Header Ads

ඉන්දියන් සාම සාධක හමුදා කළ භික්‌ෂු ඝාතනය

 එක්‌දහස්‌ නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දිනය ලංකාවට අඳුරු දිනයක්‌ විය. ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක්‌ අත්සන් කලේ එදිනය. ගිවිසුමේ වගන්ති ප්‍රකාරව ලංකාවේ හමුදා බැරැක්‌කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය. සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුමේදී පහසුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කල හැකිව තිබියදී ඉන්දිය රජය මැදිහත් වීමෙන් ගුවනින් ආහාර හෙලීමත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිරකොට ගිවිසුම අත්සන් කිරීමත් සිදු විය. මේ ගිවිසුම ඉතා බරපතළ ලෙසට ලක්‌ රජයේ ස්‌වභාවය දුවල කල ලියවිල්ලකි. ලංකාව බහුවාර්ගිකව බහුභාෂාමය." බහු ආගමික රාජ්‍යයක්‌ ලෙසට එහිදී පිළිගෙන තිබුණි. බලය බෙදාහැරීම සඳහා එහි සඳහන් කළ ප්‍රතිපාදන මගින් උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතුව තිබුණි. ඒ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීම සුදුසු යයිද තීරණය විය. පැය හතලිස්‌ අටක්‌ යන්නට ප්‍රථමයෙන් ලංකාවේ හමුදා බැරැක්‌ක වලට සීමා කරන ලදී. එ නමුත් දෙමල කොටි ත්‍රස්‌තයන්ගේ කණ්‌ඩායම් වලට එවැනි තහංචියක්‌ නොවැටුණි. එහි ප්‍රතිඵලය වූයේ නැගෙනහිර පළාත් තුළ ඔක්‌තෝබර් මාසය තුල අතිමහත් භීෂණයක්‌ මතු වීමයි. ඉන්දියන් සාමසාධක හමුදාවේ මදුරාසි සේනාංක ත්‍රිකුණාමලේ සහ
අම්පාර යන දිස්‌ත්‍රික්‌කවල ස්‌ථානගත වීම නිසා තත්ත්වය බරපතළ විය. ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය මෙන්ම සිවිල් පරිපාලනයද අක්‍රීය කිරීම නිසා කැලෑ නීතිය යටතේ කොටි සංවිධානය ක්‍රියාත්මක විය. කරන දෙයක්‌ කරන්නට ඉඩදී ඉන්දියන් හමුදාව බලා සිටින්නට විය. මේ නිසා ගෙවල් ගිනි තැබීම, මංකොල්ල කෑම් විශාල වශයෙන් ව්‍යාප්ත විය. 1987 ඔක්‌තෝබර් මස 03 දිනට උදාවිය. එදින ත්‍රිකුණාමල පහේ කණුව සහ හතරේ කණුව අතර සිංහලයන් උපවාසයක්‌ ආරඹන ලද්දේ තමන්ට එල්ල වූ පීඩා ඉවසා දරා ගත නොහැකි බව ප්‍රකාශ කරන්නටයි.

මේ අනාථ තත්ත්වය එකළ දිවයින ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරන්නේ මෙසේය. 'අපට කරදර ඇති වෙන්නට පටන් ගත්තේ 1984 වර්ෂයේ සිටයි. අපිට ජනපදයේ ඉන්ඩ බැරිව ගිය අවස්‌ථා තිබෙනවා. එහෙම අවස්‌ථාවක කඳවුරක සිටි අපට තුවක්‌කු 45 ක්‌ දුන්නා. රුපියල් 500 කුයි පොල් අතුයි දීලා රිසිවේෂන් ඉඩම්වල පදංචි වෙන්න කීවා. අපි පොල්අතු වලින් ගෙවල් තනා ගෙන ජීවත් වුණා. මෙහෙම ගෙවල් හදා ගෙන ගොවිතැන් කරගෙන ඉන්න විට අපේ තුවක්‌කු ආපහු රජයට ගත්තා. ඒ ටික දවසකින් ත්‍රස්‌තවාදීන් ආවා. ඒ ආවේ ඉන්දියන් හමුදාවත් එක්‌කයි. ඒ ඇවිත් කීවා එහෙන් පිට වෙන්න. නැතිනම් මරා දමනවා කියලා. අපිට යන්න තැනක්‌ නැති නිසා ජයපුර ග්‍රාම ආරක්‌ෂක මහත්වරුන් සමග හමුදා කඳවුරකට ගියා. චීන වරායෙන් හතරෙ කණුවෙන්
අපිව පැන්නුවේ, එහෙන් නොගියොත් මරල හම ගලෝල යුනිෆෝම් මහනවා කියලයි.' අභයපුර විදුහලේ ගුරුවරියක්‌ වන එම්.ඒ.කරුණාවතී මහත්මිය කියූ කතාව පත්‍රය වාර්තා කරන්නේ මෙසේය. 'පසුගිය කාලයේ හදිසි තත්ත්වය නිසා සැරෙන් සැරේ අපේ පාසල වසා තැබුවා. ඒ අතරතුර ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාර අපට එල්ල වුණා. අපි අවුරුදු පහක්‌ තිස්‌සේම ඔය පරිසරයෙහි ජීවත් වුණේ. ඒත් මෙහෙම දාලා එන්ඩ වුණ පළවෙනි අවස්‌ථාව මෙයයි. සාම ගිවිසුමෙන් පස්‌සෙ තත්ත්වය දරුණු වුණා. සැත්තැම්බර් 30 දා සිට මේ අයගේ ප්‍රහාර වැඩි වුණා. අපට පාරේ බැහැල යන්න බැරි වුණා. ඔක්‌තෝබර් 5දා ත්‍රිකුණාමලේ සෑම ගමකටම එකවර පහර දුන්නා. ඉතින් හැමෝම කඳවුරු වලට රොක්‌ වුණා. පසුදා පාන්දර ඉඳල මිනිස්‌සුන්ට ගහන්ඩ පටන් ගත්තා. හවස හය වන විට ත්‍රිකුණාමලයම හිස්‌ වුණා. අපි කන්තලේ කඳවුරේ දවස්‌ පහක්‌ හිටියා.එතැනින් දඹුල්ල කඳවුරට ආවා. එතනත් ඉඩ නෑ. ඊට පස්‌සේ ගලේවෙලට ගියා."

හතරෙ කණුවේ ඇරඹි උපවාසය රජයට පීඩනයක්‌ එල්ල කිරීමට සමත් විය. චීනවරාය පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි ජයන්ත ප්‍රනාන්දු මහතා මේ තත්ත්වය ගැන චීන වරයෙ නායක ස්‌වාමීන් වහන්සේට පැහැදිලි කර දෙන ලදී. පොලිසියේ හඬට කන්දුන් රඹුqකන සද්ධාලංකාර නායක හිමියන් පොලිස්‌ ස්‌ථානාධිපති සමග වහා හතරෙ කණුවට වැඩම කරන ලදී. උපවාසය නැවැත්වීමට උපදෙස්‌ දුන් නායක හිමියන් ආපසු වැඩම කිරීමට පය ඉක්‌මන් කළ විගසම මෙම ස්‌ථානයට පැමිණි ඉන්දීය හමුදාව දිගින් දිගටම වෙඩි තබන්නට වූ අතර ස්‌වාමීන් වහන්සේටද වෙඩි වැදුණි. මේ තත්ත්වය ඇසින් දුටු ත්‍රිකුණාමලේ හතරෙ කණුවේ සිටි එම්. මැගිනෝනා එය විස්‌තර කලේ මෙසේය.

'ත්‍රස්‌තවාදීන්ගේ අකටයුතුකම්වලට විරුද්ධව හතරේ කණුවේ සහ පහේ කණුවේ උපාසකම්මලා එකතුවෙලා උපවාසයක්‌ ආරම්භ කළා. 4 කණුවේ හන්දියේ. අපිට හොඳින් ආරක්‌ෂාව ලබා ගන්නයි ග්‍රාමාරක්‌ෂකයන්ට තුවක්‌තු ලබා ගන්නයි අපි එහෙම උපවාස කලේ. පස්‌සේ ගුවන් හමුදාවේ විස්‌සක්‌ පමණ දෙනා ආරක්‌ෂාව ලබා දුන්නා. ඒ අතරතුරේදී ඉන්දියන් හමුදාව ඇවිත් ඒ අය දණ ගස්‌වලා ගුවන් හමුදාවේ අයට වද දුන්නා. වද දීලා ඒ අය ඉන්දියානු හමුදා විසින් අරගෙන ගියා. ඊට පස්‌සේ ඒ අය ඉල්ලලා අපි උපවාසයක්‌ කළා. හැන්දෑවේ හයට විතර චීන වරායේ හාමුදුරුවන් ආවා. ඇවිත් බණ කතාවක්‌ එහෙම කරලා උපවාසය නවත්වා විසිර යන ලෙසට උන් වහන්සේ අපෙන් ඉල්ලීමක්‌ කළා. එහෙම කියලා හාමුදුරුවන්ට බඹ දෙකක්‌ යන්ඩ ලැබුණේ නැහැ. ඉන්දියන් හමුදා ට්‍රක්‌ හතරක්‌ ආවා. අපි වාඩි වලා සිටියා. යකඩ තොප්පි දාපු කීප දෙනෙක්‌ දණ ගසා ගෙන අපිට තුවක්‌කු එල්ල කර ගෙන සිටියා. තවත් කීප දෙනෙක්‌ සිංහලෙන් කතා කලා. පිටිපස්‌සේ සිටි පිරිමි ළමයින්ට ඉදිරියට එන්න කීවා. අපි පුදුම වුණා මේ මොකද සිංහලෙන් කතා කලේ කියලා. අප මොනවවත් පැමිණිල්ලක්‌ කරන්න ගියාම දෙමළත් සිංහලත් බැරි ඉන්දියන් හමුදාවේ අය මේ වෙලාවේ සිංහලෙන් කතා කරන්නේ කොහොමද කියලා අපි පුදුම වුණා. කොහොම වුණත් ඒ අයගේ නියෝගයට කීකුරු වූ අපේ පිරිමි ළමයි ඉදිරියට ආවා. ඒ ආවායින් පස්‌සේ තොප්පි දමාගෙන සිටි එක්‌ අයෙක්‌ මැෂින් තුවක්‌කුවක්‌ පට පට ගාලා වටේට එල්ල කලා. අපි බිම දිගා වුණා. හාමුදුරුවන්ට වෙඩි වැදුණා. හාමුදුරුවන් ළඟට ආ තරුණයෙකුටත් වෙඩි වැදුණා. හාමුදුරුවෝ එතැනම වැටුණා.ඒ වෙලාවේ එතැනට ඇවිත් හිටිය චීනවරායේ පොලිසියේ ලොකු මහත්තයා ඉන්දියන් හමුදාව අල්ල ගත්තා. එහෙම අරගෙන පොලිසියේ ලොකු මහත්තයාගේ පටි බොත්තම් කඩලා දැම්මා. පස්‌සේ අත් දෙක පිටි පස්‌සට කරලා කෝට්‌ එක පැන්නුවා. එහෙම කෝට්‌ එක පන්නලා දන ගැස්‌සුවා. එහෙම කරලා අත්දෙක පස්‌සට කරලා දම්වැලක්‌ දැම්මා. එහෙම දාලා පොලිසියේ ලොකු මහත්තයවයි හාමුදුරුවොයි ඇද ගෙන ගියා. පිරිමි ළමයි අසූවක්‌ විතර ට්‍රක්‌ වලට නග්ගා ගත්තා. ඒ ළමයින්ට අද වෙනකන් මොකද වුණේ කියලා දැන ගන්නට ලැබුණේ නැහැ.'

තමන් වහන්සේගේ නායක හමුදරුවන් ඝාතනය කළ ආකාරය වර්තමාන චීනවරාය විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්‌ස නායක ස්‌වාමීන් වහන්සේ විස්‌තර කරන්නේ මෙසේය. "ඉන්දියන් රජයත් ලංකා රජයත් ගිවිසුම් ගහලා සාම සාධක හමුදාවට නැගෙනහිර බාර කලා. පසුව දිගට හරහට සිංහල ගම්මාන විනාශ කරන්නට කොටි සංවිධානයට ඉඩකඩ ලැබුණා. මේ අසාධාරණයට විරුද්ධව තමයි උපවාසය ආරම්භ කලේ ඒ කාලේ දිසාපතිවරුන්ගේ බලයත් තිබුණේ ඉන්දියන් හමුදාව අතේ. මේ නිසා වෙඩි වැදී අපවත් වූ හාමුදුරුවන්ගේ මිනියවත් ගන්න ඉඩ දුන්නේ නැහැ. මිනිය ඇදගෙන ඇවිත් ට්‍රක්‌ එකේ දාලා පෑගුවා. පස්‌සෙ මෝචරියට ගිහින් දමා තිබුණා. හාමුදුරුවන්ගේ ආදාහන උත්සවය ගන්න දුන්නේ නැහැ. ඒ නිසා පන්සල් වත්තේම දර සෑයක්‌ හදලා දර කෑලි අඩුක්‌ කරලා රෙදි සිවුරු පොරවලා තමයි ගින්දර තිබ්බෙ. හාමුදුරුවන්ගේ පාංශකූලෙට පළාතේ භික්‌ෂූන් වහන්සේලා ගෙන්න ගන්න දුන්නෙ නැහැ. කන්තලේ වෙළුන්න රජ මහා විහාරාධිපති පූජ්‍ය කිතුල්ගොල්ලේ ජිනානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ කැලෑ පාරකින් පන්සලට වැඩම කලා. ඉන් පස්‌සේ තමයි අවසන් කටයුතු කළේ."

අපකීර්තිමත් ඉන්දු - ලංකා ගිවිසුම නිසා ලංකාව ඉන්දියාවේ දේශපාලන හස්‌තයට නොනිල වශයෙන් යටත් වුණි. තිලීපන්ගේ මාරාන්තික උපවාසය විසින් මේ ගිවිසුම ඇති කරන්නට අවශ්‍ය පරිසරය නිර්මානය කරන ලදී. එයට අමතරව පේදුරුතුඩුවට ඔබ්බෙන් මුහුදේදී උත්අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ගේ සිය දිවිනාසාගැනීමත් ප්‍රබල බලපෑමක්‌ ඇති කරන ලදී. උතුර සහ නැගෙනහිර පළාත්වල කලබල ඇති කිරීම සැබවීන්ම ඉන්දීය රෝ ඔත්තුකරුවන්ගේ ක්‍රියාදාමයක්‌ විය. එවැනි කලබල කාරී අවස්‌ථාවක්‌ උදාකර ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිර කිරීම අවසාන අරමුණ විය. එය සාථක විය. ඉන්දියාවේ මෙහෙයවීම මත 13 වන් ආණ්‌ඩුක්‍රම සංශෝධනය මගින් ඒකීය රාජ්‍ය දුර්වල කොට බලය බෙදා හැරීමේ මුවාවෙන් දෙමල ප්‍රදේශ වෙන් කොට දක්‌වන ලදී. එපමණක්‌ නොව දෙමල භාෂාවටද රාජ්‍ය භාෂා තත්ත්වයක්‌ ඇති කොට සිංහලයාගේ බලය අඩපණ කරන ලදී. 1987 වෂයේ දී නැඟෙනහිර හා උතුරේ කරන ලද සිංහල සංහාරයෙන් සනාථ වූයේ ගිවිසුමෙන් බලාපොරොත්තු වූ අරමුණු බව පැහැදිලිය. වයඹ පළාතේ නයිනමඩමේ සිට නැගෙනහිර පළාතේ කුමන දක්‌වා මුහුදු තීරය බද ඉඩම් ඊලාම් රාජ්‍ය ලෙසට සළකුණු කොට එකළ බෙදා හරින ලද පත්‍රිකා සුලභ විය. මේ මගින් බලාපොරොත්තු වූයේ සිංහල ජනතාවගේ මානසික බලය බිඳ දැමීමයි. ඉන්දියන් සාම සාධක හමුදා මගින් වාර්ගික පවිත්‍රකරණය ආරම්භ කරන ලදී.

1987 වර්ෂයෙන් පසු වර්තමානය දක්‌වා වසර විසිනවයක්‌ ගතව ඇත. මේ කාලවකවානුව තුළ ලක්‌ රජය කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම අතුගා දමා ලංකාව පුරා සාමය ඇති කරන්නට කටයුතු යෙදූහ. නමුත් අවසාන වශයෙන් රට තුළ බෙදුම් වාදය ඇති කළ පළාත් සභා අහෝසි කරලීමටත් වාර්ගික පවිත්‍රකරණය මත පළවා හරින ලද සිංහලයන් නැවත පදිංචි කරලීමටත් විධිමත් වැඩපිළිවෙලක්‌ නොයෙදූහ. අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ ප්‍රතිඵලය නම් ඉතිහාසයේ සිදු වීම් නැවත පසු පසින් පැමිණිමයි. වසර විසිනවයකට පසු නැවතත් භීෂණ සමයේ ග්‍රහචාරය එළඹෙමින් ඇත. කුජට සතුරු රාශිය වූ සෙනසුරු වෘශ්චිකයේ තැන්පත්ව ඇත. නව ව්‍යවස්‌ථාවක්‌ ඇති කරලීමට රජය බලහත්කාරයෙන්ම කටයුතු යොදමින් තිබේ. ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කරන ව්‍යවස්‌ථා වෙනස ඉටුකොට බෙදුම්වාදය නැවතත් ශක්‌තිමත් කළහොත් යටකී ඊලාම් සිතියමේ තිබෙන සිංහල ගම්බිම් සියල්ලෙන් සිංහලයන් පළවා හැරීමට කටයුතු කිරීම සිදුවනු ඇත. විග්නේශ්වරන් මහඇමතිවරයා පාරම්බාන්නේ මේ සඳහාය. සම්බන්ධන්ගේ උද්දච්ඡ ප්‍රකාශ මගින් ගම්‍ය වන්නේ එයයි. උතුරේ රජයේ ඉඩම් දෙමළ ජනතාව සඳහා පමණක්‌ බෙදා දෙන්නේ මේ සඳහාය. මේ අනතුර නොදකින්නන් බහුතරයක්‌ සිටින රටක්‌ නිර්මාණය කිරීම වත්මන් යහපාලනයේ අරමුණ බව පෙනේ.

වර්තමානය කෝට්‌ටේ මහනායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් 1987 වර්ෂයේ ඔක්‌තෝබර් මස 28 දින 'දිවයින' පත්‍රයට සැපයූ උපන් බිමේ අනාථයෝ නම් ලිපියකින් උපුටා ගත් කොටසක්‌ දක්‌වමින් මේ ලිපිය අවසන් කරමි. "උතුර හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල බෞද්ධ පිරිස සංඛ්‍යා වශයෙන් අනෙක්‌ අයට වඩා අඩු විය හැකිය. එහි ඇති වරද කුමක්‌ද. නමුත් ඔවුන්ට මේ රටේ කොතැනකත් කොහේ වුවත් ජීවත්වීමට ඇති අයිතිය එක සමානය. සුළු හෝ කොටසකට එම අයිතිය අහිමි වන්නේ නම්. එය සුරක්‌ෂිත කරදීම රටක පරම යුතුකම වන්නේය. මේ පුංචි දිවයිනේ ඓතිහාසික වශයෙන් බහුතරය වූ සිංහලයන්ට ඇති අයිතිය තහවුරු කිරීමෙන් පසුව නේද අනෙක්‌ සියල්ලම කල යුත්තේ. නමුත් මේ විසිවන සියවසේ නව වන දශකයේ අරුමු පුදුම සිද්ධිය වන්නේ ඒ සිංහල යයි කියා ගන්නා පිරිසට රටේ එක්‌ පැත්තක ජීවත් වීමට ඇති අයිතිය අහිමි වීමයි. අහිමි කිරීමයි. අද මේ වන විට තත්ත්වය කුමක්‌ද උතුරේ සිටි සිංහලයන් කලකට පෙර අනාථයන් ලෙස දකුණ බලා පැමිණියද තවත් සිය ගණන් දහස්‌ ගණන් පිරිස ත්‍රස්‌තවාදී ප්‍රහාරයන්ට ලක්‌වී නැවත ආපසු නොඑන ගමන් වූ පරලොවක්‌ බලා ගියහ. එක්‌ අතෙකින් බලන විට ඒ දෙවනුව කී පිරිස වාසනාවන්තයෝ වෙති. ඊළඟට නැගෙනහිර සිංහලයන්ද ටිකින් ටික දකුණ බලා එමින් සිටියහ. ඒ අතර සාම යයි කියාගන්නා ගිවිසුමක්‌ අත්සන් කළහ. භීම සමය ආරම්භ විය. ගිවිසුමෙන් පසු නැගෙනහිර පළාතේ ඉතිරි වී සිටි සිංහලයන්ගේ වැඩිම පිරිසක්‌ ත්‍රස්‌තවාදීන්ගේ දරුණු ප්‍රහාරයට ලක්‌වී වාසනාවන්තයයි කිව හැකි ඒ මරණය උරුම කර ගත්හ.

බහු ජාතික, බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්‌කෘතීන් යයි කියමින් බහුබූත නීතිරීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක්‌ අතෙකින් බරපතළ දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක්‌ වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක්‌ හමුවට වුවත් යැමට සිදු විය හැකිය. කමක්‌ නැත. කලක්‌ එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක්‌ යයි කියමි."

මතුගම සෙනෙවිරුවන්
සංස්කරණය එරික් ගාමිණි ජිනප්‍රිය

1 comment:

  1. ඇදපල්ලා පරණ වැරදි ඇද ඇද ජාතිවාදේම වැඩි කරපල්ලා. වැරදි හදාගෙන ඉදිරියට යන විදිහක් එහෙම බැරිවෙලාවත් කියන්න එපා.

    ReplyDelete

Powered by Blogger.