Open top menu
Sunday, October 8, 2017

මීට වසර පහකට ඉහත සයිමන් නවගත්තේගම කලාකරුවා අපෙන් සදහටම සමුගත් අවස්ථාවේ මෙරට සිටි දක්ෂ පුවත්පත් කලාවේදියකු හා අග්‍රගණ්‍ය කලා විචාරකයකු මෙන්ම පශ්චාත් මරණ ගුණ සැමරුම් ලේඛකයකු (Appreciation) ලෙස ද කීර්තිමත්ව සිටි අජිත් සමරනායක ලියූ ලිපියේ ශීර්ෂ පාඨය ලෙස යොදා තිබුණේ ‘ද ලාස්ට් බොහිමියන්’ යනුවෙනි. එහි සිංහලාර්ථය ‘අන්තිම බොහිමියානුවා’ යන්නයි.

ඇත්තටම බොහිමියානුවකු ලෙස හැඳින්වෙන්නේ කවරෙක්ද? ශබ්දකෝෂයන්ට අනුව බොහිමියානුවා යනු ‘සමාජ සම්මතයන් බැහැර කළ තැනැත්තා’ යන්නයි. බොහිමියන් කලාව නමින් කලා සම්ප්‍රදායයක් ද ලොව පවතී.

ගුස්ටාවෝ කූබට්, විලියම් තැකරේ, ජින් ෆැන්කොයිස් මිලට් වැනි කලාකරුවෝ එකී සම්ප්‍රදායය නියෝජනය කළහ. ඉහත වර්ගීකරණයට අනුව සයිමන් ද බොහිමියානු කලාකරුවකු ලෙස අජිත් කළ හැඳීන්වීම සාධාරණ යැයි සිතමි.

සයිමන් යනු සමාජ සම්මතයන් සතපහකටවත් ගණන් නොගත් කලාකරුවෙකි. අප පුවත්පත් කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන වකවානුවේ අපට සයිමන් පිළිබඳ තිබූ ප්‍රතිරූපය වූයේ එකපිට එක සිගරැට් බොන, අසීමිතව මධුවිතට ලොල්, ගැහැනු ආශ්‍රය කරන අසම්මත චර්යාවන්ගෙන් හෙබියා වූ කලාකරුවකුය යන්නය.

අධික ලෙස දුම්පානය කළ කලාකරුවන් දෙදෙනකුª ගැන මම දනිමි. එක් අයකු ගාමිණී ෆොන්සේකාය. අනිත් කලාකරුවා සයිමන් ය. සයිමන් කොළඹ නිවාස අධිකාරියේ වායු සමනයෙන් යුතු කාමරයක තම කාර්යාලය පවත්වාගෙන යමින් සිටියදී මට හමුවූ අවස්ථාවක ද ඔහු සිගරැට් බොමින් සිටියේය. මා මේ ගැන ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ,

”එයාර් කන්ඩිෂන් කාමරයක් ඇතුළේ සිගරට් බොන්න මට විතරයි ප්‍රේමදාස මහත්තයා (එවක අගමැතිව හෝ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතා) අවසර දීලා තියෙන්නේ.”

අධික ලෙස බීමත් වූ අවස්ථා කීපයකදීම මට සයිමන් හමුවී ඇත. එබඳු අවස්ථාවක මම ඔහුගෙන් මෙසේ ඇසීමි.

”මිස්ටර් නවගත්තේගමට ඩ්‍රින්ක්ස් දාලා නිර්මාණාත්මක දේවල් එහෙම ලියන්න පුළුවන්ද?”

ඊට සයිමන් දුන් පිළිතුර මෙවැන්නකි.

”බීලා නිර්මාණ කරන්න පුළුවන්ය කියන එක බොරුවක්. මට නම් බීලා එකම රසවත් වාක්‍යයක්වත් ලියන්න බැහැ. හැබැයි බිව්වම හොඳ අදහස් හිතට එනවා. ඒවා සටහන් කරගන්න විතරක් පුළුවන්. හැබැයි නිර්මාණ කරන්න බැහැ. මාර්ටින් වික්‍රමසිංහ (එයා මගේ සීයා කෙනෙක් වගේ) පොඩි ඩ්‍රෑම් එකක් ගහනවා. ඒත් අපි බොන්න ගියාම ඉතිං කෙළවරක් නැහැනේ”.

තමා දිගටම ගමේ සිටියා නම් ඒ වන විටත් මියගොස් තිබෙන්න පුළුවන් බව සයිමන් වරක් එක් පුවත්පතකට කියා තිබිණි. ඒ කසිප්පු බීමෙනි.

සයිමන් ගැන අපට තිබූ ප්‍රතිරූපයේ ඊළඟ කොටස වූයේ ගැහැනු ආශ්‍රයයි. බොහෝ කලාකරුවන් සම්බන්ධයෙන් ද එය අදාළ වුවත් සයිමන් කේන්ද්‍රකොටගෙන නොයෙක් කතා (ඇතැම් විට අතිශයෝක්තියෙන් යුතු) නිර්මාණයව තිබිණි. සයිමන් අහවල් වේදිකා නාට්‍ය නිළියත් එක්ක යාළුයි. අහවල් රටේ සුද්දියෙක් එක්කත් ඉඳලා තියෙනවා. සයිමන් කියන්නේ ගෙදරකට වැද්දගන්න තරම් සුදුසු කෙනෙක් නෙමෙයි. ගැහැනියෙක් දැක්කොත් ඉවරයි” යනාදී වශයෙන් චරිත ඝාතන ද ඔහුට සිදුවී තිබිණි.

මීට අදාළ ප්‍රකාශයක් සයිමන්ගේ බිරිඳ වරක් පුවත්පතකට කියා තිබුණේ මෙසේය.

”සමහරු කියනවා එයා කාන්තාවන් එක්කත් සමීපව ආශ්‍රය කළා කියලා. එයා කවදාවත් ගෑනු උදවිය පස්සේ ගියා කියලා මම හිතන්නේ නෑ. ගෑනු අය එයා පස්සේ එන්න ඇති. මොකද; මහත්තයා හරි ලස්සන පෙනුමක් තිබුණු කෙනෙක් නිසා. කොහොම වුණත් ඒවා මට ප්‍රශ්න නෙමෙයි. මම ඒවා ප්‍රශ්න කරගත්තා නම් මේ පවුල අවුල්වෙලා ගොඩක් කල්” (දිවයින 2005 නොවැම්බර් 13)

සයිමන් පිළිබඳව ගොඩනැගුණු මේ විචිත්‍රවත් ප්‍රතිරූප හේතුකොටගෙන මම ඔහු ගැනත් ඔහුගේ පසුබිම ගැනත් සෙවීමට වෙහෙසීමි. සයිමන් හද්ද වන්නියේ උපන් බයියකු බවත් (ඔහුට අගෞරව පිණිස නොවේ) ඔහුගේ මුල් නම නවගත්තේගම රන්කිරාගේ උක්කුවා (එන්.ආර්.උක්කුවා) බවත් පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට විත් පසුව විශ්වවිද්‍යාලය දක්වා දුර ගමනක් ගිය අයකු බවත් එහිදී දැනගන්ට ලැබිණි. සයිමන්ට කොළඹට එන්ට පාර කැපුණේ එලෙස ය.

සයිමන්ම කියා ඇති ආකාරයට ඔහු මේ ආත්මයේ ලංකාවේ හද්දා පිටිසර ගමක උපන්නද පූර්වාත්මයේ ජන්මලාභය ලැබ ඇත්තේ යුරෝපීය රටකය. කුඩා කල තමා හීනෙන් කිසිවක් දුටු බවත් එය හිම බව පසුව ප්‍රත්‍යක්ෂ වූ බවත් සයිමන් වරක් කියා ඇත.

හිම නැති රටක, පොතකින්, පත්‍රයකින් හිම දැකීමට අවකාශ නැති සමාජ පරිසරයක හැදීවැඩුණු සයිමන්ට හීනෙන් හිම පෙනුණේ කෙසේද? එය පුනර්භවය හා බැඳුණු අත්දැකීමක් බව සයිමන් විශ්වාස කළේය.

සයිමන්ට තවත් අපූර්ව ශක්තියක් තිබිණි. ඒ තමා දුටු කිසියම් සිහිනයක ඉතිරි කොටස් නැවත නිදාගැනීමකදී දැකීමේ ඇති සුවිශේෂ හැකියාවයි. පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවාස හිමියන් කියන්නේ එය ලක්ෂයකින් එක් අයකුට පමණක් ඉතා විරලව පිහිටන ශක්තියක් බවයි.

මණ්ඩාවල හිමියන් සයිමන් ඉතා සමීපව ඇසුරු කළ හිමිනමකි. දිනක් සයිමන් මණ්ඩාවල හිමියන් හමුවූ අවස්ථාවක මෙසේ කියා ඇත.

”අපේ හාමුදුරුවනේ මට පුදුම දෙයක් මතක්වුණානෙ. විසාකා, සුජාතා, බන්දුල මල්ලිකා වගේ ලස්සන නම් පිිරිලා බෞද්ධ සාහිත්‍යයේ. ඒ වුණාට අර ගෑනු එක්කෙනා විතරක් චිංචිමානවිකාව“...

සයිමන් මීට පස්වසරක ඉහත ජීවිතක්ෂයට පත්වූයේ රෝගාතුරවය. ඔහුගේ වකුගඩු රෝගය සුවකිරීම සඳහා කෙරුණු ප්‍රතිපාදන ඉල්ලීමකදී එය ප්‍රතික්ෂේප වූයේ සයිමන් ජනතාවාදී කලා ව්‍යාපාරයට සහයෝගය දී නොමැති කලාකුරුවකු බැවින් යැයි සඳහන් ව ඇත. සයිමන්ගේ ‘සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය’ නම් වූ පොත ජනතාවාදී වූයේ නැද්ද? ඔහුගේ ‘සුභ සහ යස’ වැනි නාට්‍යයක් පන්දහස් වාරයක් වේදිකාගත වූයේ ජනතාවාදී වූ නිසා නොවේද? ඔහුගේ ‘සාගර ජලය’ කෙටිකතා සංග්‍රහය, දඩයක්කාරයා කේන්ද්‍ර කොටගත් නවකතා මාලාව ජනතාවාදී වන්නේ නැද්ද?

සයිමන් පසුකලෙක කුමන දේශපාලන දර්ශන වාදයක එල්බගෙන සිටිය ද ඔහු කලාව නම් කිසිදා පාවා නොදුන් බව ඔහුගේ සමස්ත කලා නිර්මාණාවලිය පිරික්සා බලන විට පෙනී යයි. සයිමන් වැනි (මාර්ටින් වික්‍රමසිංහයන්ට පසු) අති විශිෂ්ට පරිකල්පනයකින් යුතු සාහිත්‍ය කලාකරුවකු පසුගිය සියවසේ මෙරට පහළ වී නම් (කේ.ජයතිලක, ගුණදාස අමරසේකර) හා අජිත් තිලකසේන හැරුණු කොට) අන් කවරෙක්ද යන්න අපට අභියෝග කරන්නකුගෙන් අපට ඇසීමට සිදුවෙයි.

සුනිල් මිහිඳුකුල, සිළුමිණ 2010-10-10
----------

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts