Header Ads

කඩ වහන්න තුණ්ඩු බෙදන අදිසි හස්තය කාගෙද - උපුල් ජෝෂප් ප්‍රනාන්දු

1988 ජනාධිපතිවරණයට ප්‍රේමදාස රට වටා යද්දී කඩවල් වසා තිබිණි. එලෙස කඩවල් වසා තිබුණේ ජ.වි.පෙ. තුණ්ඩු කෑල්ලට බයේය. කඩවල් වසා තිබෙනු දැක ප්‍රේමදාස මරු කතාවක් කීවේය. ඔහු කීවේ වහල තියෙන කඩවල්වලින් පෙන්නුම් කරන්නේ 1970 - 77 යුගය කියාය.


ඒ කාලේ පාන් නැත, මිරිස් නැත. 'මිරිස් නැති නිසා හොදිත් නැත' කියල බෝඩ් එක ගහල කඩවල් වහල තිබුණු බවත් බණ්ඩාරනායක මැතිනිය යළි බලයට ආවොත් ඒ දේම වෙන බව මතක් කර දෙන්න කඩවල් වහල තියෙන නිසා ඔහු කඩවල් වහන්න තුණ්ඩු බෙදපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ස්තුති කළේය.
මේ පරණ කතාව මතක් වන්නේ මේ දවස්වල වැට් එකට එරෙහිව කඩවල් වහන හැටි දිහා බලන කොටය. මෙලෙස කඩවල් වහන හැටි දැකල ලංකාවේ ප්‍රධාන පෙළේ ආර්ථික විශේෂඥයෙක් මරු කතාවක් කීවේය.


'පහුගිය ජනවාරි 08 මහින්ද දින්නා නම් කඩවල් වහන්න තමා වෙන්නේ. මොකද විදේශ රටවල් ලංකාවට ආර්ථික සම්බාධක පැනෙව්වාම කඩවලට බඩු එන්නේ නැහැ. ගත්ත ණය ගෙවන්නයි අලුතෙන් ගිනි පොලියට ණය ගන්නයි මිනිසුන්ට බදු ගහන්න ගියාම මිනිස්සු කඩවලට යන්නේ නැහැ. මොකද ණය අර්බුදයෙන් බේරෙන්න මේ ආණ්ඩුවට මූල්‍ය අරමුදල දුන්න ණය ආධාර මහින්ද දින්නා නම් හම්බ වෙන්නේ නැහැ. ගත්ත ණයට පොලී ගෙවන්න ඉන්දියාව මේ ආණ්ඩුවට වසරකට දුන්න ණය මහින්දට දෙන්නේ නැහැ...!'
මේ ඔහු කී කතාවය. ඔහු නොකියා කීවේත් එදා ප්‍රේමදාස කඩවල් වහනකොට කී කතාවමය. කඩවල් වැහීම මිනිසුන්ට මතක් කරන්නේ එදා තිබුණු භීෂණයය.
'ආපහු ඒ වගේ භීෂණයක් හිස ඔසවනවාද...?'


පේන්නේ ඒ වගේය. 88 - 89 තිබුණේ ජ.වි.පෙ. දේශප්‍රේමී භීෂණයය. අද කඩවල් වහන්නේ පහුගිය ආණ්ඩු කාලයේ හොරකම් කරපු හොරු හොරකම්වලින් බේරෙන්නටය. කඩවල් වහන හේතුව බලද්දී මේ පිටුපස කාගේ හෝ තුණ්ඩු කැබැල්ලක් තියෙන බව පැහැදිලිය.
හේතුව වැට් බද්දේ අගය 15% කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2002දී වැට් සාමාන්‍ය බදු ප්‍රතිශතය 15%ක් විය. ඒ වැට් ආරම්භයය. 2006 මහින්දගේ කාලයේ එය 20%ක තනි අගයකට ගෙන එන ලදී. එය 2007 තෙක් තිබුණේය. තොග සහ සිල්ලර වෙළෙ¼දාමට පළමුව වැට් බද්දට යටත් කළේත් මහින්දගේ ආණ්ඩු කාලයේය.
'එතකොට ඇයි කවුරුත් කඩවල් වැහුවේ නැත්තේ...'


'එතකොට ඇයි කවුරුත් උසාවි නොගියේ...?'
ප්‍රශ්නය තියෙන්නේ එතැනය. වැට් බද්දේ අගය 15%ක් වීම කඩවල් කරගන්න බැරිව වහල විරෝධය දක්වන තරමට අමාරු නම් ඒ අමාරුකම මහින්දගේ ආණ්ඩු කාලේ දීත් තිබිය යුතුව තිබිණි. හැබැයි එහෙම වුණේ නැත. කඩකාරයෝ මහින්ද ගහන කොට ඉවසා ගෙන සිටියහ.
'මෛත්‍රි - රනිල් වැට් 15% කරනකොට ඉවසන්න බැරි ඇයි...?'


ප්‍රශ්නය තියෙන්නේ එතැනය. එයින්ම පේන්නේ කඩ හිමියන් පිටුපස අදිසි හස්තයක් තියෙන බවය. ඒ අදිසි හස්තය අනෙකක් නොවේ. දැන් මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ බොහොමයක් අවසන්ය. ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත. ඉදිරි මාස කිහිපය එම පරීක්ෂණවලට චෝදනා ලබපු පහුගිය ආණ්ඩුවේ ලොකු ලොක්කන් අත්අඩංගුවට ගෙන නඩු පවරන්න නියමිතය. එපමණක් නොවේ, තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි හිටපු පොලිස් ප්‍රධානී අනුර සේනානායක අත්අඩංගුවට පත්වූයේ මෑතකදීය. මේ වන විට ඔහු පාපෝච්චාරණයකට සූදානම් වන බව වාර්තා වේ. එයින් තැති ගත්තේ කඩකාරයන් හෝ මහජනතාව නොවේ. හිටපු ආණ්ඩුවේ නායකයන්ය. මෙම පරීක්ෂණ කඩාකප්පල් කොට යළි රටේ භීෂණයක් නිර්මාණය කළේ නැත්නම් හිටපු ආණ්ඩුවේ නායකයන් හැමෝටම ඉන්න වෙන්නේ හිර ගෙදරය. මේ සතියේ කොළඹ පෙන්ටගන් ආරක්ෂක ගොඩනැඟිල්ල හදන්න අනුමත කළ ටෙන්ඩරය වංචාවක් හේතු කොට මෛත්‍රි නතර කළේය. එම ටෙන්ඩරයේ නිර්මාතෘ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයය. මේ හැමෝම ඉන්නේ බයෙන්ය. කඩ වැහීමෙන් එළියට එන්නේ ඒ බයය.


මහින්ද 20% වැට් බද්ද ගහනකොට බඩු විකුණපු කඩවලට දැන් ඒවා විකුණන්න අමාරු විය නොහැකිය. මේ වැට් ගෙනාවේ 2002 රනිල්ගේ ආණ්ඩුවය. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඍණ කරලා ගිය ආර්ථිකය ගොඩනඟන්නය. රනිල්ගේ ආණ්ඩුව ආර්ථිකය හදල වැට් අඩු කරන්න යද්දී චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ඇවිත් මුදල් ඇමැති රවීගේ පළමු අය - වැයේදී වැට් අඩු කළේය. 12% සිට 11% දක්වා අඩු කළේය. ඒ රාජපක්ෂ ආණ්ඩුව හංගපු ණය නොදැනය. රාජපක්ෂ ආණ්ඩුව රටට හංගල ගත්ත ණය හෙළිදරව් කර ගත් පසු රනිල් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කොට වැට් යළි වැඩි කළේය. රනිල් කියන්නේ ණය උගුලෙන් රට ගලවා ගත් පසු වැට් බදු අඩු කරනවා කියාය. ආණ්ඩුවට වසරක් දී වැට් බදු අඩු කරන්නේ නැත්නම් එදාට පාරට බහින්න කඩකාරයන් පමණක් නොව ජනතාවද සූදානම් විය යුතුය. මේ හදිස්සිය තියෙන්නේ වෙන කාටවත් නොව කළ හොරකම්වලට දඬුවම් විඳින්න බය සූර චෞරයන්ටය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.