Open top menu
Friday, July 8, 2016

2015 මහ මැතිවරණයට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ සභාපති හුසේන් කුමරු යුද අපරාධ විභාග කරන්න ලංකාවේ අධිකරණ ක්‍රමය ප්‍රමාණවත් නැහැ කියලා ප්‍රකාශයක් කළාට පසු මෛත්‍රි, රනිල් සහ මංගල, විජයදාසත් සමඟ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. එහිදී මේ සිව්දෙනාම කීවේ ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ බලපෑමට හසුවී ඇත්තේ දයාන් ජයතිලකගේ වැරැදි තීරණයක් නිසා බවය. 2009 යුද්ධය අවසන් වූ විගස එවකට ජිනීවා තනාපති දයාන් ජයතිලක ලංකාවට පක්‍ෂව මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් එම යෝජනාවෙන් යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන සොයා බලන්න ලංකාව එකඟ වූ බවත්ය. මෛත්‍රි, රනිල් සහ මංගල, විජයදාසගේ වචනවලින්ම කියනවා නම් යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාව වග වෙන බවට දයාන් ලංකාව වෙනුවෙන් සහතිකයක් දුන් බවය. දැන් ලංකාවට දයාන් පටලවපු වගවීමේ උගුලෙන් ගැලවිය නොහැකි බව හතර දෙනාම එක හ¾ඩින් කීහ.


ලංකාව යුද අපරාධ චෝදනා උගුලක පැටලුවා යැයි කී දයාන් පසුගිය දිනක බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සම්මන්ත්‍රණයකින් මතු විය. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ජනාධිපති කාර්යාලයෙනි. එහි ප්‍රධාන අමුත්තා වූයේ මෛත්‍රිය. සම්මන්ත්‍රණය මුලින්ම පවත්වන්න නියමිතව තිබුණේ ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේය. එය වැටෙන්නේ විදේශ ඇමැති මංගල සමරවීරගේ අමාත්‍යාංශයටය. සම්මන්ත්‍රණය සඳහා කදිරගාමර් ආයතනය වෙන් කරවා ගැනීමට මංගලගෙන් අවසර ඉල්ලූ විට මංගල කථික ලැයිස්තුව බැලුවේය. කථික ලැයිස්තුවේ දයාන් ජයතිලක සිටින බව දැන මංගල අවසර දීම ප්‍රතික්‍ෂේප කර ඇත. හැබැයි මෙය සංවිධානය කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව මංගල දැන සිටියේය. මංගල කදිරගාමර් ආයතනය දීම ප්‍රතික්‍ෂේප කළ බව මෛත්‍රිට දැනුම් දෙද්දී මෛත්‍රි කියා ඇත්තේ එය වෙනත් තැනක පවත්වන්න කියාය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඉන් පසුවය.
කෙසේ හෝ මෛත්‍රි ඉදිරිපිටදීම දයාන් මංගලගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කර ඇත. එලෙසම අගමැති රනිල්වත් විවේචනය කොට ඇත. එදිනම රූපවාහිනි මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් දයාන් මංගල සහ රනිල් වැඩ කරන්නේ කොටි වුවමනාවන්ට යැයි ප්‍රකාශ කොට ඇත. සම්මන්ත්‍රණය සංවිධානය කළ ජනාධිපති ලේකම් කාර්යාලය මෙය හඳුන්වා ඇත්තේ මෛත්‍රිගේ විදේශ ප්‍රතිපත්තිය එළි දැක්වීමක් ලෙසය. දැන් මෛත්‍රිගේ විදේශ ප්‍රතිපත්තියේ න්‍යායාචාර්ය වී ඇත්තේ දයාන්ය.


දයාන් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද දිනවන්න බැහැලා වැඩ කළේය. ඔහු මෛත්‍රිව හැඳින් වූයේ කොටි සහ බටහිර රටවල රූකඩයක් ලෙසය. මෛත්‍රි දින්නාට පසු මැදමුලනේ ගිහින් හැංගුණ මහින්දව යළි කරළියට ගෙන එන්න මුල් වුණ අය අතර දයාන්ද ප්‍රබල චරිතයකි. මහින්ද එක්ක නැඟිටින රැස්වීම් මාලාව නුගේගොඩින් ආරම්භ වූ විට මහින්ද තම පණිවුඩය කියැවීම භාර දුන්නේ දයාන්ටය. එම පණිවුඩය හදන්න දයාන්ද මුල් වූ බව වාර්තා වේ. එතැන් සිට දයාන් මෛත්‍රිට, චන්ද්‍රිකාට, රනිල්ට, මංගලට ගැහුවේ දේශද්‍රෝහී ලේබලයය. හැබැයි එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සම්මන්ත්‍රණයේදී දයාන් කීවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ඇත්තේ මෛත්‍රි ළඟ බවය. දයාන් එසේ කියමින් මෛත්‍රි වර්ණනා කොට රනිල්ට මංගලට ගහද්දී මෛත්‍රි එය අහගෙන සිටියේය. දයාන් එදා පත්තු කළේ දේශපාලන බෝම්බයකි. එය එසේ මෙසේ බෝම්බයක් නොව ආණ්ඩුව පුපුරුවන බෝම්බයකි. එය මෛත්‍රි සහ රනිල්ගේ ආණ්ඩුව දෙකඩ කරන කාල බෝම්බයකි. දයාන් ඒ වැඩේ ලස්සනට කළේය. ඔහු මහින්ද එව්ව ට්‍රෝජන් අශ්වයෙක්ද කියන්න දන්නේ නැත. ඔහු එම සම්මන්ත්‍රණයට යෑමට පෙරත් රාජපක්‍ෂලා හමුවී ඇති බව වාර්තා වේ. සම්මන්ත්‍රණයට පසු ඔහුට මංගලට සහ රනිල්ට ගහන්න අවස්ථාව දුන්නේද මහින්දවාදී රූපවාහිනි නාළිකාවකි. දැන් දයාන් රනිල්ලාට මංගලලාට ගහන්නේ මෛත්‍රිගේ ලයිසන් එක අරන්ය.


හැබැයි ඒ සම්මන්ත්‍රණයේදී අපූරු සිදුවීමක් සිදුවිය. ආචාර්ය ජයදේව උයන්ගොඩද එහි කථිකයෙකි. ඔහු මහින්ද පරාජය කරන්න මෛත්‍රිව බලයට ගෙන එන්න කැප වූ අයෙකි. ඔහු දයාන්ගේ බෝම්බය නිෂ්ක්‍රිය කරන්න උත්සාහයක් ගත්තේය. ඔහු කීවේ මෛත්‍රිගේ ජන පදනම ජනවාරි 8 මෛත්‍රිව බලයට ගෙන ආ ඡන්දදායකයන් කියාය. ඔහු ඒ ඡන්දදායකයන් වර්ග තුනකට වෙන් කළේය. එ.ජා.ප. ඡන්ද, සිවිල් සංවිධාන සහ සුළු ජාතික ඡන්ද ලෙසය. ඔහු කීවේ මේ ජන පදනම හැරෙන්න මෛත්‍රිට වෙන ජන පදනමක් නැති බවය. මෛත්‍රි සිට ගත යුත්තේ එතැන බවය.
ඔහු නොකියා කීවේ අද මෛත්‍රිව ඇමෙරිකාවේ ඔබාමා, බි්‍රතාන්‍යයේ කැමරන්, ජපානයේ අබේ, ඉන්දියාවේ මෝඩි, ජර්මනියේ ඇන්ජලා මාකේල් පිළිගන්නේ ඒ ජනපදනමට නායකත්වය දෙන නිසා කියාය. මෛත්‍රි ඒ ජනපදනමේ ජන මතය නියෝජනය කරන නිසා කියාය. ඔහුගේ කතාව හරිය. මෛත්‍රි මහින්දවාදීන් දිනා ගත යුතුය. දයාන් දක්‍ෂයෙකි. දක්‍ෂ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකි. අති දක්‍ෂ රාජතාන්ත්‍රිකයෙකි.


මෛත්‍රි, දයාන් වැනි අය දිනා ගත යුතුය. හැබැයි දයාන්ගේ මතය පිළිගැනීමෙන් නොව තමන්ගේ මතය දයාන්ට පිළිගැන්වීමෙනි. මහින්ද රනිල්වාදීන් දිනා ගත්තේ චන්ද්‍රිකාවාදීන් දිනා ගත්තේ එහෙමය. හොඳම නිදසුන ජී.එල්. පීරිස්ය. ජී.එල්. චන්ද්‍රිකා සහ රනිල් ළඟ ඉන්න කොට පෙඩරල්වාදියෙකි. රනිල්ලාවත් ඔහු තරම් බලය බෙදන්න කතා කළේ නැත. සාමවාදියෙකි. එන්.ජී.ඕ. බටහිර ගැත්තෙකි. කොටින්ම කියතොත් මහින්දවාදීන්ට අනුව දේශද්‍රෝහියෙකි. ඒත් මහින්ද ජී.එල්.ව ගත්තේ කණපිට හරවලාය. ජී.එල්.ව තම මතයට එකඟ කරගෙනය. ජී.එල්. මහින්ද ළඟට ගිය දින සිට බටහිර රටවලට, එන්.ජී.ඕ. වලට පෙඩරල් වාදයට ගහන්න ගත්තේය. ඕනා නම් අද දයාන් මෛත්‍රි ළඟට ඇවිත් මංගලට රනිල්ට ගහනවා වගේ ජී.එල්. මහින්ද ළඟට ගිහින් විමල්ලාට හෙළ උරුමයට ගහන්න ඉඩ තිබිණි. මන්ද ඔවුන් ජී.එල්.ගේ හතුරන්ය. ඒත් ජී.එල්. පළමුව කළේ ඔවුන් මිතුරු කරගෙන දේශප්‍රේමී වීමය. ඒ මහින්දට ඡන්දය දුන් මතය නියෝජනය කරන්නටය.
මෛත්‍රි තමන් ළඟට එන මහින්දවාදීන්ට කිව යුත්තේ ජනවාරි 08 මතය පිළිගන්න කියාය. හැබැයි දයාන් ඇවිත් තියෙන්නේ මෛත්‍රිව පරාජිත මහින්දගේ ජන මතය පිළිගන්වන්නටය. වරද එතැනය.
කෙසේ වෙතත් සම්මන්ත්‍රණය අවසන් වූ විගස මෛත්‍රි තේ බොන්න ගියේ උයන්ගොඩ ළඟටය. ඒ දයාන්ගේ බෝම්බය
නිෂ්ක්‍රිය කරන්නද දන්නේ නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts