Open top menu
Friday, July 15, 2016

අද දවසේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සියලු වැරදි වලට චූදිත වී ඇත. විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ මෙන් ම ආණ්‌ඩු පක්‍ෂය ද මෙය වෙනස්‌ කළ යුතු බව කියා සිටියි. මෙය සම්පූර්ණයෙන් ම සාවද්‍ය මතයකි. මන්ද රටකට හිතකර හෝ අහිතකර වන්නේ "දේශපාලන ක්‍රමය" මිස "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව" නොවේ. උදාහරණයක්‌ සේ දක්‌වතොත් ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ එය වෙනස්‌ නොකර ගෙන එනු ලබන සියලුම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා එකම ප්‍රතිඵලයක්‌ ජනතාවට ලබා දෙන්නේය. එම නිසා 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එරෙහිව කරනු ලබන විවේචන සියල්ල හරසුන් ය.

රටක තිබෙන උත්තරීතර නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වේ. එනයින් ම එහි ඇති වටිනාකම අවබෝධ වේ. එවැනි නීතියක්‌ ආවට ගියාට වෙනස්‌ කළ යුතු නැත. ආණ්‌ඩුක්‍රමය වෙනස්‌ කළ යුතු නම් දැනට තිබෙන තත්ත්වයට වඩා හොඳ පාලන ක්‍රමයකට එය පරිවර්තනය විය යුතු ය. ඒ සඳහා එම රටේ ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික, ආකල්ප ආදිය ද වෙනස්‌ විය යුතු ය. තවත් විදියකට කියනවා නම් රටක ආර්ථික සමාජයීය විප්ලවයක්‌ අත්වැල් බැඳ ගත යුතු ය.

මීළඟට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන චූදිත වී ඇති 78 ව්‍යවස්‌ථාව ගැන ඇති විවේචන සලකා බලමු.

ෆ "ජනාධිපතිවරයාට විරුද්ධව පෞද්ගලිකව හෝ නිල තත්ත්වයේ ලා කරන ලද, නොකරන ලද කිසිවක්‌ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක නඩු පැවරීම කළ නො හැක".

මෙය 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 35 (1) ව්‍යවස්‌ථාවේ සඳහන් වේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එය මෙම ව්‍යවස්‌ථාවේ ඇති ඒකාධිපති ස්‌වරූපය පෙන්වන බවත් එම නිසා මෙය වෙනස්‌ කළ යුතු බවත් විවේචකයෝ පෙන්වා දෙති.

ඒ අනුව මෙය පළමුවරට 78 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී ඇති බව ජනතාව විශ්වාස කරති.

නමුත් 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ (මීළඟට ගෙනඑනු ලබන පාර්ලිමේන්තුවට වගකියන) 23 (1) මෙසේය.

"ශ්‍රී ලංකාවේ ජනරජයේ ජනාධිපති ධුරය දරන කවර හෝ තැනැත්තෙකුට විරුද්ධව පෞද්ගලික තත්ත්වයේ ලා හෝ නිල තත්ත්වයේ ලා නීති මාර්ගයකින් කිසිම ආකාරයකින් ක්‍රියා කළ නොහැක්‌කේ ය."

ඒ අනුව මෙම ව්‍යවස්‌ථා දෙකෙහි වෙනසක්‌ ඇත් ද?

72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 23 (1), 78 ව්‍යවස්‌ථාවේ 35 (1) මාරු වී ඇත. අපේ විවේචකයනට 23(1) නිවැරදි ය. (1) වැරදි ය.

"78 ව්‍යවස්‌ථාව මගින් අධිකරණය මගින් වරදකරු වී ඇති ඕනෑම පුද්ගලයකුට ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැක".

මෙය 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34 (1) ව්‍යවස්‌ථාවේ සඳහන් ය. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී බවත් ජනාධිපති ඒකාධිපතියකු කර ඇති බවත් විවේචකයෝ පවසති. එම නිසා 78 ව්‍යවස්‌ථාව අහෝසි කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව මෙය පළමු වරට 78 ව්‍යවස්‌ථාව මගින් හඳුන්වා දී ඇති බවට ජනතාව විශ්වාස කරති.

නමුත් 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 22 (2) මෙසේ ය.

"ශ්‍රී ලංකාවේ ජනරජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද වරදකරුවකුට, සම්පූර්ණ සමාවක්‌ හෝ නිත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක්‌ හෝ දීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

ඒ අනුව මෙම ව්‍යවස්‌ථා දෙකෙහි වෙනසක්‌ ඇත් ද?

72 ව්‍යවස්‌ථාවේ 22 (2), 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34 (1) මාරු වී ඇත. අපේ විවේචකයනට 22 (2) නිවැරදි ය, 34 (1) වැරදි ය.

ෆ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපති රජයේ, විධායකයේ, ආණ්‌ඩුවේ ප්‍රධානියා ය. එමෙන් ම ඔහු සන්නද්ධ සේවාවන් හි සේනාධිනායකවරයා ද වන්නේ ය.

මෙය 78 ව්‍යවස්‌ථාවේ 30 (1) හි සඳහන් වේ. මෙය ඒකාධිපති ස්‌වරූපයක්‌ දරන බව විවේචකයෝ පවසති. ඒ අනුව මෙය පළමු වරට 78 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී ඇති බව ජනතාව විශ්වාස කරති.

නමුත් 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 (අ) මෙසේ ය.

"ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ද, රජයේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන් හි සේනාධිනායකවරයා ද වන්නේය".

ඒ අනුව 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 (අ) 78 ව්‍යවස්‌ථාවේ 30 (1) ට මාරු වී ඇත.

අපේ විවේචකයනට 20 (අ) නිවැරදි ය, 30 (1) වැරදි ය.

ෆ "අතිවිශාල ඇමැති මණ්‌ඩලයට වගකිව යුත්තේ 78 ව්‍යවස්‌ථාව යි. ජනාධිපතිවරයාට හිතු මනාපයට අමාත්‍යවරුන් ඕනෑම සංඛ්‍යාවක්‌ පත් කළ හැක. ඊට අදාළ නීතිය 78 ව්‍යවස්‌ථාවේ 44 (1) (අ) හි සඳහන් වේ.

මෙය 78 ව්‍යවස්‌ථාවේ ඇති ඒකාධිපති ස්‌වරූපය පෙන්නුම් කරන බව විවේචකයන් පෙන්වා දේ. ඒ අනුව මෙය පළමුවරට 78 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී ඇති බවට ඔවුහු ජනතාව අතර වැරදි මතයක්‌ ගොඩනඟන්නට කැස කවති.

නමුත් 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 94 (1) මෙසේය.

ෆ "ජනාධිපතිවරයා විසින් කලින් කල,

(අ) අමාත්‍ය මණ්‌ඩලයේ සිටිය යුතු අමාත්‍ය සංඛ්‍යාව ද, අමාත්‍යාංශ ද එම අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යයන් පැවරීම ද තීරණය කළ යුතු ය.

72 ව්‍යවස්‌ථාවේ 94 (1) 78 ව්‍යවස්‌ථාවේ 44(1) (අ) ට මාරු වී ඇත. අපේ විවේචකයන්ට 94 (1) නිවැරදිය. 44 (1) (අ) වැරදි ය.

ෆ "78 ව්‍යවස්‌ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නේ නැත". මෙය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියනා විවේචකයන් ගේ ප්‍රධාන තර්කයකි.

මෙය පට්‌ටපල් බොරුවකි. ජනතාව නොමඟ යෑවීමට කරන්නා වූ මහා බේගල් ඇද බෑමකි.

78 ව්‍යවස්‌ථාවේ 42 ව්‍යවස්‌ථාව මෙසේ ය.

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ ද, මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බලපවත්නා නීතිය ඇතුළු වෙනත් යම් ලිත නීතියක්‌ යටතේ ද ස්‌වකීය බලතල කාර්යය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

මෙකී කාරණා ජනාධිපතිවරයා ඉෂ්ට කරන්නේ නැත්නම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම යටතේ ජනාධිපතිවරයා අධිකරණයට ගෙන ගොස්‌ ජනාධිපති ධුරයෙන් ද ඔහුව ඉවත් කිරීමට අද පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකුට මෙම 78 ව්‍යවස්‌ථාව යටතේ නිත්‍යානුකූලව ක්‍රියා කළ හැක.

මීළඟට තවත් ආකාරයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියනු ලැබේ. එනම්,

78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 43 (1) මෙසේ ය.

"ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධාන භාර අමාත්‍ය මණ්‌ඩලයක්‌ වන්නේ ය. අමාත්‍ය මණ්‌ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට ද බැඳී සිටින්නේ ය".

එහි 43 (2) මෙසේ ය.

"ජනාධිපතිවරයා අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ ද අමාත්‍ය මණ්‌ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය"

ඒ අනුව ජනාධිපතිවරයා සම්බන්ධව සාමූහික වගකීම යටතේ වත්මන් ආණ්‌ඩුවේ ඕනෑම ඇමැතිවරයකු ගෙන් ප්‍රශ්න කළ හැකි ය.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියන්නේ නම්, 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 42 ව්‍යවස්‌ථාව 43 (1), 43(2) ව්‍යවස්‌ථා ෙච්තනාන්විත උල්ලංඝනය කිරීම යටතේ ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාකොට ඔහුව ධුරයෙන් ඉවත් කළ හැක. එය කරනා ආකාරය මීළඟට සඳහන් කරමි.

ෆ ජනාධිපතිවරයා අධිකරණයට ඉහළින් සිටී ද?

78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ආ හැකි ය. එපමණක්‌ ද නොව අධිකරණය තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ධුරයෙන් ද පහකළ හැකි ය.

ඊට සම්බන්ධ 78 ව්‍යවස්‌ථාවේ 38 (2) හි සරල අදහස මෙසේ ය.

ෆ ජනාධිපතිවරයාට මානසික හෝ ශාරීරික අබලතාව හේතුවෙන් ධුරයේ කාර්ය කළ නොහැකි වීම.

ෆ ෙච්තනාන්විතව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම.

ෆ රාජ්‍යෙද්‍රdaහී වීමේ වරද.

ෆ අල්ලස සම්බන්ධ වරද

ෆ ස්‌වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාර දූෂණය සම්බන්ධ වරද.

ෆ යම් නීතියක්‌ යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක්‌ වන වරදක්‌.

ඉහත චෝදනාවලින් එකක්‌ හෝ කිහිපයක්‌ ජනාධිපතිවරයා කර ඇත්නම් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය ඇරඹිය හැකි ය.

මේ අනුව නැවත ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලයට යටත් වන බවත්, අධිකරණයට යටත් වන බවත් ඉතාපැහැදිළි ය.

ෆ 78 ව්‍යවස්‌ථාව යටතේ ඉහළ අධිකරණ විනිසුරන් ජනාධිපතිවරයා විසින් පත් කරනා බැවින් එය අධිකරණයේ ස්‌වාධීනත්වයට හානි කර බැව් විවේචකයෝ පන්වා දෙති.

එකී නීතිය 78 ව්‍යවස්‌ථාවේ 107 (1) හි සඳහන් වේ.

මෙය පළමුවරට 78 ව්‍යවස්‌ථාව මගින් හඳුන්වා දී ඇති බවට විවේචකයන් සඳහන් කරමින් සමස්‌ත රට වැසියා ම නො මඟ යෑවීමට ගන්නා උත්සාහය සැබැවින් ම යුක්‌ති යුක්‌ත දැයි සලකා බැලීම වටී.

1972 ව්‍යවස්‌ථාවේ 122 (1) මෙසේය.

"අභියාචනා මහාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෝ ද, ඉහත කී අධිකරණ සතු බලතලවලට අනුරූප වූ හෝ සමාන වූ හෝ බලතල දරන්නා වූ ද, ඒ අධිකරණ මගින් සිදු කරනු ලබන්නා වූ කාර්යයන්ට අනුරූප වූ කාර්යයන් සිදුකරන්නා වූ ද යම්කිසි අධිකරණයක්‌ ජාතික රාජ්‍ය සභාව විසින් පිහිටුවනු ලැබුව හොත් ඒ අධිකරණයේ විනිශ්චයකාරයෝ ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන්නා හ".

එනම් 72 හි 122(1), 78 හි 107 (1) ට මාරු වී ඇත.

අපේ විවේචකයනට 122 (1) නිවැරදි ය. 107 (1) වැරදි ය.

ෆ තවද අපේ ජනතාව නොදන්නා තවත් කරුණක්‌ තිබේ. එනම් 72 ව්‍යවස්‌ථාවේ 4 වැනි ව්‍යවස්‌ථාව මෙසේ ය.

"ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ තෝරාපත් කර ගනු ලබන ජනතා නියෝජිතයන්ගෙන් සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන අනුව ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජනාධිපතිවරයා විසිනි".

ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ජාතික රාජ්‍ය සභාව මගිනි.

නමුත් 1978 ව්‍යවස්‌ථාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරවීම වඩාත් ප්‍රගතිශීලී බවෙක්‌ පෙන්නුම් කරයි.

78 ව්‍යවස්‌ථාවේ 4 (අ) මෙසේ ය.

"ජනතාවගේ ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු විසින් ද ජනමත විචාරණයක දී ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය".

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් බැහැරව සෘජු ජනතා කැමැත්ත විමසා එය ක්‍රියාවට නැඟීමට හැකි නීතිය හඳුන්වා දී ඇත්තේ වෙනස්‌ කළ යුතු යෑයි කියනා 1978 ව්‍යවස්‌ථාවෙන් ම පමණක්‌ බව මෙහිලා අවධාරණයෙන් සඳහන් කළ යුතුය.

එනම් 78 ව්‍යවස්‌ථාවේ 85 (2) ව්‍යවස්‌ථාව යටතේ ජනතාවට ජනමත විචාරණයක අයිතිය හිමිකර දී ඇත.

ෆ තවද ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා ඉතිහාසයේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ අධිකරණමය සහනයක්‌ ලබාගත හැකි ප්‍රතිපාදන ලබා දී ඇත්තේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ම පමණි.

72 ව්‍යවස්‌ථාවේ එකී ප්‍රතිපාදන දක්‌වා ඇතත් මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ පිළිසරණ පැතිය හැකි පිළිවෙතක්‌ දක්‌වා නොමැත්තේය.

ඒ අනුව 72 ට වඩා 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන වඩාත් සංවර්ධනාත්මක බව මේ විවේචකයන් නොදකින්නේ කවර හේතු කාරණා නිසා දැයි විමසිය යුත්තේ ය.

ෆ 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 126 හි දළ අදහස මෙසේ ය.

යම් මූලික අයිතිවාසිකමක්‌ නැතහොත් භාෂා අයිතිවාසිකම් යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක්‌ මගින් කඩකිරීම හෝ කඩකිරීමට අත්‍යාසන්නව පැවැතීම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක්‌ විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බව ය.

මින් මේ වන විට දහස්‌ ගණනින් ප්‍රතිලාභ ද ලබා දී ඇත.

නීතිඥ සිසිර වීරසූරිය
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts