Open top menu
Sunday, February 12, 2017

ප‍්‍රසන්න ජයකොඩිගේ 28 චිත‍්‍රපටය 27 වෙනිදා තරංගනී සිනමා ශාලාවේ දී නැරඹූවෙමි. මෙම අදහස් පත‍්‍රිකාව නිල විචාරකයන්ගේ විචාරය සහා නො ව, රටවැසියා වෙනුවෙනි.
පළමු අර්ධය ෆැන්ටසිමය අවකාශයකි.
එය මෙසේ ය;
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ, රවී කරුණානායක, මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, එස්. එම්. මරික්කාර් පමණක් නො ව බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ හිමි ද, අයිසිස් ආසියානු නියෝජිතයෙක් ද, මම ද 28 චිත‍්‍රපටය බලා එළිමහනට පිවිසුණෙමු. චන්ද්‍රිකා ද, රනිල් ද, මංගල ද සංවාද කතිකාවතට අදහස් ප‍්‍රකාශ නො කර බැහැර වූහ. රනිල් තමා ඉගෙනගත් රාජකීය විද්‍යාලය දෙස බලමින් අරලියගහ මන්දිරයට යනු බලා සිටි මහින්ද රාජපක්ෂ තමා ඉගෙන ගත් තර්ස්ටන් විද්‍යාලයේ පොඩි එකෙකු හොස්ටල් එකේ නැවැත්වූ විට ‘හෝම්සික්’ හැදුණාක් මෙන් අතීත වේදනාවත්, ස්මරණීය සතුටත් මිශ‍්‍රිත, නොස්ටැල්ජියානු විභවයක දෑස රතු වී සිටිනු මම නිරීක්ෂණය කළෙමි. තරංගනී සිනමා ශාලාවේ පුළුල් තිරය දෙබෑ කරමින් සේමිණි ඉද්දමල්ගොඩ (සුද්දි අප අතරට පිවිසියා ය. සිනමා ශාලාවේ පිටුපස ගංජා සුරුට්ටුවක් උරමින් සිටි මහේන්ද්‍ර පෙරේරා (අබසිරි පඳුරක් අස්සේ මූත‍්‍ර බරින් නිදහස් ව සැහැල්ලූවෙන් අප අසලට ආවේ ය. මුලින් ම සංවාදයට පිවිසුණේ ඥානසාර හිමි ය.
‘උපදින්නෙත් හඳට. මැරෙන්නෙත් හඳට. පිස්සු හැදෙන්නෙත් හඳට. බුදු වෙන්නෙත් හඳට. චන්ද්‍ර මාස කියන්නෙ අපේ පැරණි මාස ක‍්‍රමයට. ඒක ආසියාතික අපේ විශ්වාසය. හඳේ චක‍්‍රය තියෙන්නෙ දවස් 28 යි. ගැහැනියකගේ ඔසප් චක‍්‍රයටත් යන්නෙ දවස් 28 යි. මේක ස්වභාවධර්මයේ දේශපාලනය. ඒක වෙනස් කරන්න චිත‍්‍රපටකාරයෝ හිතුව මදි.’
උන්වහන්සේ මෛත‍්‍රීපාල සිරිසේනගේ මුහුණට ම කී සේක. එය අසා සිටි මහින්ද රාජපක්ෂ අහක බලාගෙන මෙසේ කීවේ ය.
‘මේක යහපාලනය නේ හාමුදුරුවනේ, ළඟදි ගේන්න ගියා නේ සමලිංගික පනතක්.’
යැයි කියා කොක් හඬලා සිනාසුණේ ය. ඒ සිනහවට ඉහළින් තවත් හයියෙන් සිනාසුණු මෛත‍්‍රීපාල සිරිසේන;
‘මම තමයි ඒක වීසි කළේ’
යැයි උද්දාමයෙන් කීය. මම කතා කිරීම ඇරඹීමි.
‘සමලිංගිකත්වය රෝම ශිෂ්ටාචාරයෙත් තිබුණා. අප‍්‍රිකාවෙත්, ඇමරිකාවෙත්, ස්වදේශීය ජන සමාජවලත් ඒකට තහංචි තිබුණෙ නෑ. රතු ඉන්දියානුවෝ කිව්වේ ද්විත්ව ආත්ම ඇති, නැත්නම් ‘ටූ ස්පිරිටඞ්’ කියලා. පීතෘ මූලික වුණත් රෝම සමාජය සමලිංගිකත්වය පිළි අරගෙන තිබුණා. ටර්ටුලියන් කියන ක‍්‍රිස්තියානි දේශකයා සමරිසි බව අස්වාභාවික සහ දුරාචාර ක‍්‍රියාවක් කියලා කිව්වා. බයිබලය කියන විදිහට දෙවියන් වහන්සේ සොඩාම් සහ ගොමෝරා නගර දෙක ම විනාශ කරන්නේ සමලිංගිකත්වය පරිචාරය කළ හින්දා. ඉස්ලාම් ආගම කිව්වේ සමලිංගිකත්වය පාපයක් කියලා. දඬුවම් කරන්න ඕන කියලා. ශරියා නීතියට අනුව සමලිංගික සේවනය හිස ගසා දැමීමෙන් හෝ ගල් ගැසීමෙන් මරා දැමිය යුතු තරම් වරදක්. යුදෙව්වන් ටෝරා ග‍්‍රන්ථයේ සමලිංගිකත්වය ප‍්‍රතික්ෂේප කරා. හැබැයි අපේ ගමේ නම් ඕකට කිව්වේ ‘පන්සලේ සෙල්ලම’ කියලා. සමලිංගිකත්වය වැඩියෙන් ම වර්ධනය වුණේ ආගමික ගුබ්බෑයම් අස්සේ.’
මම කියාගෙන ගියෙමි. මා දෙස රවා බැලූ ඥානසාර හිමි රාත‍්‍රී බණකට යා යුතු යැයි කියා නික්මෙන්නට පෙර අබසිරිට ‘අබ සරණයි’ යැයි කීයේ ය.
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැනත්, ලංකාවේ නීති ප‍්‍රතිසංස්කරණ ගැනත් දීර්ඝ ව කතා කළ විජයදාස රාජපක්ෂ අවසානයේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් මෙසේ කීවේ ය.
‘මම පිළියන්දල ශාක්‍ය ජනපදය කොහොමහරි පිහිටුවනවා. ඒක ලංකාවේ සංස්කෘතිය ගොඩනැඟීමේ ආශ්චර්ය විදිහට ඉතිහාසගත වෙයි. අක්කර හැත්තෑ පහක් වෙන්කරනවා. දඹදිව සම්පූර්ණයෙන් ප‍්‍රතිනිර්මාණය කරනවා. සුද්දොත් එයි බලන්න. එතන දහ දාහකට බණ අහන්න පුළුවන්. වෙජිටේරියන් ආපන ශාලා දානවා. එතකොට දඹදිව යන්න ඕන නෑ. බුදුන් උපන් දේශයට යන්න ඕන අය පිළියන්දල ගියාම හරි.’
යැයි එසේ කියත් ම 28 සුද්දී කතා කළා ය.
‘පන්සිල් සද්දෙ ඇහෙනකොට මට මතක් වෙන්නෙ පවුල් ජීවිතය අත්හැරලා දාලා, ටවුමේ රස්සාවට ඇවිල්ලා නවාතැන් ගත්ත චමරිය. බාගෙට හදපු ගෙදරක කාමර වල විතරයි දොරවල් තිබුණෙ. ඒ හැම කාමරයක ම එක එක රස්සාවල් කරන කෙල්ලො හිටියා. මේ වගේ ම පන්සිල් සද්දෙ ඒ හැම කාමරයකට ම හොඳට ඇහුණා. හැබැයි ඒ කාමරවල හිටපු අපි හැමෝම තුන්වන සිල් පදය තේරුම් අරන් තිබුණෙ වැරදි විදිහට. අපි තේරුම් අරන් තිබුණෙ කාමයේ හැසිරෙන්න පුළුවන් පන්සිල් නො ගන්න කසාද බැඳපු අයට විතරයි කියලා. ඒ කියන්නෙ අනෙත් අයට කොහොමටවත් බෑ. හොඳ වෙලාවට අල්ලපු කාමරයේ නංගිව හම්බවෙන්න ආපු චන්දන අයියා තමයි අපිට කියලා දුන්නෙ තමන්ගෙන් කාටවත් කරදරයක් නො වී දෙන්නගෙම කැමැත්තෙන් කළොත් ඒකෙ වැරැද්දක් නෑ කියලා. ඊට පස්සෙ තමයි අපේ කාමරවලටත් එළියෙන් මිනිස්සු එන්න පටන් ගත්තෙ. ආන්න එතකොට තමයි තුන්වන සිල්පදය කැඩෙන්න පටන්ගත්තෙ.’
විජේදාස රාජපක්ෂට සුද්දි කී කිසිවක් නෑසුණේ 2020 ඡුන්දය පිළිබඳව හෙතෙම කල්පනා කරමින් සිටි නිසා ය. රවී කරුණානායක තරංගනී සිනමාහලට ඉහළින් හිස ඔසවා මහ බැංකුව දෙස බැලූවේ ය. ඉන් ඔබ්බේ ඇති පෝට් සිටිය ද ඔහුගේ ඇස ගැසුණා නිසැක ය. මම නැවත කතා කළෙමි.
‘ලංකාවේ විවිධ සිවිල් සංවිධාන සහ තනි පුද්ගලයන් ඉල්ලා සිටින්නේ සමලිංගිකත්වය නීතිගත කරන්න කියලා නෙමෙයි. යටත් විජිත කොලනියක් වශයෙන් අපි ඉද්දී බි‍්‍රතාන්‍යයන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 සහ 365 (අ යන උප වගන්ති සංශෝධනය කරලා වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ පුද්ගල ක‍්‍රියාකාරකමක් අපරාධයක් ලෙස සලකන වික්ටෝරියා නීතිය වෙනස් කරන්න කියලයි. 1883 මැකලේ කියන දැඩි මූලධර්මවාදී ක‍්‍රිස්තියානි සාමිවරයා විසින් එවකට ‘සිලෝන්’ ලෙස පැවති ශ‍්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහය සකස් කරලා සමලිංගික චර්යාවන් අපරාධයක් ලෙස සැලකීමට අවශ්‍ය වගන්ති සකස් කළා. මේ වගන්ති පරීක්ෂාකාරී ව කියෙව්වොත්, මූලික මිනිස් අයිතිවාසිකම් පවා ඉක්මවා යනු දකින්න පුළුවන්. දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තියේ කියන්නේ පුරුෂයෙකු විසින් කාන්තාවක හෝ සතෙකු සමග ස්ව කැමැත්තෙන් ස්වභාවධර්මයට එරෙහි ව කාමුක සංසර්ගයේ යෙදුණහොත් දස වසරක් දක්වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ දඬුවමක් ලබා දෙන්න කියලා’
මෛත‍්‍රීපාල සිරිසේන ගූගල් සිතියමක් නිරීක්ෂණය කරන්නාක් මෙන් තරංගනී සිනමා ශාලාවේ සිට පොළොන්නරුව තෙක් දීර්ඝ පාරභෞතික සංචාරයක නියැළෙමින් සිටියේ ය.
‘මං ඊළඟට කරන්නෙ ලංකාවෙ හරක් මරන එක නවත්වන්න නීති ගේන එක. වෙජිටේරියන් ආපන ශාලා හැදුවම හරක් මස් ඕන නෑ. කන අයට පිටරටින් හරක් මස් ගේන්න පුළුවන්.’ යැයි දෙපයේ ඇඟිලිවලින් ඉස්සී කෝචොක් හිනාවක් දමමින් මෛත‍්‍රීපාල සිරිසේන කීය. මහේන්ද්‍ර පෙරේරා ඇබ්ස්ට‍්‍රෑක්ට් ඇක්ට් එකකින් මෙසේ කීය.
‘ඈ බං. මොන නීති පොතේ ද තියෙන්නෙ අයිස් ක‍්‍රීම් වෑන් එකක මිනියක් දාපු මිනී පෙට්ටියක් ගෙනියන්න බෑ කියලා. මට කියහං මොන නීති පොතේ ද තියෙන්නෙ ?’
මහේන්ද්‍රත් සේමිණිත් මමත් ත‍්‍රිකෝණගත ව සිටියෙමු. එනිසා සෙස්සන්ට අප තිදෙනා එකවර දෘශ්‍ය පථයට නාභිගත වන්නේ නැත. කැබිනෙට්ටුවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ උත්සාහයත් සමරිසි නීතිය ඉවත් කිරීමේ උත්සාහයත් හාස්‍යයෙන් යුතුව ඔවුහු තලූ මරති. මෛත‍්‍රී ජයග‍්‍රාහී උඩගුවකින් කීය.
‘මං ඒක වීසි කළා. දැන් කතා කරන එකේ තේරුමක් නෑ. ඒක වීසි කළාට පස්සේ රටේ මිනිස්සු මට රෙස්පෙක්ට් කරන්න ගත්තා.’
මා කියන දේ කිසිවෙකුට නෑසෙන්නාක් මෙන් ය. කන් දෙකේ කොන්ක‍්‍රීට් අගුලූ වැටුණාක් මෙන් ඔවුහු දෑසින් පමණක් මා දෙස බලා සිටියහ.
‘හිට්ලර්, රේසිසම් අනුමත කළා. මහින්දත් අනුමත කළා. ලෝකෙ කිසිම රටක ‘මං ඕක වීසි කළා’ කියන එක රෙස්පෙක්ට් එකක් නෙමෙයි. එහෙම කියපු ගමන් ශිෂ්ට මිනිසුන්ගේ තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතුව යනවා.’
මම කීවෙමි. දෙහිගෙඩි සහ මිරිස් කරල් එල්ලා ගත් නවීන පන්නයේ වාහන කිහිපයක් ‘සිංහලේ’ ස්ටිකරය ද අලවාගෙන රාත‍්‍රී සාද සඳහා හා හිල්ටන්, ගලදාරි, ටාජ් සමුද්‍රා, කිංග්ස්බරි ආදී හෝටල් වෙත එහෙ මෙහෙ යනු මම නිරීක්ෂණය කළෙමි.
‘ලංකාවේ අවුරුදු දාහතරට අඩු කුඩා ගැහැනු ළමයි තුන් දෙනෙක්වත් දවසකට දූෂණය වෙනවා. හැම විනාඩියකට ම ගැහැනියක් දූෂණය වෙනවා. එක දවසකට ගබ්සාවන් අටසියයක් වෙනවා. වැඩියෙන් ම සිය දිවි නසාගන්නේ අපේ රටේ. දික්කසාද නඩු පෝලිමේ. කුණු කූඩවලයි, වැසිකිළිවලයි දරුවෝ දාලා යනවා. අන්තර්ජාලයෙන් සෙක්ස් හොයලා රන් පදක්කම් ගන්නවා. සමලිංගික නෙමෙයි විෂම ලිංගික ක‍්‍රියාකාරකම්වලටවත් ලංකාවේ ඉඩක් නෑ. ඒඞ්ස් බෝවෙන්නෙ සුළඟින් කියලා විශ්වාස කරන රටක් අපි.’
මම කියාගෙන ගියෙමි. කිසිවෙකු මට ඇහුම්කන් දෙන්නේ නැත. එස්. එම්. මරික්කාර් මගේ කරට අත දමා ගත්තේ ය.
‘මොහිදින් බෙග් වගෙ මිනිහෙක් වෙන්න ඕන මට. මම මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවෝ හම්බවුණා. ඉරිදා දහම්පාසල් නීති ගත කරන්න ඕන.’
හෙතෙම ආඩම්බරයෙන් කීය. මගේ කරේ තිබුණු ඔහුගේ දකුණු අත අල්ලා බිමට හෙළුෑ මම ‘පන්සලේ සෙල්ලමට’ දැයි රහසින් ඇසීමි. මරික්කාර් කොක් හඬලා සිනාසී අයිසිස් නියෝජිතයාගේ කරට අනෙක් අත දමා ගත්තේ ය.
‘නුගේගොඩ රැුස්වීම. අපි ආණ්ඩුව අල්ලනවා.’ යැයි කියාගෙන ම මහින්ද රාජපක්ෂ නුගේගොඩ දෙසට දෑස් යැවී ය.
‘සිංහයා කියන්නෙ සතෙක්. ඌත් එක්ක සුප්පා දේවි සංසර්ගයේ යෙදෙනවා. ඒක මෘග සංවාසය. දණ්ඩ නීති සංග‍්‍රහයේ වැරැුද්දක්. සිංහ සීවලී, සිංහබාහු සහෝදර සහෝදරියෝ. සංවාසයේ යෙදෙනවා. ඒක ව්‍යභිචාරය. ඒකත් දණ්ඩ නීති සංග‍්‍රහයෙ වැරැද්දක්. අපි තාම ඒ ප‍්‍රබන්ධය විශ්වාස කරනවා. ඒක ප‍්‍රබන්ධයක් විදියට තිබුණට කමක් නෑ. යථාර්ථයක් විදියට ගන්න එකයි වැරැද්ද.’
මම කීවෙමි.
‘තමුසෙ ඡන්දෙ පැරදුණේ ඇයි කියලා දැන්වත් තේරෙනව ද?’
