Open top menu
Friday, July 1, 2016

ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන රජය ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ඓතිහාසික ව්‍යායාමයක මේ වන විට නිරතව සිටී. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනෙනුයේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟතාව ඇතිවය. කතානායක කරු ජයසූරියගේ මූලිකත්වයෙන් මෙම ව්‍යවස්ථා සම්පාදන රැස්වීම් පවත්වනු ලැබීමට නියමිත වන අතර මෙහෙයුම් කමිටුවේ ප්‍රධානයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇත. වෙනත් විවිධ කරුණු සඳහා විසඳුම් සෙවීමට උප කමිටුද ස්ථාපනය කෙරෙනු ඇත.

වත්මනෙහි පවත්නා ව්‍යවස්ථාව බිහි වීමට මඟ පෑදුවේ 1972  සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් සම්මත කරගැනුණු ජනරජ ව්‍යවස්ථාවෙනි. සම්පාදනය කිරීමට නියමිත නව ව්‍යවස්වස්ථාවේ ප්‍රධාන අරමුණු අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ කොට්ඨාස නිර්ණය සහ දීර්ග කාලයක් මුළුල්ලේ පවතින දෙමළ ප්‍රශ්නයට තිරසර විසඳුමක් සෙවීම යන කරුණුය. මෙහි දැක්වෙන පළමු කරුණු දෙක සඳහා විසඳුම් සෙවීම එතරම් ගැටලු සහගත නොවුවද ජනවාර්ගින ගැටලුවක් ලෙසින් හැඳින්වෙන තෙවැනි කරුණ සඳහා විසඳුම් සෙවීම මඳක් අසීරු වන්නකි. කෙසේ වුවද සිංහල ජනතාව සැහීමට පත් කරමින් දෙමළ ජනයාගේ අභිලාශයන් ඉටු වන පරිදි යම් යම් වෙනස්කම් කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ හැකියාව ඇත්තේය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු වස් පසුගිය ජනවාරි මාසයේ නව ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමේ කාර්යය සඳහා මුල් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධනවලට අනුව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙයි. මෙම සංශෝධන රජයේ අභිලාෂය සහ පොදු එකඟතාව අනුව සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ මෙම යෝජනා ඒකච්ඡන්දයෙන් අනුමත විමය. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,  මූලික කෙටුම්පතට එක් කළ සංශෝධන මගින් එහි ප්‍රධාන හරයට කිසිදු බලපෑමක් ඇති නොකරන බව මාධ්‍යයට පවසා තිබිණි. මෙම සංශෝධන හේතුවෙන් මුල් කෙටුම්පතේ වූ පූර්විකාව ඉවත් කිරීමට සිදු විය. එම පූර්විකාවේ අන්තර්ගත වූ වැදගත්ම කොටස වූයේ දෙමළ ප්‍රශ්නයට ව්‍යවස්ථාමය වශයෙන් විසඳුම් සෙවිය හැකි විශේෂ නිර්දේශයන්ය. දැන් එය කෙටුම්පතින් ඉවත් කොට තිබේ. දෙමළ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා නොකෙරෙන බවක් මින් අදහස් නොකෙරේ. නව ව්‍යවස්ථාවෙන්ද දෙමළ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත. මුල් කෙටුම්පතේ පූර්විකාවේ සඳහන් වූ විශේෂ නිර්දේශ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සුවිශාල අපේක්ෂාවක් සහ විශ්වාසයක් ඇති කරවන්නක් වූ අතර නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී  එහි සඳහන් කරුණු පලදායක ලෙසින් යොදා ගැනීමට හැකියාව තිබිණි.

1957 ජුලි 26 වැනි දින එවක මෙරට අගමැතිවරයාව සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය නොහොත් ෆෙඩරල් පක්ෂ නායක සැමුවෙල් ජේම්ස් වේළුපිල්ලෙයි චෙල්වනායගම් අතර අත්සන් තැබුණු ගිවිසුම බණ්ඩා චෙල්වා ගිවිසුම නැතිනම් බී. සී ගිවිසුම ලෙසින් ප්‍රචලිත විය. එය උතුරේ දෙමළ ජනතාව මුහුණ පා සිටි දුක්ඛිත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා නිදහසින් පසු ඇතිකරගත් පළමු ගිවිසුම වූයේය. 1956 පාර්ලිමේන්තු මැතිවරණය අනුව සිංහල සහ දෙමළ ජනතාව අතර පැහැදිලි  ධ්‍රැවීකරණයක් සලකුණු කළේය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ දකුණේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගනු ලැබූ අතර  ෆෙඩරල් පක්ෂ නායක එස්. ජේ. වී. චෙල්වනාගම් උතුරේ ආසන නවයෙන් හයක්ද නැගෙනහිර ආසන හතෙන් හතරක්ද දිනා ගැනීමට සමත් විය.

56 පත් වූ නව රජයේ ප්‍රථම කාර්යය වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමය. මෙයට විරෝධය පාමින් දෙමළ නායකයන් සාමකාමි සත්‍යග්‍රහ ව්‍යාපාරයක් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වූ අතර එයට මැර පිරිස් විසින් පහර දී පළවා හරිනු ලැබුවේ පොලිසිය බලා සිටියදීය. දෙමළ විරෝධී සාහසික ක්‍රියා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වූයේය. 1956 ජුනි 15 වැනි දින පැවැති ඡන්ද විමසීමේදී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ යෝජනාව ඡන්ද 56කින් සම්මත විය. විරුද්ධව ඡන්ද 29ක් ලැබී තිබිණි.


ත්‍රිකුණාමලයේ ෆෙඩරල් පක්ෂ සම්මේලනය

රට පුරා නොසන්සුන්තාවක් පැන නැඟුණු අතර ෆෙඩරල් පක්ෂය 1956 අගා්ස්තු 17 සිට 19 දක්වා තම පක්ෂ සම්මේලනය පැවැත්වීමට කටයුතු කළේය. එයට සහභාගී වීම සඳහා උතුරේ ෆෙඩරල් පාක්ෂිකයෝ නැගෙනහිර පළාතේ පිහිටි ත්‍රිකුණාමලයට දින 10ක් පුරා පාද යාත්‍රවේ යෙදුණාහ. ත්‍රිකුණාමල සම්මේලනයේදී දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි ඉල්ලීම් හතරක් සම්මත කර ගත්හ. ඒවා මේ අයුරිනි.

1. ස්වාධීන දෙමළ රාජ්‍යයක් හෝ භාෂාමය වශයෙන් පදනම් වූ ෆෙඩරල් හෝ රාජ්‍යයක් ස්ථාපිත කිරීම.
2. දෙමළ භාෂාවට නිසි තැන ලබා දීම සහ රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාවට සමාන වැදගත්කමක් දෙමළ භාෂාවට ලබා දීම.
3. පුරවැසිභාවය පිළිබඳව පවත්නා නීති රීති වෙනස් කොට වතුකරයේ දෙමළ ජනයාට පුරවැසිභාවය සහ ඡන්ද අයිතිය ලබා දීම.
4.  සාම්ප්‍රදායික දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශවල සිංහල ජනාවාස ඇති කිරීමේ ප්‍රතිපත්තිය වහා අවලංගු කිරීම.

මෙම ඉල්ලීම් ඉටු කිරීම සඳහා රජයට වසරක කාලයක් ලබා දීමට සමුළුවේදී තීරණය විය. ඒ සඳහා අවසාන දිනය වූයේ 1957 අගෝස්තු 20 වැනිදාය. රජය මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ෆෙඩරල් පක්ෂය අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද තීරණය කළේය.

1957දී වාහන අංක තහඩුවලට ‘ශ්‍රී’ අක්ෂරය යෙදීම හේතුවෙන් අර්බුදයක් පැන නැඟුණි. එතෙක් පැවැතියේ එවක ලංකාව ඉංග්‍රීයෙන් හැඳින්වූ සිලෝන් (CEYLON) යන නමින් බිඳුණු CE, CL, CN, EY, EN, EL  යන අක්ෂර මුලට යෙදූ අංක තහඩුය. නව රජයට සිංහල ශ්‍රී අක්ෂරය යෙදූ අංක තහඩු භාවිත කිරීමට අවශ්‍ය විය. දෙමළ දේශපාලනඥයන් මෙය දුටුවේ සිංහලය බලෙන් පැටවීමක් ලෙසිනි. එයට විරෝධය පෑ ඔවුහු දෙමළ  ශ්‍රී අක්ෂරය ආදේශකයක් ලෙස භාවිත කළ යුතුයැයි බලකර සිටියහ. එහෙත් දෙමළ හෝඩියේ ශ්‍රී අක්ෂරයක් නොවීය. ඔවුන් භාවිත කළේ සංස්කෘත බසින් ව්‍යුත්පන්න වූ ශ්‍රී අක්ෂරයයි.

ජනවාරි 9 වැනිදා උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ශ්‍රී විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ෆෙඩරල් පක්ෂය කටයුතු කළේය. රථවාහන දෙමළ අක්ෂර සහිත අංක තහඩු යොදා ධාවනය කෙරිණි. සිංහල ශ්‍රී අක්ෂරය වෙනුවට සංස්කෘතයෙන් බිඳුණු දෙමළ ශ්‍රී අක්ෂරය භාවිත කෙරිණි. පෙබරවාරි 4 වැනිදා පැවැති නිදහස් උත්සවය ෆෙඩරල් පක්ෂය දුටුවේ ශෝකජනක ‘කළු දිනයක්’ ලෙසිනි. හර්තාලය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජන ජීවිතය අඩාළ වූයේය. ත්‍රිකුණාමල නගරයේ ඔරලෝසු කණුව මුදුණේ කළු කොඩියක් දැමීමට තැත් කළ නඩරාජා නම් පුද්ගලයා වෙඩි වැදී මරණයට පත් විය.


ප්‍රති ව්‍යාපාරය

දෙමළ විරෝධතා ව්‍යාපාරයට එරෙහි ප්‍රති විරෝධතා ව්‍යාපාරයක් දකුණේද ක්‍රියාත්මක විය. මාර්ගවල දෙමළ බසින් වූ නාම පුවරු තාර හෝ කළු තෙල් හෝ යොදා මකා දැමිණි. දෙමළ ජනයාට එරෙහි සුළු විරෝධතා රට පුරා ක්‍රියාත්මක විය. ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට රාජකාරි සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැමිණීම වැළැක්වීමට ෆෙඩරල් පක්ෂය පියවර ගති. දේශපාලනඥයන් විසින් රැස්වීම් සංවිධානය  කරනු ලැබූ ස්ථානවල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කෙරිණි.  ඩබ්ලිව් දහනායක සහ ටී. ඒ. එස්. මරික්කාර් යන ඇමතිවරු මඩකලපුවේදී කලහකාරීන්ගේ ප්‍රහාරයකට ලක් වූහ. ස්ටැන්ලි ද සොයිසාට කළු කොඩි පෙළපාලියකට මුහුණ දීමට සිදු විය. දුම්රියෙන් යාපනයට ගිය කම්කරු ඇමති එම්. පී. ද සොයිසා දුම්රිය පොළෙන් එළියට යාමට නොහැකි වන පරිදි හික්මිය නොහැකි, පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න අසන්නකු ලෙසින් ප්‍රකටව සිටි අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විසින් මෙහෙයවන ලද තරුණ පිරිසක් විසින් බාධා කෙරිණි. සොයිසා ඊළඟ යාල්දේවි දුම්රියෙන් කොළඹ බලා පැමිණීමට සිදු විය.

ජාතිවාදි නොසන්සුන්තාව ලේ විලක් දක්වා පරිවර්තනය වීමේ ලකුණු පහළ කළේය. දෙමළ ජනයාගේ සිත් රිදීමට ලක් වූ තත්ත්වය පාලනය කිරීම හා සිදු වීම ආපසු හැරවිය යුතු බැව් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වැටහිණි. දෙමළ ප්‍රශ්නයට එකම විසඳුම බලය බෙදීම මුල්කරගත් ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාව 1926දී මුලින්ම දුටුවේ ඔහුය. බලය විමධ්‍යගත කිරීම සඳහා රට සභා ක්‍රමය හඳුන්වා දිය යුතු යුතු බවට ඔහු යෝජනා කළේය.

බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ රට සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් බවටය. එහෙත් රට සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ 1957 මැයි 17 වැනිදාය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කෙරුණේ ජුලි මාසයේදීය. රට සභා පනත ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරමින් බණ්ඩාරනායක මහතා අපේක්ෂා කළේ දෙමළ දේශපාලන නායකයන් සමඟ අවබෝධතාවක් ගොඩනඟා ගැනීම සහ අනාගතයේ එහි සංශෝධන සිදු කිරීමටය. මේ අතරතුර ෆෙඩරල් පක්ෂය අගෝස්තු 20 වැනි දින තමන් අරමුණු කරගෙන සිටි හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමට සූදානම් වූහ. ඒ සඳහා 25,000 පමණ පිරිසක් සහභාගී වීමට නියමිත විය. සිංහල නායකයෝ දෙමළ ව්‍යාපාරයට එරෙහි ප්‍රහාරයක් සඳහා සූදානම් වූහ. ඒ සඳහා 100,000 ආසන්න පිරිසක් ස්වෙච්ඡාවෙන් එක්ව සිටියහ. බණ්ඩාරනායක මහතා හා චෙල්වනාගම් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරුණේ මේ අතරතුරය. ඒ සඳහා මුල පිරුවේ අගමැති බණ්ඩාරනායකය. සුප්‍රකට දෙමළ නීතිඥවරුන් දෙපළක් වූ පී. නවරත්නරාජා සහ ඒ. සී. නඩරාජා ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළහ. නවරත්නරාජා අගමැති බණ්ඩාරනායකගේ සහ චෙල්වනායගම්ගේ සමීප මිතුරකු විය. ඒ. සී. නඩරාජා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා විය. රජයේ පාර්ශ්වයෙන් මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා සාකච්ඡාව සඳහා ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය.


අගමැතිවරයාගේ හොරගොල්ල නිවහන

ප්‍රථම හමුව 1957 ජුනි 22 වැනිදා අගමැතිවරයාගේ හොරගොල්ල නිවෙසේ පැවැත්විණි. චෙල්වනායගම්ගේ රථය හොරගොල්ල නිවෙසට පැමිණි අවස්ථාවේ රථය වෙත පැමිණි බණ්ඩාරනායක මහතා ඔහුට රථයෙන් බැසීමට උපකාර කළේය. රටේ පැවැති තත්ත්වය පිළිබඳව නායකයන් දෙදෙනාටම පැහැදිලි අවබෝධයක්  තිබිණි. මෙම ඓතිහාසික හමුවට රජය පාර්ශ්වයෙන් එස්. ඩබ්ලිව්. අර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා සහ ස්ටැන්ලි සොයිසාද, මැදිහත්කරුවකු ලෙස නවරත්නරාජාද සහභාගී වූ අතර එස්. ජේ. වී. චෙල්වනායගම්, සී. වන්නියාසිංහම්, එන්. ආර්. රාජාවරෝතයම්, වී. ඒ. කන්දයියා, ඊ. එම්. වී නාගනාදන් සහ වී. නවරත්නම් ෆෙඩරල් පක්ෂය නියෝජනය කළහ.

පළමු හමුව ඉතා සුහදශීලි පසුබිමක පැවැත්විණි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස  භාවිත වීමට කාලයක් ගත වනු ඇතැයි දෙමළ ප්‍රජාවේ සැක සංකා දුරු කිරීමේ අරමුණින් බණ්ඩාරනායක මහතා පැමිණි පිරිසට කියා සිටියේය. තේජා ගුණවර්ධන නඩුවේදී  තමාට සිංහල කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි යැයි බණ්ඩාරනායක පවසා තිබිණි. තමා සිංහල ඉගෙනීමේ මන්දගාමියකු බවද, සිංහල ඉගෙන ගන්නා තෙක් පරිපාලන කටයුතු සඳහා සිංහල බස යොදා ගැනීමට අදහස් නොකරන බවද පැවසූ බවද එහිදී කියැවිණි.

ෆෙඩරල් පක්ෂය බණ්ඩාරනායක මහතාගේ ආස්ථානය පිළිබඳව සෑහීමට පත් වුවද දෙමළ ජනයාගේ තත්ත්වය නගාසිටුවීම සඳහා ක්‍රියා කළ යුතු බවට අවධාරණය කෙරිණි. බණ්ඩාරනායක එයට එකඟ වූයේය. බලය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ ෆෙඩරල් පක්ෂය, ෆෙඩරල් රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කළේය. 1920 ගණන්වල බණ්ඩාරනායක මහතාගේ ෆෙඩරල් සංකල්පය ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලීම සඳහා තම පක්ෂයට අනුභූතිය සැපයූ බවද දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට සුදුසුම ක්‍රමය බවද ඔවුහු ප්‍රකාශ කළහ. තමාට ෆෙඩරල් ක්‍රමය පිළිබඳ එකල විශ්වාසයක් පැවැතියද මේ වන විට එය වෙනස් වී ඇතැයි බණ්ඩාරනායක කියා සිටියේය.

ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දීමේ අදහසක් බණ්ඩාරනායකට නොවීය. ෆෙඩරල් පක්ෂය ෆෙඩරල් ක්‍රමය හැර වෙනත් විකල්පයක් නොසොයන්නේ නම් දෙමළ ජනයාගේ මැසිවිලි හා අභිලාෂයන්ට පිළිතුරු සෙවිය හැකි වේදැයි ඔහු විචාළේය. ෆෙඩරල් පක්ෂය අගමැතිවරයාගේ අදහස අවබෝධ කරගත් අතර ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා බල කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළේය. චොක්සි කොමිසම් වාර්තාව මගින් නිර්දේශ කෙරුණු බලය විමධ්‍යගත කිරීම සඳහා වන රට සභා පනතේ වගන්ති ප්‍රකාරව බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයකට දෙපිරිසම එකඟත්වය පළ කළහ.


විකල්ප යෝජනා

ෆෙඩරල් පක්ෂය, ෆෙඩරල් රාජ්‍ය සංකල්පයෙන් මිදී බලය විමධ්‍යගත කිරීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවට අගමැති බණ්ඩාරනායක යෝජනා කළේය. ෆෙඩරල් පක්ෂ නායකයෝ එයට එකඟ වෙමින් සාකච්ඡාවෙන් නික්ම ගියහ. එතැනින් නික්ම ගිය ඔවුහු නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති බි්‍රටෝ මුතුනායගම් සහ චෙල්වනායගම්ගේ බෑනා වූද, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හා කැනඩාවේ නිව් බෲන්ස්වික් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ පීඨාධිපතිවරයකු වශයෙන් කටයුතු කළ ඇල්ෆ්‍රඞ් ජෙයරත්නම් විල්සන්ගේ උපදෙස් පැතූහ. බි්‍රටෝ මුතුනායගම්ගේ මතය වූයේ උතුරු අයර්ලන්තයේ පවත්නා ක්‍රමය ලංකාවටද උචිත බවය. උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යටත් වන අතර ෆෙඩරල් තරම් නොවූවද බලතල රාශියක් ඔවුනට හිමි බැව් ඔවුහු පෙන්වා දුන්හ. උතුරු අයර්ලන්ත ව්‍යවස්ථා පනතේ පිටපතක් නීති විද්‍යාලයාධිපතිවරයා ෆෙඩරල් පක්ෂ නායකත්වයට ලබා දුන්නේය. වෙනත් ෆෙඩරල් රාජ්‍යයන්ගේ ව්‍යවස්ථා පිටපත් විල්සන් විසින් ලබා දෙන ලදි. කෝපායිහි හිටපු මන්ත්‍රි සී. වන්නියාසිංහම් සහ කයිට්ස්හි හිටපු මන්ත්‍රි වී. නවරත්නම් විකල්ප යෝජනාවලියක් කෙටුම්පත් කිරීමේ කාර්යයයේ නිරත වූහ. තෙදිනක් ඇතුළත එය නිම කළ ෆෙඩරල් පක්ෂ නායකයෝ එහි පිටපතක් අගමැති බණ්ඩාරනායක මහතාට ලබා දුන්හ.

උතුරු නැගෙනහිර ඒකීය රාජ්‍යයක් තුළ ප්‍රාන්තීය පාලනයක් ලෙසින් පැවැතිය යුතු විය. එහෙත් ආරක්ෂක, විදේශ කටයුතු,  මුදල්, මුද්දර, රේගු, අභ්‍යන්තර ගමනාගමනය වැනි කටයුතු මධ්‍යම රජය යටතේ පැවතිය යුතු විය. සමස්ත ප්‍රතිපාදන කොළඹ රජයෙන් සිදු වන අතර ප්‍රාදේශීය ආදායම් අයකර ගැනීම සඳහා අවේණික බදු ක්‍රමයක් සකස් කර ගැනීමේ බලතල ඔවුනට හිමිය. ප්‍රතිපත්ති සකස් කිරීම මධ්‍යම රජය සතුය. ප්‍රාන්ත රජය තම මන්ත්‍රීවරුන් මගින් මධ්‍යම රජය නියෝජනය කරනු ලබන අතර දෙමළ කටයුතු සඳහා මධ්‍යම රජය විසින් කැබිනට් ඇමතිවරයකු පත් කරනු ලබනු ඇත.
දෙවැනි සාකච්ඡා වටය බණ්ඩාරනායක මහතාගේ රොස්මීඞ් පෙදෙසේ පිහිටි නිවෙසේදී පැවැත්විණි. එයට චෙල්වනායගම්, වන්නියාසිංහම්, නාගනාදන් සහ නවරත්නම් සහභාගී වූහ. යෝජනාවලියේ වූ ෆෙඩරල් ඉල්ලීම පිළිබඳව බණ්ඩාරනායක ප්‍රශ්න කළේය. බලය විමධ්‍යගත කිරීම පිළිබඳ යෝජනාවලිය සාරාංශ ගත කරන මෙන් ඉල්ලා සිටි ඔහු එහි සඳහන් වූ වෙනම රාජ්‍යය සංකල්පයකට ඉඟි කෙරෙන ‘පාර්ලිමේන්තුව’ සහ ‘අමාත්‍ය මණ්ඩලය’ යන වදන්වලට විරෝධය පෑවේය.


සංශෝධිත ලේඛනය

බණ්ඩාරනායකගේ ඉල්ලීම අනුව ෆෙඩරල් පක්ෂය තම යෝජනාවලිය සාරාංශ ගත කිරීමට පියවර ගත්හ. රට සභා ක්‍රමය බණ්ඩාරනායකගේ  සිතිවිල්ලක් වූ අතර ඒ අනුව ගිය ෆෙඩරල් පක්ෂය පාර්ලිමේන්තුව වෙනුවට රට සභා ඉල්ලා සිටි අතර අමාත්‍ය මණ්ඩලය වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩලය යන්න ආදේශ කළහ. එහෙත් මුල් යෝජනාවලියේ වූ හරය ඒ අයුරින්ම පැවතිණි.

මුල් යෝජනාවලියේ වූ ඇතැම් කරුණු මඳක් ලිහිල් කිරීමට සිදු වූ බැව් ෆෙඩරල් පක්ෂයට ඒත්තු ගොස් තිබිණි. එහෙත් එක් කරුණක් සම්බන්ධයෙන් ඔවුහු දැඩි ස්ථාවරයක සිටියහ. ඒ උතුරු නැගෙනහිර සඳහා එක් රට සභාවක් පමණක් තිබිය යුතු බවටය. බණ්ඩාරනායකගේ අරමුණ වූයේ උතුර එක් ඒකකයක් ලෙසත්, නැගෙනහිර ඒකක දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලෙසින් හෝ පවත්වාගෙන යෑමටය. එහෙත් උතුර නැගෙනහිර එක් ඒකකයක් ලෙසින් පැවතිය යුතු බවට වී. නවරත්නම් දැඩි මතයක සිටියේය.  අවසානයේ  මෙම කරුණ සාමකාමීව විසඳා ගැනීමට ඒ. සී. නඩරාජා විසින් නවරත්නම් පොලඹවා ගත්තේය. උතුර සහ නැගෙනහිර සඳහා වෙන් වෙන් වශයෙන් රට සභා ඇති කිරීමට තීරණය විය.

1957 ජුලි 25 වැනි දින තීරණාත්මක හමුවක් පැරණි සෙනෙට් ගොඩනැගිල්ලේ පිහිටි අගමැති කාර්යාලයේදී පැවැත්විණි. එයට ඇමතිවරු විශාල පිරිසක්  සහ ෆෙඩරල් පක්ෂ නායකයන් රැසක් සහභාගී වූහ. පහසුකම් සපයන්නා වූ නවරත්නරාජාද එයට එක්ව සිටියේය. හමුව ආරම්භ වූයේ පස්වරු 7ටය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙසින් කර ඇති සඳහන වෙනස් කිරීමට කැබිනට් ඇමතිවරු තරයේ විරෝධය පළ කළහ. බොහෝ වෙහෙසකර සාකච්ඡා වටයකින් පසු එකඟතාවකට එළැඹිය හැකි යෝජනාවක් ගෙන ආවේ විලියම් සිල්වාය. ‘දෙමළ භාෂාව සුළු ජනවාර්ගිකයන්ගේ භාෂාව’ ලෙසින් පිළිගත යුතුය යන්න ඔහු ගෙන ආ යෝජනාව විය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පරිපාලන භාෂාව  දෙමළ බස විය යුතු බවටද යෝජනා කෙරිණි.

සාකච්ඡාව තුළ ෆෙඩරල් පක්ෂයේ වැඩි අවධානයක් යොමු වූයේ  උතුරට එක් රට සභාවක් සහ නැගෙනහිරට රට සභා දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් යන අගමැතිවරයාගේ ආස්ථානය කෙරෙහිය. අවශ්‍ය වුවහොත් පළාත් මායිම් නොතකා ඒවා ඒකාබද්ධ කිරීමටද නව සීමා මායිම් ඇති කිරීමටද කළ යුතු විය. රට සභාවලට බලතල ලබා දීම පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ පිලිප් ගුණවර්ධන ඇතුළු ඇමතිවරු පිරිසක් බලතල ලබාදීමට විරුද්ධ වූහ. ඇමතිවරු ප්‍රශ්නය නිරාකරණය කරගන්නා තෙක් ෆෙඩරල් පක්ෂ නායකයන් වෙනත් කුටියකට වී සිටියහ. අවසානයේ රට සභාවලට බලය ලබා දීමට ඇමතිවරු එකඟත්වය පළ කළහ. ෆෙඩරල් පක්ෂය ඉල්ලා සිටි පරිදි උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනාවාස ක්‍රියාත්මක නොකිරීමට බණ්ඩාරනායක එකඟත්වය පළ කළ අතර ඉඩම් නිරවුල් කිරීමේ වැඩපිළිවෙළද ෆෙඩරල් පක්ෂයට සතුටුදායක අයුරින් සිදු විය. වතුකම්කරු පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයට වතු නියෝජිතයන් හා සාකච්ඡා කිරීමෙන් පසු තීරණයකට එළැඹිය හැකි බැව් ප්‍රකාශ කළ බණ්ඩාරනායක එය පසුවට කල් තබන ලෙසට ෆෙඩරල් පක්ෂ නායකයන්ට පැවසීය. සාකච්ඡාව ජුලි මස 26 වැනි දින හිමිදිරිය තෙක් පැවැති අතර අලුයම 2ට පමණ වී. නවරත්නම් ගිවිසුමේ සාරාංශයක් දෙපිරිස ඉදිරියේ කියවනු ලැබීය. දෙපිරිස එහි සඳහන් කරුණුවලට එකඟත්වය පළ කර සිටියහ.

අලුයම 2.30 පමණ සාකච්ඡාව අවසන් කොට චෙල්වනායගම් හා නවරත්නම් ඇල්ෆ්‍රඞ්හවුස්හි පිහිටි චෙල්වනායගම්ගේ නිවෙස බලා පිටත්ව  ගියහ. පසුව නවරත්නම් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව කොටස් දෙකකින් සමන්විත පිටපත් තුනකින් යුත් වාර්තාවක් සකස් කළේය. එහි පළමු කොටස සාකච්ඡාවේ සංෂේපයක් වූ අතර දෙවැනි කොටස රට සභාවල සංයුතිය හා ඒවාට බලය පැවරෙන ආකාරය පිළිබඳව විය.

එදින දහවලේ චෙල්වනායගම් එම වාර්තාවද රැගෙන අගමැති බණ්ඩාරනායක හමු වීමට ගියේය. එහිදී සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවන් වූ සොලමන් හා සැමුවෙල් විසින් ‘බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම’ නමැති ඓතිහාසික ගිවිසුම අත්සන් කරනු ලැබීය. එය අත්සන් කළ බැව් මාධ්‍යයට රහසක් වූයේය. ගිවිසුමේ එක් පිටපතක් අගමැති බණ්ඩාරනායක වෙතද තවත් පිටපතක් චෙල්වනායගම් වෙතද තබා ගැනුණු අතර ඉතිරි පිටපත නවරත්නම් වෙත තබා ගැනිණි. ගිවිසුමට අත්සන් තැබූ දෙපාර්ශ්වයේම මතය වූයේ මෙම ගිවිසුම ස්ථාපිත කිරීම මගින් ජනවාර්ගික ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙන බවටය. එමෙන්ම ඒ වන විට පැන නැගෙමින් තිබූ වාර්ගික ගැටුම්ද නිරාකරණය වනු ඇති බවට විශ්වාසයක් තිබිණි. එහෙත් එයට එරෙහිව දැඩි විරෝධතාවක් පැන නැඟුණු හෙයින් අවාසනාවන්ත ලෙසින් එම ගිවිසුම කිසි දිනෙක ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේය.

1957දී අත්සන් කෙරුණු බණ්ඩාරනායක චෙල්වනාගම් ගිවිසුම නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරන්නක් විය. එවක සිටි අගමැතිවරයා හා විශාලතම දෙමළ පක්ෂයේ නායකයා අතර ඇතිකර ගත් අවබෝධතාව මත අත්සන් කෙරුණු එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් පසුකාලයේ ඇති වූ වාර්ගික අර්බුදය ඇති නොවීමට ඉඩ තිබිණි. එය වළක්වාලනු ලැබුවේ දකුණේ දේශපාලන බලවේග විසිනි. විරෝධතාව මුලින්ම පැන නැඟුණේ අන්තවාදී සිංහල බෞද්ධ භික්ෂූන්ගෙනි. පසුව රජයේ සහ විරුද්ධ පක්ෂයේ ගිහි බලවේග එයට එක් වූහ. එක්සත් ජාතික පක්ෂය එයට තදබල ලෙස විරෝධය පෑ අතර එම ගිවිසුම සිංහලයන් පාවා දීමට ගත් ප්‍රයත්නයක් ලෙසින් හැඳින්වූහ.

1957 ඔක්තෝබර් 3 වැනි දින ජේ. ආර්. ජයවර්ධන, බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව කොළඹ සිට මහනුවරට විරෝධතා පා ගමනක් සංවිධාන කළේය. එය එස්. ඩී. බණ්ඩාරනායක විසින් ඉඹුල්ගොඩදී වළක්වාලනු ලැබීය.  එම පා ගමන ගිවිසුමට එරෙහි මහජන මතයක් ගොඩනැඟීමට පසුබිම සකස් කළේය.

ජී. ජී. පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයද බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරෝධය පෑවේය. දකුණේ ක්‍රියාත්මක වූ දෙමළ විරෝධයට ප්‍රති විරෝධයක් ලෙස ෆෙඩරල් පක්ෂය  ශ්‍රී අක්ෂරය යෙදූ අංක තහඩු සහිතව උතුරට යවන ලද බස්රථවල තාර ගෑමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. 1958 අප්‍රේල් 9 වැනි දින බෞද්ධ භික්ෂූන් 200ක් හා ගිහියන් 300කගෙන් සමන්විත පිරිසක් බණ්ඩාරනායක මහතාගේ නිවෙස ඉදිරිපිටට රැස්වී ගිවිසුම අකුලා ගන්නා ලෙසට බලකර සිටියහ. බණ්ඩාරනායකට ගිවිසුමේ පිටපත ඉරා දැමීමට සිදු විය. තාර ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරනායක ෆෙඩරල් පක්ෂයට දෝෂාරෝපණය කළේය. වර්ගවාදී ලැව්ගින්නක්  ඇතිවීම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක සහ චෙල්වනායගම් අතර එකඟතාවක් ඇති තර ගැනිණි. එමඟින් දැවැන්ත වාර්ගික අර්බුදයක් ඇති වීම වැළකී ගියේය. එහෙත් වාර්ගික අර්බුදය දසක ගණනක් පුරා ඇවිළ ගිය යුද්ධයකට මඟ පෑදීය.

බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් මුල් අවධියේදීම බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමක් මගින් දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි මහඟු අවස්ථාවක් උදාකරගත හැකිව තිබිණි. මේ වන තෙක් එයට විසඳුමක් ලැබී නොමැති අතර ක්‍රියාත්මක වීමට මඟක්ද පෑදී නොමැත.

පරිවර්ප්‍තනය - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts