Open top menu
Sunday, July 3, 2016

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
යාපනය පිළිබඳව කතා කිරීමේදී අමතක නොකළ යුතුම පුද්ගලයකු ඇත් නම් ඒ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා බව සඳහන් කළ යුතුය. එම ප්‍රදේශය පිළිබඳව කතා කිරීමේදී ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා පිළිබඳව සඳහන් කළ යුතුව ඇත්තේ ඔහු එම ප්‍රදේශයේ පුරපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තම හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරමින් ඒ වෙනුවෙන් තම ජීවිතය ද පූජා කළ බැවින්. ඔහු පිළිබඳව සලකා බැලීම මගින් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ ද ලබා ගත හැකි බැවිණි.

ඇල්µ්‍රඩ් දොරේඅප්පා මහතා ඝාතනය කර ඇත්තේ 1975 වර්ෂයේ ජුලි 27 වන දින කෝවිලක්‌ අසලදීය. එම ඝාතනය ප්‍රභාකරන්, උමා මහෙෂ්වරන් ඇතුළු කිහිප දෙනකු විසින් සිදුකර ඇති බව වාර්තා වේ. සමහර වාර්තාවල සඳහන් වී තිබෙන ආකාරයට ප්‍රභාකරන් විසින් සිදු කරන ලද පළමු ඝාතනය එය වේ. අද වන විට ප්‍රභාකරන් ඝාතනය කිරීම සුබවාදීව දකින සමහර පුද්ගලයන් අතීතයෙදී ප්‍රභාකරන් විසින් ගිනිකූරුවල ඇති වෙඩි බෙහෙත් එකතු කර පතුරමක්‌ සකසා දොරේඅප්පා මහතා ඝාතනය කළ අයුරු වීර කාව්‍යයක්‌ සේ වාර්තා කර තිබූ බව ද මෙහි දී සිහිපත් කළ යුතුය.

ප්‍රභාකරන් සහ උමා මහෙෂ්වරන් විසින් ඝාතනය කරන විට දොරේඅප්පා මහතා යාපනය පුරපති ලෙස කටයුතු කිරීමට ප්‍රථම යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කර ඇත. ඒ සියලු තනතුරුවලට අමතරව දොරේඅප්පා මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උතුරේ නායකයා ලෙස කටයුතු කර ඇත.

දොරේඅප්පා මහතා ඝාතනය කරන ලද මොහොත දක්‌වාම එස්‌. ඡේ. වී චෙල්වනායගම්, අප්පාපිල්ලේ අමිර්තලිංගම් යන දෙමළ ජාතිවාදී බෙදුම්වාදී නායකයන් විසින් මෙහෙයවූ දෙමළ එක්‌සත් පෙරමුණ සහ එම සංවිධානයේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කළ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ විසින් මෙහෙයවූ බෙදුම්වාදී දේශපාලනයට එරෙහිව කටයුතු කර ඇත. 1972 මැයි 22 වන දින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය යන පක්‍ෂ වලින් සැදුම්ලත් සමගි පෙරමුණ ආණ්‌ඩුව විසින් පළමු ජනරජ ව්‍යවස්‌ථාව සම්මත කිරීමත්, ඒ තුළින් මෙරට ඒකීය රාජ්‍යයක්‌ බව යළිත් තහවුරු කිරීමත්, සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීම සහ බුද්ධාගම රාජ්‍ය ආගම කිරීම ඇතුළු කාරුණු කාරණා නිසා, ඊට එරෙහිව දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ විසින් මෙහෙයවූ විරෝධතාවන්ට උතුරේදී රජය වෙනුවෙන් මුහුණ දී කටයුතු කර ඇත්තේ සහ පිළිතුරු දී ඇත්තේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා ප්‍රමුඛ පිරිස්‌ විසිනි.

1972 පළමු ජනරජ ව්‍යවස්‌ථාවට දොරේඅප්පා මහතා යාපනේ පුරපති ලෙස සිය පූර්ණ සහයෝගය පළ කරන අතර, දෙමළ එක්‌සත් පෙරමුණ යටතේ තරග කළ සහ වෙනත් පක්‍ෂ යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ කුමාරසූරියන්, ත්‍යාගරාජා (අමිර්තලිංගම් 1970 පැවැති මැතිවරණයෙන් පරාජය කර පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.), අරුලම්පලම්, සී. එක්‌ස්‌. මාටින්, රාජන් චෙල්වනායගම්, සී. සුබ්‍රමනියම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

පළමු ජනරජ ව්‍යවස්‌ථාව, දෙමළ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද සහයෝගයෙන් සම්මත කර දින දෙකකට පසුව එනම් 1972 මැයි 24 වන දින යාපනයේදී රැස්‌aවීමක්‌ පවත්වා ඇති අතර එම රැලිය අමතමින් කාසි ආනන්දන් නම් පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ "ව්‍යවස්‌ථාවට පක්‍ෂව ඡන්දය දුන් 6 දෙනා ස්‌වාභාවික රෝගයකින් හෝ අනතුරකින් මිය යැමට ඉඩ නොදිය යුතුය යන්නයි. කාසි ආනන්දන් එම ප්‍රකාශය කළ රැලියේ මුලසුන දරා ඇත්තේ අද සමහරුන් විසින් අහිංසාවාදියකු ලෙස හඳුන්වාදෙන එස්‌. ඡේ. වී. චෙල්වනායගම් විසිනි.

කාසි ආනන්දන් විසින් එම රැලියේදී කරන ලද ඉහත සඳහන් ප්‍රකාශය, හුදු ප්‍රකාශයකට සීමා නොකරමින් එම රැළිය පවත්වා දින 3 කට පසු එනම් 1972 මැයි 27 වන දින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වඩුක්‌කොඩ ආසනයේ සංවිධායකයා වූ වී. රාජසුන්දරම්ගේ වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. ඒ ආකාරයෙන්ම 1972 දෙසැම්බර් 19 වන දින දුරෙයිඅප්පාගේ නිවසට ද බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. එදින තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට දුරෙයිඅප්පා මහතා වාසනාවන්ත වුවත් අවසානයේදී දුරෙයිඅප්පා මහතා යාපනයේ පිහිටි කෝවිලක්‌ අසල දී ප්‍රභාකරන් ඇතුළු පිරිස විසින් ඝාතනය කර ඇත. ඒ ආකාරයෙන්ම 1972 ව්‍යවස්‌ථාවට පක්‍ෂව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයන්ට මෙන්ම සම සමාජ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂවල සාමාජිකයන්ට ද ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ප්‍රහාර වලින් බොහෝ දෙනකු ජීවිතක්‍ෂයට පත් වී ඇත.

මෙම ඝාතන සංස්‌කෘතියත් සමගම දෙමළ බෙදුම්වාදී ජාතිවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයන් කුමන හෝ ආකාරයකින් දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන් විසින් නිහඬ කර ඇත. එතැන් සිට යාපනේ ජනතාවගේ එකම මතය බෙදුම්වාදයට පක්‍ෂපාති බවට ව්‍යාජ ජනමතයක්‌ ඉස්‌මතු කර ඇත.

මෙම කෘත්‍රීම තත්ත්වය සමහර පුද්ගලයන් විසින් අර්ථ දක්‌වන්නේ ජනවාර්ගික අර්බුදය ලෙසිනි. ඔවුන් සඳහන් කරන ආකාරයට යාපනය මුල් කරගනිමින් ජනවාර්ගික අර්බුදයක්‌ පවතින්නේ නම්, ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඇතුළු, විශාල දෙමළ වැසියන් පිරිසක්‌ ඝාතනය කළේ කුමක්‌ සඳහා ද? මෙම ඊනියා ජනවාර්ගික අර්බුදය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඇතුළු පිරිසට අදාළ වූයේ නැති ද? එය කුමක්‌ වුවත් එම මතය යාපනයේ ජනතාවගෙන් විශාල පිරිසක්‌ නියෝජනය කළ බව තහවුරු වන්නේ සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කළ පක්‍ෂ සමග සම්බන්ධකම් පවත්වමින්, ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා යාපනයේ පුරපතිවීම මගිනි. එම ජනමතයට කුමක්‌ වී ඇත්ද යන්න අද සොයා බැලිය යුතුය. දොරේඅප්පා මහතා පළමු ගොදුර බවට පත් කර ගනිමින් දෙමළ සමාජය තුළ පැවති, දෙමළ බෙදුම්වාදයට එරෙහි මතය ත්‍රස්‌තවාදයෙන් යටපත් කළ කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදීන් අවසන් ගමන් ගොස්‌ ඇති මේ මොහොත ඒ සඳහා ඇති හොඳම අවස්‌ථාව වේ.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts