Header Ads

සිංහලේ කොල්ලා පන්සලේ කිච වීමේ කතා වස්තුව

විමලේ ඒ කාලයේ එල කොල්ලෙකි. අප එල කියා කියන්නේ අපේ අදහස් මතවාදවලට කිට්ටු වෙන තරමටය. හැමෝම එල කියන්නේ තමන්ට සාපේක්ෂවය. එහෙමත් නැත්නම් තම කඳවුරට සාපේක්ෂවය. හැමෝගෙම එල එහෙම නිසා අපේ එල ද එහෙමය. කොහොමින් කොහොමින් හරි විමලේ ඒ කාලයේ එල කොල්ලෙකි.
ඔහු ඒ කාලයේ එලට ලියුවේය. කොච්චර එලට ලිව්වාද කියනවා නම් අපි විමලේට වහ වැටුණෙමු. විමලේ ලිව්වේත් එසේ මෙසේ පත්තරයකට නොව එල පත්තරයකටය. ඒ පත්තරය දේශපාලනිකව කිට්ටුවන්ත වූයේ එල පක්ෂයකටය. කොටින්ම කියනවානම් එය එල අතීතයකි.

මේ අතීතකාමය හෙන භයානකය. මොකක්හරි ලියන්න යනකොට අතීතකාමය මැක්කා සේ එල්ලෙයි. එතකොට ලියන්න හදන දේ ගඟේ යයි. ඉතින් යළි විමලේට එමු. විමලේ ඒ කාලයේ පට්ට සමාජවාදියාය. අචපල (*කොන්දේසි සහිතයි) කොමියුනිස්ට්වාදියාය.  පිස්සු බම්ප් වෙන භෞතිකවාදියාය. විමලේ ඒ කාලයේ පන්සලේ පස් පෑගුවේ නැත. ආගම ජනතාවගේ අබින්ය කියා විමලේ පත්තරේ අකුරේ ලිව්වේය. එය ප්‍රබෝධ රහිත තත්ත්වයන්ගේ ප්‍රබෝධය බව මාක්ස් කීවැයි විමලේ ලියද්දී අපි පට්ට පන්ච් එකේ ඒවා කියෙව්වෙමු.

එහෙත් කාලය කියන්නේ අමුතු මෙව්වා එකකි. අමරසිරි පීරිස් මහත්තයා කියන්නැහේ කාලය හෙන නපුරුය. ශාලිත අබේවික්‍රම මහත්තයා කියන්නැහේ කාලය වෙනසක අරුම මවන්නේය. එහෙව් කාලය එල දේවල් බොහොමයක් වෙනස් කළේය. පන්සලේ පැත්ත පළාතේ ගිය නැති විමලේ එකමත් එක කාලයක සිට පන්සලේ ගැවසෙන්න පටන් ගත්තේය. ඇයි ඒ කියා ඇසූ විට විමලේ කීවේ උපක්‍රමික අර්ථයෙන් පන්සල් යන බවය. එහෙම කියූ විමලේ උපක්‍රමික අර්ථයෙන් අටපිරිකර පූජා කරන විට අපි අමාරුවෙන් හිත හදාගත්තෙමු.

එහෙත් කාලය සෑහෙන්න නපුරු විය. විමලේ පා ගමන් යන්නට පටන් ගත්තේය. අපිත් විමලේ පස්සෙන් ගියෙමු. විමලේ රතු කොඩිය වෙනුවට ජාතික කොඩිය වනන්නට පටන් ගත්තේය. අපිත් විමලේ අනුගමනය කරමින් ජාතික කොඩිය වනන්නට පටන් ගත්තෙමු. විමලේ දේශහිතෛෂී එක හැදුවේය. අපි විසිල් ගැසුවෙමු. කටවුට්වලින් දෑකැති මිටි විසි වී  ගියේය. ඒ වෙනුවට මුරගල් සඳකඩපහන් ගල්කණු පැමිණියේය. මේ සියල්ලම සිදු වුණේ උපක්‍රමික අර්ථයකිනි. මාර වැඬේ කියන්නේ ඒ අර්ථය ටික ටික අපට අමතක විය. ෂුවර් එකටම විමලේට ද එසේ වන්නට ඇත.

ජීවිතේ විප්ලවීය භාවිතාව ආරම්භ වූ දා ඉඳන් පන්සල් නොගිය විමලේට සාදුලා පිරිත් නූල් බැන්දෝය. අප පන්සල් ගියේ උපක්‍රමික අර්ථයෙන් වුවත් සාදුලා උච්ජිථං පච්ජිතං තුය්යන් ඛිප්පමෙව සමිජ්ජතු කිව්වේ උපක්‍රමික අර්ථයෙන් නොව සිරාවටම බව අපට කල්පනා වූයේ නැත. අප අටපිරිකර පූජා කළේ උපක්‍රමික අර්ථයෙන් වුවත් සාදුලා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වණ්ණෝ සුඛං බලං කීවේ සිරාවටම බව අපට කොහොමටවත් මීටර් වූයේ නැත. අන්තිමේ දී අපේ උපක්‍රමික අර්ථය ඇතුළේ අපි ආවාස ගෙවල් හදාගත්තෙමු. ඒ වන විට විමලේ ද අලු‍ත් වී සිටියේය.

විමලේ මහා සිංහලේ චේ ගුවේරා බවට පත්විය. ඔහුගේ නාදය රුහුණු පිහිටි මායා රට ගිගුම් දුන්නේය. විමලේ මානෙල් මල් ගෙනෙන්න යැයි කී විට අප හෙළයේ මහා රජුන් තැනූ වැව්වල දිගිලියේ මඩ කාගෙන ගොස් මානෙල් මල් කඩා ගෙනැත් රණවිරුවන්ට පූජා කළෙමු. මේ වන විට වැඬේ වකූර් වී තිබිණි. උපක්‍රමික අර්ථ අරවා මේවා අපට අදාළ වූයේ නැත. අපි එක හිතින්ම දැයේ දරුවන් වීමු. ඔය මැයි රැලිය දාටහෙම දෑකැත්තක් මිටියක් දැක්කොත් මිස අවුරුද්ද පුරාම අපි දැක්කේ මුරගල් පමණි.

විමලේ පන්සලේ පදිංචි විය. සාදුලා විමලේගේ බුදු ෆිට් එක විය. කොයි අර්ථයෙන් කීවත් ඒක හරිය. විමලේ පරණ පක්ෂයට ආයුබෝවන් කියා අලු‍ත් පක්ෂයක් හදාගත්තේය. එම පොලා පැනිල්ලත් එක්ක වෙනදාට වඩා නිදහසේ විමලේ තමන්ගේ ගමන ගියේය. අපි පරණ තැන්වලම නැවතී විමලේ දෙස බලා සිටියෙමු. හැබැයි අපිටත් හෙන ඩැමේජ් ගොඩක් සිදු වී තිබුණේය. විමලේ සාදුලා සමඟ ගොඩාක් ෆිට් විය. කොච්චර ෆිට් වුණාද කිව්වොත් විමලේ ජාතික සමඟිය සමානාත්මතාව පන්ති සටන සේරම අතහැර සිංහලේ කොල්ලා වී සිටියේය.

මහින්ද මහත්තයාට හද පත්ලෙන් කඬේ ගිය සහ යන විමලේගේ හද පත්ල හැබැයි මහින්ද මහත්තයා හිතනවාටත් වඩා ගැඹුරුය. මහින්ද මහත්තයා රිටයර් වෙන කාලෙක ගත        යුතු ටර්න් එක ගන්නට විමලේගේ හද ගැඹුරේ ප්‍රාර්ථනාවක් ඇති බව කාලයක් විමලේ දිහා බලන් උන්නු උදවියට රහසක් නොවේ. විමලේගේ ඇක්සන්ට් එක හොඳට ස්ටඩි කරන විට ඒවා සොයාගත හැකිය. මෙහෙව් පැතුම් මල්ලක් කරේ තබාගෙන යන විමලේ - සාදුලාගේ වීර පුතා විමලේ - ඊයේ පෙරේදා පන්සල් ගියේය. ඒ නුවර මල්වතු පන්සලටය.

පන්සල් පල්ලි කෝවිල් දේවාල ඔය මොකක් එක්කවත් පයිරු පාසානමක් අපට නැතත් මල්වතු පන්සල් ගිහින් විමලේ කාපු පරිප්පුව ගැන හීනි ආතල් එකක් අපට තිබේ. විමලේ දත මැදගෙන මල්වතු ගියේ යෝජිත ව්‍යවස්ථාව ගැන කේලම් කියා මල්වත්ත අවුස්සා ලකුණු දමාගෙන වීරයා වන්නටය. එහෙත් අවසානයේ සිද්ධ වූයේ මල්වත්ත අබියස කිච වෙන්නටය. “මහනායක හාමුදුරුවනේ, බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්නට යනවා” කී විට “නැහැනේ එහෙම වෙන්නෙ නැහැයි කියල පොරොන්දු වෙලා තියෙනවනේ” යනුවෙන් ද ;

“බෙදුම්වාදයට තල්ලු‍ව දෙන වගන්ති එන්න පුළු‍වන්” කී විට “ඒක ඔබතුමන්ලාගේ සැකයක් විතරනේ” යනුවෙන් ද පිළිතුරු ලැබිණි.

සාදුලා කියන ඒවා ගැන අපට නම් තඹ සතේක විශ්වාසයක් නැත. ඒවා දෙවැනි වන්නේ දේශපාලකයන්ගේ කතාවලට පමණි. එහෙයින් ඒගොල්ලන්ට සහතික දෙන්නට අප ඉක්මන් වන්නේ නැත සහ උවමනාවකුත් නැත. හැබැයි, මල්වත්තේ සිට රට ගිනි තියන්නට වෑයම් කළ විමලේට වැදුණේ කිස් කන පහරකි. ඒ සාදුලා හෙට මොනවා කරාවිදැයි අප දන්නේ නැතත් විමලේට දුන්නු ෂොට් එක ඓතිහාසිකය. රතු කොඩි දෑකැති මිටි පසෙකලා පන්සලයි සිංහ කොඩියයි ලොකු කරගත් විමලේට පන්සලකින්ම ලැබුණු මේ පරිප්පු සංග්‍රහය සෑහෙන වටිනා දෛවෝපගත එකකි. ජාතිවාදය අවුස්සන්නට ගිය විමලේ ඇඩ්‍රස් අහිමිව කොළඹට සම්ප්‍රාප්ත විය.

අපට වෙච්ච දේවල්වලට විමලේ වගකිවයුතුවාක් මෙන්ම විමලේට වෙච්ච දේවල්වලට අප ද වගකිව යුතුය. විමලේලා උපක්‍රමික අර්ථයෙන් කියා අමන මරි මෝඩ දුෂ්ට කාලකණ්ණි ආස්ථානයන් වෙත පසුබසින විට “ඕයි ඕක වැරදියි” කියාගන්නට අපට බැරි විය. එසේ බැරි වූවා පමණක් නොව ඒ ආස්ථානයන් පස්සේ වැටී නිවැරැදි කරනු බැරි වැරැදි ගොඩකට කර ගැසුවෙමු. අන්න ඒ  නිසා, මෙන්න මේ මොහොත යනු, විමලේ අපටත් අප විමලේටත් සොරි කියා ගත යුතු අසිරිමත් අවස්ථාවකි. සොරි කොම්රේඩ් !

- විමල් කැටිපෙආච්චි

1 comment:

  1. අද තමා දන්නේ කැටිපේ කියලා ආච්චි කෙනෙක් ඉන්නවා කියලා.

    ආච්චියෙ ඔයා වැඩිවිය පැමිණුනා කියලා ආරංචියක් ආවා. ජයවේවා! තව තව ලොකුවේවා! රී බෝර් කරන්න නොවේවා!

    ReplyDelete

Powered by Blogger.