කියූ රවී කරුණානායක සියල්ලන් කැටුව ඩිනර් එක සඳහා ඔහුගේ නවතම එපාට්මන්ට් එකට යෑමට පිටත් විය. ආරක්ෂකයෝ සියල්ලන්ට ම ආරක්ෂාව සපයමින් මා පසෙකට තල්ලූ කළහ. රවී ‘උස’ නිසා ‘කොට’ මම ඉබේම ඔහුගේ සද්දන්ත ශරීරයට වැසී ගිය හෙයින් මා සිටිනු කිසිදු මීඩියා කැමරාවකට හසු නො වීය. මමත් සුද්දීත් හුදෙකලා වූමු. අප පසුකර යන සියල්ලන්ට ඇසෙන්නට සුද්දි කෑ ගසා මෙසේ කීවා ය.
‘අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට නං බෑ. මං ඇත්තමයි කියන්නේ. අබසිරියි මායි කසාද බැඳල අවුරුදු 15ක් වෙනවා. හැබැයි ඊයේ ? තමයි අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ. ඒ මල්ශාලාවේ එම්බාම් ලෑල්ල උඩදි. ඒ වෙලාවේ අබසිරි හැසිරිච්ච හැටි දැක්ක මට මිනියක් නිසා ඇස්වලට කඳුළු තිබුණේ නෑ අඬන්න. උගුරේ සද්දෙ පිටවුණේ නෑ ඉකිගහන්න.’
අප දෙදෙනාට පසුපසින් සිටියේ අබසිරි ය. ඔහුගේ කටහඬ දෝංකාර දෙමින් අවකාශයට නැඟිණි.
‘මිනිය තනි කරන්න ඕන වෙලාව. දැන් යන්න.’
එසේ කියූ අබසිරි ගංජා සුරුට්ටුවක් බොන්නට ත‍්‍රීවිලරයක් පසුපසට ගියේ ය. මම සුද්දී සමග අතීතයටත් අනාගතයටත් ගමන් කරමින් සිටිමි. නුගේගොඩ හරහා මා පැමිණෙන විට මහින්දගේ ජන රැලිය අවසන් වී බීමත් වූ හෙම්බත් වූ උද්දාම වූ මිනිස්සු ගව ගාල ලිස්සාක් මෙන් විසිරී සිටියහ. ඉතිං ට‍්‍රැෆික් ය. ට‍්‍රැෆික් මැද්දේ හිරවුණු මට ඔවුහු හූ කියති. සුද්දි මගේ වාහනේ සිටින නිසා හූව වඩාත් තීව‍්‍ර විය. සුද්දි කතා කරයි.
‘හූ සද්දෙ ඇහෙනකොට මට හිතෙන්නෙ මං ජීවත් වෙනව කියල. හූව මට ඒ තරමට විශේෂයි. මං කසාද බැඳලා ගියාට පස්සෙ අපි නෑවේ ගමේ ළිඳෙන්. දිය රෙද්ද ඇදල නානකොට ගමේ කොල්ලො කුරුට්ටෝ නාකි මනමාලයෝ ඔය වෙලාවට නාන්න එන්න පටන් ගත්තා. ඒකට අපේ මනුස්සයා ඉරිසියාවෙ පැලෙන්න හැදුව. ඊට පස්සෙ තමයි මං යෝජනා කළේ අපි බාත්රූම් එකක් හදමු කියලා. ඒක ගමට හදපු පළවෙනි බාත්රූම් එක. ගෙදර අය හැමෝම මට උපදෙස් දුන්නා ගොම්මං වෙලාවේ නාන්න එපා කියලා. ඊට පස්සේ දවසක් මහ දවල් නාද්දිත් කවුදෝ ඔළුව දැම්මා. හොල්මනක් නම් නෙමේ. අපේ මාමණ්ඩි. ඕක ගෙදර අයට කිව්වට පස්සෙ වැරැද්ද වුණේ මාමණ්ඩි කවුළුවෙන් බලපු එක නෙමේ. මං හෙළුවෙන් බාත් රූම් එකේ නාපු එක. මට ගමේ ඉන්න බැරි වුණා. අන්තිමට මං ඇඳුම් බෑග් එකත් අරගෙන ගෙයින් දොට්ට බැස්සා. ගමේ ගුරු පාර දිගේ මං යනකොට ගමේ කොල්ලො කුරුට්ටන්ට මතක් වුණේ මං බාත්රූම් එකේ හෙළුවෙන් නාපු එක. උන් මට හූ තියන්න පටන් ගත්තා. හරියට අද වගේ.’
එසේ කියූ සුද්දී වාහනයෙන් බැස ගියා ය. ඒ මගේ අම්මා ය. දුව ය. නංගී ය. නැන්දා ය. බිරිඳ ය. පෙම්වතිය ය. ජීවිතය ශෙයා කරගත් මිතුරිය ය. නමින් සුද්දී ය. මම සුද්දී ගැන සිතමින් සුද්දී මෙතරම් සුදු වූයේ කෙසේ දැයි සිතමින් සිටිමි. ෆ‍්‍රැන්ජිපානි (සයපෙති කුසුම චිත‍්‍රපටය කළ විසාකේස චන්ද්‍රසේකරම් ලියූ ගීතයක් ඔළුවට පොල්ලෙන් ගැසුවාක් මෙන් මට සිහිවෙයි.
නුඹෙ සීයා ටිකක් සුදුයි
නුඹෙ මුත්තා තවත් සුදුයි
කිරි අත්තා ගොඩක් සුදුයි
සුදු සීයා සුදුම සුදුයි
ඔය රාජ රාජ කාලෙ ඉඳලා
මෙහෙ ආ පිට රැටියො අපේ
ගෑනු දැකලා වහ වැටුණේ නැද්ද කියාපන්
ඔය චීන ඉන්දියන් යෝනක
කාපිරි සහ හම්බ පැටව්
දාල යන්න බැරි හින්දා
බින්න බහින් ඇති නොවැ
අර හීනි වළලූ කර වැද්දගෙ
තඹ පැහැ කෙස් ගස් සුද්දගෙ
බොකුටු කොණ්ඩෙ කාපිරියගෙ
කැරපොතු ඇස් පරංගියගෙ
චීනාගෙ මොක්කන් නාසය
හම්බයන්ගෙ හමේ පැහැය
සේරම කලවන් වී හැදි
සාම්බාරෙ අපූරූය
සිංහබාහුගේ කේශර
කොහෙද කියාපන් මල්ලී
කොටියගේ වලිගේ
දෙකකුල් අස්සෙ බලාපන්
පළමු අර්ධයේ ෆැන්ටසිය අවසන් ය. දැන් යථාර්ථයක් ලෙස ප‍්‍රසන්න ජයකොඩිගේ 28 චිත‍්‍රපටය කියවමි.
ලංකාවේ මෘත දේහය දකින්න එන්න...
හැම ගමක් ම කහවත්තේ කොටකෙතනකි. දෛනික පුවත්පත්වල ක‍්‍රීඩා පිටුවට අමතර ව ප‍්‍රකාශ වන රති පිටුව, ජ්‍යෝතීෂ පිටුව, අපරාධ පිටුව සහ ‘දෙයියෝ සාක්කි’ වර්ගයේ මාධ්‍ය අලංකරණයේ කුණු රස මිශ‍්‍ර සන්නිවේදනය රාත‍්‍රී ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයෙන් වඩාත් සජීවීකරණය කෙරේ. එය භාවාතිශය දිගහැරුමකි. දිගු කාලයක් තිස්සේ කළ එකී මාධ්‍ය වාර්තාකරණයෙන් ලංකාවේ මනුස්ස ජීවිත එක් අඟලක් වත් ඉදිරියට ගොස් නැත. ‘කොළඹ එහෙම නෑ’ යනුවෙන් යමෙකු තර්ක කරන්නේ නම් ජීවිත මනින මිනුම් දණ්ඩ ගොඩනැඟිලි, තට්ටු නිවාස, හයි වේ හෝ නවීන යානවාහන යනාදී භෞතික සාධක විය යුතු ය. එසේ නො වේ නම් කොළඹ බහුතරය ද පුරවැසි නාගරිකයන් නො ව යටත්වාසී හද්ද ගැමියන් බව පැහැදිලි ය. මනසින් තවමත් ‘කහවත්තේ’ නම් ‘කුරුඳුවත්තේ’ සිටියත් ‘ජීවිතය’ යනුවෙන් යමක් ඉතිරි වන්නේ නැත. ලංකාව සංචාරය කරන්නට මිස ජීවත් වන්නට සුදුසු රටක් නො වේ; වෙළෙඳාමට මිස ජීවිතයට සුදුසු තැනක් නො වේ. විදේශිකයන් යාම්ඊම්, විඳීම් සහ විවිධ ගනුදෙනු සඳහා සංචාරය කරනවා මිස දැන් ලංකාවේ නවතින්නේ නැත. හරියට ලාංකිකයාට ‘මීමුරේ’ වාගේ ය; ගිහිං එන්නට හොඳ ය. නවතින්නට, ජීවත් වන්නට හොඳ නැත. බටහිරට බැණ බැණ උන්ගේ රටවල ලගින්නට අගුපිල් සොයන්නේ අප ය. ගම පිළිබඳ ව අවකාශගත නිශ්චල රූප දකින්නන්ට හෝ අයිසින් කළ සොබාදහමේ මීදුම් තිර පටල යටින් හැගීම්බර නොස්ටැල්ජියානු ඇස් පිනවන්නෙකුට කිසිදා ‘ගම’ සම්මුඛ වන්නේ නැත. නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර වර්ගයේ ‘සිංහලේ’ කිසිවෙකුට කිසිදා සැබෑ ‘ගම’ හමු නො වන්නේ ඒ නිසා ය. 28 චිත‍්‍රපටය ගම පිළිබ`ද ව චංචල රූප ජාලාවකි; විෂුවල් නෙට්වර්ක් එකකි; වියමනකි. එහි පැටලී, ඇමිණී, හැමිණීමෙන් තොර ව උක්ත අභියෝගය සම්මුඛ කරගත නො හැකි ය. ප‍්‍රසන්න ජයකොඩි 28 දී ‘ගම’ සමග පැටලෙයි; පැටලී ඇවිළෙයි. එකී ඇවිළීම 28 නම් චිත‍්‍රපටයයි. මේ ලියන්නේ එකී ඇවිළීමෙන් ලත් වෙව්ලා ගිය පුරවැසි සටහනයි.
චිත‍්‍රපටය ආරම්භ වන්නේ ‘අබසිරි’ පතල පතුලේ අඩ අඳුරේ උඩුකය නිරුවත් ව ඉල්ලංකූරකින් පස් කුට්ටි කඩමින් ‘මැණික්’ සොයද්දී; ‘මනී’ පතල මත්තේ සිට පොතක ඇති ස්ත‍්‍රීන්ගේ හැටහතර මායම්; පිළිබ`ද ව කෙරෙන සංවාදයකිනි. ස්ත‍්‍රියගේ ගුප්ත ශරීරය සහ හැගීම් පිළිබඳ කුතුහලය අබසිරි මනී සමඟ ෂෙයාර් කරගනී. එය වල්කම, ශෘංගාරය, කුතුහලය, හාස්‍යය අවුස්සන සිදුවීමකි. වැඩවසම් භාෂා සංස්කෘතිය විසින් සමාජගත කරන ලද ‘හැටහතර මායම්’, ‘ගුප්ත විනෝදයේ රහස් ශෘංගාරය’ ලෙස ඔවුහු උසුරුවති. එය තව මත් බොහෝ ලාංකීය පිරිමින් ස්ත‍්‍රිය කියවන වැඩවසම් සමාජ විද්‍යාවට සමාන්තරය.
තිරය පුරා හඬනැගෙන හැටහතර මායම් අතළොස්සක් පේ‍්‍රක්ෂකාගාරය පුරා දෝංකාර දෙන්නේ ය. අසන්න! අඳ ගොළු බිහිරි කාන්තාවකටවත් මේ ඉරියව් නො පා මොහොතක් හෝ ජීවත් විය හැකි ද ?
‘සුද්දී’ මියගිය බවට ආරංචිය ලැබෙන්නේ එවිට ය. පහළොස් වසරක් තිස්සේ අබසිරිට ‘මැණික්’ හමු වී නැත. ‘සුද්දී’ ද මඟහැරී ගොසිනි. දැන් ඈ මියගොස් ය. මෘත දේහය ගමට ගෙන ආ යුතු ය. පිරිමි මායම් ස්ත‍්‍රීන්ගේ හැටහතර මායම් ඉක්මවා ගොස් ඇද්දැයි මම සිතන්නට වීමි. මම සිතින් පිරිමි මායම් පෙළගස්වමි; එකිනෙක ලකුණු කරමි.
පිරිමි මායම් සිහි කරද්දී එය ගණනින් සාම්ප‍්‍රදායික ගැහැනු මායම් හැටහතරට වඩා අතිශයින් වැඩි බව පසක් කොට ගතිමි. ඉතිං; අබසිරි සරමට යටින් කලිසමක් ඇඳ කොළඹ එන්නේ සුද්දීගේ මළ මිනිය ගමට රැගෙන යන්නට ය.
‘සුද්දි නැන්දා කැමැති නෑ බං මං සරම අඳිනවට.’
සුද්දීට සිහින තිබුණු බව පැහැදිලි ය. තමා පමණක් නො ව තම සැමියා ද සංස්කෘතික පිරිමියෙකු කිරීමේ සිහිනයක් ඇයට තිබුණු බව ප‍්‍රත්‍යක්ෂ ය.
‘මං කසාද බැ`දලා ගියාට පස්සේ අපි නෑවේ ගමේ ළිඳෙන්. දිය රෙද්ද ඇදල නානකොට ගමේ කොල්ලො කුරුට්ටෝ, නාකි මනමාලයෝ ඔය වෙලාවට නාන්න එන්න පටන් ගත්තා. ඒකට අපේ මනුස්සයා ඉරිසියාවෙ පැලෙන්න හැදුව. ඊට පස්සෙ තමයි මං යෝජනා කළේ අපි බාත්රූම් එකක් හදමු කියල. ඒක ගමට හදපු පළමුවෙනි බාත්රූම් එක.’
සුද්දීට තිබුණේ යථාර්ථයේ දී පසක් කරගත් සිහිනයකි. අනාගත ජීවිතය සම්බන්ධ ව පරිකල්පනීය බලාපොරොත්තු සහිත සිහිනයකි. එය එක්තරා ආකාරයක සිතියමකි; ප්ලෑන් එකකි. ‘මේක සිහිනයක් නෙමෙයි සැලැස්මක්’. ඈ සිතන්නට ඇත. ඒත් සුද්දීගේ මෘත දේහය තැන්පත් කොට ඇති මෝචරියේ ම්ලේච්ඡු ලෙස මරා දැමුණු සිහින මිය ගිය ස්ත‍්‍රීහු රොත්තකි. සුද්දී මළ මිනී ගණන් කරන විට මම පිරිමි මායම්හි ගොදුරු ගණන් කළෙමි. ඉනික්බිති ව සුද්දී කතා කළා ය.
‘මේ නංගිට වයස අවුරුදු 25 යි. දෙනෝදාහක් යන පාරේ අයිනේ ඇළක මෙයා මරලා දාලා තිබුණා.’
‘මෙයා කාගේ කවුද කියන්න කවුරුත් දන්නෑ.’
‘මේ ළමයට අවුරුදු 20 යි. මෙයාව දූෂණය කරලා. අම්මත් එක්ක ම ගේ ඇතුළට දාලා ගිනි තියලා.’
‘මේ ඉන්නේ එයාගේ අම්මා, මූණ පෙන්නන්න විදියක් නැහැ එයාගේ.’
කොළඹ මහ රෝහලේ මෝචරියේ පමණක් නො ව රටේ බොහෝ මෝචරි ද සිරියහන් යැයි සිතූ කටුයහන් ද මුහුදු වෙරළ ද ලතා මඬුලු සහ බොහෝ උද්‍යානයන්හි ලතා ගෙපැලවල් ද පිරී ඇත්තේ ස්ත‍්‍රී මෘත දේහවලිනි. ආස්වාස ප‍්‍රශ්වාස පමණක් කරන ස්ත‍්‍රී ශරීර වලිනි. ‘ඇයට ඇය වීමට ඉඩක් නැති කල’ ස්ත‍්‍රිය මෘතදේහයක් බවට පත් වේ. මෘතදේහ කතා කරන්නට පටන් ගන්නේ එතැන් පටන් ය. චිත‍්‍රපටය පුරා ම සිදුවීම් එකිනෙක වේගයෙන් සංස්කරණය වේ. ඒවායේ පිරිමි මායම් තැන තැන කොක් හඬලනු මට ඇසේ.
‘අපේ යාළුවා ගාව තියෙනවා මරු බඩු ටිකක්.’’
‘හලෝ මරදානට එන්න පුළුවන් ද ආ! ගාන කීය ද? හරි. මං ෆිල්ම් හෝල් එක ඉස්සරහ ඉන්නව මරදානේ. පොලූ එහෙම තියන්න එපා හොඳේ. ඇවිල්ල මට කෝල් එකක් දෙන්න.’
රෑ බෝ වෙත් ම ඔවුහු ගොදුරු සොයති.
ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ වත් ඇත්ත ලිංගික ජීවිතය සහ සංස්කෘතිය පිළිබඳ ව අවධානය යොමු නො කළේ මන්දැයි සිතත් ම, සුද්දී රැගෙන යන අයිස්ක‍්‍රීම් වෑන් රථයේ මිනී පෙට්ටියේ රතු කොඩි වැලක් පැටලිණ. වාහනය පදවන්නේ ලෙනින් ය. චිත‍්‍රපටයේ ලෙනින්ගේ හැසිරීමෙන් නැඟෙන සමාජ උත්ප‍්‍රාසයේ නිමක් නැත. එහෙත් ඒ උත්කර්ෂය යට රිදුම් දෙන වේදනාවකි.
‘ලෙනින්! ෂෝක් නම නේ.’
‘අපේ තාත්තා වාමාංශිකය. මං ඉපදිලා තියෙන්නෙ ලෙනින්ගේ උපන් දිනේට දවස් හතරකට පස්සේ.’
‘අපි මෙහෙ හිටියට දකුණේ’
‘මං හිතුවේ වමේ කියල’
‘දකුණේ’
බටහිර හිටියත් ‘ලෙනින්’ දකුණේ ය. අප සිතා සිටින්නේ ඔහු තව මත් ‘වමේ’ කියා ය. ලෝකයේ මිනිසුන් භූගෝලීය සීමා ඉක්මවා මිශ‍්‍රණය වී ඇති බව ලංකාවේ ‘වමට’ තව ම තේරෙන්නේ නැත. යටත් විජිතවාදයෙන් නිදහස් වුව ද අපි තව මත් මානසික වහල්ලූ ය. අපට යටත් විජිතවාදය විසින් උරුම කරන ලද ‘වික්ටෝරියානු සදාචාරයෙන්’ බටහිර ගොඩ ඇවිත් බොහෝ කල් ය. අපි තව මත් එහි ගිලී සිටින්නෙමු. සදාචාරය ඉදිරියේ; එනම් දෙවියන් වහන්සේ හෝ ආගම ඉදිරියේ; අප ‘ශිෂ්ට’ කරන බව යටත් විජිතවාදියා කීවේ ම්ලේච්ඡුත්වය යුක්තිසහගත කිරීමට ය. ඔවුනට ‘දෙවියන් වහන්සේ’ සන්සුන් කිරීමට හේතුවක් වුවමනා විය. ගෞරවණීය යමක් පිළිබඳ අදහස ඉහළට එන්නේ එසේ ය. පිරිමියා ස්ත‍්‍රිය ගොදුරු කරගන්නාක් මෙන් ම ඇත්ත හේතුව වසා දැමීම රැුවටීමකි. ආර්ථික යුද්ධය හා ‘දැනුම’ පිළිබඳ නො දැනුවත්කම සියල්ලේ ම මූල හේතුව ය. දැන් ‘සුද්දී’ ඇතුළු ලංකාවේ සියලූ කාන්තාවෝ ‘ෆෙයාර් ඇන්ඞ් ලව්ලි’ ගා සුදු වන්නෝ ය. ‘ලක්ස්’ ගා නිළි රැජිනක් වන්නෝ ය. වෙළෙඳපළ සූක්ෂ්ම ය. ලංකාවේ වර්තමාන වමේ නායකයෝ පවා වික්ටෝරියානු මතයටත් වඩා යල් පැනගිය වැඩවසම් මතයක ගිලී සිටිති. ඔවුහු තව ම ‘පන්තියට පක්ෂයක්’ හොයති. ‘වම්මු’ ලාංකේය ජීවිතය හොයන්නේ කවදා ද? ඔවුහු තව මත් ‘ජීවිතය’ වෙනුවෙන්, මානව අයිතිය වෙනුවෙන්, සමලිංගික නීති සංශෝධනය වෙනුවෙන් සටන් නො කරති. ලංකාවේ වාමාංශික යැයි කියා ගන්නා පක්ෂ සමරිසිභාවය අසාමාන්‍ය රෝගී තත්ත්වයක් ලෙස ඔවුනගේ වෛද්‍යවරුන් ලවා ප‍්‍රකාශ කරවයි. එය ඔවුනට ‘ඉෂූ’ එකක් බවට එදත් අදත් පත් වී නැත. ලාංකේය සමාජයේ වකුගඩු, පිළිකා, ආදි කායික රෝග සැදුණු විට ‘මිනිසා’ කෙරෙහි දක්වන උනන්දුව මනුස්ස ජීවිතේ මානසික තෙරපියක් සඳහා කිසිදා දක්වන්නේ නැත්තේ අධ්‍යාපනික ව අප ජීවිතය සම්බන්ධයෙන් නො දැනුවත් නිසා ය. මිථ්‍යා විශ්වාස, වැඩවසම් ඇදහීම් හා ගෝත‍්‍රිකත්වයට එරෙහි ව ලංකාවේ වම ‘සදාචාර’ හේතු ඉදිරිපත් කරයි. එයින් බොහෝමයක් ව්‍යාජ ය. ඍජු නැත. සදාචාරය සෙවණැල්ලක් මෙන් ය. සෙවණැල්ල ජීවත් කොට මිනිසා මරා දැමීම ඛේදවාචකයකි. ජීවිතය යනු එය නො වන්නේ ය. 28 චිත‍්‍රපටයේ සුද්දී වමේ ඇත්තන් කරන ස්ට‍්‍රයික් ‘ඇජෙන්ඩා’ බව ප‍්‍රකාශ කිරීම ලංකාවේ වමේ දේශපාලනය උත්ප‍්‍රාසයට නැංවීමකි.
‘හොඳ වෙලාවට ස්ට‍්‍රයික් එකක් තිබුණේ. නැත්තං මේ මිනීමැරුම් පත්තරවල ගියාට අපිට ඇස් දෙකෙන් දැක ගන්න ලැබෙන්නේ නෑනේ.’
‘රතු කොඩි’ සුද්දීගේ මළ මිනිය සහිත අයිස් ක‍්‍රීම් වෑන් රථයේ පැටලෙද්දී චිත‍්‍රපටයේ පූර්ව ජවනිකා සියල්ල පේ‍්‍රක්ෂක යටි සිතේ කැරලි ගසමින් මතු වීම නො වැළැක්විය හැකි ය. කියුබාවේත්, චිලී රාජ්‍යයේත්, රුසියාවේත්, චීනයේත් මනුෂ්‍ය ජීවිතවල අර්බුදය හොයන්නට පෙර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ ඇළහැර මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ව සොයා නො බැලූ බව සුද්දීගේ පරම්පරාවේ මෘත දේහ කෑ ගසා කියන්නේ ය. ලාංකේය වමට අබසිරි සමච්චල් කරන්නේ ද එහෙයිනි.
‘අම්මට හුඩු මාමේ මේං සුද්දි නැන්දා රතු කොඩි දාල’
‘අනේ පුතේ! ඔය ටික ඔක්කොම ඇදල දාපන් පුතේ. සුද්දිට අගෞරව කරන්න බෑ.’
28 චිත‍්‍රපටයේ ලෙනින් යනු පැය කිහිපයක ‘තාවකාලික රියදුරු චරිතයකි’. ඒත් ඔහුට ‘සුද්දී’ සදාකාලික මතකයකි. වමට හිනා වෙන 28 මිනිස්සු, ජීවිතය වෙනුවෙන් හඬති. ලංකාවේ වම පැරණි ‘පන්තිය’ නැවත කියවද්දී ලංකාවේ ‘මිනිස්සු’ කීයවීමට තරම් ඔවුන් මොඩර්න් නො වීම ඛේදවාචකයකි. අලූත් ලෝක සිනමාව හෝ 21 වෙනි සියවසේ නූතන ‘ප‍්‍රජාව’ බොහෝ වමේ පක්ෂවලට තව මත් කියවීමට අසීරු පාඩමකි. ලෙනින්, කාල් මාක්ස්, එංගල්ස් දක්වා කට පාඩම් කළත්, තව මත් ඔවුනට ‘ලාංකේය මනුෂ්‍ය ජීවිතය’ විෂයක් ලෙස ස්පර්ශ වී නැත. ‘ගම’ පිළිබ`ද අලූත් ජෙනරේෂන් එක විඳින සහ කියවන ක‍්‍රමය නො දන්නා පැරණි දැනුමට සුද්දීගේ මරණය කතා කොට ඉල්ලා කෑ ගසන මනුස්ස අරගලය වැටහෙන්නේ නැත. මූලික මිනිස් අයිතීන් පිළිබඳ වමේ කතිකාවත අදත් දුර්වල එහෙයිනි.
ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් සංස්කෘතික කි‍්‍රයාකාරකමක්, එනම් චිත‍්‍රපටයක් නරඹා එන අතරමඟ සමූහ දූෂණයකට ලක්විණ. ඉන්දියානු මාධ්‍ය ඇයගේ පෞද්ගලිකත්වය හෙළි කළේ නැත. ඈ ‘නිර්භයා’ ලෙස නාමකරණය කෙරිණි. ‘නිර්භයා’ වෙනුවෙන් මානව අයිතිය ඉල්ලීමට ‘ඉන්දියාස් ඩෝටර්’ වාර්තා චිත‍්‍රපටය නිර්මාණය විය. මැදිහත් වූයේ ඉන්දියානු මාධ්‍ය සංවිධාන ය. ලංකාවේ මාධ්‍ය පකීර්ලා උතුරේ විද්‍යාගේ ද දකුණේ සේයාගේ ද මාතර දුම්රියට ගෙල තැබූ තරුණයාගේ ද පෞද්ගලික ජීවිත ලූණු ඇඹුල් සහිත ව වාර්තා කළෝ ය. අනුර දිසානායක කියන පරිදි අපට අනුරගේ පක්ෂය ගැන ද ලංකාවේ මාධ්‍ය පකීර්ලා ගැන ද කිව යුතුව ඇත්තේ එක වචනයකි.
