Open top menu
Tuesday, November 19, 2019

මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය දිනීමේ වැඩි හැකියාව තිබෙන්නේ ගෝඨාට නොව සජිත්ට බව මම කීවෙමි.

එහෙත් එය එසේ වූයේ නැත. ගෝඨාභයගේ ජයග්‍රහණය, එහි පරිමාව මට තේරුම් ගැනීමට අමාරු ප්‍රහේලිකාවක් විය. එ නිසා එම ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා කරුනු සොයා බලන තැනකට යන්නට සිදු විය. එජාපයට හිතවත් ජනතාවට අතිරේකව දුප්පතුන්ගේ හා පීඩිතයින්ගේ ආකර්ශනය සජිත්ට හිමි වනු ඇති බව මගේ මතය විය. ඔහුගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දුප්පතුන්ගේ හා පීඩිතයින්ගේ හිත සුව පිණිස අසම සම සේවයක් කළ ජන නායකයා ලෙස සැලකිය හැකිය.

දැන් සමෘද්ධිය නමින් ක්‍රියාත්මක වන මුලදී ජනසවිය නමින් ක්‍රියාත්මක දුප්පතුන් සඳහා වෙන් වූ සහනාධාර වැඩ සටහන ඔහුගේය. ඔහුගේ නිවාස වැඩ සටහන යටතේ නිවාස හිමි කර ගත් දුප්පතුන්ගේ සංඛ්‍යාව විශාලය. ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරය ද ඔහුගේය. ඉන් ඵල ප්‍රයෝජන ලැබු දුප්පත් තරුණියන්ගේ සංඛ්‍යාවද විශාලය. සජිත් එජාපයට හිතවත් ජනයාට අතිරේකව ඉහත කී ජනයාගේ ආකර්ශනයට හේතු වනු ඇති බව මගේ මතය විය.

සොයා ගත් පිළිතුර මෙසේ පිඩු කළ හැකි ය. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ලැබූ ජයග්‍රහණය 1956 පෙරළියේ නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය.

56 පෙරළිය විස්තරාත්මකව විග්‍රහ කරන හොඳම පොත ලෙස සැලකිය හැක්කේ හොවාඩ් රිගින්ස්(Howard Wriggins)ගේ "Ceylon: Dilemmas of a New Nation “ නැමැති කෘතියයි. රිගින්ස්(1918- 2008) කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා අන්තර්ජාතික කටයුතු පිළිබඳ මහාචාර්යවරයෙකි. වසර පණහක් තරම් කාලයක් අන්තර් ජාතික වශයෙන් ඔහු සලකන ලද්දේ ලංකාව පිළිබඳ ප්‍රමුඛ විශාරදයෙකු වශයෙනි. 1977 සිට 1979 දකවා ඔහු ලංකාවේ ඇමරිකානු තානාපති ලෙසද ක්‍රියා කළේය. ඉහත සඳහන් කෘතිය 1960 දී පළ කරන ලද්දක් වන අතර ඔහු මහාචාර්ය. කේ.එම් ද සිල්වා සංස්කරණය කරන ලද ජේ.ආර්.ජයවර්ධන චරිතාපදානයේ සම සංස්කාරකවරයෙකු වශයෙන්ද ක්‍රියා කළේය.

56 පෙරළිය කෙරෙහි බල පෑ සිංහල බෞද්ධ දේශපාලන ආතතිය ගැන හා එම තත්ත්වය ජයගැනීම සඳහා සිංහල බෞද්ධ ව්‍යාපාරය භික්ෂූන් හා රටපුරා තිබෙන පන්සල් යොදා ගනිමින් 1953 සිට 56 ජයග්‍රහණය දක්වා අඛණ්ඩව පවත්වාගෙන ගිය විචක්ෂණ වැඩ සටහන ගැන කදිම විස්තරයක් එම කෘතියට ඇතුලත්‍ ය. ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා ක්‍රියාවට නගා ඇති වැඩ සටහනද බොහෝ දුරට ඊට සමානය.

1956 පෙරළියේ සේම 2019 පෙරළියේද දේශපාලන යන්ත්‍රය ලෙස ක්‍රියා කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේලාය. පළමු පෙරළියේ සේම මෙම පෙරළියේද මහජනයාගේ ඔලු සෝදන ප්‍රධාන දේශපාලන මණ්ඩප ලෙස ක්‍රියා කර ඇත්තේ පන්සල් ය.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දේශපාලන සංසිද්ධිය සිංහල බොදු බලවේගයන් අන්ද මන්ද කිරීමට හේතුවිය. එම ප්‍රතිඵලය ඔවුන් දැක්කේ දකුණේ සිංහල බොදු විරෝධී සුලු පිරිසක් දෙමළ-මුස්ලිම් බලවේගයන්ගේ සහය ඇතිව සිංහල බොදු බලවේගයන්ගේ ජයග්‍රහණනය උදුරා ගැනීමක් ලෙසය. එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළකා ගැනීම සඳහා සහ දෙමළ-මුස්ලිම් සහායක් නැතිව සිංහල ඡන්දදායකයින් මත පමණක් මත පදනම් වූ ජයග්‍රහණයක් සඳහා සිංහල බොදු ජනයාගේ මනස සකස් කරන ව්‍යාපාරයක නිරත වූයේය. සිංහල බොදු ජනයා ගොඩනගමින් තිබූ ජාතියේ හා ආගමේ අනාරක්ෂිතභාවය පිළිබඳ බිය, පාස්කු ප්‍රාහාරය වඩා ප්‍රබල බියක් බවට පත් කිරීමට හේතුවිය.

ජනාධිපතිවරණය ප්‍රකාශ කරන අවස්ථාව වන විට සිංහල බොදු මනස සකස් වී තිබුණේ සිංහල ජාතියේ හා බුද්ධාගමේ ආරක්ෂාව සඳහා තනි සිංහල බොදු ඡන්දවලින් ගෝඨාභය තෝරා පත්කර ගත යුතුයි කියන දැඩි මානසික තත්ත්වයකය. පීඩිතභාවය, දුප්පත්කම හෝ ප්‍රජතන්ත්‍රවාදී අයිතීන් ගැන කරුණු සලකා බැලීමට සූදානම් මානසික තත්ත්වයක නොවේ. සිංහල වර්ගය හා බුද්ධාගම අධිනිශ්චය කරණ තැනකය. එම විශේෂ වටාපිටාව තුළ සජිත්ට තබා මොනම අපේක්ෂකයෙකුට වත් ගෝඨාභය පරාජය කිරීමේ ඇත්ත හැකියාවක් නොතිබුණි.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

This is the most recent post.
Older Post

0 comments

Popular Posts

Popular Posts