Header Ads

මහණ වෙන්න තිබ්බ ආශාව මල්ලී අතහැරියේ බණ්‌ඩාරනායක මහත්තයාට හාමුදුරු කෙනෙක්‌ වෙඩි තිබ්බ නිසා ....සෝමවංශ ගැන මතකය

මහණ වෙන්න තිබ්බ ආශාව මල්ලී අතහැරියේ බණ්‌ඩාරනායක මහත්තයාට හාමුදුරු කෙනෙක්‌ වෙඩි තිබ්බ නිසා
සෝමවංශ ගැන මතකය සොහොයුරා සහ සොහොයුරු පුතා අවදි කරයි

* වමතින් පන්දු යවන දකුණතින් පිත්ත හසුරුවන දක්‍ෂ ක්‍රීඩකයෙක්‌...
* පරාජය කිරීම ඓතිහාසික වැරැද්දක්‌ කියලා බාප්පා කිව්වා...

ශ්‍රී ලංකාව සතුව පවතින්නේ අති දැවැන්ත සටන්කාමී ප්‍රෙෘඪ ඉතිහාසයක්‌. සොලී ආක්‍රමණිකයාගේ සිට අවසන් ආක්‍රමණිකයා වූ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයා දක්‌වා එකා පරයමින් එකා බැගින් පැමිණි සියලු ආක්‍රමණිකයන් සමඟ අපේ මුතුන් මිත්තන් ගැටුණේ ජයග්‍රහණය ලබා ගැනීමට පමණක්‌ම නොවේ. "අපි තොපට යටත් නොවන්නෙමු·" යන පණිවුඩය සතුරාටත්, අනාගත පරපුරටත් තදින් කාවැද්දීම පරාජය දැක දැක පවා දණින් නොවැටීමේ ගුණය ඔවුහු එමගින් පෙන්වා සිටියෝය.

ක්‍රි.ව. 1505 න් ඇරැඹුණු බටහිර ආක්‍රමණිකයාට එරෙහි අරගලය විවිධ කාලවලදී විවිධ නායකයන් අතින් පණ පොවමින් විටෙක ජයග්‍රහණයද, විටෙක පරාජයද ලබමින් 1948 දක්‌වා දිව ගියේය. 1948 න් පසුව අප ලැබූ නාමික නිදහස සැබෑ නිදහසක්‌ බවට පත්කරලීමේ දැවැන්ත අභියෝගය රෝහණ විඡේවීර නම්වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී සටන්කාමියාගේ දෙව්ර මත ඉතිහාසය විසින් තබන ලද්දේය. ඉන්දියානු අමෙරිකානු ඔත්තු සේවාවල අණ දීම්වලට අනුව ක්‍රියාත්මක වූ උතුරේ බෙදුම්වාදී කොටි ත්‍රස්‌තවාදය පරාජය කරලීම සහ අධිරාජ්‍ය ගැති එජාප ආණ්‌ඩුව පලවාහැරීම යන ලේ වැකි අභියෝග දෙක එක මිටට ගෙන පරාජය කිරීම නම්වූ තීරණාත්මක සටන තුළ තම ජීවිතය පූජා කළ රෝහණ විඡේවීරයන්ගේ අවසන් පණිවුඩය

නිවැරැදිව වටහාගත් සෝමවංශ අමරසිංහ නම් අසහාය විප්ලවවාදියා "ශ්‍රී ලාංකේය සමාජය කොටි ත්‍රස්‌තවාදය පරාජය කළ යුතුය· කළ හැකිය·" යන අධිෂ්ඨානයට පණ පොවා, අධිෂ්ඨානය යථාර්ථයකින් අවසන් කිරීමට සමත් වූ අව්‍යාජ සුන්දර මහා පුරුෂයා විය. එසේම ඔහු ලාංකේය සමාජයට තව බොහෝ කාලයකට පහළ නොවන දුර්ලභ ගනයේ බුද්ධිමතෙකි. ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ දී ඔහු සමඟ ගතකළ ඔහුගේ ජීවතුන් අතර සිටින වැඩිමහල් සොහොයුරා වන පියසේන අමරසිංහ මහතා සහ ඔහුගේ පුත්‍රයා වූ මයුර අමරසිංහ මහතා සමඟ කළ සංවාද සටහන මෙසේ පළකර සිටිමු.

ප්‍රශ්නය - සෝමවංශ අමරසිංහ නම් චරිතය දේශපාලනඥයෙක්‌, විප්ලවවාදියෙක්‌, උපායශීලී විශේෂඥයෙක්‌. එහෙත් ඔහු ඔබගේ ලේ ඥතියා. සෝමවංශ අමරසිංහ ඥති සම්බන්ධකම් පවත්වා ගැනීමේදී හැසිරුණේ කොහොමද? ඔහුගේ පෞද්ගලික ජීවිතය ගතකළේ කොහොමද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට වගේම ගම්වැසියන්ටත් හරිම ලැදියි. නිතරම සිනාමුසු මුහුණින් සිටියා. ගමේ පන්සලත් එක්‌ක ඉතා කිට්‌ටු බැඳීමකින් කටයුතු කළා. පාසල් ගොස්‌ ආපසු ඇවිත් ඉස්‌සෙල්ලාම කරන්නේ පන්සලේ වත්ත පිරිසිදු කරන එක. මහණ වීමේ බලාපොරොත්තුවකින් තමයි කුඩා කාලය ගතකළේ. ඒ නිසාම බොහොම අල්පේච්ඡ ජීවිතයකට කුඩාකල සිටම පුරුදු වුණා. බණ්‌ඩාරනායක මහත්තයට හාමුදුරුනමක්‌ වෙඩි තබා මැරූ නිසා මහණ වීමට තිබූ වුවමනාව මල්ලී අත්හැර දැමුවා.

අධ්‍යාපනයේ දී මල්ලී ඉතාම දක්‍ෂයි. ඒ කාලේ තිබුණු "යුනිවර්සිටි එන්ට්‍රන්ස්‌" විභාගයට ගණිත අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී ඉඳල කළුතර දිස්‌ත්‍රික්‌කයෙන්ම පළමුවැනියා වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළු නොවී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙක්‌ ලෙස කටයුතු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳුණා. එහිදී පැවැත්වූ අවසාන විභාගයෙන් ඔහු ඔහුගේ කණ්‌ඩායමේ සිටි 125 දෙනකුගෙන් පළමුවැනියා බවට පත්වුණා.

ක්‍රීඩා අංශයෙන් ගත්තත් විශාල දක්‍ෂකම් පෙන්නුවා. වමතින් පන්දු යවන දකුණතින් පිත්ත හසුරුවන දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ ලෙස කළුතර විද්‍යාලයේ තබා ඇති වාර්තා තවමත් බිඳහෙළා නැහැ.

මල්ලී සංගීත අංශයෙන්, ජල තරංග වාදකයෙක්‌ ලෙස කැපී පෙනෙන දක්‍ෂකම් පෙන්නුවා. නමුත් 1983 ජවිපෙ තහනමින් පසුව නැවත ප්‍රසිද්ධ දේශපාලනයට එනකම් අපිව බලන්නවත් ආවේ නැහැ.

මයුර අමරසිංහ මහතා - බාප්පා ගැන මට තිබෙන්නේ ගෞරවය මුසු ඉතාම සුන්දර මතකයක්‌. බාප්පා ගැන මම කුඩා කාලයේදී පවුලේ ඥතීන්ගෙන් අසා තිබුණා. එහෙත් මම කුඩා කාලයේදී කෙදිනකවත් බාප්පව හැබැහින් දැකලා නැහැ. නමුත් බාප්පාගේ දේශපාලනය නිසා මට මගේ තාත්තාව, මම ඉතාම කුඩා කාලයේදී අහිමිවීමට ගොසින් හාස්‌කමකින් වගේ තාත්තාගේ ජීවිතය බේරුණා. එහෙම වුණා කියා මට බාප්පා කෙරෙහි තරහක්‌ ඇති වුණේ නැහැ. බාප්පාව ළඟින් ඇසුරු කරන්නට ලැබුණේ බාප්පා ජවිපෙය අතහැර පැමිණියායින් පසුවයි. ඔහු ඉතා ලෙන්ගතු පුද්ගලයෙක්‌. කලබල නැහැ. තමන්ගේ අරමුණ කෙරෙහි හඹාගෙන යන්නට පොර බැදුවා. පෞද්ගලික දේපළ කෙරෙහි කිසිදු ඇල්මක්‌ තිබුණේ නැහැ. ඇඳුම් පැළඳුම් වුණත් පිරිසිදුව පිළිවෙළට තබාගත්තා මිසක්‌ ඒවා ගොඩ ගසා ගන්නට උත්සාහ කළේ නැහැ. මට වගේම මගේ පුතාට, මගේ බිරිඳට හරිම ලෙන්ගතුව සැලකුවා. සෑම විටම මගේ බිරිඳගෙන් සමාජයේ සිදුවන චලනයන් පිළිබඳව විමසුමට ලක්‌කළා.

බාප්පා තමන්ට කියා පෞද්ගලිකව කිසිදු දෙයක්‌ ඉතුරු කරගෙන නැති එක සම්බන්ධව හිටියේ ඉතාම සතුටින්. බෞද්ධ දර්ශනයේ එන අත්හැරීම කියන ගුණාංගය ඉතාම හොඳින් බාප්පා ප්‍රගුණ කර තිබුණා කියලයි මට හිතෙන්නේ.

බාප්පා මට කෙටි කාලයකට ළඟින් ඇසුරු කරන්නට ලැබුණු මානව ගුණාංගවලින් පිරුණු මහා පුරුෂයෙක්‌ කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්නය - ජවිපෙ අතහැර ගොස්‌ නැවත දේශපාලනය කරන කෙනකුට ජවිපෙන් එල්ල වන බලපෑම සුළු පටු නැහැ. ජවිපෙය තුළ දැරූ වගකීම අනුව එය තව තවත් තීව්‍ර වනවා. සෝමවංශ අමරසිංහ මහතාට ඔවුන්ගෙන් එල්ල වූ පීඩනය කොහොමද?

පියසේන අමරසිංහ මහතා - ජවිපෙන් ඉවත් වූ අයට තාඩන පීඩන එල්ල කරන බව මම අසා තිබෙනවා. මල්ලී තමන්ට අනතුරක්‌ සිදු කරයි කියන හැඟීමෙන් හිටියා. ඒ නිසා එයාගේ ගමන් බිමන්වලදී විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූවා. ජවිපෙ මල්ලීට කායිකව හානි කිරීමට වඩා මානසික පීඩනයක්‌ එල්ල කරන්නයි උත්සාහ කළේ. මල්ලී පැමිණි මුල් දිනවල නැවත කැඳවාගෙන යැමට විවිධ පිරිස්‌ ආවා. ඔවුන් හැමදෙනාම වාගේ හැඟීම්බර බවකින් තමයි කටයුතු කළේ. සමහරු නම් කලබලකාරී වීමට උත්සාහ ගත්තා. එහෙත් මල්ලී ඒවාට බිය වුණේ නැහැ. ජවිපෙයේ දැනටත් හිටින රටම දන්නා හිටපු මන්ත්‍රීවරයෙක්‌ නිතරම මල්ලීව නැවත ජවිපෙයට

රැගෙන යැමට සාමකාමී උත්සාහයක්‌ දැරුවා. නමුත් ඔහු අපට කියා සිටියේ මල්ලීට මානසික රෝගී තත්ත්වයක්‌ තිබෙනවා කියායි. ඔහු ඉතා සියුම්ව උත්සාහ කළේ මල්ලී මානසික රෝගියෙක්‌ය යන්න පවුලේ උදවිය අතර තහවුරු කරන්නයි. මල්ලී ජවිපෙන් එළියට ඇවිදින් කළ පළමු රූපවාහිනි සාකච්ඡාවෙන් පසු මම ඔහුට කතා කර ඇසුවා "තවමත් මල්ලිට පිස්‌සු කියා කියනවද" කියා. ඔහු එවිට නිහඬ වූවා.

මල්ලිගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට පැමිණි ජ.වි.පෙ. පහළ සාමාජිකයන් තුළ පවා මල්ලිට මානසික රෝගී තත්ත්වයක්‌ තිබූ බව තහවුරු කර ඇති බව ඔවුන්ගේ කතාබහේදී මට අවබෝධ වුණා.

සමහර නායකයෝ ඔහුට ප්‍රසිද්ධියේ "පිස්‌සා" කිව්වා. මල්ලීට එල්ල කළ පීඩනය තුළ මල්ලී දුර්වල මනසක්‌ තිබූ අයෙක්‌ නම් ඇත්තටම පිස්‌සු වැටෙන්නට ඉඩ තිබුණා.

මයුර අමරසිංහ මහතා - බාප්පා ජවිපෙන් ඉවතට පැමිණි මුල් කාලයේ දී බාප්පා සමඟ සියලු ගමන් බිමන් ගියේ මම. ඔහු සමහර පුද්ගලයන් සමඟ සාකච්ඡා පැවැත්වූයේ මාගේ කාර් රථය ඇතුළේ ඉඳගෙන. ඔහුට සැකයක්‌ තිබුණා තමන්ට අනතුරක්‌ කරයි කියා.

දිනක්‌ බාප්පා ජවිපෙ පැලවත්ත කාර්යාලයට ලිපියක්‌ භාරදීමට මගේ රථයෙන් ගියා. එහිදී ඔහු රථය කාර්යාල පරිශ්‍රයට නොගන්නා ලෙසත්, ඔහු එන්නට විනාඩි හතර පහකට වඩා ගියහොත් කාර්යාලය ඇතුළට නොඑන ලෙසත් කෙළින්ම පොලිසියට යන ලෙසත් රට දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

බාප්පා කිව්වා වගේම එදා ඒ ලිපිය භාරදී එළියට එනවිට පුද්ගලයෙක්‌ අඬ අඬා ඇවිදින් බාප්පාව බදාගෙන කාර්යාලය ඇතුළට රැගෙන යැමට උත්සාහ කළා. බාප්පා ඔහුව තල්ලු කර දමා කාර් රථයට ඇවිත් ගොඩවුණා.

ජවිපෙය හැර යන ඕනෑම අයකුට ජවිපෙ දක්‌වන ප්‍රතිචාරය බාප්පාට කියා වෙනසක්‌ වූවේ නැහැ යන්නයි මගේ හැඟීම.

බාප්පා අවසාන දින කිහිපයේ ගමන් බිමන් යැමට භාවිත කළේ බාප්පා අලුතින් සෑදූ පක්‍ෂයේ ජයන්ත මහතාගේ මෝටර් සයිකලය. බාප්පාගේ චිතකයේ ගිනි නිවීමටත් පෙර අවමඟුල් උත්සව භූමියේ ගාල්කර තිබූ එම බයිසිකලයට කිසියම් පිරිසක්‌ අලාභහානි කර තිබුණා.

ප්‍රශ්නය - බිඳී විසිරී ගිය ජවිපෙය සෝමවංශ අමරසිංහ මහතාගේ මරණය විසින් එකම වහලක්‌ යටට ගෙන ආවා කියායි අපට හිතෙන්නේ. ඔහුගේ අවමඟුල් උත්සවයේ වැඩ කටයුතුවලදී ජවිපෙය සහ ජවිපෙ හැරගිය වුන්ගෙන් ලැබුණු සහයෝගය කෙළෙසද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී ජවිපෙන් එළියට ඇවිදින් ජවිපෙය නිවැරැදි දිශාවකට තල්ලු කරන්නයි උත්සාහ කළේ. එසේ නොවන වග ඔහුට දැනුණු පසු ඔහු ජවිපෙයේ ඉහළ නායකත්වය පිළිබඳ දැක්‌වූයේ සෘණාත්මක ආකල්පයක්‌. එනිසාම ඔහුගේ මරණය සම්බන්ධව යම් යම් අදහස්‌ විටින් විට අප සමඟ පැවසුවා. අපි හැකි තරම්, ඔහු ජීවතුන් අතර සිටියදී ඔහුගේ ඉල්ලීමට අනුව කටයුතු කිරීමට උත්සාහ කළා. පවුලේ සාමාජිකයන් වන මමත්, මගේ පුතාත් ඇතුළත් වන විදියට මල්ලී අවසාන වරට නායකත්වය දුන් ජනතා සේවක පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මෙන්ම නන්දන ගුණතිලක, අචල ජාගොඩ වැනි ජවිපෙන් ඉවත්වූ පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක්‌ මගින් සියලු කටයුතු කරනු ලැබුවා. මල්ලිගේ ඉල්ලීමට අනුව ජවිපෙය කමිටුවට ගැනීමට අප කැමැති වූයේ නැහැ. එහෙත් ඔවුන්ට අවමඟුලට සහභාගි වීමට, රැඳී සිටීමට කිසිදු බාධාවක්‌ කළේ නැහැ. දේහය තැන්පත් කර තිබූ පැලවත්තේ පිහිටි මගේ සොහොයුරියගේ නිවසේ ජවිපෙ නායකයන් මෙන්ම ජවිපෙ සාමාජිකයෝ විශාල පිරිසක්‌ දිවා රාත්‍රී රැඳී සිටියා. සමහර වැඩ කටයුතුවලටත් ඔවුන් සහභාගි වූවා. බොරැල්ල කනත්තේ දී පැවැත්වූ අවසන් කටයුතුවලට ජවිපෙ වත්මන් නායකයකුට ගුණ කතාවක්‌ කිරීමට අවස්‌ථාව අවශ්‍ය බව පහළ සාමාජිකයන් හරහා ඉල්ලීමක්‌ කළා. එහෙත් කිසිදු නායකයෙක්‌ අපෙන් සෘජුව ඉල්ලීමක්‌ කළේ නැහැ. කමිටු තීන්දු කළා බොරැල්ල කනත්තේ දී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට ගුණ කතාවක්‌ දෙන්නට. නමුත් ඔවුන් කනත්තට පැමිණ සිටියේ නැහැ.

මයුර අමරසිංහ මහතා - බාප්පා තමාගේ මරණයේ කටයුතු සිදුවිය යුතු ආකාරය සමහර අවස්‌ථාවල අප සමඟ පවසා සිටියා. එහිදී ඔහුගේ අවමඟුලේ කටයුතුවලදී මූලිකත්වය නොගත යුතු අය සම්බන්ධව ඔහු පවසා සිටියා. අපි ඒ අනුව ඔහුගේ ඉල්ලීමට උපරිම සාධාරණය කරන්නට උත්සාහ කළා. ඒ නිසාම බාප්පාගේ මෘත දේහය බාර ගැනීම සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන්නට අපි උත්සාහ කළා.

තාත්තා ඉහතින් සඳහන් කළා මෙන්ම නම් වශයෙන් සඳහන් කළ නොහැකි තරම් විශාල පිරිසක්‌ අවමඟුල් උත්සවයේ සියලු කටයුතුවලදී අපට විවිධාකාරයෙන් සහයෝගය පළ කළා. කිසිවෙක්‌ අපගේ තීන්දු තීරණ අභියෝගයට ලක්‌ කළේ හෝ බලහත්කාරයෙන් ඒවා වෙනස්‌ කරන්නට උත්සාහ කළේ නැහැ. අපිත් කමිටුවේ වැඩිදෙනාගේ මතයට ගරුකර සමහර දේවල්වලට එකඟ වූවා. අපට උදව් කළ සියලු දෙනාම කනත්තට පැමිණියත් ජවිපෙ කවුරුවත් කනත්තට පැමිණියේ නැහැ. ඒ විතරක්‌ නෙවෙයි අපේ හිතවතුන් අපට කී ආකාරයට ජවිපෙ සාමාජිකයන් කිසිවෙකුට බොරැල්ල කනත්තට එන්නට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් පැලවත්තේ දේහය තැන්පත් කළ නිවසේ සිටි සියලු ජවිපෙ සාමාජිකයන් කනත්තට යැම වළක්‌වා තිබුණා. එසේම කනත්තේ දොරටුව අසල හිඳිමින් කනත්තට පැමිණි බාප්පාට ආදරය කළ අහිංසක ජවිපෙ සාමාජිකයන් ආපසු හරවා එවා තිබුණා. මම දේශපාලනය කළ කෙනෙක්‌ නෙවෙයි. හැබැයි මම ජවිපෙ සංවිධාන ශක්‌තිය ගැන පුදුමයට පත්වුණු කෙනෙක්‌. නමුත් සංවිධාන ශක්‌තිය අශෝභන වැඩවලටත් යොදාගත හැකි බව මම තේරුම් ගත්තා.

ප්‍රශ්නය - සෝමවංශ අමරසිංහ මහතාගේ අවසාන කාලය ඔබලා ඇසුරේ ගතකළා. ඔහු ඔහුගේ දේශපාලන ජීවිතයේ ගත් තීන්දු තීරණ පිළිබඳව විවේචනාත්මක අදහස්‌ දැක්‌වූයේ නැතිද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී අපි ළඟට ආවයින් පසුව ගැඹුරු දේශපාලන සාකච්ඡා මා සමඟ කිරීමට උත්සාහ කළේ නැහැ. එහෙත් යම් යම් අවස්‌ථාවල ඉතා වැදගත් දේ ප්‍රකාශ කළා. ඒවා බොහෝ විට ඔහු ප්‍රකාශ කළේ මා සමඟ විවේකීව ගතකරන අවස්‌ථාවලදීයි.

මයුර අමරසිංහ මහතා - බාප්පා අපි සමඟ ගතකළේ ඉතාම සැහැල්ලු ජීවිතයක්‌. සමාජයේ සිදුවන යම් යම් චලනයන් පිළිබඳව අදහස්‌ ගත්තේ මගේ බිරිඳගෙන්. එහෙත් පසුගිය මැයි මාසයේ අන්තිම සතියේ දිනයක රාත්‍රියේ එක දිගට පැය එකහමාරක්‌ විතර මා සමඟ දේශපාලනය කතා කළා. එහිදී ඔහු ඉතාම හැඟුම්බර වූවා. මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ කොටි ත්‍රස්‌තවාදීන්ගේ යුද්ධය කළ යුතු ආකාරය පිළිබඳව වාද විවාද කළ සැටි කිව්වා. බාප්පා කිවූ දේවල්, බැසිල් රාජපක්‌ෂ මහතා, බාප්පාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි දිනයේ ඒ විදියටම තහවුරු කළා. ඔවුන් දෙපළගේ කතා ඇසූ මට මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවට බාප්පා කොතරම් ධනාත්මක බලපෑමක්‌ කර ඇති දැයි හිතුණා. බාප්පා එදා රාත්‍රියේ එක්‌වරම තද සුසුමක්‌ ඉහළට ඇද "මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කිරීම ඓතිහාසික වැරැද්දක්‌" කියා කිව්වා.

සෝමවංශ අමරසිංහ අවසාන කාලයේ දී ලේඛන කටයුතුවල නියෑලුණු බවයි ඔහු ළඟින් ඇසුරු කළ අය පවසන්නේ. එහෙත් ඔහු ලියූ දේවල් මාධ්‍යයට යොමු වූවේ නැහැ. ඔහු ලියුවේ මොනවාද?

පියසේන අමරසිංහ මහතා - මල්ලී නිතරම යමක්‌ ලියමින් තමයි කාලය ගතකළේ. එහෙත් මම ඒවා මොනවාද කියා සෙවීමට කටයුතු කළේ නැහැ. එහෙත් ඔහු ලියුවේ අපේ රටට, ඔහුගේ පක්‍ෂයට වැදගත් දේ යෑයි මට හිතෙනවා.

මයුර අමරසිංහ මහතා - බාප්පා අවසන් කාලයේ දී ඉතා වැදගත් හෙළිදරව්වක්‌ ලිතව ඉදිරිපත් කරන්න උත්සාහ කළා. එය බොහෝ විට තමන් ජවිපයේ ගතකළ අවසාන වසර කිහිපය පිළිබඳව කියායි මට හිතෙන්නේ. මම එහෙම කියන්නේ බාප්පා කියූ ඓතිහාසික වැරැද්ද සිදු කළේ ජවිපෙ ය මූලික වී කියායි ඔහු එදා පැහැදිලි කළ නිසයි. බාප්පා ලියූ වෙනත් දේ ඔහුගේ පක්‍ෂයට බාර දුන්නා. බාප්පාගේ පුතා ඉසුරු අමරසිංහ විසින් යම් යම් ලියවිලි වගයක්‌ ජවිපෙට බාර දුන්නා කියායි මට මතක තිබෙන්නේ. එහෙත් අවසාන කාලයේ ලියූ ලිපි ලේඛන නම් ජවිපෙය සතුව නැතිව ඇති. බාප්පා ඉතාම සූක්‍ෂම නිසා ඒ ලියවිලි කවුරු ළඟ හෝ සුරක්‍ෂිතව තබා තිබෙන බවයි මගේ හැඟීම. බාප්පා දැඩිව විශ්වාස කළා ලිත සටහනක්‌ තබා මියයා යුතු වග. වරෙක ඔහු ඔහුගේ අන්තිම කැමැති පත්‍රයද ලියන්නට උත්සාහ කළා. කෙසේ වෙතත් ඒ වැදගත් ලියවිල්ල බාප්පාගේ දර්ශනය විශ්වාස කරන යමෙක්‌ අත තිබුණොත් සමාජයට ඉදිරිපත් කරාවි.

සාකච්ඡා කළේ - ලක්‌මිණි ඇල්ලේවල

No comments

Powered by Blogger.