ලැජ්ජයි!
ඉන්දියාවේ සියලූ නිර්භයාලා වෙනුවෙන් ‘පින්ක්’ ව්‍යාපාරය බිහි විය. බොලිවුඩය ‘පින්ක්’ නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළේ ය. ඊට සමාන්තර ව හියුමන් අදහසකින් ‘ඩියර් සින්දගී’ නිර්මාණය විය. ලංකාවේ මාධ්‍ය වත් කලාව වත් එහෙම නැත. අපට 28 චිත‍්‍රපටය වටින්නේ ඒ නිසා ය.
‘ගෙදර අය හැමෝම මට උපදෙස් දුන්නා ගොංමන් වෙලාවේ නාන්න එපා කියලා. ඊට පස්සේ දවසක් මහ දහවල් නාද්දිත් කවුදෝ ඔළුව දැම්ම. හොල්මනක් නම් නෙමේ, අපේ මාමණ්ඩි. ඕක ගෙදර අයට කිව්වට පස්සේ වැරැුද්ද වුණේ මාමණ්ඩි කවුළුවෙන් බලපු එක නෙමේ. මං හෙලූවෙන් බාත් රූම් එකේ නාපු එක. මට ගමේ ඉන්න බැරි වුණා. අන්තිමට මං ඇඳුම් බෑග් එකත් අරගෙන ගෙයින් දොට්ට බැස්සා. ගමේ ගුරු පාර දිගේ මං යනකොට ගමේ කොල්ලො කුරුට්ටන්ට මතක් වුණේ මං බාත්රූම් එකේ හෙලූවෙන් නාපු එක.’
‘වැරැද්ද වුණේ මාමණ්ඩි කවුළුවෙන් බලපු එක නෙමෙයි. මං හෙලූවෙන් බාත් රූම් එකේ නාපු එක’ යන ප‍්‍රකාශය ලංකාවේ පමණක් නො ව බොහෝ දකුණු ආසියාතික රටවල ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වර්ගයේ පොල්කුඩු උත්තර සිහිගන්වන්නකි. උතුර සම්බන්ධ ව ලාංකීය බහුතර කියවීමද ‘වැරැද්ද වුණේ උතුරේ ජනතාව මරපු එක නෙමෙයි. උන් අරගල කරපු එක.’ යන්නයි. ස්ත‍්‍රිය සම්බන්ධ ව මෙම ලාංකීය ගෝත‍්‍රවාදී කියවීම පුද්ගල ප‍්‍රශ්න කිරීමක් නො ව ලාංකික ජීවිත ප‍්‍රශ්න කිරීමකි. ‘පින්ක්’ චිත‍්‍රපටයේ එකී ආසියාතික අදහස් ප‍්‍රකාශ වන්නේ ද එසේ ම ය. එහි වරද ලෙස අර්ථ ගැන්වෙන්නේ රාජ්වීර් සිං නමැති ලූම්පන් රස්තියාදුකාර පිරිමියා මිනල් අරෝරා දූෂණය කිරීමට තැත් කිරීම නො ව ඇය කොටට සාය ඇඳීම, මත්පැන් පානය කිරීම සහ පිරිමි ළමුන් සමග රිසෝට් එකකට යෑම ය. මා තර්ක කරන්නේ ලංකාවේ වාමාංශික යැයි කියා ගන්නා බොහෝ තරුණ නායකයින් මේ සියල්ලට ම තව මත් බය ය යනුවෙනි. ඔවුන් බොහෝමයක් මත්පැන් සිගරට් බොනවා යැයි කීමට, වටිනා ඇඳුම් ඇඳීමට, බාර් එකකින් අරක්කු බෝතලයක් ගෙනියෑමට, කාන්තාවන් සමග ජීවිතය ශෙයා කරගන්නා බව කීමට තබා හොඳ ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නට මෙන් ම අනාදිමත් කාලයක සිට සමරිසි බව සුළුතරයක් තුළ තිබුණු බව පිළිගැනීමට ද බය ය. විෂමලිංගික බහුතරයේ ඇසින් සහ හැගීමෙන් සමලිංගික සුළුතරය දෙස බලන්නේ නම් සුළුතර ජාතීන් හා ආගම් දෙස ඔවුන් දෘෂ්ටිවාදී ශික්ෂණයකින් බලන්නේ යැයි සිතිය නො හැකි ය. පළමු ව ලංකාවේ වම - දකුණ දෙක ම තම හිස් මත ඇති යදම් ඔළුවෙන් ගැලවිය යුතු ය. තමන් තුළ ගෝත‍්‍රික ම්ලේච්ඡුත්වය තිබෙන කිසිවෙකුට එකී ජාතිය ශිෂ්ට කිරීමේ න්‍යාය පත‍්‍රයක් තිබිය නො හැකි ය. පෝට්සිටි ය ගැන සංඛ්‍යා ලේඛන කතා කළාට පරිසරය පිළිබඳ සාකච්ඡුාවක් දකුණට මෙන් ම වමට ද නැත. විද්‍යාව ගැන කතා කළාට මිථ්‍යා දෘෂ්ටික හැඟීම් මිනිසා විනාශ කරන බව කීමට විධිමත් සංවාද නැත. ජාතීන්ගේ හා ආගමික අයිතිය කතා කළාට ජාතිවාදී සහ ආගම්වාදී වූ රේසිසම් පිළිබඳ කතිකාවත් නැත. ස්ත‍්‍රී පුරුෂ භාවය නිසා එක් පාර්ශ්වයකට අඩුවෙන් සලකන සෙක්සිසම් විෂයක් බව ඔවුන් කියා දෙන්නේ නැත. කියා දෙන්නට ඔවුන් දන්නේ ද නැත. සයිටම් ගැන කතා කළාට ලංකාවේ එඩියුකේෂන් ගැප් ඔවුනට ඉෂූ එකක් නො වන්නේ ය. ඒ නිසා ම 2020 ද ජෙනරේෂන් ගැප් පිරවීමට හෝ ජාතිය ශිෂ්ට කිරීමට ලංකාවේ වමට නො හැකි ය. ඔවුනට නො හැකි ය. ඔවුන් සුද්දීගේ මෘත දේහයට ඇහුම්කන් දිය යුත්තේ එහෙයිනි.
‘මං මැරිච්චි හේතුවට වැඩිය මට ලැජ්ජා හිතුණේ සාරියේ පලූවක් නැති එකට. හැමෝටම දැන ගන්න ඕනේ වෙලා ඇත්තේ මං මැරුණේ කොහොම ද කියල වෙන්න ඇති. ඒකට පළවෙනි වැරදිකාරය මං හිතන්නේ අපේ ඉස්කෝලේ නමේ පන්තියේ විද්‍යා ටීචර් කියලා. නමේ පන්තියට යන්න කලින් මං ලොකු ළමයෙක් වුණා. අලූත් අච්චු පොත් හම්බවෙච්චි ගමන් ම අපි පෙරළුවේ විද්‍යාව පොතේ අගට ම තිබුණු ප‍්‍රජනන පාඩම. මට දැන් අවුරුදු 38ක්. තාමත් ඒ පාඩම මට උගන්නල නෑ.’
විද්‍යා ගුරුවරියට නමේ පන්තියේ ශිෂ්‍යාවගේ අදහස හෝ යෝජනාව වලංගු නැත. පාලකයාට පාලිතයාගේ අදහස හෝ යෝජනා වලංගු නැත. හාමුදුරුවන්ට ගැමියාගේ අදහස් හෝ යෝජනා වලංගු නැත. අපට උගන්වා ඇත්තේ ‘අසේවනාච බාලානං’ කියා ය. එහෙත් ‘බාලයා’ අප වෙන් කරන්නේ සංස්කෘතික අශිෂ්ටකමින් නො ව උප්පැන්නේ වයසින් ය. ලංකාවේ වැඩිහිටියන්ට පොඩිහිටියන්ගේ ඔපීනියන් වැදගත් නැත. ජෙනරේෂන් ගැප් හැදෙන්නේ එහෙම ය. ‘ඩියර් සින්දගී’ චිත‍්‍රපටයේ කයිරාගේ ළමා කාලයේ දී ඇගේ අදහස, ඇය ඉල්ලන ආදරය, කිසිවෙකු තමා ගණන් නො ගැනීම නිසා ඈ තරුණියක වූ පසු වෛද්‍ය උපදේශන සහිත ‘මෙන්ටල් තෙරපියක්’ ලබා ගැනීමෙන් අර්ථ ගන්වන්නේ, ප‍්‍රකාශනය කරන්නේ එකී ඛේදවාචකය ය.
28 චිත‍්‍රපටය ජීවිතය හොඳින් කිරා මැන බලා මටසිලිටි කරනු ලැබූ චිත‍්‍රපටයකි. සිනමා භාෂාවෙන් බැ?රුම් විෂයක් සාකච්ඡ කොට පේ‍්‍රක්ෂකයා හැඟීම්බර කරවීමෙන් බුද්ධිය ක‍්‍රියාකරවන චිත‍්‍රපටයකි. අතීත කාලයේ විවෘත ව ලිංගිකත්වයේ නියැළුණු එහෙත් වික්ටෝරියානු පාලනය විසින් විකෘති කරනු ලැබූ ලාංකේය සංස්කෘතියේ වර්තමාන ලිංගික අසහනය සහ ඒ ආශ‍්‍රිත අසංස්කෘතික හැසිරීම් පෙන්වා දෙන චිත‍්‍රපටයකි. ගම්බැදි පරිසරයක, රමණීය පරිසරයක, කාව්‍යමය කතාවක් ලෙස දිග හැරුණත් එකී කාව්‍යමය භාවනාව මනුෂ්‍ය චින්තනය අවුස්සන සුලූ ය. ප‍්‍රසන්න ජයකොඩි ‘මෙටෆිසිකල්’ කන්සෙප්ට් එකක චිත‍්‍රපටය රඳවා ගනී. එම නිසා ම ඔහු ලෝක දෙකක සම්මුඛ වීමක් ගවේෂණය කරයි. එක් ලෝකයක් හැඟීමක් උපදින සම්බන්ධතා හා පවිත‍්‍රත්වය පිළිබඳ සංකේතයන් ගෙනෙන අතර, අනෙක භෞතිකමය වටිනාකම් හා අවිනිශ්චිත සමාජ චර්යා නිරූපණය කරයි. මියගිය සුද්දී විසින් ම ගම්වැසියන්ට ඔවුන්ගේ කුහක බව හා අසංස්කෘතික බව අද්දැකීමෙන් ම විඳීමට සලස්වයි. එය ඇබ්ස්ට‍්‍රෑක්ට් අර්ථයෙන් යථාර්ථය ගවේෂණය කිරීමකි.
ලෝක යුද්ධ පටන් ගැනීමට පූර්වයෙන් ‘ආරක්ෂාව’ යන්න අර්ථකථනය වී තිබුණේ ගොඩබිම හෙවත් භූමිය යන න්‍යෂ්ටිය කේන්ද්‍ර කොටගෙන ය. එකී ‘ට‍්‍රැඩිෂනල් සිකියුරිටි’ යන්න ගෝත‍්‍රිකත්වයට වැඩි බරක් සහිත යුදමය අර්ථය ධ්වනිත කරන අර්ථකථනයකි. වර්තමානයේ ‘නන් ට‍්‍රැඩිෂනල් සිකියුරිටි’ හෙවත් ‘මානව ආරක්ෂාව’, ආරක්ෂාව යන ක‍්‍රියාවලියේ පදනම ලෙස සැලකේ. ‘හියුමන් සිකියුරිටි’ යන්න, ලංකාවේ අපට කිසිදා විෂයක් ලෙස උගන්වා නැත. අපේ රටේ පාලකකාරකාදින් හෝ අනාගත පාලනය අත්පත් කරගැනීමට උත්සාහ කරන්නෝ හියුමන් සිකියුරිටිය වෙනුවෙන් අරගල කරන්නෝ
නො වෙති. එය හදාරන්නෝ ද නො වෙති. එකී ගෝත‍්‍රික සංස්කෘතියේ ස්ත‍්‍රී පුරුෂ අභිරමණීය අවස්ථාව චිත‍්‍රපටයේ දී මඟහැරෙන්නේ එසේ ය. සුද්දීගේ හනිමුන් එක සිනමා විෂයේ දී ‘කුප්පි ලාම්පුව නිවා හැමිනීමේ සිනමාවට’ බෝම්බ ගැසීමකි. එයින් පේ‍්‍රක්ෂකයාගේ සිතීමේ දොරටු වඩා පුළුල් වූවා යැයි හඟිමි.
‘අපි දෙන්නගේ හනිමුන් එක ගත්තේ මහ ගෙදර ඉස්සරහ කාමරේ ඇඳේ. අපි දෙන්නා හරියට වීදි නාට්‍යයක නළුවයි නිළියයි වගේ. පොලූ ඇද හරිම සද්දෙයි. ජනේලයෙන් එහා පැත්තේ ගමේ ම උන් බොනව. කාමරේ දොරෙන් එහා පැත්තේ නැන්දම්මල මදුරුවෝ තළනව. ලාම්පුව නිවල මෙට්ටෙ බිමට අරගෙන අපි දෙන්නා රගපාන්න පටන් ගන්නකොට එළිවෙලා.’
ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධයකට සුදුසු ගෘහීය පරිසරයක් අපට නැතැයි යන උපකල්පනය ම වික්ටෝරියානු එකකි. ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතාවක නිදහස් හැසිරීම අතීත ලාංකිකයාට නුහුරු නැත. පේ‍්‍රමණීය ආහ්ලාදයක නිදහස සහ ලිංගික ආස්වාදය පිළිබඳ ෙලෙංගික අවස්ථා නිරූපණයන් චිරන්තන සාහිත්‍යයේ බහුල ය. ඒත් වික්ටෝරියානු සදාචාරය කරපින්නා ගත් සැණින් සෙක්ස් සඳහා කුප්පි ලාම්පුව නිවා අඳුරේ ගුලි වීමේ ගුප්ත ක‍්‍රියාවලියකට පේ‍්‍රමය සහ ලිංගිකත්වය පල්ලම් බැස්සේ ය. සුද්දීත් අබසිරිත් රාත‍්‍රීයේ සීමා වන්නේත්, ගුලි ගැහෙන්නේත්, පල්ලම් බසින්නේත් එකී ‘වීදි නාට්‍ය’ අවස්ථාවට ය. ආවෘත ලෝකයක එතැන් පටන් ජීවිතය කොටු විය. විවෘත ලෝකයේ දිය ස්නානය ගැමියාගේ සමච්චල් සෝපහාසයට හේතු වීම නිසා සුද්දී ගමට ‘බාත් රූම්’ එකක් යෝජනා කොට පළමු ව තම ගෘහය ශිෂ්ට කිරීමට පියවර ගත්තා ය.
කුප්පි ලාම්පුව නිවා අඳුරේ රමණය කළ අබසිරිගේ තාත්තා කිසිදාක අබසිරිගේ මවගේ හෙළුවැල්ල හිරු සඳු ප‍්‍රභාවක දකින්නට නැත. එකී මිනිස් ඛේදවාචකය පුපුරා යන්නේ සුද්දී හෙවත් ලේලිය ඉර එළියේ බිත්ති හතරක් මැද නිරුවත් ව දිය ස්නානය කරනු බාත් රූම් එකේ පෑන් ලයිට් එකෙන් ඔහු එබී බලන විට ය. අබසිරිගේ තාත්තාත් ඉරත් එක් වර ම සුද්දී දකින්නේ එකී පෑන් ලයිට් සිදුරෙනි. තවදුරටත් ගමේ ශිෂ්ට සම්පන්න වීමට පවුරු ප‍්‍රාකාර ඇති හෙයින් සිදුරු මගකින් රිංගා සුද්දී වඩා ශිෂ්ට යැයි කියන නගරයට එන්නී ය. ලංකාවේ ගම තරම් ම නගරය ද අශිෂ්ට බව ඇය දැන සිටියේ නැත. අශිෂ්ට අසංස්කෘතික මිනිසුන් වෙසේ නම් කුරුඳුවත්ත ද කහවත්තක් බව පූර්වයෙන් කීවේ එහෙයිනි. නගරයේ පිරිමි මායම් ගොදුරු සක‍්‍රීය වන්නේ නගරයේ අරාජික වන සුද්දිලාට ය. ඔවුහු සිත් සේ සුද්දීගේ නිරුවත ජනතාකරණය කළහ. නිරුවත් සිරුර පෙරළ පෙරළා රස වින්දාහ. රමණ ඉරියව් මාරු කළහ.
‘එක මිනිහෙක් කියන විදිහට ඉන්න බෑ කියපු කුසුමේ දැන් ටවුමේ හැම එකා ම කියන විදිහට ඉන්නව. ඒක වුණේ කොහොම ද කියලා මම කුසුමෙගෙන් ඇහුවහම කුසුමේ කිව්වේ අපේ මිනිහට රටේ ඉන්න හොඳම ගෑනි වෙන්නත් ඕනේ. ඒ මිනිහ කියන කියන විදිහට හැරෙන්නත් ඕන. ඔය දෙක ම කරන්න බෑනේ අක්කේ. හැබැයි ටවුමේ උන්ට නම් ඕනෙ කියන කියන අතට හැරෙන ගෑනියෙක් විතරයි.’
අබසිරිගේ පියාට උරුම වන්නේ සීයාගේ ඉරණම ය. අබසිරිට උරුම වන්නේ ද ඔහුගේ පියාගේ ඉරණම ය. ඛේදවාචකය ඇත්තේ ස්ත‍්‍රිය මත පමණක් නො වේ. පිරිමිහු ද ලිංගිකත්වය හා පේ‍්‍රමය යන විෂයේ දී අනන්ත පීඩා විඳිති. විඳවති. ස්ත‍්‍රීවාදී අදහස් විසින් පිරිමියා පීඩකයා ලෙස අර්ථ ගන්වා තිබුණත් පීඩක පිරිමියා ද ලංකාවේ කුටුම්භ ජීවිතයේ දී පීඩිතයෙකි. ලාංකිකයාගේ කටේ සදාචාර ප්ලාස්ටර් ගසා ඇති නිසා ඔවුහු ඒ ගැන කිසිවක් නො කියති; නො ලියති. අබසිරි ද 28 චිත‍්‍රපටයේ දී එකී වේදනාවේ ඛේදවාචකය හඬගා කියන්නේ නැත. අබසිරිගේ ‘ඛේදවාචක පිරිමිකමේ’ හැඩරුව කියන්නේ ද සුද්දී ය.
‘අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට නං බෑ. මං ඇත්තමයි කියන්නේ. අබසිරියි මායි කසාද බැඳල අවුරුදු 15ක් වෙනවා. හැබැයි ඊයේ ? තමයි අබසිරි පළවෙනි වතාවට වගේ ම හෙලූවේ දැක්කේ. ඒ මල්ශාලාවේ එම්බාම් ලෑල්ල උඩදි. ඒ වෙලාවේ අබසිරි හැසිරිච්ච හැටි දැක්ක මට මිනියක් නිසා ඇස්වලට කඳුළු තිබුණේ නෑ අඬන්න. උගුරේ සද්දෙ පිටවුණේ නෑ ඉකිගහන්න.’
වික්ටෝරියානු සංස්කෘතිය විශිෂ්ට යැයි සිතා ලාංකිකයා පොරවාගත් සදාචාර වහන්තරාව බටහිර පුරවැසියන් ගලවා කුණු කූඩයට දමා බොහෝ කල් ය. අපි එකී අසමජ්ජාති වහන්තරාව සංස්කෘතික උරුමයක් කොට රකිමින් එය රැක ගැනීමේ අරගලය මුවහත් කරමින් සිටින්නෙමු. ‘හියුමන් සිකියුරිටි’ පිළිබඳ මූලික අදහස් පවා වසර 25ක් ගත වීත් ලාංකිකයාට තව ම අවශෝෂණය වී නැත.
‘ඔබ සහ මම’ යනුවෙන් අනෙකා වෙන් නො කොට ‘අපි’ ලෙස තින්කින් පැටර්න් එක හදා ගැනීමට අපට තව බොහෝ කල් ගතවනු ඇත. ස්ථිර ලෙස ම පිළිගත හැකි භෞතික සාක්ෂි හෙවත් ‘සොලිඞ් එවිඩන්ස්’ මත ජීවිත තීරණ ගත යුතු වුවත් ලාංකික ජන විඥානයට එය බොහෝ දුරස්ථ දැනුමකි. පාරභෞතිකය ම අල්ලා බදා වැලඳ සිටීමට ලාංකිකයෝ කැමැත්තාහ. ඇත්ත ලෝකයේ නැති විකාරරූපී අදහස් ගුබ්බෑයම් මත සිටින තාක් කාල් 28 චිත‍්‍රපටයේ ධ්වනිත සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මුලාවෙන් අපට ගැලවීමක් නැත. ඒ නිසා ලාංකිකයාට ‘සෙක්ස් එඩියුකේෂන්’ සබ්ජෙක්ට් එකක් ලෙස ඉගැන්වීමට තව මත් නො හැකි වී ඇත. ‘ඔබ, මා’ ලෙස අනෙකා වෙන් කළ නො හැක්කේ ජාතීන් ලෙස වෙන් වී, පුද්ගලයන් ලෙස වෙන් වී, ස්ත‍්‍රී පුරුෂ ලෙස වෙන් වී වර්තමාන යථාර්ථ ලෝකය තුළ කිසිවක් කළ නො හැකි බැවිනි. ලංකාවේ ජාතිකවාදියා ඒ දිගු දුර දකින්නේ වත් බලන්නේ වත් නැත. බලය අල්ලා ගැනීම සඳහා වඩා වාසි සහගත වන්නේ ‘කෙටි දුර’ දැක්මකි. එකී සංසිද්ධියේ දී ලංකාවේ ‘වම’ ‘දකුණට’ හපන් ය. මිනිසා සංස්කරණය වන්නේ ය. පරිණාමය වන්නේ ය. සංචාරයෙන් සංස්කෘතිය සමග මිශ‍්‍ර වීමෙන් නව දැනුම් සංකල්ප හැදෑරීමෙන් හා තාක්ෂණික සුභාවිතාවෙන්, තෝට් ප්‍රොසෙස් එක වෙනස් කරගත හැකි ය. එසේ ලෝකයට විවෘත වීමට හෙවත් එක්ස්පෝස් වීමට තව මත් ඊළඟ පරපුරට වත් වැඩවසම් ගුරුදෙගුරු අයිතිකාරයන් ඉඩ දෙන්නේ නැත.
‘සුද්දී’ කොළඹ නගරයේ වීදි ගණිකාවක් වන්නේ, එයට තල්ලූ වන්නේ ඇයි? ඇය එතැනට තල්ලූ කරන්නේ අප ය. ‘වීදි ගණිකා වෘත්තිය’ ලොව කොතැනත් සූරාකෑම් බහුල අනාරක්ෂිත වෘත්තියක් බව ඇත්ත ය. ඇය සුද්දී, කුමාරි, බියටි‍්‍රස් කමලිනී ආදි වගවාසගම් සහිතව සැරිසරන බවත්, චිත‍්‍රපටය පුරා සුද්දීට එන දුරකතන ඇමතුම් ඇගේ මරණය පිළිබඳ සාක්ෂි සටහන් බවත් පැහැදිලි ය. එහෙත් ගණිකාව ද මනුෂ්‍යයෙකි. ඇය කාලකණ්ණි මනුෂ්‍යයෙකු හෝ සතෙක් නො වේ. ‘හියුමන්’ කෙනෙක් යන ගෞරවය ස්ත‍්‍රියට ලබාදීමට අපට තව බොහෝ කල් ගතවනු ඇත. පරමාදර්ශී මිනිස් සමාජයක් ලොව කොතැනක වත් නැති බව ඇත්තකි. පර්ෆෙක්ට් සොසයිටියක් නැති වුවත් වඩා යහපත් ලොවක් යන්න සටන් පාඨයක් පමණක් නො ව යථාර්ථ අරගලයකින් ජයග‍්‍රහණය කළ හැක්කකි.
සමරිසි සමාජය මෙන් ම වීදි ගණිකා ප‍්‍රජාව ද සයිකො කේස් නො වන බව රටට කියා දිය යුත්තේ ද වඩාත් සවිඥානක විය යුත්තේ ද මිනිසුන් ම ය. අධ්‍යාපනය නො ව නිවැරදි අධ්‍යාපනය ලෙස ඉන්ටලෙක්චුවල් කැපෑසිටිය වඩා පුළුල් කොට රටට විදාරණය කළ
යුතු ය. ඉගෙන නො ගන්නාට සැබවින් ම මොළය නැත. තිබුණත් හිතන්නේ නැත. හිතන්නට හිතක් නැත. මැට්ටෙන් ද මැටි ය. සියල්ලට මුල නිවැරදි අධ්‍යාපනයක් රටට අහිමි වීම ය. 28 චිත‍්‍රපටයේ පුරවැසි අදහස් ලිවීමට පෙර පූර්ව සටහනක් ලෙස ලියූ ෆැන්ටසිය නැවත කියවුවහොත් රටේ නායකකාරකාදින්ට ද ලංකාවේ මෘත දේහය දකින තෙක් සුද්දී කී දේ සිහිපත් නො වන බව 28 චිත‍්‍රපටය ගෙනහැර පාන යථාර්ථයයි.
මිත්‍රවරුනි; ලංකාවේ මෘතදේහය දකින්න එන්න.

උපුල් ශාන්ත සන්නස්ගල
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts