Open top menu
Wednesday, June 29, 2016

ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත අධ්‍යයනය. මෙහි විශේෂත්වය තමයි දෙමළ උගතෙක් විසින් සිංහල කලාව පිළිබඳව දැවැන්ත ගවේෂණයක් සිදුකිරීම. එහිදී ඔහු සිංහල කලාව පිළිබඳව, ගෘහ නිර්මාණ ශිල්පය, පිත්තල, මැටි වළං සම්ප්‍රදාය පිළිබඳව සාකච්ඡා කිරීමට අමතරව ඒ කාලේ සිංහල සමාජයේ විවිධ වූ ස්වභාවයන් පිළිබඳව, ඒ අයගේ ජනවර්ග මිශ්‍ර ස්වභාවය, ඒ අයගේ ඉතිහාසය තුළ පැවති කුල භේදය පිළිබඳව තියුණු ගවේෂණයක යෙදුනා. සිංහල ජාතිකයින්ට විශේෂිත වූ සංස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා, ඒ වගේම කලාවක් සාහිත්‍යයක් තිබුණා, ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් හැඟීම බලවත් ලෙස ලබා දුන්න ප්‍රාඥයෙක් විදිහට ආනන්ද කුමාරස්වාමිව හඳුන්වන් පුළුවන්. කුමාරස්වාමිගෙ පර්යේෂණ කටයුතු ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. දකුණු ආසියාවටම විහිදුණු ආකාරයට ඔහු පර්යේෂණ කටයුතු සිදු කළා. ඔහු ඉන්දියාවෙත් විවිධ අංශ පිළිබඳව විශාල ප්‍රමාණයක් දේවල් ලියලා තියෙනවා.

කුමාරස්වාමි ලංකාවෙ ඉන්න කාලයේ, ලංකාවේ තිබුණු දියුණුම එකතුවක් ලෙස සැලකිය හැකි, ලංකාවේ ඇතිවෙන්න ඕනෙ ප්‍රතිසංස්කරණ මොනවාද යන කතිකාව සඳහා ගොඩනගාගෙන තිබුණු, ‛සිලෝන් රිෆෝමිස්ට් ලීග්’ නැමැති ආයතනයේ කැපී පෙනෙන පුද්ගලයෙක් ලෙස කටයුතු කළා. කුමාරස්වාමි එක්ක සසඳන්න පුළුවන් අන්තරජාතිකව එයාගෙ මට්ටමෙන් පිළිගැනීමකට ලක්වුණු උගතෙක්ව තාම අපිට ගොඩනගන්න පුළුවන් වෙලා නැහැ.

කුමාරස්වාමිගෙ මරණයෙන් බොහෝ කාලයකට පසු, 70 දශකයේ අවසානයේ දී කුමාරස්වාමිගෙ අත්පිටපත්, දින පොත්, පල නොකල ඇතැම් ලිපි ලේඛන ඇතුළත් පුස්තකාලය මිලදී ගන්න ලංකාවට අවස්ථාවක් ලැබුණා. නමුත් ඉතාමත්ම කණගාටුදායක තත්ත්වය තමයි ලංකාව ඒ එකතුව මිල දී ගත්තෙ නැහැ. ඒකට ඉල්ලපු මිල හුඟක් ලොකු නැහැ. ඒක ලක්ෂ 25 ක් පමණ මුදලක් වුණා. නමුත් ලංකා ආණ්ඩුව ඒක ගත්තෙ නැහැ. අවසානයේ දී ඒක මැලේසියාව විසින් මිල දී ගත්තා.
මම පුද්ගලිකව හිතන දේ තමයි නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි කියන එක. නෙළුම් පොකුණ, ආනන්ද කුමාරස්වාමිට වඩා ගොඩක් පුංචියි. ආන්නද කුමාරස්වාමිව අභිබවා අළුත් දෙයකට තැන ලැබිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. විශේෂයෙන්ම මේ වගේ කාලයක ඒක වඩාත්ම වැදගත්. අපිට ගෞරවයෙන් සමරන්න ඉන්න දෙමළ විද්වතුන් කිහිපදෙනා දිහා වඩා සංවේදීව බැලිය යුතුයි කියන එක තමයි මම හිතන්නෙ. ජාතීන් ගොඩනගන්න හීන දකින්න, නැවත මේ අය එකතු කරන්න හීන දකින සමාජයක් විදිහට මේ විදිහට ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ කියලා වෙනස් කරපු එක ඉතාමත් අවුල් ඇති කරන ප්‍රශ්නයක් කියන එක තමයි මගේ අදහස. ඒක නොවිය යුතුව තිබුණා.

වික්ටර් අයිවන්
ප්‍රධාන කර්තෘ – රාවය පුවත්පත

ආනන්ද කුමාරස්වාමි මාවත යළි පාදා ගැනීම
.silumina/2015/02/15/


ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා ආනන්ද කුමාරස්වාමි යන විද්වතා හඳුනන්නේ “මධ්‍ය කාලීන සිංහල කලා” යන කෘතියේ කතුවරයා හැටියට ය.

එකී සම්භාවනීය කෘතියේ පෙරවදනේ ආනන්ද කුමාරස්වාමි පඬිවරයා පිළිබඳව මෙසේ සඳහන් වේ.

“පෙරදිග සංස්කෘතිය ලෝ වැස්සන්ට හඳුන්වා දීමට උත්සාහ දැරු කිහිපදෙනා අතුරින් මුල් තැනක් ගත්තෙකි. ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි. කලා පිළිබඳ විශාරද දැනුමක් ඇති කරගත් මොහු කලා රසිකයෙක් පමණක් නොව ශාස්ත්‍රඥයෙක් ද, විද්‍යාඥයෙක් ද, දාර්ශනිකයෙක් ද විය.

පෙර අපර දෙ දිගම භාෂා හැදෑරූ මොහු ඉංග්‍රිසි, ප්‍රංස, ජර්මන්, ලතින් ග්‍රීක්, සංස්කෘත හා පාලි පිළිබඳ විශේෂ දැනුමක් ද, සිංහල, දෙමළ, හින්දි, පර්සියානු, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද භාෂා පිළිබඳ සාමාන්‍ය දැනුමක් ද ඇති කර ගත්තේ ය.”

“පෙරදිග දාර්ශනික සාහිත්‍යය මෙන්ම අපරදිග දාර්ශනික පොත්පත් ද බෙහෙවින් පරිශීලනය කළ මොහු පෙර අපර දෙ දිග සංස්කෘතිය පිළිබඳ තුලනාත්මක දැනුමක් ලත් මහා පඬිවරයෙකි.”

කලා ශිල්ප

භාෂා ශාස්ත්‍ර, විද්‍යා හා කලා ශිල්ප පිළිබඳව පර්යේෂණවල යෙදුණේ සෘෂිවරයකු මෙනි. ප්‍රසිද්ධියට කිසිසේත්ම කැමැත්තක් නො දැක්වූ මොහු පෙරදිග සංස්කෘතිය ලෝ වැස්සන් අතර පතුරුවාලීම තමන්ගේ ප්‍රධාන මෙහෙය වශයෙන් සැලකුවේ යැයි කිව හැකිය.

“1877 අගෝස්තු මස 22 වැනි දින කොල්ලුපිටියේ දී මෙලොව එළිය දුටු ආනන්ද කුමාරස්වාමි වැදගත් පරපුරකට අයත් වූ වෙකි. නයිට් නාමයක් (සර්) ලැබූ ප්‍රථම ආසියාතිකයා වශයෙනුත්; ඉංග්‍රිසි නීතිඥ මණ්ඩලයට ඇතුළුවීමේ භාග්‍යය ලත් ප්‍රථම ලාංකිකයා වශයෙනුත් සලකනු ලබන ශ්‍රිමත් මුත්තු කුමාරස්වාමි මහතාට දාව උපන් මොහු තමාගේ මුල් කාලය එංගලන්තයේ ගත කළ කෙනෙකි.”

විචිත්‍රත්වය

“1889 දී වයස අවුරුදු දොළහක් වූ අවස්ථාවේ දී ආනන්ද කුමාරස්වාමි ඉගෙනීම සඳහා එංගලන්තයේ වෛක්ලිප් විද්‍යාලයට බැඳුණේය. අවුරුදු 6 ක් එහි ඉගෙන ගෙන නවීන විද්‍යාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබුවේය. ඉන්පසු භූ ගර්භ විද්‍යාව හා උද්භිත විද්‍යාව පිළිබඳ පළමුවන පෙළේ ගෞරවය සහිත ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බී. එස්. සී. උපාධිය 1900 දී ලබාගත්තේය.”

“1903 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකු වශයෙන් කටයුතු කළ මොහු ලංකාණ්ඩුවේ ඛණිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් පත්වී ලංකාවට පැමිණ තම රාජකාරි කටයුතු සම්බන්ධව ලංකාවේ සෑම පළාතකම ගමන් කෙළේය.”

කොළඹ හත ආනන්ද කුමාරස්වාමි මාවත පසුගිය පාලන සමයේ දී ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස වෙනස් කෙරිණ. නව පාලනය යටතේ යළි එම නම වෙනස් කරමින් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙසට තැබීය.මෙහි දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආනන්ද කුමාරස්වාමි මාවත විවෘත කළ අවස්ථාවයි. රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා ද මෙහි සිටී.

“ඛණිජ වර්ග සොයමින් ගිය මේ ගමන්වලදී පුරාවිද්‍යාත්මක තොරතුරු, සමාජ විස්තර හා කලා ශිල්ප පිළිබඳ විස්තර ද සෙවීමට මොහු පෙලඹුණේය. මෙම පෙලඹීම මොහුගේ පමණක් නොව කලා රසිකයන් කාගේත් භාග්‍යයට හේතු විය. තමන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල දක්වමින් මොහු කලා ශිල්ප පිළිබඳ ලිපි ලේඛන ලියන්නට ද විය. මේ අතර ලංකාවේ කලා ශිල්ප බටහිරට හඳුන්වා දීම සඳහා විශාල ග්‍රන්ථයක් ද පිළියෙල කෙළේය. ඒ මධ්‍යකාලීන සිංහල කලා නමැති ග්‍රන්ථයයි.”

ආනන්ද කුමාරස්වාමි පඬිවරයා පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ලබා ගැනීමට ඉහත කී විස්තරය වුව ද ප්‍රමාණවත්ය. එහෙත් ඔහුගේ ජීවිතයේ විචිත්‍රත්වය තවත් ඈතට විහිදෙයි.

කුමාරස්වාමි පරපුරේ නිජබිම යාපනය වුවද, පසු කලෙක ඔවුහු කොළඹට පැමිණ හෙට්ටිවීදිය වාසස්ථානය කර ගත්හ. ඔවුහු ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රාහ්මණ වංශිකයෝ වූහ. කුමාරස්වාමිගේ පියා වූ ශ්‍රීමත් මුතු කුමාරස්වාමි වයස 45 දී මියයන විට ළදරු ආනන්දගේ වයස අවුරුදු දෙකකි. ඔහුගේ මව එලිසබෙත් ක්ලේ නමැති ඉංග්‍රිසි ජාතික කාන්තාවකි. සැමියාගේ අකල් මරණයෙන් කම්පාවට පත් වූ ඈ සිය දරුවා ද රැගෙන එංගලන්තය බලා ගියාය.

1902 ජුනි මස 19 දින ආනන්ද කුමාරස්වාමි එතල් මාරි පැට්රිජ් නම් ඡායාරූප ශිල්පිනිය සමඟ විවාහ වී අනතුරුව ලංකාවට පැමිණියේය. මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ ඇති ඡායාරූප සියල්ලම ගන්නා ලද්දේ එතුමිය විසිනි. වසර 13 කට පසු මේ විවාහය බිඳ වැටුණු පසු රතන් දේවි නම් ගායිකාව ආනන්ද කුමාරස්වාමිගේ බිරිය බවට පත්වූවාය.

රතන් දේවි ඉංග්‍රිසි ජාතික කාන්තාවක වුවද, භාරත සංගීතයට වශී වූ කලාකාරියකි. ඈ බ්‍රිතාන්‍යයේ හැම ප්‍රදේශයකම සංචාරය කරමින් ඉන්දියානු ගීත ගායනා කළ කලා ශිල්පිනියකි. මේ විවාහයෙන් ඔවුනට දරු දෙදෙනෙකු ලැබුණු අතර නාරද නම් පුත්‍රයා ගුවන් අනතුරකින් මිය ගියේය. දියණියගේ නම රෝහිණී ය. සිය පුත්‍රයාගේ වියෝවෙන් කම්පාවට පත් රතන් දේවි දැඩි සේ අසනීපව මිය ගියාය.

විමර්ශනය

ඇමෙරිකාවේ බොස්ටන් කලාගාරයේ උසස් තනතුරකට ඇරැයුම් ලැබී ආනන්ද කුමාරස්වාමි 1917 ඇමෙරිකාවට සංක්‍රමණය වී 1922 දී ස්ටේලා බ්ලොච් නම් ඇමෙරිකා කලාකාරිය සමඟ විවාහ විය. ඔහුගේ බිරිය වයසින් අවුරුදු 29 ක් ළාබාල වූ අතර ආනන්ද කුමාරස්වාමි මේ අවදියේ සංස්කෘත හා පාලි ධර්ම ග්‍රන්ථ විමර්ශනයට අත ගසා තිබුණේය.

1927 දී ඔහු ඉන්දියාවේ ඉතිහාසය සහ ඉන්දුනිසියාවේ කලාව යන කෘතින් දෙක ප්‍රකාශයට පත් කෙළේය.

1930 දී මේ විවාහය ද බිඳ වැටුණු අතර ආනන්ද කුමාරස්වාමි ලුයිසා රන්ස්ටයින් නම් කාන්තාව විවාහ කර ගත් අතර ඔවුනට රාමා පොන්නම්බලම් නම් පුත්‍රයකු ද විය. වයස අවුරුදු 22 දී කතෝලික ආගමට සම්බන්ධ වූ ඔහු පසුව පූජකවරයකු බවට පත්ව 2006 දී අභාවයට පත් විය.

බොස්ටන් කලාගාරයේ ප්‍රධානම තනතුරු දැරු ආනන්ද කුමාරස්වාමි 1947 සැප්තැම්බර් 09 දින ඇමෙරිකාවේ මැසචුසෙට්ස් හි නෙඩ්හැම් හිදී අවසන් හුස්ම හෙළන තුරුම ආසියානු කලාව හා සංස්කෘතිය බටහිර ලෝකයට හඳුන්වාදීමේ උත්සාහයේ නිරත විය. ඔහු විසින් ලියන ලද, කෘති සංඛ්‍යාව බොහෝය. අවාසනාවට මෙන් ඒවායින් බොහොමයක් සිංහලයට නැඟී නැත.

නිදහස් අරගලය

කුමාරස්වාමි පරපුර මෙරට දේශපාලනයට හා නිදහස් අරගලයට සම්බන්ධ වූ අරුණචාලම් පොන්නම්බලම් පොන්නම්බලම් රාමනාදන් යන වීරවරයන් සමඟ සබැඳී පවතී. ආනන්ද කුමාරස්වාමිගේ පියා වූ මුතු කුමාරස්වාමි කලම්බු ඇකඩමි (පසුව කොළඹ රාජකීය විද්‍යාලය) විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නීතිවේදියකුව මහා බ්‍රිතාන්‍යයේ නීතිඥයකු ලෙස කටයුතු ‍ෙකළේය. හරිශ්චන්ද්‍ර නාටකය ඉංග්‍රිසියට පරිවර්තනය කළ ඔහු මහ වංශය ඇතුළු බෞද්ධ මූලාශ්‍ර කීපයක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ බව Sri Lanka Tamil Strugle කෘතියේ සඳහන් වේ.

කුමාරස්වාමි පරපුර මෙරට ව්‍යවස්ථාදායකයේ ආරම්භයේ සිටම එයට සම්බන්ධව සිටියහ. එසේම හින්දු සංස්කෘතියේ සහ දෙමළ භාෂාවේ අභිවෘද්ධිය සඳහා ඔවුහු මහත් සේවාවක් ඉටු කළහ. හින්දු ආගමික පූජ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට ද නොපැකිල ඉදිරිපත් වූ ඔවුහු පටු ජාතිවාදින් නොවී සිංහල ජනතාවගේ සුබ සිද්ධියට ද අදාළව කටයුතු කළහ. උතුරේ නිල නොලත් ලෙස ක්‍රියාත්මක වූ වහල් මෙහෙය තහනම් කිරීමට ඉදිරිපත් වූ ඔවුහු ද්‍රවිඩ සංස්කෘතියේ බලපෑම කල්පනාවට ගනිමින් යාපනයේ ජනතාව සඳහා පොදු ජාතික ඇඳුමක් නිර්මාණය කර ගත්හ.

ආනන්ද කුමාරස්වාමි පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරුණ­ාචලම් යන එක පරපුර මේ ඇඳුම ප්‍රචලිත කිරීමට උත්සුක වූයේ තමනුත් එම ඇඳුමෙන්ම සැරසීමෙනි. ආනන්ද කුමාරස්වාමි ලංකාවේ රැඳී සිටි කාලයේ දී මේ ද්‍රවිඩ ජාතික ඇඳුමෙන් සැරසී මහජනයා ඉදිරියට ආවේය.

ආනන්ද කුමාරස්වාමිගේ බුද්ධියේ පුළුල් පරාසය පැහැදිලි වන්නේ ඔහු විසින් ලියා ඇති කෘති සංඛ්‍යාව විමසන විටය. ඔහුගේ කෘතීන් පිළිබඳව ලියැවී ඇති විචාරයන්ගේ සංඛ්‍යාව ද අති මහත් ය.

කරුණාරත්න අමරතුංග

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts