Open top menu
Sunday, July 1, 2018

‘‘විභවි’’ යන සංස්කෘතික ආයතනයේ නම සිහිවන විට ම ඒ හා සමගාමිව සිහිවන සුවිශේෂි නමක් පවතී. ඒ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යන නාමය යි. මම ඇතුළු මගේ පරම්පරාවේ බොහෝ දෙනකු ‘‘සුනිල් විජෙසිරිවර්ධන’’ නම් වු කලා සහෘදයා හඳුනාගන්නේ ‘‘විභවි’’ සංස්කෘතික ආයතනය තුළිනි.

එදා මේ ආකාරයට හඳුනාගත් සුනිල් විජේසිරිවර්ධන කලාව නමැති ක්ෂේත්‍රයේ ස්පර්ෂ කළ ඉම් පෙදෙස් බොහෝ පවතී. ඒ අතර: නාට්‍ය, පරිවර්තන නාට්‍ය, පරිවර්තන සාහිත්‍යය සහ දේශපාලන සාහිත්‍යය යනාදිය අපේ මතකයෙන් ඈත් නොවන තරම් ය. නමුත් මේ කලාකාමී සහෘදයා තුළ කවියකු සැඟව සිටින බව අපිට ප්‍රත්‍යක්ෂ වන්නේ පසුගිය වසරේ ඔහු විසින් රචිත ‘‘ගිරිමුදුන මගේ නිවහන’’ නමැති කාව්‍ය සංග්‍රහය තුළිනි. මේ කාව්‍ය සංග්‍රහය මෙවර රජත පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට ද නිර්දේශ වුණි.

මතු දැක්වෙන්නේ ‘‘ගිරිමුදුන මගේ නිවහන’’ කෘතිය සම්බන්ධයෙන් මෙන්ම කවිය පිළිබද ඔහු සමග කළ සාකච්ඡාවකි.


• අපි ඔබේ සාහිත්‍යය ජීවිතයේ බොහෝ ඉසව් දැන සිටියාට සුනිල් විජේසිරිවර්ධන නමැති පුද්ගලයා තුළ කවියකු සිටි බව අපි දැන සිටියේ නැහැ. එයට හේතුව...?

කවි සහ ගීත වරින් වර විවිධ කටයුතු සඳහා ලියා තිබුනත් මම කවියෙක් කියන අදහස මගේ හිසට ඇවිත් නැහැ. නමුත් කිසියම් කාව්‍යමය ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය නිර්මාණ කිහිපයක් මම විවිධ අවශ්‍යතා සඳහා කරලා තියෙනවා. කේමදාසගේ මුල්ම ඔපෙරාමය නිර්මාණය සඳහා ‘මානස විල’ නමින් කළ ලිබ්‍රෙටෝව, ‘රත්නවල්ලි’ නමැති මගේම නාට්‍යය, ‘යක්ෂාගමණය’ නමින් කළ බ්‍රෙෂ්ට්ගේ ( Arthuro Ui ) නාට්‍යයේ පරිවර්තනය යන නිර්මාණ කාව්‍ය ශක්තියක් ඉල්ලා සිටින නිර්මාණ. ඒ වගේම ‘නිදි නැති නදියේ නාදය’ නමින් 1986 මැයි පළවෙනිදා කේමදාස ඇතුළු කලා කරුවන් පිරිසක් කළ සංගීත ප්‍රසංගය, ‘කාලයේ රාවය ‘නමින් ඊට මද කලකට කලින් කළ සංගීත ප්‍රසංගය සඳහා මම ගීත ගණනාවක් රචනා කළා. ඒ අතර එහි සමහර ගීත සඳහා සංගීත රචනා කළෙත් ( කපුගේ ගැයූ, රත්න ශ්‍රී ලියූ ‘නින්ද නැති රැයේ’ ගීයේ තනුව සංරචනය කළේ මම.)

සිසු අවධියේ දි මොස්කව් නගරයේදී කවි ගී ලිව්වට, සංගීත කණඩායමක නායකයා වශයෙන් සංගීත සංරචනය කළාට කවියෙක් හෝ සංගීතඥයෙක් වශයෙන් අනාගතයක් ගැන මට අදහසක් තිබුණෙ නැහැ. ඒ කාලේ කෘෂි විද්‍යාඥයෙක් වීමේ අදහස මට තිබුණා. නමුත් ලංකාවට ආවට පස්සෙ ඒ අදහසත් නැතිව ගියා. දැන් නම් මම අහවල් කෙනා කියන අදහසක් මා තුළ ඇත්තේම නැති තරම්.

• සාහිත්‍යයේ මාන කිහිපයක් පවතිනවා. ඒ අතුරෙන් ‘‘කවිය’’ සුවිශේෂ බව බොහෝ සාහිත්‍යවේදින් පවසා තිබෙනවා. ඒ පිළිබද ඔබේ මතය?

සංසන්දනාත්මකව ගත් විට කවිය කිසිම අඩුවක් නැති බැරෑරුම් සාහිත්‍යාංගයක් බව මමත් කියනවා. නමුත් කවිය අනෙක් සාහිත්‍ය මානවලට වඩා සියුම් ලෙස තමා සහ තමාගේ සබඳතා ගැන අවලෝකනයක් ඉල්ලා සිටින බවයි මට දැනෙන්නේ. මේ නිසා සැබෑ කවිය පණ ලබන්නේ වඩා සූක්ෂම භාෂා මෙහෙයවීමක් ඔස්සේ. කවිය පණ ඇති ජීවයක් නම් එහි ශරීරය තමයි භාෂාව. කාව්‍යානුභූතිය යනු මේ අපූරු සත්වයාගේ පණ( Life Energy / Prana ). මට පෙනෙන විදියට ඒ දෙක එකිනෙකින් වෙන් කරන්න බැහැ. ලෝකය සහ ජීවන සබඳතා ගැන මෙන්ම අනාගතය ගැන මනුෂ්‍ය පරිකල්පනය පොහොසත් කිරීම සෑම කලාවක්ම විවිධ අයුරින් කරනවා. කවිය එතනදිත් ටිකක් විශේෂයි. උසස් කවිය අපේ ජීවන පරිකල්පනයේ ඉම් තල්ලු කරන්නේ අපි කොහෙත්ම නොදන්නා සිතිජ දෙසට යි.

• ඔබේ ‘‘ගිරි මුදුන මගේ නිවහන’’ කාව්‍ය සංග්‍රහයේ එන ‘‘ප්‍රාග් මාතාවන්ගේ සංදේශය’’ නමැති නිර්මාණයේ දී අපේ ඉතිහාස කතාවේ එන කුවේණිය, විජය සහ දරු දෙදෙනාගේ කතාන්දරය ග්‍රීක පුරා වෘත්තයේ එන මීඩියා, ජේසන් සහ ඔවුන්ගේ දරුදෙදෙනා පිළිබද පුරා වෘත්යට සමපාත කරනවා. මෙහි මුඛ්‍ය අරමුණ කුමක් ද?

මේක තරමක බැරෑරුම් මානවවිද්‍යා දැනුමක් සහ සමාජ සිතීමක් නිසා උත්තේජනය ලැබූ කවියක්. මෙහි ආරම්භක වේශය ‘නිල් කිරිල්ලි’ නමින් බොහෝ කලකට පෙර මම ලියූ කෙටි ගුවන් විදුලි නාටක පෙළක අවසාන 18 වන ජවනිකාවේ එළි දුටුවා. එව්ලින් රීඩ් නැමැති ප්‍රකට මානව විද්වතියගේ ඉතාම රසවත් කියවීමක් තියෙනවා යූරිපීඩිස් ගේ මීඩියා නම් සම්භාව්‍ය ග්‍රීක නාට්‍යය ගැන. මාතෘ මූලික සමාජයක් පීතෘමූලික ශිෂ්ටාචාරයක් මුණගැසෙන ඉසව්වේ සිදුවන සංකීර්ණ මානව ඛේදවාචකයක් ලෙසයි ඇය මේක දකින්නේ. සංකේතාත්මක චරිතයක් විදිහට ගත්තොත් මීඩියා පෙම් බඳින්නේ ජේසන් ට විතරක් නෙමෙයි; ඇය ඔහු සමග එන යකඩ තාක්ෂණය ඇතුළු තවත් අලුත් දේටත් පෙම් බඳිනවා. නමුත් ඒ ප්‍රේමය නිසා ඇයට තමන්ගේ සංස්කෘතියේ චිරකාලීන මානව වටිනාකම්වලට පිටුපාමින් භයානක පාපයකට හවුල් වෙන්න සිදුවනවා. ඇගේ සහෝදරයා ව ඝාතනය කරනවා. ඉන්පස්සේ ඇය ග්‍රීසියට යනවා; ඒ, ජේසන්ගේ ලෝකෙට. එහිදී මීඩියා ස්ත්‍රියක් ලෙස භුක්ති විඳිමින් සිටි ගෞරවනීය තත්ත්වය අහිමි වෙනවා, ඇයගේ මානව අයිති අහිමි වෙනවා. මීඩියා ශක්තිමත් ගැහැනියක්. ඇය දරුණු ලෙස ජේසන්ගෙන් පළි ගන්නවා. හුදෙක් කතා වින්‍යාසය විතරක් නෙමෙයි; මතුපිටින් වෙනස්කම් තිබුණත් එහි ඓතිහාසික අර්ථය අනුවත් කුවේණි ගේ කතාව මීඩියාගේ කතාවට ඉතා ගැඹුරු ලෙස සමාන බවයි මට පෙනුනේ. අපේ කතාවේ කුවේණි දරු දෙදෙනා සමග එළවා දමනවා. ඇයට යන්නට තැනක් නැහැ. නමුත් ඇය භයානක ශාපයක් කරනවා. එහෙමයි ඇය පළිගන්නේ. කෙටියෙන් කිව්වොත් පීතෘමූලික සංස්කෘතියක් තුළයි මිනිසා මිනිසාව විනාශ කරන ප්‍රචණ්ඩත්වය උපදින්නේ; යුද්ධය කියන සමූහ ඝාතන වැඩපිළිවෙළ එන්නේ. මේ ව්‍යසනයෙන් ගැලවී අපි ඉදිරියට යන්නේ කෙසේද? යන ප්‍රශ්නය සියුම් විදිහකට මතු කිරීමයි කවියේ අරමුණ වෙන්න ඇත්තේ.

• ඔබේ ‘‘ඉම’’ නමැති නිර්මාණයේ එක් තැනෙක...
‘‘රංචුව හා දුවන දන
ඇදෙති මරණී හෙළ වෙත,
දිවි පුපුර රැකගන්නට
මඳක්වත් උමතු විය යුතු!’’

...යනුවෙන් සඳහන් කරනවා. ඔබ එයින් අදහස් කළේ අපි හැම දෙනාට ම පවතින ක්‍රමය සමග සාම්‍යයක් විය යුතුයි යන්න ද?

නැහැ... එහි අනික් පැත්ත. ඒක සියුම් උත්ප්‍රාසාත්මක කියුමක්. ක්‍රමය කියන අදහස සාමන්‍යයෙන් තියෙන්නේ මිනිසුන්ගේ ඔළුවල හරි සරලමතික සංකල්පයක් වශයෙන්; ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය ආදී වශයෙන්. නමුත් ඔය කියන ක්‍රමය සැබැවින් පවතින්නේ මිනිසුන් ගේ (මානසික, වාචික හා ශාරීරික වශයෙන් වූ ) චර්යාව හරහා බව පෙනෙන්නේ නැහැ. ඉතින් රංචුව කියන සංකල්පය තමයි පවතින ක්‍රමය මෙතන සංකේතවත් කරන්නේ. එය මිනිසුන් ගේ මිනිසත් ධාරිතා විනාශ කරනවා. කෙනෙක් රංචුවෙන් මිදී අනෙක් මගකට පිවිසීම රංචුවේ යන අයගේ ඇස්වලට සාමාන්‍යයෙන් පෙනෙන්නේ උන්මත්තක බවක් වගේ.
මටම පවා පසුගිය වසර 35 දී නිතර නිතර ඒ කතාව අහන්න වෙලා තියෙනවා. මම විද්‍යා ආචාර්ය උපාධියක් රැගෙන ඇවිත් ඒක පැත්තකින් තියලා සම්පූර්ණ වෙනත් ‘අවදානම් ආකාරයකට’ ජීවත් වෙන්න පටන් ගත්තම මගේ පවුලේ කිසි කෙනෙකුට ඒක භාර ගන්න බැරිවුණා. මට විශ්වවිද්‍යාල පද්ධතියට පූර්ණකාලීනව එකතු වෙන ලෙස ආරාධනා, ආයාචනා නොයෙක් විද්වතුන්ගෙන් ලැබුණා. මම ඒකට කැමැති වුණෙත් නැහැ . ඒ අතරේ පිටරට ඉඳලා ආව දවසේ ඉදලා දේශපාලන පක්ෂ දෙකක බලවත් අයගෙන් දේශපාලනයට එන්න කියලා වරින් වර ආරධනා ලැබුණා. මම බැහැ කිව්වා. පසුගිය 2015 දීත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න ඉහළම තැනකින් ආරධනා ලැබුණා. බැහැ කිව්වා. මේ අන්තිම කාරණය ගැන අහපු මගේ ළඟම මිතුරෙක් කිව්වේත් මට ‘ පිස්සු’ බවයි. මගේ පරම ආධ්‍යාශය රංචුවෙන් ඉවත් ව යෑමට තරම් උම්මත්තකබවක් හැකිතරම් අයට බෝ කරන්න.

• අපේ ඇතැම් ප්‍රවීණ නිර්මාණකරුවෝ. විශේෂයෙන් ම කාව්‍ය ක්ෂේත්‍රයට අදාළව සලකා බැලුවත් ඔවුන් තමන් අභිභවා යන්න සමත් වෙලා නැහැ. ඔබ මෙම ප්‍රවණතාව හඳුනාගන්නේ කෙසේ ද?

ගෞතම බුදුන් අවසාන දිනය දක්වා හිටියේ චාරිකාවක. ඒ මග යන භික්ෂූන්ටත් එහෙම කරන්න කිව්වා. කිසි තැනක නිත්‍ය පදිංචියකට ගියේ නැහැ. එහෙම එක තැනක නැවතිලා ස්ථිර ලෙස පදිංචි වුනා නම් බුද්ධ ගමන ඉවරයි. එහෙම නම් ‘එක තැන පල්වෙනවා.’ දැන් මේ කතාව කරුණාකර මතුපිට අර්ථයෙන් ගන්න එපා. ජීවිතේ එක් සුවපහසු තැනක ආරක්ෂිත වැටක් එහෙම ගහගෙන බල්ලෙක් එහෙම තියාගෙන පදිංචියට යෑම මාරක බවයි මේ කියන්නේ.

• එමෙන් ම ඔවුන් තමන් අභිභවා නොගිය බව පාඨක ප්‍රාජව ද එතරම් සැලකිල්ලට ලක් කරන බවක් දක්නට නැහැ. එයට හේතුව ලෙස ඔබ අනුමාන කරන්නේ කුමක්ද?

පාඨක ප්‍රජාව ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. නමුත් මෙතනත් වැඩේ සංකීර්ණයි. සමහර විට පාඨකයා ‘ පරණ’ යැයි කියවෙන දේ ගැන හැරිල බලන්නෙවත් නැතිව අලුත් අලුත් අරුමෝසම් දේ පස්සේ දුවනවා වගේ පේන්නත් පුළුවන්. නමුත් කාරණය නම්, ඔය පරණ ඇදුම් ඇඳගෙන එන දේ ඔබව හුඟක් අලුත් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම අලුත් ඇඳුම් ඇඳගෙන එන්නේ හොඳටම පිළුණු යල්පැනගිය දේ වෙන්නත් පුළුවන්. පාඨකයාත් අවදානම් ජීවන චාරිකාවකට (චාරිකා හැම එකක්ම අවදානම්) සූදානම් නැති සුවපහසු කොටුවක නිත්‍ය ලෙස පදිංචි කෙනෙක් නම්, ඔබ කියන තත්ත්වය මතුවෙන බවයි මට පෙනෙන්නේ.


සංලාප සටහන - Jayasiri Alawatta
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

This is the most recent post.
Older Post

0 comments

Popular Posts

Popular Posts