Header Ads

සහිතව සහ රහිතව...හමුදාපතිවරයකු ජංගිය පිටින් දැක ගැනීමට ලැබීම ඉතා දුර්ලභ සිද්ධියකි

හමුදාපතිවරයකු ජංගිය පිටින් දැක ගැනීමට ලැබීම ඉතා දුර්ලභ සිද්ධියකි. ගෙදර අයට පමණක්‌ සීමා වන මෙම දර්ශනය හම්බන්තොට වරායේදී ප්‍රසිද්ධ මහජන දර්ශනයක්‌ ලෙස පැවැත්වීමට නාවික හමුදාපති රවි විජෙගුණවර්ධන (WV, RWP, & VAR, RSVP, VSV,
USP, nda, psn) මෙයට ස්‌වල්ප කලකට පෙර පියවර ගත්තේය. එම අවස්‌ථාවේදී නාවික හමුදාපතිතුමා මාධ්‍යවේදියකුගේ බෙල්ලට ද පහර දුන්නේ ය. බෙල්ල යනු මර්මස්‌ථානයක්‌ නිසා මෙය මිනීමැරීමට තැත් කිරීමක්‌ ලෙස ද අර්ථ කථනය කළ හැකිය. කෙසේ වුවද මේ සිද්ධිය ගැන අදටත් කිසිම පරීක්‍ෂණයක්‌ නැත. සිදු වූ එකම දෙය නම් නාවික හමුදාපතිතුමා ජංගියට උඩින් කලිසමක්‌ හැඳගෙන ගොස්‌ අගමැති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන ලබාගැනීමය.

මීට පසු හම්බන්තොට ගැන මිනිසුන් කතා කරන්නට පටන් ගන්නේ එහි ඉඩම් චීනයට දෙනවාට විරුද්ධව ප්‍රදේශවාසීන් සහ භික්‍ෂූන් වහන්සේලා පැවැත්වූ විරෝධතාව නිසා ය. හම්බන්තොට තිබෙන ගොඩ ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 964 කි. එනම් දළ වශයෙන් ගත් කල අක්‌කර 650700 කි. මෙතරම් ඉඩම් තොගයක්‌ තිබියදී චීනාට එයින් අක්‌කර 15,000 ක්‌ දුන්නාම හෙන ගහනවාදැයි පාඨකයා කල්පනා කරනවා ඇති. එහෙත් ඉඩම් යනු අප හිතන තරම් ලේසිපාසු ද්‍රව්‍යයක්‌ නොවේ. පෘථග්ජන චින්තනය සහ ඉඩම් අතර ලොකු බැඳීමක්‌ ඇත. අවසන් ගමන යද්දී පර්චස්‌ 10 කුත් රැගෙන යා හැකි නම්, එය වුව කිරීමට කැමැති ජනයා බහුලය. මෙයට අවුරුදු සිය ගණනකට පෙර ඉඩම් විකුණනවාදැයි ඇමරිකන්කාරයා රතු ඉන්දියානු නායකයාගෙන් ඇසූ විට ඔහු ඒවා නොමිලයේම පරිත්‍යාග කළත් එවැනි ත්‍යාගශීලී කැසිල්ලක්‌ මේ සිද්ධියේදී මිනිසුන්ට නැත්තේ එදා පැමිණි ඇමරිකන්කාරයා අත තිබූ තුවක්‌කු වැනි මාරක ආයුධ අද එන චීනා අත නැති බැවිනි. ඒ කොයි එක වේවා චීනයට ඉඩම් දෙනවාට විරුද්ධව එදා හම්බන්තොට ජනතාව පැවැත්වූ විරෝධතාවට පොලිසියෙන් පහරදෙන හැටි මුළු රටම ටී. වී. එකෙන් බලා සිටියේය. මේ සිද්ධියේදී අණදෙන නිලධාරියා ලෙස ක්‍රියා කර තිබුණේ නුවරින් පැමිණ ඇති ලස්‌සන කොල්ලා වූද, නිලමේගේ කේස්‌ එකෙන් නිරපරාදේ හිනාවට ලකවුණා වූද අපේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර ය. නාවික හමුදාපතිතුමාගේ සිද්ධියේ පුරුද්දට පොලිස්‌පති ද ජංගිය පිටින් හම්බන්තොට එතැයි ජනතාව බලා සිටි නමුදු ඔහු ආවේ කලිසමක්‌ ඇඳගෙනය·

එදා පොලිසිය සාමාන්‍ය ජනයාට පහරදීම ගැන විශේෂයෙන් යමක්‌ කියන්නට නැත. මන්ද, ඉතිහාස අත්දැකීම් අනුවත් පොලිසිය සිටින්නේ සාමාන්‍ය නිරායුධ ජනතාවට ගුටි දීමටත්, එසේ නොවන නිලමෙලා අත්අඩංගුවට ගැනීමටත් ය. එහෙත් පොලිසිය බෞද්ධ භික්‍ෂූන්ට පහරදීමෙන් වැඩේ අනාගෙන තිබේ. එහි අවුල පොලිසියට වඩා බලපාන්නේ පොලිසියට පඩි ගෙවන ආණ්‌ඩුවට ය. 1980 ජුලි වර්ජනයේ සිට ජනතාව මර්දනය කරමින්, සපත්තුවලින් පාගමින් ඉදිරියට පැමිණි ඡේ. ආර්. ජයවර්ධන සම්පූර්ණයෙන්ම පරිහානියට පත්වන්නේ 1987 මැයි 1 වැනිදා සෝභිත හිමියන්ට සහ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවන්ට පහර දීමෙනි. ඉන්දු ලංකා ගිවිසුම නිසා 1987 වන විට ආණ්‌ඩුවට විරුද්ධව විශාල ව්‍යාපාරයක්‌ හටගෙන තිබිණ. එය පුපුරා යතැයි බියෙන් 1987 මැයි 1 වැනිදා සැමරුම් පෙළපාලි ආණ්‌ඩුව තහනම් කළේය. මේ තහනමට එරෙහිව සෝභිත හාමුදුරුවෝ ද මුරුත්තෙට්‌ටුවේ හාමුදුරුවෝද, දිනේෂ් ගුණවර්ධනද ඇතුළු දේශප්‍රේමී කොටස්‌ රැස්‌වීමක්‌ සංවිධානය කළහ. එම රැස්‌වීමට කඩා පිනූ ඡේ. ආර්. ගේ මැරයෝ යකඩ පොලු සහ දම්වැල්වලින් පහර දීමට පටන් ගත්හ. මාදුළුවාවේ සෝභිත හිsමියන් ජීවිතය ගලවා ගත්තේ ඉතා අමාරුවෙනි. එදා සිට, 1994 දී චන්ද්‍රිකාට පරදින තුරු යූ. එන්. පී. ආණ්‌ඩුවට කිසිදු නිදහසක්‌ තිබුණේ නැත. ඔවුන් ලැබූ එකම නිදහස එකී පරාජය ය.

divaina -

No comments

Powered by Blogger.