Open top menu
Thursday, February 16, 2017

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යැම සඳහා රාජගිරියෙන් ගොඩනැඟිල්ලක්‌ මිල දී ගැනීමේ කතාව ටිකක්‌ නොව වසරක්‌ පමණ පරණ කතාවකි. එහෙත් මේ ගනුදෙනුව යට තිබෙන කතාව පරණ නොවන අසමඡ්ජාති කතාවකි. ඒ කතාව කොතරම් නරක දැයි කීවොත් සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය ඊට එරෙහිව ඊයේ විරෝධතාවක්‌ පවා දියත් කළේය. විරෝධතා පවත්වා එරෙහි වන්නට තරම් මේ ගනුදෙනුවේ තිබෙන නරක කුමක්‌ ද යන්න කෙටියෙන් පැහැදිලි කර දිය යුතුය. කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැඟිල්ලක්‌ වුවමනා වී තිබිණි. ඒ දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යන ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වා ගෙනයැම සඳහා අවශ්‍ය වූ නිසා ය. එවිට කෘෂිකර්ම අමාත්‍යාංශයට වග කියන, තරුණ ඇමැතිතුමා ඉක්‌මනින් ම අලුත් ගොඩනැඟිල්ලක්‌ රාජගිරිය ප්‍රදේශයෙන් සොයා ගත්තේය. ඇමැතිවරයා එසේ කළේ ගන්නටම වුවමනා නම් රජයේ ගොඩනැඟිල්ලක්‌ සොයා ගැනීමේ හැකියාව තිබියදීය. ලැබුණු තොරතුරුවලට අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීතිවලට පටහැනිය. ඒත් ගනුදෙනුව සිදුවිය. ගනුදෙනුව ප්‍රකාරව මේ වන විට රුපියල් ලක්‍ෂ අටදහස්‌ නවසිය හැට අටක (රුපියල් අසූනවකෝටි හැටඅටලක්‍ෂයක) මුදලක්‌ ඒ වෙනුවෙන් වැය කර ඇත. එහෙත් තවමත් එම ගොඩනැඟිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන ගොස්‌ නැත. තත්ත්වය එසේ වීත් තවමත් මාසයකට රුපියල් දෙකෝටි තිස්‌හත්ලක්‍ෂයක මුදලක්‌ කුලී වශයෙන් එම ගොඩනැඟිල්ල සඳහා ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් තිබේ. දැන් මෙසේ වන්නේ එම ගොඩනැඟිල්ලේ පදිංචියට ඒමට කෘෂිකර්ම අමාත්‍යවරයාට විවේකයක්‌ නැති කමවත්, නැකතක්‌ උදා වී නොමැති වීමවත් නොවේ. තවත් ලක්‍ෂ හාරසියයක්‌ වැයකර ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට නියමිත නිසා ය. අපට මේ කිසිදු කාරණයක්‌ වැදගත් නැත. රටට මේ මොහොතේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ බදුÊමුදල් මේ තරම් නොසැලකිලිමත් ලෙස නිර්ලඡ්ජිතව නාස්‌ති කිරීමය. අපට කියන්නට තිබෙන්නේ මේ ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ ගනුදෙනුව 'යහපාලන ආණ්‌ඩුව' කියන නාස්‌තිය දූෂණය අවම කිරීමේ ප්‍රතිපත්තියට කොහෙත්ම ගැළපෙන්නේ නැති බව ය. එම ගොඩනැඟිල්ල වෙනුවෙන් රජයේ මුදල් මේ ආකාරයෙන් වියදම් කිරීම කොතරම් යුක්‌ති යුක්‌ත දැයි විගණකාධිපතිවරයාද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පසුගිය මැයි මාසයේදී විමසා තිබිණි.

මෙවැනි නාස්‌තිකාර වියදමක්‌ දරා ගොඩනැඟිල්ලක්‌ මිලදී ගන්නා අමාත්‍යාංශයක්‌ රටේ ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවාදැයි අහන්නට අප කලබල වන්නේ නැත. හේතුව ආණ්‌ඩුව අපට 'පටි තද කරගෙන' සිටින්නට යෑයි කියා ඇති බැවිනි.

තරුණ කෘෂිකර්ම ඇමැතිවරයා ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ය. යහපාලන ආණ්‌ඩුව ගෙන එන්නට බෙල්ල කැඩෙන තීන්දුවක්‌ ගෙන ආණ්‌ඩුවකින් එළියට බැස්‌ස මිනිහෙකි. නාස්‌තිය දූෂණය වළක්‌වන්නට කැප වෙනවා යෑයි කී කණ්‌ඩායමේ මහත්මයෙකි. අමාත්‍යාංශය වුව ටිකක්‌ හැඩේට තිබිය යුතු යෑයි එවැනි තරුණ ගැටයෙක්‌ විශ්වාස කිරීම සාධාරණය. (අප ගොඩනැඟිල්ලේ හැඩය යෑයි කීවේ එම ගොඩනැඟිල්ලේ අටපට්‌ටම් හැඩය නිසා නොවේ. කල එළියට තිබිය යුතු බව ඒත්තු ගන්වන්නටය.) ඉතිං ඒ ආශාව එසේ නම් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ ගැන යමක්‌ නොකීම ගැන අපට තේරුම් ගන්නට පුළුවන.

divaina -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. වඳුරෙක් රටක් පාලනය කරනකොට චින්පන්සියෝ බල්ටි ගහනවලු...!! 😂😂😂😂😂

    ReplyDelete

There was an error in this gadget

Popular Posts

Popular Posts