Open top menu
Sunday, March 31, 2019

වික්ටර් අයිවන්
ලංකාවේ දේශපාලන කරළියට නීති ක්‍රියාධරයකු හා ජනාධිපති අපේක්ෂකයන් ලෙස ලෙස එකතු වී සිටින නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර තුනකට තහනම් කිරීමේ සිද්ධිය ආශ්‍රයෙන් කොඩිතුවක්කුගේ භූමිකාව විශ්ලේෂණයට ලක් කිරීම දේශපාලන වශයෙන් වැදගත්ය.

නාගානන්ද හිටපු රේගු නිලධාරියකු වන අතර, ඒ කාලයේදීද ඔහු දේශපාලන බලවතුන්ට හිස නොනැමූ සුවිශේෂ ගණයෙහි ලා සැලකිය හැකි පුද්ගලයකු විය. මට ඔහු සමග දීර්ඝකාලීන සම්බන්ධයක් තිබුණි. ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී එම ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ගජමිතුරකු ලෙස සැලකිය හැකි ව්‍යාපාරිකයකු පරණ බෙන්ස් රථයක් ගෙන්වන මුවාවෙන් අලුත්ම බෙන්ස් රථයක් ගෙන්වූ අවස්ථාවකදී ඔහු එම වංචාව අල්ලා ගන්නා ලද අතර දේශපාලන බලවතුන්ගේ බලපෑම් නොසලකා ඔහු එම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා දීර්ඝ කාලයක් වැඩතහනමකට ලක්ව සිටින්නට ඔහුට සිදුවිය.

1994දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වන අවස්ථාව වනවිටත් ඔහු සිටියේ වැඩතහනමට ලක්ව සිටි පුද්ගලයකු වශයෙනි. චන්ද්‍රිකාට ඔහු හඳුන්වා දෙන ලද්දේ මා විසිනි. චන්ද්‍රිකාගේ පළමු ජනාධිපතිවරණයේදී සාමාන්‍යයෙන් කෙනකු භාර නොගන්නා උපාය මාර්ගික වැදගත්කමක් ඇති කාර්යභාරයක් ඔහු සිදු කළේය. ඔහුට එරෙහිව පනවා තිබූ වැඩතහනම සාධාරණ වැඩ තහනමක් නොවන බව චන්ද්‍රිකා දැන සිටි අතර ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහුට නැවත රැකියාව ලබාදෙන බවටද චන්ද්‍රිකා සහතික වී තිබුණි.
කොඩිතුවක්කුට සාධාරණත්වය ඉටු කිරීමට චන්ද්‍රිකාට ඇත්ත වුවමනාවක් මුලදී තිබුණේය. එහෙත් ඔහු නැවත රේගු සේවයට බඳවා ගන්නවාට තරයේ විරුද්ධ පිරිසක්ද ජනාධිපතිනියගේ සමීපතමයන් අතර සිටියේය. ජනාධිපති ලේකම් බාලපටබැඳිද ඔවුන් අතර සිටි ප්‍රධාන පුද්ගලයකු විය. සමහරවිට බාලපටබැඳි ඔහු කෙරෙහි විරෝධයක් ඇතිකර ගන්නට ඇති. ඔහුගේ පුතා වෙළෙඳාම සඳහා සපත්තු තොගයක් ගෙන්වා රේගු බදු ගෙවීමෙන් තොරව නිදහස් කරගැනීමේ සිද්ධියක් පිළිබඳව රාවයේ පළවූ වාර්තාවක් කොඩිතුවක්කුගෙන් ලබාගත් තොරතුරු මත පළවූවක් ලෙස බාලපටබැඳි කල්පනා කළ නිසා විය හැකිය. එම වාර්තාකරණය ජනාධිපතිනියගේද සතුටට හේතු නොවීය. ඇය මා කැඳවා එම වාර්තාව පළකිරීම ගැන මට දෝෂාරෝපණය කළාය. තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම කාලයේ සිටම බාලා ගැන දන්නා බවත්, ඔහු සීයට සීයක්ම අවංක පුද්ගලයකු බවත් කීවාය. රාවයේ පළවූ එම වාර්තාව කවුරු හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු දෙන ලද තොරතුරක් කරුණු සොයා බැලීමකින් තොරව පළකර තිබෙන බව පෙනෙන බවත් කියා තවත් නඩු පැවරීමක් ගැනද අපූරු කතාවක්ද කීවාය. එම වාර්තාව පළවීමෙන් පසු මට එරෙහිව නඩු පවරන ලෙස බාලපටබැඳිගෙන් ඉල්ලා සිටි බවත්, ඒ සඳහා යන වියදමද තමන් දරන බව ඔහුට කියා සිටි බවත්, එහෙත් ඔහු නඩු පැවරීමක් කළේ නැති බවත්, ජනාධිපති ලේකම් වික්ටර් අයිවන්ට බය බව ඒ මගින් තමන් තේරුම් ගත් බවත් ඇය කියා සිටියාය. ජනාධිපතිනියට කියන්නට තිබුණු දේවල් කියන්නට ඉඩහැර අවසානයේදී මම මෙසේ කීවෙමි. “ඔබතුමියගේ විෂය ගැන මා නොදන්නා නමුත් මම මගේ විෂය වන පුවත්පත් කලාව ගැන හොඳින් දන්නෙමි. එම තොරතුරු ලබාදෙන්නන් අතර සිටින විශ්වාස කළ හැකි හා විශ්වාස නොකළ යුතු අය ගැනද මා හොඳින් දන්නා බවත් කියා සිටියෙමි.

චන්ද්‍රිකාගේ අකෘතඥභාවය

කොඩිතුවක්කු නැවත සේවයට නොගැනීමට තීරණය කර තිබෙන බව නිල නොවන වාර්තාවලින් මට දැනගන්නට ලැබී තිබුණි. ඒ කෙරෙහි රාවයේ පළවූ වාර්තාවද බලපාන්නට ඇත. ඒ බව ඍජු ලෙස මට කීමේ ආත්ම ශක්තියක් ඇයට නොතිබුණු නිසාදෝ ඇගේ ලේකම්වරයකු ලවා (ඔහු අන් කිසිවෙක් නොව, වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සමග රුපියල් කෝටි දෙකක අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාය.) දැනුම් දෙන්නට සලස්වන ලදි. ඔහු ඒ බව මට දැනුම් දුන්නේ දුරකතනයෙනි. ඔහු කී කතාව සැකෙවින් මෙසේය. “මැඩම්ට ලොකු වුවමනාවක් තියෙනවා කොඩිතුවක්කු නැවත සේවයට ගන්න. එහෙත් මුදල් අමාත්‍යාංශයේ ලොකු නිලධාරීන් ඔහු ගන්නවාට තරයේ විරුද්ධයි. මුදල් අමාත්‍යාංශය භාරව තිබෙන්නේ මැඞ්මට නිසා එම නිලධාරීන් තරහ කරගැනීමේ හැකියාවක් මැඩම්ට නැහැ. කොඩිතුවක්කු නැවත සේවයට ගැනීමේ හැකියාවක් නැති බව අතුල අයියාට දැනුම් දෙන ලෙස මැඩම් මට කීවා” යැයි ඔහු කීවේය. කොඩිතුවක්කු ආණ්ඩුවේ සතුරකු වනදාට මමද ආණ්ඩුවේ සතුරකු වන බව මැඩම්ට කියන්නයි මම එක එල්ලේ ඔහුට කියා සිටියෙමි. මාගේ පිළිතුර ඔහු අන්ද මන්ද කිරීමට හේතුවූ බව පෙනෙන්නට තිබුණි. ඔහු මා සනසන්නට විවිධ දේ කීවේය.

කොඩිතුවක්කු නැවත රේගු සේවයට ගත්තේ ජනාධිපතිනියගේ අනුමැතිය ලබාගැනීමකින් තොරව රේගුවේ ප්‍රධානියා (එස්.එම්.අයි. සේනාරත්න) විසිනි. ඔහු ජනාධිපතිනියට සමීපව සිටි නිලධාරියකු වුවත්, හැරී ජයවර්ධනගේ සමාගමක් සම්බන්ධයෙන් රේගුව ආරම්භ කර තිබූ පරීක්ෂණයකදී පරීක්ෂණ කටයුතු සඳහා හැරීගේ නිවසට ගිය රේගු නිලධාරීන්ට ඔහු පිස්තෝලය අතට ගෙන තර්ජනය කර තිබුණි. එම සිද්ධියේදී ජනාධිපතිනිය ප්‍රසිද්ධියේම පෙනී සිටියේ හැරී ජයවර්ධන වෙනුවෙනි. රේගු ප්‍රධානියා ඊට වෙනස්ව රේගු නිලධාරීන් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටියේය. පසුව මෙම ආරාවුල දුරදිග ගිය ආරාවුලක් බවට පත්වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් පරීක්ෂණයට සම්බන්ධ එක් රෙගු නිලධාරියකුට මැරුම් කන්නටද සිදුවිය. එම සිද්ධියේදී කොඩිතුවක්කුගේ ජීවිත ආරක්ෂාව සඳහා ඔහු එක්සත් රාජධානියට යවන්නට මැදිහත් වූයේ රේගු ප්‍රධානියාය.
කොඩිතුවක්කු එක්සත් රාජධානියට යන්නට පෙර ඒ බව කියන්නට මාගේ කාර්යාලයටද පැමිණියේය. රේගු නිලධාරියාගේ ඝාතනය ගැන මට අවබෝධයක් තිබුණු අතර, ඒ හමුවේදී ඔහු දන්නා අලුත්ම තොරතුරු මට විස්තර කළේය. ඔහු ලංකාවෙන් යන්නට පෙර ඔහුගෙන් ලබාගන්නා ලද ප්‍රකාශයක්ද පුවත්පතේ පළ කරන ලදි.
කොඩිතුවක්කු එක්සත් රාජධානියට ගිය පසු එහි නීතිඥයකු ලෙස සේවය කළේය. මා දන්නා තරමින් ඔහු නැවත ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේදීය. ඉන්පසු විටින් විට ලංකාවට පැමිණි අතර ලංකාවට පැමිණෙන සමහර අවස්ථාවලදී මා හමුවන්නටද ආවේය. ඒ සමග ඔහු රේගු නඩුවලට පෙනී සිටින්නට වූ අතර, මොහාන් පීරිස් නීතිපති ධුරයේ සිටියදී ඔහු සමග ලොකු ගැටුමක්ද ඇතිකර ගත්තේය. ක්‍රමානුකූලව ඔහු නෛතික තලයේ සමාජ ක්‍රියාධාරයකු බවත්, තවත් පසුකලක 2020 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු බවටත් පත්විය. ඔහු සමාජ මාධ්‍ය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගත් පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. ඒ නිසා විශේෂයෙන් ඔහු සමාජ මාධ්‍යයට සම්බන්ධ ජනයා අතර පිළිගත් හා ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

අධිකරණය සමග සටන් කිරීම

නාගානන්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු විසිනි. පැමිණිල්ලට පදනම් වූ සිද්ධිය සිදුවී තිබෙන්නේ එම විනිසුරුවරයා, අභියාචනාධිකරණයේ සේවය කරමින් සිටි කාලයේදී එම විනිසුරුවරයාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඇසෙමින් තිබුණ නඩුවකදීය. එම විනිසුරුවරයා එම නඩුව අසනවාට ඔහු විරෝධය පළකර තිබේ. සාධාරණ හේතු ඇත්නම් එවැනි විරෝධයක් පළකිරීමේ අයිතිය නීතිඥයකුට පමණක් නොව විත්තිකරුවකුටද තිබෙන්නේය. එහෙත් එම විරෝධය පළ කළ යුත්තේ අධිකරණ සංස්කෘතියට ගැළපෙන විනීත ආකාරයකටය. එහිදී කොඩිතුවක්කුගේ හැසිරීම කෙසේ වීද යන්න මම නොදනිමි.

අධිකරණය සමග ගැටෙන්නට යන කෙනකුට අධිකරණ අපාහස නඩුවකට කොටුවීමට සිදුවිය හැකිය. ලංකාවේ අධිකරණ අපහාසය විධිමත් පනතකින් විවරණය කර තිබෙන නීතියක් නොවන නිසා එවැනි නඩුවක පැටලුණු කෙනකුට සටන් කිරීම පහසු නැත. එවැනි නඩුවකට පැටලීම ගැලවීමට පහසු නැති උගුලක් ලෙස සැලකිය හැකිය. අධිකරණය සමග සටන් කරන්නන් ඒ බවද දැනගත යුතුය. මේ නඩුවේදී නාගානන්ද පැමිණිලිකාර විනිශ්චයකාරවරයාට කනගාටුව ප්‍රකාශ කරන්නට කැමැත්ත පළ කරන ලද බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. මේ නඩුවේදී නාගානන්දට සිදුවී තිබෙන දේ එස්.බී. දිසානායකට සිදුවී තිබෙන දෙයට සමානය. මොන මොන හේතු නිසා හෝ නාගානන්දද ඒ දේම කරගෙන තිබෙන බව පෙනේ. එස්.බී. දිසානායකද වරද පිළිගත්තේය. ඒ නිසා ඔහුට දඬුවම් කිරීම පහසු දෙයක් බවට පත්විය. නාගානන්දද ඒ දේම කරගෙන තිබෙන බව පෙනේ. මහත්මා ගාන්ධි තමන්ට එරෙහිව පවරන ලද සමහර නඩුවලදී ගෙවීමට පහසු සරල දඩයක් පනවන ලද අවස්ථාවලදී පවා දඩය නොගෙවා හිරේ ගිය අවස්ථා තිබුණි. සොක්‍රටීස්ට මරණ දඬුවම පනවන ලද නඩු විභාගයේදී තරමක ලොකු දඩයකට එකඟ වී නිදහස් වීමේ හැකියාව තිබුණද ඔහු ඒ දේ නොකර මරණ දඬුවම භාර ගත්තේය.

ධෛර්යය හා නිර්භීතභාවය සටන් කරන්නකු තුළ තිබිය යුතු වැදගත් ගුණාංග දෙකක් ලෙස සැලකිය හැකිය. ඒ ගුණාංග දෙකම කොඩිතුවක්කු තුළ තිබුණේය. එම ගුණාංග දෙක තිබෙන කෙනකුට සටන්කාමියකු විය හැකි වුවත් ජයග්‍රාහී සටන්කාමියකු විය නොහැකිය. ජයග්‍රාහී සටන්කාමියකු සඳහා තිබිය යුතු තුන්වැනි ගුණාංගයක්ද තිබෙන්නේය. ඒ උපාය මාර්ගික ඥානයයි. තිබෙන ප්‍රතිවිරෝධතා අතරින් ප්‍රධාන ප්‍රතිවිරෝධතා තේරුම් ගැනීම, සටන් කළ යුතු විදිය, සටනක් කිරීමට අවශ්‍ය විෂය මූලික සාධක, සටන් කළ යුතු අවස්ථා, සටන් කිරීමෙන් වැළකී සිටිය යුතු අවස්ථා හා ලැබෙන ප්‍රතිඵල ගැන නිසි තක්සේරුවකට අවශ්‍ය දැනුම ලැබෙන්නේ එම ඥානයෙනි.

තමන් ඉදිරියේ තිබෙන සියලු ප්‍රතිවිරෝධතා එක් පොදියකට ගෙන සටන් කරන ප්‍රතිපත්තියක් ඥානාන්විත විය නොහැකිය. එවිට ඒ පොදියේ සිටින සියලුදෙනා එකට එකතු වී සටන් කරන්නාට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවී සටන් කරන්නා එම සටන් ක්‍රියාදාමයේ පහසු ගොදුරක් බවට පත්විය හැකිය. සාමාන්‍යයෙන් සටන් කරන්නකු තෝරාගත යුතු ඥානාන්විත හා ප්‍රශස්තම උපාය මාර්ගික ප්‍රතිපත්තිය වනුයේ සියලු ප්‍රතිවිරෝධතා එකට නොගෙන තමන්ට ජයගැනීමට හැකියාව ඇති එක ප්‍රතිවිරෝධතාවක් තෝරාගෙන එයට එරෙහිව සටන් කිරීමය. තවත් ප්‍රතිවිරෝධතාවක් හෝ දෙකක් තෝරාගෙන ඒවාට එරෙහිව සටන් කළයුත්තේ ඉන් අනතුරුවය. රටවල් අල්ලා ගැනීමට අපේක්ෂා කරන යුද අධිපතියකු එකවිට රටවල් ගණනාවකට එරෙහිව යුද්ධ කරන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ එක රටක් අල්ලාගෙන ඉන්පසු තවත් රටක් අල්ලා ගැනීම සඳහා යුද්ධ කිරීමය. එය නාගානන්දගේ සටන් ක්‍රමයට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකිය. එනම් සියලු ප්‍රතිවිරෝධතා එක පොදියකට ගෙන සටන් කිරීමය. විශේෂයෙන්ම අධිකරණය සමග සටන් කරන්නට යන කෙනකුට හොඳ උපාය මාර්ගික සැලැස්මක් තිබීම අවශ්‍ය වන අතර නිසි ගෞරවයකින් යුතුව එසේ කිරීමට අවශ්‍ය ශික්ෂණයක්ද එම පුද්ගලයාට තිබිය යුතුය.

මගේ අත්දැකීම්

මමද අධිකරණය සමග ලොකු ගැටුමකට ගිය පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. එය ලංකා අධිකරණ ඉතිහාසයේ සිවිල් පුද්ගලයකු අධිකරණය සමග ඇති කරගත් ලොකුම ගැටුම ලෙසද සැලකිය හැකිය. එය ජාත්‍යන්තර නීති ප්‍රජාවගේ ලොකු අවධානයක් දිනාගත් ගැටුමක් ලෙසද සැලකිය හැකිය.

එය සටන්කාමියකු ලෙස පෙනී සිටීම සඳහා නිර්මාණය කරගත් හේතු මත ඇති කරගත් ව්‍යාජ ගැටුමක් නොවූ අතර, සාධාරණ හා අව්‍යාජ හේතු මත සුළු පරිමාණයකින් ආරම්භ වී ක්‍රමයෙන් ලොකුවට වර්ධනය වූ අව්‍යාජ හා යුක්තිසහගත ගැටුමක් ලෙස සැලකිය හැකිය. සටන ආරම්භ කළේ තනියෙන් වුවත්, එය කිසියම් අදියරයක සිට නීතිඥ ප්‍රජාවගේද විනිසුරු ප්‍රජාවගේද කිසියම් ප්‍රමාණයකට මහජනයාගේද අනුකම්පාව හා සහයෝගය හිමි කරගත් අරගලයක් වී යැයිද කිව හැකිය.

එම ගැටුම ආරම්භවීමට හේතුවූයේ මහේස්ත්‍රාත්වරයකු තමන් ඉදිරියේ ඇසෙන නඩුවකට සම්බන්ධ කාන්තාවකට ලිංගිකව අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව මා පළ කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් බලධාරීන් අනුගමනය කරන ලද නොසැලකිලිමත් ප්‍රතිපත්තිය නිසා මා තුළ ඇතිවූ බලවත් කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයට එකතු වන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර තිබුණු අතර, තුන්වැනි පාර්ශ්වයේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් මත සේවයෙන් පහකර තිබුණි. ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ, තමන්ගේ අපකීර්තිමත් ඉතිහාසය වසන් කරමිනි.

එම සිද්ධිය රාවයේ පළවීමෙන් පසුව ඔහුට තිබුණු දැනහැඳුනුම්කම් මත නීතිපති සරත් සිල්වා හමුවන්නට ගිය ඔහු නීතිපතිගේ උපදෙස් මත මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදී තිබුණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයන් දෙදෙනකු මගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා මා හමුවන්නට පැමිණි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පිළිබඳව මා ඒ වනවිට සොයාගෙන තිබුණු සියලු තොරතුරු ඔවුන්ට ලබා දුන්නේය. මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථාවෙන් පහකිරීමේ සිද්ධිය තහවුරු කරන ලේඛනයක පිටපතක්ද ඔවුන්ට ලබාදෙන ලදි. අතවරයට ලක්වූ කාන්තාව පිළිබඳව මා දන්නා තොරතුරුද ලබාදෙන ලදි.

පරීක්ෂණය ආරම්භ කර තිබුණේ මට එරෙහිව කරන පරීක්ෂණයක් වශයෙන් වුවත්, එය අවසන් වී තිබුණේ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව කෙරෙන පරීක්ෂණයක් වශයෙනි. අපරාධ පරීක්ෂකයන් මහේස්ත්‍රාත්වරයා අතින් දූෂණයට ලක්වී තිබුණු කාන්තාවගෙන් ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගන්නවාට අතිරේකව මුදල් වංචාවක් මත සේවයෙන් පහකිරීමේ සිද්ධිය පිළිබඳව රක්ෂණ සංස්ථාවෙන්ද අවශ්‍ය තොරතුරු ලබාගෙන තිබුණි. පරීක්ෂණය අවසන් වන විට මා වෙනුවට පැමිණිලිකාර මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවකු වීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව නීතිපති සරත් සිල්වා වෙත යවා තිබුණේ අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහාය. නීතිපති වංචාකාරයා ස්ත්‍රී දූෂිත මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන්නේ කුමන ප්‍රතිපත්තියක්ද යන්න ගැන මා නිහඬව එහෙත් උනන්දුවෙන් බලා සිටියෙමි.

නීතිපතිවරයා මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටින බව පෙනුණු විට මම ඒ ගැන අධිකරණ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැමිණිලි කළෙමි. ඔහු ඒ ගැන නීතිපතිගෙන් ලිඛිත කරුණු විමසීමක් කරන ලද අතර, ඊට පිළිතුරු වශයෙන් මහේස්ත්‍රාත්වරයාගේ සිද්ධිය පිළිබඳව රහස්‍ය වාර්තාවක් අධිකරණ ඇමතිවරයා වෙත එවා තිබුණි. එහි පිටපතක් ලබාගෙන කියවූ විට මා තුළ ඇතිවූ විස්මය හා පිළිකුල නීතිපතිවරයා පිළිබඳව කියා නිම කළ නොහැකිය. ස්ත්‍රී දූෂණය පිළිබඳ සිද්ධිය විවිධ තර්ක මත නොසලකා සිටියද මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙක් අධිකරණ සේවයට එකතුවීමේ සිද්ධිය සමාව දිය නොහැකි බිහිසුණු වරදක් බව නොසලකන නීතිපතිවරයකු නීතිපතිවරයකු ලෙස සැලකිය හැක්කේ කෙසේද?

නීතිපතිවරයා නීච හා අධම ගණයේ පුද්ගලයකු විය යුතු බව ඔහුගේ රහස්‍ය වාර්තාව කියවීමෙන් පසු මා ඔහු පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය විය. ඒ සමග මා නීතිපති සරත් නන්ද සිල්වා පිළිබඳ කරුණු සොයා බලන පුද්ගලයකුගේ තත්ත්වයට පත්වීමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සරත් නන්ද සිල්වාට අදාළ සනාථ කළ හැකි බිහිසුණු කතා දෙකක් සොයා ගැනීමට මට හැකිවිය. එයින් මා ප්‍රසිද්ධියට පත් කළේ එක් කතාවක් පමණය. සරත් සිල්වා සමවගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවකු වූ ජයසේකර සිය බිරිඳට එරෙහිව පවරන ලද නඩුව හා එම නඩුව විභාග කළ විනිසුරුවරයා වූ දිසා විනිසුරු උපාලි අබේරත්නගේ ආධාර ඇතිව එම නඩුවේදී ක්‍රියාත්මක කළ නීතියට පටහැනි ක්‍රියාදාමය මා ප්‍රසිද්ධියට පත් කළ කතාව ලෙස සැලකිය හැකිය. ඒ ගැන මා මීට පෙර ලියා ඇති නිසා කිසිවක් නොලියමි. වඩාත්ම භයානක කතාව වනුයේ මා ප්‍රසිද්ධියට පත් නොකළ කතාවය. එය ප්‍රසිද්ධියට පත් කළේ නම් සරත් සිල්වා පමණක් නොව ඒ කතාවට සම්බන්ධ අහිංසක පවුලක්ද මුළුමනින් විනාශ වන්නට ඉඩ තිබුණි. එම බිහිසුණු කතාව ප්‍රසිද්ධියට පත් නොකළේ සාක්ෂි නැතිකම නිසා නොව, අහිංසක පවුලකට සිදුවන විනාශය වැළකීම සඳහාය.

මේ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව හා නීතිපති සරත් සිල්වාට එරෙහිව මා නොනවත්වා කරන ලද හඬ නැගීම නිසා නීතිඥ සංගමයේ සභාපතිවරුන්ගේ සම්මේලනයක කරන ලද ඉල්ලීම අනුව ත්‍රිපුද්ගල විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කරන ලද චෝදනා ගැන සොයා බැලීම පිණිස අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත්කිරීමට අගවිනිසුරුවරයාට සිදුවිය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ගැන සොයා බලන්නට පත් කළ පරීක්ෂණ කමිටුව මා ඉදිරිපත් කර තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු කළේය. දිසා විනිසුරු උපාලි අබේරත්න පරීක්ෂණයට ඉඩ නොතබා වරද පිළිගත්තේය.

ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් මගින් මෙම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කරන චෝදනාවලට ඔහු වරදකරුවකු වන බව දැන දැනම ඔහු ආරක්ෂා කිරීමෙන් නීතිපති සරත් සිල්වා බරපතළ වරදක් කර තිබෙන බව චෝදනා කරමින් ඒ ගැන පරීක්ෂා කොට බලා අධිකරණ පනතේ 2 වන වගන්තිය යටතේ ඔහුගේ නීතිඥභාවය අහෝසි කරන ලෙස ඉල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නීතිපතිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. ඒ හා සමාන පැමිණිල්ලක් රසායන ඉංජිනේරු ජයසේකරද ඔහුගේ නඩුව පදනම් කරගනිමින් නීතිපති සරත් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම පැමිණිලි දෙක විභාගයට ගත යුතුද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සාමූහිකව රැස්වී සාකච්ඡා කර තිබෙන අතර නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් පවත්වනවාට විරුද්ධ වී ඇත්තේ විනිසුරුවරුන් තිදෙනෙක් පමණය. අමීර් ඉස්මයිල් විනිසුරුවරයා මගේ පැමිණිල්ල භාර පරීක්ෂණ නිලධාරියා වශයෙන්ද, ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ජයසේකරගේ පැමිණිල්ල භාර පරීක්ෂණ නිලධාරියා වශයෙන්ද, ආචාර්ය මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා එම පැමිණිලි දෙකේ අධීක්ෂණ හා කළමනාකාර කටයුතු භාර නිලධාරියා වශයෙන්ද පත්කර තිබේ. අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. සිල්වා විශ්‍රාම යන්නේ නීතිපතිවරයාට එරෙහිව පරීක්ෂණ දෙකක් ආරම්භ වී තිබුණු අවස්ථාවකදීය.

හොඳටම බෙල්ල හිරකර ගත් තත්ත්වයකට පත්වී සිටි සිය මිතුරා මුදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට අනියම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිනිය ඔහු ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබූ පරීක්ෂණයන් නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත් කළාය. ජනාධිපතිනියගේ එම නීති විරෝධී ක්‍රියාවට මා විරෝධය පළ කළේ ජනාධිපතිනිය ඉදිරියේ නව අගවිනිසුරුවරයා දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා රාවය පුවත්පත කළු කලාපයක් වශයෙන් පළකිරීමෙනි.

ඉන්පසු අපි තිදෙනකු අගවිනිසුරුවරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඔහුට එරෙහිව නඩු පැවරුවෙමු. අගවිනිසුරුවරයා එම නඩුවේ විනිශ්චය මණ්ඩලය තීන්දු කරන තත්ත්වයක සිටියදී එම නඩුව ජයගත නොහැකි බව අපි දැන සිටියෙමු. අපට අවශ්‍ය වූයේ ඔහුගේ පත්වීමෙන් පසු සටන අතරමග ඇනහිටින්නට නොදී ඉදිරියට ගලා යන තත්ත්වයක් ඇති කිරීමය. එම නඩුව නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නීතීඥ සංගමය ඇතුළු නීති සංගම් ගණනාවක් එකට එකතු වී කේරළයේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයකු එම නඩුවේ නිරීක්ෂකයකු වශයෙන් ලංකාවට එවීය.

ඉන්පසු අගවිනිසුරුවරයා ඉවත් කිරීමට උත්සාහ කරන අසාර්ථක උත්සාහයන් දෙකකටද දායක වන්නට සිදුවිය. ඉන්පසු අගවිනිසුරුවරයා තනතුරේ සිටියදීම ඔහුගේ ජුගුප්සාජනක භූමිකාව විස්තර කරන පොතක් ‘නොනිමි අරගලය’ නමින් පළ කරන ලදි. එය දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද පාඨක අවධානය දිනාගත් පොතක් බවට පත්විය.

සරත් නන්ද සිල්වා ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයේදී රටේ දේශපාලන පක්ෂ හා ජනමාධ්‍ය රඟපෑ භූමිකාවද සරත් සිල්වා තරම්ම ජුගුප්සාජනක වූ බව කිව යුතුය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය වැනි පක්ෂද කුණුවූ මළ සිරුරකින් මජර උරා බොන නිලමැස්සන් මෙන් ඒ අර්බුදයේදී ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඔහුගේ පැවැත්ම ශක්තිමත් කළේය. බොහෝ ජනමාධ්‍යවල හිමිකරුවන්ද එම අර්බුදය අවස්ථාවක් කරගනිමින් ඔවුන්ගේ නඩු හබ බේරා ගත්තේය. ඒ සියලුදෙනාගේ හැසිරීම එසේ නොවන්නට ලංකාවේ වර්තමානය මේ තරමට කාලකණ්ණි නොවන්නට ඉඩ තිබුණි.
ravaya -

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts