Open top menu
Friday, October 21, 2016
ජනපති - දිල්රුක්ෂී කුඩු කළ දුෂණ විරෝධයේ ජිමික් දේශපාලනය

‘යහපාලන ආණ්ඩුවේ‘ පළමු මාස 21 ගෙවී ගියේ ‘ජිමික් පොලිටික්ස්‘ (මයාකාරී දේශපාලනයෙන්) මිස මහපොළොවේ යථාර්ථයන් හා හැපෙමින් නොවේ. ජනවාරි 8 ට නායකත්වය දුන් පරිස පමණක් නොව මේ ආණ්ඩුවට ඡන්දය දුන් ලක්ෂ 62 ක් බලාගෙන සිටියේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන තෙක් මිස ‘පමාවට හේතු‘ කියන්නට නොවේ. අන්ධ භක්තියෙන් පක්ෂ බදාගෙන සිටින සුළුතරයක් මිස බහුතරයක් ජනතාවට යහපාලනය කැමැත්තක් නැත. ඒ ඔවුන් ජනතාව මත තැබූ බලාපොරොත්තු ඉටු නොවීම නිසාය.
අල්ලස් දුෂණ සටනේ ‘චන්ඩි ශ්‍යාමා‘ දැන් නැවත නීතිපති දෙපාර්තමේන්තුවේ තම පුටුවට ගොස් ඇත. එය බොහෝ දෙනා බලාපොරොත්තු වූ දේ නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ විවාදාත්මක කථාවේ කේන්ද්‍රය ස්වාධීන කොමිෂන් සභා යැයි බහුතරයක් කියන්නන් වාලේ කියවමින් සිටී. නමුත් සත්‍යය එය ද? නැත.
ජනාධිපතිවරයාගේ කථාවෙන් කේන්ද්‍රීය චරිතය අල්ලස් කොමිෂන් සභාවේ දිල්රුක්ෂි බව ජනගත වන්නට දින දෙකක් ගත විය. අල්ලස් දුෂණය ගැන ඇයට තිබූ ප්‍රවීනත්වයේ බිදක් ඇයට දේශපාලන යථාර්ථයන් සම්බන්ධයෙන් තිබුණේ නැත. ජනාධිපතිවරයා සද පෙන්වන විට ඇය ඇගිල්ල දුටු ඇය තම ‘ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළාය. යහපාලනය පිළිබද රටේ බලපොරොත්තුව ජනාධිපතිවරයා වූවේ යම් ලෙසක ද, දිල්රුක්ෂි ‘අල්ලස දුෂණයට‘ එරෙහි සටනේ ප්‍රතිරූපය වූවේය.
ඇමතිවරුන්ට, අගැමැතිට, ජනාධිපතිවරයාට බැන බැන සිටි ජනතාව සිහිනයෙන් අවදිවී මේ වෙන්නේ මොකක්දැයි සොයන්නට පටන්ගත්තේ ඒ අනුවය. දුෂණයට එරෙහිව සටන පට්ටපල් බොරුවක් බව මේ වන විට ජනතාවට තේරූම් ගනිමින් සිටී. දුෂණ විරෝධයේ මුලින්ම සිටි අප මේ බව තේරුම් ගෙන තැන තැන කෑ ගසමින් සිටියෙමු. නමුත්, අගමැතිට, ජනපතිටත් වඩා මේ ආණ්ඩුව රකින්නට අවශ්‍ය යැයි කියන පිරිසක් ‘මහින්ද නැවත බලයට එන්වා‘ යැයි කියමින් සියල්ල වසා දමන්ට කටයුතු කරමින් සිටියේය.
ජනාධිපතිවරයාගේ කථාව සිදු නොකළ යුතු වැරදි උදාහරණ සහිත කෝපය පිට කර හැරීමකි. එය කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත කළ නොහැකිය. සෑම ගැටුමකම අවසන් ප්‍රතිඑලය මානව වර්ගයාගේ ප්‍රගතියට හේතුව‘ කි. ජනාධිපතිවරයා ද, දිල්රුක්ෂි ඩයස් ද ඒ බව අපට ප්‍රත්‍යක්ෂ කොට ඇත.
මහපොළොවටම සමතලා වූ දුෂණය එරෙහි සටන
දුෂණ විරෝධී පෙරමුණ උපදේශක ධූරය භාරගත් මා කළ පළමු කටයුත්ත අපගේ පැමිණිලි සම්බන්ධයෙන් වන ප්‍රගතිය සොයා බැලීමය. අධිපති ජනමාධ්‍ය මගින් දෑස් නිලංකාර කොට ගෙන සිටි මා මහපොළවට පැමිණියේ මේ ප්‍රගතිය ‘බිංදුවට‘ ආසන්නයේ කැරකෙන බව අවබෝධ වූ විටය. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හැර අනෙක් ආයතන බහුතරයක් සිටියේ අහසේ පා වෙමිනි. අප ඔවුන් අවධිකරන්නට බොහෝ දේ තැන තැන කීවෙමු. වත්මන් ආණ්ඩුවට එරෙහිව දුෂණ චෝදනා එල්ල කරන්නට බිය වූ බහුතරයක් දුෂණ විරෝධී පෙරමුණ මතු කළ සත්‍ය එදා දුටුවේ නැත.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රබල නඩු 12 ක් පවරා ඇත. ඔවුන් එය සිදු කොට ඇත්තේ බලවත් දුෂකරතා මධ්‍ය යේය. අල්ලස් හා කප්පම් ගැනීම් පිළිබද විමර්ශන නිලධාරීන් ගණනාවකට චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ වැදගත්ම දුෂණ වංචා ලිපි ගොනු 42 ක් ගොඩ ගැසී ඇත.
අද පවත්නා වංචා දුෂණ මර්ධනය කිරීමේ නීති වලින් ආවරණය කළ නොහැකි ක්ෂේත්‍රයන් හා සිද්ධි අවාරණය සදහා පිහිටුවූ මහා පරිමාණ දුෂණ විමර්ෂනය සදහා වන විශේෂ ජනාධිපති කොමිසන් සභාවේ කටයුතුවල ප්‍රගතියක් නොමැති තරම් ය. ඒ සදහා අවශ්‍ය වෘත්තීය හා තාක්ෂණික මග පෙන්වීම බිංදුවක් බවට පත් වෙමින් තිබේ.
අනෙක් අතට ලංකාවේ ඇති දුෂණ විමර්ශන නීති යල්පැන ගිය, යාවත්කාලීන නොවූ සුදු කරපටි අපරාධ මර්ධනයට ශක්තිමත් නොවූ දේ ය. ඒ බව දැන දැනම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව උත්සහ දරමින් සිටින්නේ ද අද පවත්නා නීතිය අනුව සැකකරුවන් උසාවි ගෙන යන්නටය. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට හිටපු දේශපාලනඥයින්, ලේකම්වරුන්, නිලධාරීන් එති. ජනමාධ්‍යයට වොයිස් කට් දෙති. සිනාසෙමින් පිටත්ව යති. ලංකාවේ අල්ලස් හා දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති සුදු කරපටි අපරාධකරුවන් බහුතරය තමන්ගේ දේශපාලන අදහස් රට දැක්වීමේ වේදිකාව බවට එතැන පත් කොට ගෙන ඇත්තේය. ඔවුන් තමන්ට එරෙහිව ඇති අපරාධ ගැන හැර ලංකාවේ සිදු වන දේශපාලනයේ අන් සෑම දේ ගැන කියන්නට වේළාව වෙන් කර ගන්නේ එතැනිනි.
මේ විකාරය අවසන් වන්නේ කොතැනින්ද?
අපි ‘චන්ඩි ශ්‍යාමා‘ යැයි කියූ දිල්රුක්ෂි ඩයස් අල්ලස් දුෂණයට එරෙහි
සටනේ සංකේතය වූවේය. නමුත්, අල්ලස් කොමිසම තුලින් බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටුවී ඇති ද? කිසි සේත්ම නැත. අල්ලස් දුෂණ කොමිෂන් සභාවේ අංක එකේ සේවා ලාභියා පැමිණිලි 225 ක් යොමු කර ඇති දුෂණ විරෝධී පෙරමුණයි. අපේ පැමිණිලි 3 කට හැර අන් කිසිවකට සාර්ථක ප්‍රගතියක් ලැබී නැත. කොමිසමේ ‘ටොප් ක්ලයන්ට‘ අතෘප්තිමත් නම් තෘප්තිමත් කවුද? මගේ අදහස නම් ජනාධිපති විශේෂ කොමිසමට, අල්ලස් කොමිසමට පැමිණි අති දැවැන්ත මුල්‍ය චෝදනා ලැබූ බහුතරයක් නම් අතිශයින්ම තෘප්තිමත්ය. ඒ අන් කිසිවක් නිසා නොව විමර්ශන සිදු වෙමින් පැවති ආකාරය අනුව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ද, අනෙක් අතට චෝදනාවලින් පිරිසිදුවී නිදහස්වීමේ අවස්ථාව ද පෙනි පෙනි ඇති බැවිනි.
මහා පරිමාණ දුෂණ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම, විමර්ශන ක්‍රියාවලියේ දුබලතා ගැන තොරතුරු මේ වන විට එකින් එක එළියට පැමිණෙමින් තිබේ. දේශපාලන තොරාගැනීම් පිළිබද ෆවුසි, ප්‍රියංකර ජයරත්න, අලුත්ගමගේ උදාහරණ දැනටම සමාජගතවී ඇත. (මේ විමර්ශන පිළිබද පුද්ගලික මාගේ කිසිදු විරෝධයක් නොමැති අතර ඒවා සිදු කළ යුතු හා නඩු පැවරිය යුතු බවට තර්කයක් නැත. තර්කය ඇත්තේ ප්‍රමුඛත්වය තීරණය කිරීමේ ක්‍රමවේදය තුලය.)
විමර්ශන පිළිබද තොරතුරු තොග වශයෙන් එළියට පැමිණීම අපට විසදාගත නොහැකි වූ ප්‍රශ්ණයක් වූවේය. එවන් එක් උදාහරණයක් වූවේ ගාමිණී සෙනරත් ගේ රියදුරු දිසානායක ගේ සාක්ෂියේ සියලු කරුණු හෙළිදරව්වී ඔහු පැහැරගෙන ගොස් ත්‍රස්තවාදියෙකු කිරීමේ උත්සාහයයි. එදා උදුල් ප්‍රේමරත්න, උලපනේ සුමංගල හිමියන් මැදිහත් නොවන්නට මේ වන විට රියදුරු දිසානායක ජීවතුන් අතර නැත. දුෂණ විරෝධීන් හොරුන් රකින්නේ යැයි මතයක් සමාජගක කිරීමට ‘ජිමික් දේශපාලනය‘ උත්සහ දැරීය.
රියදුරු දිසානායක ගේ සිද්ධියේ දී පොලිස් පරීක්ෂණ සිදු කළ පොලිස් අධිකාරිවරයා ජාත්‍යන්තර මුදල් විසුද්ධිකරණය පිළිබද විදේස් පුහුණුව ලැබූ අයෙකි. ජනාධිපතිවරණ සමයේ සිදු වූ කොමිස් හා අල්ලස් ගැනීම් කිහිපයක විමර්ශන යට ගැසීමට ඔහු රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ගෙන තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මැදිහත්වී රියදුරු දිසානායක මහතා පොලිස් මුලස්ථානයට රැගෙන නොයන්නට ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හිරබත් කන්නට ද ඉඩ තිබුණි.
දිල්රුක්ෂිගේ කාලයේ ලංකාවේ ලොකුම අල්ලස කියා කෝටි 12 ක රේගු වංචාවක් එළියට ආවේය. අදත් ඒකට අල්ලස් ගත්තා කියන රේගු නිලධාරීන්ට නඩුවක් නැත. රේගුව මෙරට අති දැවැන්ත විනිමය වංචාවක් නිරාවරණය කොට නඩු පවරා තිබුණි. අල්ලස් මෙහෙයුම කෝටි 12 ක මුදල් සමග සිදු වුණේ ඉන් පසුවය. නඩු පවරන්නේ නැත්තේ ඇයි ද කියා අප තවමත් හරියටම දන්නේ නැත. දිල්රුක්ෂි නොදැන සිටියාට අල්ලස් කොමිසමේ දෙවන පෙළ නිළධාරියෙකු ගේ දැවැත්ත පැටලැවිල්ලක් තිබේ. ඔහු ලිපි ගොනුවේ කොළ ගලවා ලංගම අමතර කොටස් ගෙන්වීමේ වංචාවේ මහා දුෂිතයින්ට පැන යන්නට සිදුරක් සෑදුවේය. අනාගතයේ දවසක ‘කොමිසම නිහඩයි‘ කියා චිත්‍රපටියක් හදන්නට කථා වස්තුවක් මේ කථාවේ ඇති බව පමණක් දැනට සෑහේ.
ජනවාරි 8 බලාපොරොත්තු වූ වෙනස මෙය ද? කිසිසේත්ම නැත.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා මහන්සියෙන් බොහෝ දේ කළ බව ද නොකියා බැරිය. ඔවුන් ලංකාවට දුෂණ විරෝධී සංස්කෘතියක් හදුන්වාදෙන්නට උත්සහ කළේය. දරුවන්ට දුෂණයට එරෙහිවන්නට ඉගැන්වීය. උදේ 8 - 4 සේවා මුරය කිසිදු ප්‍රතිලාභයක් නොලබා රාත්‍රී 10 -12 දක්වා දිගු විය. ඔවුන් අල්ලසට එරෙහි සටන තම ජීවිතය කර ගෙන තිබුණි. නමුත්, ‘ක්‍රමයක් හෝ කාර්යාවලියක්‘ නොමැති දුෂණ විමර්ශන සිදු වූයේ දේශපාලන න්‍යාය පත්‍රයට වීම අහම්බයක් විය නොහැකිය.
දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය දේශපාලන න්‍යයා පත්‍රයට කොටසක් වූවේ යැයි මම කිසි විටෙක නොකියමි. ඇයගේ විමර්ශනය සදහා කිසිවෙකුත් බලපෑම් කළේ නම් ඇය මෙයට බොහෝ කලකට පෙර තනතුර අතහැර දමන බව අදත් මාගේ විශ්වාසය යි. ඇය මිල දී ගත නොහැකිය. අයට බලපෑම් කළ නොහැකිය.
එකේ කියන අතරම, මෙරටින් හොරකම් කර ඇති ධනස්කන්ධය රුපියල් ට්‍රිලියන 8 යැයි අනුමාන කරන්නේ නම්, එයින් තෝරු මෝරු කීයක් කොටු කර ගැන්නට හැකිවී ඇති ද යන්න මැදහත් සිතින් විමසිය යුතුය.
අනෙක් අතට, දිල්රුක්ෂි කොළඹ තානාපති ප්‍රජාවේත්, ජාත්‍යන්තරයේත් දිදුළන තරුව වී සිටියාය. ඒ සදහා අවශ්‍ය සියලු සුදුසුකම් ඇයට තිබුණි. පසුගිය ජූනි මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී මම ලංකාවේ මැතිවරණ හා දුෂණය ගැන කෙටි ඉදිරිපත් කිරීමක් සිදු කළෙමි. එහි සිටි බහුතරයක් එතෙක් සිතාගෙන සිටියේ ලංකවේ දුෂණයට එරෙහි සටන ජයගෙන ඇති බවයි. නමුත්, ‘ලංකාවේ දුෂණයට එරෙහි සටන බිමට සමතලාවෙමින් ඇතැයි‘ මා කියු විට පමණක් ඔවුහු ඒ ගැන නැවත නැවත විමසන්නට වූවේය. මේ තත්වය මා අත්විද ඇත්තේ ජාත්‍යන්තරයේ දී පමණක් නොවේ.
කොළඹ වරප්‍රසාදිත රාජ්‍ය නොවන සංවිධාන ජාලය තවමත් මේ කටුක සත්‍යය පිළිනොගන්නේය. ‘විනිවිදභාවය, ප්‍රතිඑල කේන්ද්‍රීය මැදිහත්වීම්, ක්‍රමය හා කාර්යාවලිය‘ තම දේවභාෂිත වදන් ලෙස සලකන කිසිවෙකුත් ලංකාවේ අල්ලස් හෝ දුෂණ විරෝධි සටනේ ප්‍රතිගති සමාලෝචනයක යෙදෙන්නට සිතුවේ නැත. ඔවුන් සැමවිටම සිතුවේ නඩු ප්‍රමාදය සාමාන්‍ය දෙයකි. සම්පත් හා මානව සම්පත් හිගය නිසා කිසිවක් සිදු නොවේ. සෙමින් නමුත් යහපත්ව සියල්ල සිදු වෙමින් ඇති බවකි. නැත. එය එසේ නොවේ. ‘ජිමික් මාධ්‍ය දේශපාලනයෙන් ඔබ්බට‘ අල්ලස් දුෂණ විරෝධී සටන පැමිණිය යුතු මොහොත උදාවී ඇත.
ජනාධිපතිවරයාගේ කථාව නොවන්නට මල්වානේ ඉඩමේ පළමු සැකකාරයා අත්අඩංගුවට පත් වන්නේ නැත. අද වන විට ඇති වී තිබෙන සමාජ කථිකාව ඇතිවන්නේ ද නැත. නමුත්, මුල්‍ය අපරාධකරුවන් සොද සොදා එළියට දමන මැෂිමක් බවට දුෂණ විරෝධය පත් වන්නට තිබුණි.
අනෙක් අතට, දුෂණය වත්මන් යහපාලන රජයට ද අදාළය. මහ බැංකු වංචාව, ගල් අගුරු වංචාව, මුදල් අමාත්‍යාංශයට එරෙහි එකක් පිට එකක් පැමිණි විමර්ශනය නොවන වංචා විමර්ශන ආයතන වලින් රටටක සෙතක් නැත. දුෂණ විරෝධී සටන එක් පක්ෂයකට, පවුලකට, විරුද්ධවාදීන්ට එරෙහි මෙවලමක් නොවිය යුතුය.
ඒ සියල්ලටම වඩා, සොද සෝදා එළියට දමන්නට හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ බියකරු බව අප අවබෝධ කොට ගත යුතුව ඇත. දේශපාලනිකව එය යහපාලන රජයට මාරාන්තික වන දේශපාලන බලවේගය බවට පත්වෙමින් තිබේ. යහපාලන ප්‍රේමීන්ගේ කෝපය අවුලවමින්, අපේක්ෂා භංගත්වය ඇති කරමින් එය ‘පරිවර්ථනීය සංහිදියාවක් සදහා වන‘ අපේක්ෂාවන් සුන්නද්ධූලි කරමින් තිබේ.
මේ සියල්ල එසේ වුවත්, ජනාධිපතිවරයාගේ කථාව වැරදි උදාහරණ සහිතව නොකළ යුතු ප්‍රකාශයක් බව ද නොකියා බැරිය. ඒ මත පදනම්ව ජනාධිපතිවරයා ද්‍රෝහියෙකු බවට පත් වන්නේද? ශූර ඉවසිලිසහගත දේශපාලනඥයෙකු වන මෛත්‍රීපාල මහතා කොට්ටම්බ ඇටයක් තලාගන්නට කුළු ගෙඩි පහර ගසන්නෙකු නොවන බව ද එලෙසම තේරුම් ගැනීම වැදගත්ය. ජනපතිවරයාගේ ප්‍රකාශයට කුළු ගෙඩි පහර ගසා ‘ජිමික් දේශපාලනය‘ පෝෂණය කිරීමට එහා මැදිහත්වීමක් සිවිල් සමාජයෙන් අද අවශ්‍යව ඇත. යහපාලනයේ හොරු ඇල්ලීම විකාරයක් බව ජනාධිපතිවරයා විනාඩි දෙකකින් රටටම අවබෝධ කොට දී ඇත.
රාජපක්ෂ පාලනයේ ඇවන්ගාඩ් වැනි වංචාවන්ට දැන්වත් ගිණි අවි පනත යටතේ නඩු පැවරිය යුතුය. රටට අදුරේ තබා නොරොච්චෝලේ පිහිටෙන් ඉඩම්, නිවාස, තට්ටු නිවාස මිල දී ගෙන ඇති විදුලිබල මණ්ඩලයේ මාෆියාව ගැන විමර්ශන සිදු විය යුතුය. මහබැංකු බැදුම්කර හොරුන් ඇල්ලිය යුතුය. එසේ නොවන්නේ නම්, දෙවියන්ගේ නාමයෙන් මේ යහපාලනය හා දුෂණ විරෝධය මෙරට ‘ජිමික් දේශපාලන‘ ශබ්ද කෝෂයෙන් දැන්වත් මකා දැමිය යුතුය.

රජිත් කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ
Read more
Sunday, October 16, 2016
බංකර් ඇතුලේ කොටි තරුණියන්  සමූහ දූෂණයට ලක්‌වූ හැටි... ප්‍රථම වරට හෙළිවෙයි

* හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌....
* සාමාජිකයෝ බංකර් රකිනවට වඩා 
   උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න...
* අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය 
    බලන්නේ නැහැ...
* ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌ මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති


ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව් කිරීමටය. ඒ රහස අපට කීවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකාවන් වී සිට දැන් පියවරු නැති දරුවන් සමඟ ජීවත්වීමට මං සොයන කාන්තාවන්ය.



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වයට එහා ගිය ගෝත්‍රික ස්‌වරූපය ඉස්‌මතු වන ඒ කතාව ඇසෙන විට ගත කිලිපොලා යන තරමට හිරිකිතය. එහෙත් එම කාන්තාවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ගැන දකින සිත් කම්පනයට පත් වන්නේය. උපන්දා සිට වෙඩි වරුසා මැද මරණ බියේ දිවි ගෙවූ ඒ අසරණියන් තවමත් විඳින්නේ දුකමය. ඔවුන්ගේ කතාව අතිශය ෙ€දනීයය. ඒ කතාව අප කියනවාට වඩා ඔවුන්ගේ වචනයෙන්ම ඇසීම සංවේදී හදවත්වලට වඩාත් හොඳින් දැනේවී. එහෙත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරන බව දැන සිටින ඔවුහු මරණයට ඇති බිය නිසා නම්, ගම් හෙළි කිරීමට අකමැති වූහ. කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන්ට ඒ තරුණ ජීවිතවල වටිනාකම නොපෙනුනාට, මනුෂ්‍යත්වයේ හදවත් ඒ අසරණ ජීවිත වෙනුවෙන් උණු වන්නේය. එහෙයින් අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස්‌ කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණියන් අපට කියූ කතාවය...

අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරිප්පුවේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අම්මත් ඒවට උදව් වුණා. මට සහෝදර, සහෝදරියන් 5 දෙනයි. දවසක්‌ අපි ඉස්‌කෝලේ ගිහින් එනකොට කැබ් එකක්‌ නතර කරලා මල්ලිව දාගන්න හැදුවා. මම මල්ලිව බදාගෙන හිටියා. පස්‌සෙ අපි දෙන්නව උස්‌සලා කැබ් එකට දාගත්තා. එදා ඒ කැබ් එක ඇතුළේ තවත් ඉස්‌කෝලෙ ගිය පිරිමි ළමයි හතර දෙනෙක්‌ හිටියා. අපිව කෙළින්ම අරගෙන ගියේ කොටි කඳවුරකට. එතන දවසක්‌ තියාගෙන මාව කාන්තා පුහුණු කඳවුරකට දැම්මා. අපේ බැච් එකට තුන්සීයක්‌ විතර හිටියා. අපිව මුලින් කඳවුරට ගෙනිච්ච දවසේ එතැන හිටිය අක්‌කලා 'එයාලා නිදහස්‌' කියලා සතුටු වුණා. මුලදි අපිට ඒක තේරුණේ නෑ. අවුරුද්දක යුද පුහුණුවක්‌ දීලා බංකර්වලට දැම්මට පස්‌සෙ තමයි ඒ අකAකලා කිව්ව කතාව මොකද්ද කියලා තේරුණේ. බංකර් ඇතුළේදී එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගෙන් අපිට ගොඩක්‌ කරදර වුණා. ඒත් පැනලා එන්නයෑ. හැම දෙයක්‌ම ඉවසගෙන ඒ අය කියන විදිහට ඉන්න වුණා. බංකරයක පිරිමි හතරයි. එක කාන්තාවයි. අන්තිමේ බංකරේ හිටපු සාමාජිකයන් හතරදෙනාටම ගෑනි වෙන්න වුණේ ඒ සාමාජිකාවට. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු වුණේ සාමාජිකයන්ව සංවිධානය තුළ රඳවගන්න. ඒක සාර්ථක වුණා කියලා සංවිධානයේ පරණ අක්‌කලා කතා කරනවා ඇහිලා තියෙනවා.

මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ...

මහ කැලේ පිරිමි හතර දෙනෙක්‌ එක්‌ක එකට ලගිනවා කියන්නෙ මැරෙනවා හොඳයි. ඒත් මැරුණේ නෑ. අපිව එල්.ටී.ටී.ඊ. යෙන් අරගෙන ගියේ 2004 අවුරුද්දෙ දවසක. එදා ඉඳලා 2009 අවුරුද්ද වෙනකම් පණ ගැටගහගෙන ඉඳලා මුල්ලෙවයික්‌කාල්වලදී මුහුණට මුහුණ කරපු සටනේදී මට වෙඩි වැදුණා. එක වැළට වෙඩි කිහිපයක්‌ම වැදුණා. මම දන්නෙ එච්චරයි. සතිs දෙකකට විතර පස්‌සෙ තමයි සිහිය ආවේ. එතකොට ඉස්‌පිරිතාලේ. නොමැරි බේරුණේ පූරුවේ පිනකට. ඒත් අදටවත් වැඩක්‌ පලක්‌ කරගන්න බෑ. මගේ මල්ලි යුද්දෙදී මැරුණා. දැන් මට අවුරුදු 30 යි. එල්.ටී.ටී.ඊ. ය අපේ ජීවිත නැති කළා. මම හො¹කාරවම දන්නවා එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් හුඟ දෙනෙක්‌ සංවිධානයට ආදරයෙන් හිටියේ නෑ. පැනලා ගිහින් මැරෙන්න බය නිසයි හිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් පැනලා ගිහින් අහුවුණොත් වධ දීලා ප්‍රසිද්ධියේ මැරුවා. එහෙම කරනවා අපි දැකලා තියෙනවා...

එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දරවලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට. ඒ ඇවිත් ටික කාලයක්‌ යනකොට කසාද බැන්දා. 2011 අවුරුද්දේදී එල්.ටී.ටී.ඊ. එකේ හිටපු කෙනෙක්‌ම මාව කසාද බැන්දා. අපිට දරුවෙකුත් ලැබුණා. දරුවට අවුරුද්දක්‌ විතර වෙනකොට එයා වෙන කෙල්ලෙක්‌ව අරගෙන ගියා. දැන් දරුවට අවුරුදු 4 යි. මාවයි, දරුවයි බලා ගන්නෙ තාත්තා. දැන් අප්පට ගොවිතැන් නෑ. අප්පා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. අම්මට නිතර හතිය හැදෙනවා. සීනිවලට බෙහෙත් බොනවා. දැන් අම්මගේ වකුගඩුත් නරක්‌ වීගෙන එනවා කියලා ඩොක්‌ටර්ස්‌ලා කියනවා. දැන් අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ. පිටරට සංවිධානවලින් මිනිස්‌සුන්ට උදව් කරනවා. අපිට එහෙම සහනයක්‌වත් ලැබෙන්නෙ නෑ. අපේ හිතට තියෙන එකම සහනය මරණ බය නැතිව ජීවත් වෙන්න තියෙන එක විතරයි.

'දෙමළ ජාතික සන්ධානයෙන් ඔයාලා ගැන බලන්නෙ නැද්ද...' ගලා යන කතාවේ රිද්මය මම වෙනස්‌ කළෙමි.

පිස්‌සුද මහත්තයො... අපි උන්නද මළාද කියලා බලන්නෙ නෑ. මේ ගේ කෑල්ල හදාගන්න උදව් කළේ හමුදාවෙන්. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි. ඔය කෑගහන කවුරුවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ. ඒ අය හදන්නෙ අපේ පහනෙන් එළිය බලන්න. අපිට රට අල්ලන්න ඕනෑ නෑ. ගොවිතැනක්‌ කර ගන්න ඉඩම් කෑල්ලක්‌, මොනවහරි මහලා විකුණලා කීයක්‌ හරි හම්බ කරගන්න මැෂින් එකක්‌ වගේ හම්බ වෙනවා නම් මටත් පුළුවන් මොනවහරි මහලා කඩවලට දාන්න. එහෙම නැති වුණොත් තාත්තා නැති වෙච්ච දවසකට මේ දරුව ජීවත් කර ගන්න හැටි මතක්‌ වෙනකොට මට ලොකු බයක්‌ දැනෙනවා...''

අත්වාරුවක්‌ නොමැතිව ඇවිද ගැනීමට නොහැකි ඇය මුළු ජීවිත කාලයම ලෙඩෙකි. එහෙත් ඇයට ජීවත්කරවීමට තවත් ජීවිතයක්‌ ඇත. ඇයගේ එකම අභිප්‍රාය තම දරුවා සමාජයට හොඳ පුරවැසියකු කිරීමට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමය. ඇයගේ ජීවිත අපේක්‍ෂාව සහ කඳුළු කතාව එසේ වචන කර අවසාන කරන විට තවත් කාන්තාවක්‌ අපට කතා කළාය. ඇය අපට හමු වන්නේ ද යාපනය අවට ගම්මානයකදීය.

''අපේ ගෙවල් තිබුණේ කොඩිකාමන්. මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි හැසිරුණේ. ඒත් අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එදා ඉඳලා උන් කෑම බීම හොයනවට වඩා උනන්දු වුණේ මාත් එක්‌ක ඉන්න. උන් දෙන දස වධවලට යුද්ධ කරන්න ශක්‌තියක්‌ තිබුණේ නෑ. අන්තිමේ හමුදාවට භාර වෙනකොට එහෙම් පිටින්ම රොඩ්ඩක්‌. ඒ ජීවිතය ගැන මතක්‌ වෙනකොටත් අප්පිරියයි. හරි හැටි වතුර ටිකක්‌ නා ගන්න නෑ. සති ගණන් එකම ඇඳුම ඇඳගෙන බංකරයක ගුලි වෙලා හිටියා. හරියට සත්තු වගෙයි.

යුද්ධය ඉවර වුණාට පස්‌සෙ ගමේම කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳ බැන්දා. ඌ ඊට වඩා තිරිසනෙක්‌ වුණා. බීගෙන ඇවිත් මට නොසෑහෙන්න වද දුන්නා. දැන් මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 2 යි. මගේ මනුස්‌සයා අපිව දාලා ගිහිල්ලා ටික දවසක්‌ වෙනවා. දැන් ඉඳලා හිටලා යාළුවොත් එක්‌ක බීගෙන ඇවිත් මට කරදර කරනවා. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. දැන් මට අවුරුදු 28 යි. ජීවිතයෙන් වැඩි කාලයක්‌ දුක්‌වින්දා. තවමත් සතුටක්‌ නෑ. අපිව මේ විදිහට මිනිස්‌සු ඉදිරියේ හැල්ලු වෙන විදිහට අසරණ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය...

'අපේ තාත්තායි අම්මයි ගොඩක්‌ වයසයි. තාත්තට ඇස්‌ පේන්නෙත් නෑ. අම්මා කෑම කඩවල උයන්න යනවා. මමත් කෑම ඕඩර් අරගෙන හදලා දෙනවා. අම්මයි, තාත්තායි අපි තුන්දෙනයි එකට ඉන්නෙ. කිරි හරක්‌ දෙන්නෙක්‌ දෙනවා නම් මට පුළුවන් ජීවත් වෙන්න. හොඳට රෙදි මහන්නත් පුළුවන්. කවුරුහරි අපට එහෙම උදව්වක්‌ කරනවා නම් ගොඩක්‌ පිං...

එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් ලෙස සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහල කාන්තාවන් හයසිය පහළොවක්‌ පමණ යාපනය අවට ප්‍රදේශවල ජීවත් වෙති. කසාද බැඳපු, නොබැඳපු අය ඒ අතර වෙති. එහෙත් ඒ කාන්තාවන් 615 දෙනාටම දරුවෝ සිටිති. ඔවුන් අතරින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙක්‌ සමඟ අපි කතාබහ කළෙමු. අප කතා කළ ඒ කාන්තාවන් කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරය කොටි සංවිධානයට වෛර කරන්නාහ. ඒ ඔවුන්ගේ ළමා විය, තරුණකම විනාශ කර ජීවිත නරකාදියට දැමූ නිසාය. අද ඔවුන් නොදරුවන් සමඟ දුක්‌ විඳින්නේ ඒ සාපය හෙයිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වය සමඟ කැටි වූ ගෝත්‍රිකකම ගැන පැහැදිලිs කිරීමට ඒ අසරණියන්ගේ කතාව හොඳමට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මේ පොළවෙන් අතුගෑවී වසර හතකටත් වැඩිය. එහෙයින් වැළලුණු කොටි ගැන වැඩි කතා අවැසි නැත. දැන් අප කතා කළ යුත්තේ කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව දුක්‌විඳින අසරණ දෙමළ මිනිසුන් ගැනය.

මේ අසරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ වෙනම රටක්‌ නොවේ, පොලිස්‌, ඉඩම් බලතල ද නොවේ. ජීවිත ගැටගසා ගැනීමට කිරි හරකෙකි. එළුවො දෙතුන් දෙනෙකි. මහණ මැෂිමකි. ඒ ඔවුන්ගේ වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටය. එහෙත් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා හර්තාල් කරමින් රජයට බල කරන්නේ පොලිස්‌, ඉඩම් බලතල ලබාදෙන ලෙසය. බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අන්දමට උතුරේ මහ ඇමැතිවරයා 'දෙමළ ජාතික සභාව' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඒ සංවිධානය සඳහා 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි, නැඟිටිව්' යන්න සටන් පාඨ කියමින් ජාතිවාදය වපුරමින් සිටින්නේය. එහෙත් උතුරේ අසරණ ජනතාවට නැඟිටින්න තියා පාන් කියා ගැනීමටවත් නොහැකි තරමට ඔවුහු හාමතේ දුක්‌ විඳින්නාහ. පියවරු නැති දරුවන් සමඟ කඳුළු බොන්නාහ. පිරිසක්‌ තවමත් අනාථ කඳවුරුවල අපා දුක්‌ විඳින්නාහ. ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැතිවරයා ඇතුළු එල්.ටී.ටී.ඊ. රූකඩවලට මේ පීඩිත දුගී ජනතාවගේ අසරණකම නොපෙනේ. දෙමළ මිනිසුන්ගේ ගැටලු ගැන සොයාබැලීමට ඔවුන්ට ඕනෑකමක්‌ ද නැත. මේ ජාතිවාදී නායකයන්ගේ එකම හීනය මිනී මරු ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීම පමණි.

සාමකාමී රටක්‌ විදිහට අප අපේක්‍ෂා කළ යුත්තේ මේ අසරණ මිනිසුන් පාරට බසින තෙක්‌ නොසිට බුද්ධිමත් ලෙස ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීමය. උතුරේ ප්‍රශ්න දකුණේ සංවාද මණ්‌ඩපයට ගෙන ඒමය. අන්තවාදී ඊළාම්වාදීන්ව මහ පාරෙන් කාණුවට ඇද දැමිය හැක්‌කේ එසේ කළහොත් පමණි. ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස සැබෑ ජාතික සමගිය, සාමය ගොඩනැඟිය හැක්‌කේ එවිටය.

තරංග රත්නවීර
divaina -
Read more
Thursday, October 13, 2016
විදුහල්පති ගුරුවරියන්ට ලිංගික අතවර කොරන මෙ පිංබිමේ කතාවක්...

 මහානාම ගුරුවරිය නිසා රාජ්‍ය සේවයට ඓතිහාසික ජයග්‍රහණයක්

 රේඛා නිලුක්ෂි හේරත්
මම මහානාම විද්‍යාලයට ආවේ 2007 දී. විදුහල් පතිගේ බලපෑම් මට තිබුණා ඒ කාලයේ ඉඳන්. එහෙත් මම ඉවසාගෙන හිටියා. විදුහල්පතිවරයාගේ ගෝලයා වන ගුරුවරයෙක් 2011 මාර්තු 28 වැනිදා කාමරයට ඇවිත් මාව බලෙන් ඉම්බා. පස්සේ මේ ගුරුවරයාටයි විදුහල්පතිටයි දූෂණ වංචා ගැන පරීක්ෂණයක් ආවා. එහෙත් ඒ වංචා ගැන පරීක්ෂණ වාර්තාව දේශපාලන බලපෑම් නිසා මඟ නතර වුණා. ජූලි වෙද්දී පරීක්ෂණ වාර්තාව අවසන් කර තිබුණත් නොවැම්බර් 27 වැනිදා වෙනතුරුත් විමර්ශන වාර්තාව එළිදැක්වූවේ නැහැ. ඉහළ නිලධාරීන්ට කතාකළත් ඔවුන් කීවේ කරන්න දෙයක් නැහැ, දේශපාලන බලපෑම් මතයි මේ වාර්තාව නැවතිලා තියෙන්නේ කියලා. ඒ නිසා මම ලංකා ගුරු සංගමයත් එක්ක එක්වෙලා විරෝධතාව දැක්වූවා. ඒ වගේම මම මාධ්‍යවලට ප්‍රකාශයක් කළා මේකට විරුද්ධව. ඉන්පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පති ගැන විමර්ශනයක් කරනවා වෙනුවට මට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කළා. මාධ්‍යවලට ප්‍රකාශ දීම සම්බන්ධයෙන්. 2012 පෙබරවාරි 1වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගේ වැඩ තහනම් කළා. ඒකට විරුද්ධව මම මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. ලංකා ගුරු සංගමය නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහත්තයාව සම්බන්ධ කර දුන්නා. මැයි මාසයේදී ශිරාණි තිලකවර්ධන විනිශ්චයකාරවරිය ඇතුළු විනිශ්චය මණ්ඩලයක් විසින් නඩුව ඉදිරියට ගෙන යන අතර මාව ආපහු සේවයේ පිහිටෙව්වා.

මාව සේවයේ පිහිටෙව්වාට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාව වෙනත් පාසලකට මාරු නොකර මගේ වැඩ තහනම් කිරීමේ ලිපිය අවලංගු කරලා මහානාම විද්‍යාලයේම මාව තිබ්බා. ඒ නඩුව දිගටම අහලා තමයි මේ තීන්දුව දුන්නේ. ඒ අතරේ මහානාම විද්‍යාලයේ සේවය කළ මට අර විදුහල්පතිවරයාගෙන් ගොඩක් ප්‍රශ්න ඇතිවුණා. මට විරුද්ධව විනය පරීක්ෂණ කරලා මගේ වැටුපෙන් කොටසක් කැපුවා.
අවසානයේ මේ නඩු තීන්දුව ලැබිලා තියෙනවා. මේක මම ලබපු ජයග්‍රහණයක් නෙවෙයි. අපි හැමෝම ලබපු ජයග්‍රහණයක්.”

මේ මහානාම විද්‍යාලයේ සංගීත ගුරුවරියක වන සමන්ති මනෝහාරි පැලකැටිය මෙනෙවිය දැක්වූ අදහස්ය. මාධ්‍යවලට අදහස් දැක්වූවායැයි චෝදනා කරමින් වැඩ තහනම් කිරීමට විරුද්ධව ඇය විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ අනුව ව්‍යවස්ථාවේ 12(1) වන වගන්තියේ ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද, සර්ව සාධාරණ ලෙස ලැබීමට ඇයට ඇති අයිතිය කඩවී ඇති අතර 14(1) වගන්තිය අනුව ඇයට හිමිවන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියත් කඩකොට ඇත. ඉහත අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට සහ ගුරුවරයකුට රුපියල් ලක්ෂය බැගින් ඇයට වන්දි ලබාදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

තමන්ට සිදුවුණු අසාධාරණයක් සම්බන්ධ යෙන් සටන් කොට ජයග්‍රහණය දක්වා පැමිණි සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට ගෞරවය හිමිවිය යුතුය. ඇය වීරවරියකි. අසාධාරණය ඉදිරියේ නිහඬව සිටීම වෙනුවට එයට විරුද්ධව සටන් කළ හැකි බවත් එවන් සටනකින් ඉතිහාසය වෙනස් කළ හැකි බවත් ඇය පෙන්වාදී ඇත. රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් බොහෝය. ඒවායින් බහුතරය ලිංගික වශයෙන් සිදුකරන අසාධාරණයන්ය. මේ එවන් කාන්තාවන් වෙනුවෙන් ලැබුණු ජයග්‍රහණයකි. සියලු කාන්තාවන්ගේ ආචාරය ඇයට හිමිය. යටත්වැසියෝ ඕනෑම අසාධාරණයක් ඉවසති. පුරවැසියෝ තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සටන් කරති. මේ ඉහළින්ම වර්ණනා කළ යුතු පූර්වාදර්ශයකි.

දැවැන්ත ජයග්‍රහණයක්

මේ තීන්දුව එක් ගුරුවරියකට එක් විදුහල්පතිවරයෙකුගෙන් සිදුවුණු අසාධාරණයක් පිළිබඳ සිදුවීමක් නොවේ. මෙය සමස්ත රාජ්‍ය සේවය පැත්තෙන් ලද ජයග්‍රහණයකි. ව්‍යවස්ථාමය අයිතිය පැත්තෙන් ලද ජයග්‍රහණයකි. රාජ්‍ය සේවය තුළ බොහෝ නිලධාරීන් තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ අසාධාරණ යට ලක්වෙද්දී නිහඬව සිටින්නේ ඔවුන්ට ප්‍රසිද්ධියේ තමාට සිදුවුණ අසාධාරණය පිළිබඳව කතාකරන්නට නොහැකිව ඇති නිසාය. ආයතන සංග්‍රහයේ ඇති රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය ඉදිරියේ කතා කරන්නට බැරි බවට ඇති වගන්තිය ඉතිහාසයේ පාවිච්චි කළ අවස්ථා බොහෝය.

සමන්ති මනෝහාරි ගුරුවරියට සාධාරණය ඉටු කරගැනීම වෙනුවෙන් දිගටම මැදිහත් වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ අදහස් දැක්වීය.
“ආයතන සංග්‍රහයේ තියෙන ජනමාධ්‍ය පාවිච්චි කරන්න බැහැ කියන වගන්තිය පාවිච්චි කරලායි ගුරුවරියගේ වැඩ තහනම් කළේ. එයට විරුද්ධව ලබා දුන් තීන්දුවේ වැදගත් කාරණයක් තියෙනවා. ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කිරීම ගුරුවරියගේ 12(1) වගන්තිය යටතේ තියෙන මූලික අයිතිවාසිකම කඩකිරීමක්. ඒක අදහස් ප්‍රකාශ කිරීමට තියෙන බාධාවක් ලෙස කියලා තියෙනවා. ඒක රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 11ක සේවකයන් ලැබූ ජයග්‍රහණයක්. ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරලා තොරතුරු විවෘත කරනවා කියලා කියනවා. රාජ්‍ය සේවකයන්ට ආයතන සංග්‍රහයේ තියෙන මේ බාධකය ඉවත් කරන්නේ නැහැ. ආයතන සංග්‍රහයෙන් රාජ්‍ය සේවකයන්ට මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන්න බැහැ. අපි දන්නවා සමහර ආයතන ප්‍රධානීන් තමන්ගේ සේවකයන්ට නිතර නිතර මේ වගන්තිය සිහිපත් කරලා බියගන්වනවා. එසේ තිබියදී අපි මේක සමස්ත රාජ්‍ය සේවයේ ජයග්‍රහණයක් විදියට දකිනවා.”
මෙම තීන්දුව පිළිබඳව නීතීඥ ජගත් ලියනආරච්චි දැක්වූ අදහස් මෙසේය.

“රජයේ සේවකයන්ට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්නට සහ තමන්ට සිදුවුණු අසාධාරණයන් සම්බන්ධව කතාකරන්නට තියෙන බාධාවක් තමයි ආයතන සංග්‍රහයේ තියෙන යම් යම් ප්‍රතිපාදන. බොහෝ වෙලාවට තමන්ට වුණු ලිංගික හෝ වෙනත් අසාධාරණයක් ගැන පිටට දැනුම් දුන්නාම ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පාවිච්චි කරලා ඒ අයට විනය පරීක්ෂණ කරලා බය කරන තත්ත්වයක් අපේ රටේ ගොඩනැඟිලා තිබුණා. 2016 තොරතුරු දැනගැනීමේ පනත සම්මත වුණායින් පස්සේ ආයතන සංග්‍රහයේ මේ ප්‍රතිපාදනය නිර්බල වෙනවා. තොරතුරු දැනගැනීමේ පනතේ තියෙනවා ඒක අනෙකුත් නීති අබිබවා යනවා කියලා. ඒ කියන්නේ තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදුන්නා කියා කිසිදු පුද්ගලයෙකුට විනය පියවර හෝ වෙනත් දඬුවම් ලබාදිය නොහැකියි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රකාශිතව සඳහන් වෙන ආකාරයට ආයතන සංග්‍රහයේ මේ වගන්ති නිර්බල වෙලා තියෙන්නේ. එහෙත් මහානාම විද්‍යාලයේ ගුරුවරියට මේ අසාධාරණය සිද්ධ වෙලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වෙන්න කලින්. ඒ අනුව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලා මේ සම්බන්ධව තීන්දුව දීලා තියෙනවා.

ආයතන සංග්‍රහයේ මේ නීති ප්‍රතිපාදනය නූතන ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවට පටහැනි ගෝත්‍රික ප්‍රතිපාදනයක් විදියටයි මම දකින්නේ. මේක නිලධාරීන් පාවිච්චි කළේ තමන් යටතේ ඉන්න නිලධාරීන් මර්දනය කිරීමට මිසක් ආණ්ඩුවේ යහපත වෙනුවෙන් නෙවෙයි. මේ තත්ත්වය වෙනස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මම දකින්නේ රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමක් විදියට. ඒ වගේම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමක් විදියට. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදීම මේ ජයග්‍රහණය ලැබීම ගැන සතුටුවිය හැකියි. ඒ වගේම මේ නඩුව ජයග්‍රහණය කරා ගෙන ආවේ ලංකා ගුරු සංගමය. ඒ අය මේ නඩුව සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් කරන සටනක් විදියට දැකලා ගෙනගියා. මේක නඩුවකට විතරක් සීමා නොකර එළියේත් සටනක් විදියට ගෙන ගියා. රජයකට විරුද්ධව නඩු කීම ගුරුවරියකට ලේසි කටයුත්තක් නෙවෙයි. පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ගුරුවරියටත් ස්තූති කළ යුතුයි.”

පෙර ජයග්‍රහණ

ඇගේ සටන හේතුවෙන් දේශපාලන බලපෑම් නිසා නතර වී තිබුණු මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර විදුහල්පති ඩබ්ලිව්.එච්.පී. කුමාරසිරි 2012 මාර්තු 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැවැත්වුණු විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 28ක් පිළිබඳව ලැබුණු තීන්දුවක් අනුවයි.

එපමණක් නොව ඇයට බලහත්කාරකම් කළ බව කියන ගුරුවරයාට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කළ නඩුවකින් එම ගුරුවරයා නිදොස් කොට නිදහස් කරමින් කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් හා අලුත්කඬේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදී තිබුණු තීන්දුව 2016 මාර්තු 18 දින ප්‍රතිශෝධනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා එම ගුරුවරයා වැරදිකරු කළේය. මහේස්ත්‍රාත් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඇය අභියාචනය කොට එම තීන්දුව සම්බන්ධයෙන්ද සාධාරණය ඉටු කරවා ගත්තාය.

එපමණක් නොව මහානාම විද්‍යාලයේ සිව් වසරක් පුරා සිදුවුණු වංචා පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශය සිය නිරීක්ෂණ ලබාදී තිබුණි. හොර පාරෙන් සිසුන් පාසලට ඇතුළු කරගැනීමේ සිද්ධි, සෘජුව මුදල් ගැනීමට අමතරව ටිකට් පොත් විකිණීමට බාරදීම හා විවිධ සංගම් පිහිටුවාගෙන අරමුදල් පාසලට සම්බන්ධ නැති ගිණුම්වලට බැර කිරීම වැනි චෝදනා රැසක් පිළිබඳව විදුහල්පතිවරයාට විරුද්ධව එම විමර්ශන කමිටුව නිගමන ලබාදී තිබුණු අතර ඒවා සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව නිර්දේශ කොට තිබුණි.

පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාජ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා භාවිතය, අධ්‍යාපන අධ්‍යක්ෂ වරයකුගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛනවල යෙදීම, ලිංගික අල්ලස් ලබා ගැනීම, පාසලේ ගුරුවරියන්ට වරින්වර ලිංගික බලපෑම් කිරීම, වැරදි තොරතුරු ලබාදී අධ්‍යාපන අමාත්‍යාංශය නොමග යැවීම, මූල්‍ය වංචා ආදි බරපතළ විසමාචාර රැසක් ගැන විදුහල්පතිවරයාට චෝදනා එල්ල විය.

මෙම විද්‍යාලයේ විදුහල්පති සහ තවත් ගුරුවරුන් දෙදෙනෙකු පාසලේම උපගුරුවරියන් කිහිප දෙනෙකුට සහ සිසුන්ගේ මව්වරුන් කිහිප දෙනෙකුට ලිංගික බලපෑම් සිදුකර ඇති බවත් ඒ ගැන පොලීසියේ පැමිණිලි කළ විට ඒවා ඉවත් කර ගන්නා ලෙසට පාසලේ අභ්‍යන්තර මෙන්ම බාහිර පුද්ගලයන් ලවාද දැඩි බලපෑම් එල්ල කර ඇති බවත් පීඩනය ඉවසා ගත නොහැකිව ඇතැම් ගුරුවරියන් විදුහල හැර ගොස් ඇති බවත් එම විමර්ශනයෙන් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. විදුහල්පතිවරයා විසින් බොරු තොරතුරු යවා අධ්‍යාපන අමාත්‍යාංශය නොමග යැවූ බව ද සනාථ විය.

අධ්‍යාපන අමාත්‍යාංශ යේ විමර්ශනයට පාසලේ ගුරුවරුන් ඉදිරිපත් කිරීමට අසීමිත ලෙස කාලය ගත කරමින් විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇති බවත්, ප්‍රකාශ ලබාදීමට එන ගුරුවරුන් විමර්ශන නිලධාරීන් වෙත ඒමට පෙර විදුහල්පති නිල කාමරයට ගෙන්වා උපදෙස් දී එවා ඇති බවත්, ප්‍රකාශ ලබාදුන් ගුරුවරුන් නැවත විදුහල්පති නිල කාමරයට ගෙන්වා ඇති බවත්, ගුරුවරුන් දැඩි බියකින් හා චකිතයකින් සාක්ෂි ලබා දී ඇති බවත් එම විමර්ශන කමිටුවට නීරීක්ෂණය වී තිබුණි.

විමර්ශන කමිටුවේ නිර්දේශ අනුව තවමත් එම ගුරුවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුව හෝ පොලීසිය විසින් පරීක්ෂණ කොට දඬුවම් ලබාදී නැත. එපමණක් නොව ප්‍රධාන පෙළේ පාසල් රැසක සිදුව තිබෙන මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැත. ඉතින් යුක්තිය වෙනුවෙන් යායුතු ගමන තවම අවසන් නැත. මහානාමයේත් ඉන් පිටතත් මෙවන් අසාධාරණයන්ට විරුද්ධව යුක්තිය ඉටුකරවා ගැනීමට යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් පෙරට පැමිණිය යුතුය.
Read more

Popular Posts

Popular Posts