළා. තාම ඒවා කරනවා. උදව්වක් කවුරු හරි ඉල්ලුවොත් මම බෑ කියන්නෙ නෑ. ඒකට උත්සාහයක් හරි දානවා. මං හිතන්නේ මට ඒවා කරන්නත් කොහෙන් හරි ශක්තියක් ලැබෙනවා. මට ලැබෙන චාන්ස් අනුන්ටම තමයි දෙන්නේ. හැබැයි මම ගෙදරට යුතුකම් ටිකත් හරියට කරනවා. මගේ බිරිඳ අසනීප වෙලා ඉද්දි මම මාර දුකක් විඳගෙන ඒ දේවල් පිළිවෙළක් කරගත්තේ. මං හිතන්නේ අපි අනුන්ට උදවු කරන්න ඕන. අපි නැත්නම් අපේ ළඟ ඉන්න අයට වෙන කවුද උදවු කරන්නේ.

රට ඉඳලා ඇවිත් මම කරපු පළමුවෙනි වැඬේ නන්දන මාරසිංහලගෙ පවුලෙ අයට ගෙයක් හදලා දෙන එක. ඒකට කීපදෙනෙක් උදවු කළා. ගුණදාස කපුගේ ෂෝ එකක් කරලා අපට ඒකට මුදල් ටිකක් හොයලා දුන්නා. අපි ඊට පස්සේ නන්දන මාරසිංහ පදනම කියලා එකක් පිහිටෙව්වා. ඒකෙන් පොත් එහෙම පළ කළා.


● රංජි අයියගේ අනන්‍යතාවයක් තමයි ක්‍ෘ 125 බයික් එක?
ඒක කාලයක් තිස්සෙ මම පදින බයික් වර්ගය. ඒකෙ පොත් පෙට්ටි එහෙම බැඳගෙන යන්න ලේසියිනේ. මම ඉස්සර බයික් එකේ වොෂින් මැෂින් පවා බැඳගෙන ගිහින් විකුණනවා. මගේ දරුවො කාටත් අද කාර් තියෙනවා. ඒත් මම යන්නේ ක්‍ෘ 125  බයික් එකේ. මම හැමදාම උදේට අවදිවෙලා වයිෆ් නැගිටින්න කලින් ගෙදර වැඩ ඔක්කොම කරනවා. එයාට කරන්න දෙයක් නෑ. ඊට පස්සේ දවසේ කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් ලියනවා. දවසෙම තැනින් තැනට දුවන එක තමයි වැඬේ. හැම මොහොතකම මොකක් හරි වැඩක. නිකං නෑ කිසිම වෙලාවක.


● දැන් රංජි අයියගේ වයස කීයද?
ඒක කියන්න කලින් මම කතාවක් කියන්නම්. අපේ අම්මා නැතිවෙන්න කලින් අසනීප වෙලා ඉන්න කාලේ මම අපේ රට ඉන්න මල්ලි කෙනෙකුට කතා කරලා කිව්වා අම්මා බලලා යන්න එන්න කියලා. එයා ඇවිත් අම්මා ළඟටම වෙලා හිටියා. මම එයත් එක්ක කතා කරන වෙලාවක මිනිහා මට කියනවා අපේ පරම්පරාවෙ ගොඩක් පිරිමි අය නැති වුණේ අවුරුදු 67 න්, අපේ පවුලෙ ඒක පරික්ෂා කරන්න වෙන්නේ අයියාගෙන් නේද කියලා. ඒක කිසිම අනාදරේකින් කියපු කතාවක් නෙවෙයි. අපි දෙන්නා අඩියක් ගහන ගමන් ඔය කතාව කතා වුණේ. මට මේ කතාව හිතට වැදුණා. මම කල්පනා කළා ඒ අනුව මට තව තියෙන්නේ අවුරුදු දෙකයි නේද කියලා. දැන් මම මේ අවුරුදු දෙක ඇතුළෙ අවුරුදු දහයක විතර වැඩ කරන්න දුවනවා. මේ අවුරුදු දෙක ඇතුළෙ උපරිම වැඩ ටිකක් කරන්න ඕන. පරම්පරාවෙ ආරෙට 67 මැරෙයිද නැද්ද ෂුවර් කරන්න බෑ. ඒත් ඒකට සූදානමින් ඉන්නේ.

ප්‍රියන්ත කොඩිප්පිලි

No comments

Powered by Blogger.