Header Ads

දිලිත් ජයවීරට ආදරයෙනි, හිතවත් දිලිත්,l

දිලිත් ජයවීරට ආදරයෙනි,

හිතවත් දිලිත්,l

පසුගිය ජනාධිපතිවරණය අපට දේශපාලනය කියන්නේ මොකක්ද කියලත්, අපි එක්ක හිටි මිනිස්සු කවුද කියලත්, හොදින් තේරුම් ගන්න ලැබිච්ච හොඳම අවස්තාවක්. එනිසා නැවත දේශපාලනය ගැන ලියන්නේ නැහැ. ඒත් මේ ලිපිය ලියන්නේ ඔබ වෙනුවෙන් නොලියා ඉන්න බැරිකමට. මම දකිනවා "දෙරණ හිරු විරෝධීන්ගේ සංගමය" ලෙස ෆේස්බුක් ගෘප් එකක් පවා අටවාගෙන ඔබට සහ ඔබේ නාලිකාව නොනවතින ප්‍රහාරයක ගොදුරක් කරගෙන තිබෙන බව. එක්තරා ෆේස්බුක් ඇබැටිල්ලකු විසින් ඔබට අවවාද කරන, ඔබව විවේචනය කරන, ලිපියක් ඊනියා උගතුන්ගේ සිට කෙළතොල්ලන් දක්වා තලු මරමින් අන්තර්ජාලයේ සංසරණය කරනු දුටුවම ඒ ගැන නොලියා ඉන්න බැරිකමක් මට තියෙනවා.

මේ මොහොතේ ඔබට ඔබේ මාධ්‍ය හැසිරවිය යුත්තේ කෙසේදැයි උපදෙස් දෙන, ද්වේශයෙන් පහර දෙන, අවවාද කරන, පඩියන් කවුද? තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්ව ඇතැයි කියාගෙන රෑට බතට ගී ගයන එන්ජිඕ කරුවෝය. ඔබේ විචාරයට අනුව අනුර කුමාරගෙ ව්‍යාපාරික සමාගමේ (ජවිපෙ) ගනුදෙනුකරුවෝය. කොරෝනා වසංගතයටත් වඩා ලෝකෙටම ඇති එකම බලවත් තර්ජනය සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි සිතන සකලවිට බෞද්ධ විරෝධීන් ය. මාක්ස්වාදී, ලිබරල්වාදී, හේතුවාදී, පශ්චාත් නුතනවාදී, මොන පැහැයෙන් සිටියත් මේ ඔක්කොම කොටි හිතවාදයට පක්ෂ සහ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වුවෝ වෙති. පාස්කු ඉරිදා බෝම්බ ගැසූ සහරාන්ලාටවත් කටක් ඇර ජාතිවාදියි නොකියන ඔවුන් ඔබට සහ ඔබේ නාලිකාව ජාතිවාදය වපුරන බව කියති. ඔබේ නාලිකාවේ මාධ්‍යවේදීන්ට ( Chatura Alwis ට ) පහර දෙන තරම් සහරාන්ටවත් පහර දෙන අයුරු ඔබ දැක තිබේද?,නලින් ද සිල්වාට පහරදෙන තරම් ප්‍රභාකාරම්ටවත් පහරදෙනවා ඔබ දැක තිබේද? Udaya Prabhath Gammanpila ට, Wimal Weerawansa ට පහර දෙන තරම් බදුර්දීන්ට රවුෆ් හකීම්ට පහර දෙනවා ඔබ දැක තිබේද? සරත් වීරසේකරට පහරදෙන තරම් විග්නේෂ්වරන්ට, මනෝ ගනේෂන්ට, සුමන්තිරන්ට, පහර දෙනවා ඔබ දැක තිබේද? ජනිපෙ Mohomed Muzamil ට තරම් අබ්දුල් රාසික්ට, අසාද් සාලිට පහර දෙනවා ඔබ දැක තිබේද? ගුණදාස අමරසේකරට තරම් හිස්බුල්ලාට පහර දෙනවා දැක තිබේද? ඉතා අවංකව සිතුවොත් මේ අතර නියම ජාතිවාදීන් කවුද? චතුරද සහරාන් ද ? විමල් වීරවංශ ද හකීම්ද? අමරසේකරද ?හිස්බුල්ලාද ? නලින් ද සිල්වාද ප්‍රභාකාරම් ද ? එහෙත් ඔවුන්ට ජාතිවාදීන් නොවන්නේ සුමන්තිරන්, හිස්බුල්ලා, මනෝ ගනේෂන්,බදුර්දීන් හකීම්, අනුරකුමාර, පුබුදු ජාගොඩ, වැනි කිහිප දෙනෙක් පමණි. හිතන්න..! නියම ජාතිවාදීන්ටත් ජාතිවාදීන් නොකියා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු වලින් පවා මානව හිතවාදයේ ගුණ සුවඳ පතන මේ පිරිසෙන් ඔබට හෝ ඔබේ නාලිකාවට චරිත සහතික අවශ්‍යයද? අද ඔබේ නාලිකාව ජාතිවාදී කියන්නේ මෙරට ඉන්න ලොකුම ජාතිවාදීන්ගේ ආරක්ෂකයන් පිරිසක්‌ නොවේද?

පසුගිය දශකයේ "ජාතිවාදය" තරම් මිනිස් හැගීම් යටපත් කළ තක්කඩි වචනයක් තවත් තිබේද? බොහෝ අය තම හැගීම් යටපත්කොටගෙන ඇත්තේ මේ ජාතිවාදී ලේබලයට ඇති බිය නිසාය. එහෙත් ඔවුන් "මේ කියන ජාතිවාදය" අවමානයට කරුණක් නොව කැමැත්තෙන් වැළදගත යුතු හැගීමක් බව ඔබේ නාලිකාවෙන්ම රටට කියාදීම වැදගත් මෙහෙවරක් බව සිතන්න. මන්ද අද ජාතිවාදී ලේබලය තරම් වදුරු කුහුහරුපයක් මේ රටේ තවත් නැති නිසාය. බෞද්ධ සංස්කෘතික විරෝධී එන්ජිඕ සාම කඩකාරකයන්ට හා ඔවුන්ගේ දරු මුණුබුරන්ට අනුව උතුරේ කොටි සැමරුම්වලට එරෙහිවීම ජාතිවාදීය. ඊළාම් කොඩිය උස්සා නටන නැටුම්වලට විරුද්ධවීම ජාතිවාදීය. බදුර්දීන් වන රක්ෂිත කපා ඒවා මුස්ලිම් ගම්මාන කිරීමට එරෙහි වීම ජාතිවාදීය. කොටි නිදහස් කිරීමට එරෙහිවීම ජාතිවාදීය. රණවිරුවන් හිරේ දැමීමට එරෙහිවීම ජාතිවාදීය. උතුරු නැගනහිර බෞද්ධ පුරාවස්තු ඩෝසර් කිරීමට එරෙහිවීම ජාතිවාදීය. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිවීම ජාතිවාදීය. පාස්කු ප්‍රහාරයට පසු මුස්ලිම් නිවෙස් පරික්ෂාවට ලක්කිරීම ජාතිවාදීය. තව්හිද් ජමාත්ලා වැනි අන්තවාදී සංවිධාන තහනම් කරන්නැයි ඉල්ලීම ජාතිවාදීය. ඔවුන්ට ජාතිවාදී නොවුයේ කුමක් ද ? පිටකොටුවේ අට්ටාල ගහගෙන දින 50 ක් ප්‍රජාත්‍රන්තවාදය රකින්න කාලය ශ්‍රමය කැපකරපු මොවුන් ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් රටට අහිමිවූ ප්‍රජාත්‍රන්තවාදය ගැන වචනයක් කතා කළේද ? සිංහල බෞද්ධයන්ට පමණක් ඊනියා සංහිදියාව, සහජීවනය, ගැන පාඩම් ඉගැන්වීමට උනන්දු ඔවුන් ඊට වැයකරන කාලයෙන්, ශ්‍රමයෙන්, දශමයක් "තව්හිද් ජමාත්ලා" වෙනුවෙන් වැය කර තිබේද ? මේ වගේ තමන්ගේ රට ජාතියට සංස්කෘතියට, අතීත උරුමයට වෛර කරන පිරිසක් ඔබ ලෝකයේ වෙනත් රටවලින් දැක තිබේද ?

මොට්ට සල්ලිකාරයකු ලෙස නොව උගත්, යුක්ති ගරුක මිනිසුන් අතර ඔබට ඇත්තේ කෙබඳු පිළිගැනීමක්ද? යන්න ඔවුන් ඔබෙන් අසයි. දේශපාලනිකව පරාභවයට ලක්වූ සමාජ වෛරක්කාරයන් පිරිසකගෙන් ඇත්තටම ඔබ අමුතුවෙන් ලබාගත යුතු සමාජ පිළිගැනීම කුමක් ද ? දකුණට ජාතිවාද නරිවාදම දෙසමින් උතුරේ කොටි ත්‍රස්තවාදත් , නැගනහිර මුස්ලිම් අන්තවාදයත් ඉවසන ඔවුන්ගේ ඇති සමාජ සාධාරණත්වය, යුක්ති ගරුකභාවය කුමක් ද? දෙදාස් පන්සීයේ සිංහල බෞද්ධ අහවල් එකට පහරදීමෙන් තොරව අධෝවාතයක්වත් පිට කළ නොහැකි පරවේණිගත රෝගයකින් පෙළෙන මේ හිවල් සමාජය යුක්ති ගරුක වුයේ කවදා කොහොම කොතැන් සිටද ? ඔබට නොව සිදුහත් යශෝධරා වැනි බෞද්ධ සාහිත්‍යයේ උත්තම චරිතවලටත් කැලෑ පත්තර ගහන, මොට්ට අල්පශ්‍රැතයන්ටත් අත්පුඩි ගහන මිනිස්සු යුක්ති ගරුක වන්නේ කෙසේ ද?

රටේ 75%කට වැඩි ජන කොටසකගෙ ගෞරවයට හා වන්දනයට පාත්‍ර වෙලා ඉන්න චරිතවලට ගරු කරන්න බැරි නන් අඩුම ගානෙ නිග්‍රහ නොකර ඉන්න තරම්වත් හික්මීමක් නැති උන් යුක්ති ගරුක මිනිසුන් වන්නේ කෙසේද ? ඔබ හෘද සාක්ෂ්‍යට විරුද්ධ කිසිවෙක් සමග බැදීම් ඇතිකර ගන්න එපා. රාහුල යනු ඡන්න සමග අනාචාරයේ හැසිරුණු යශෝධරාගේ දරුවෙක් බව කියන, සිදුහත් හා චන්න අතර සමලිංගික සම්බන්ධයක් තිබූ බව කියන, කෙටිකතා නාමයෙන් පුජනීය චරිතවලටත් ගර්හා කරන, අංගුලිමාල ඇඟිලි 999 ක් කපන තුරු බුදුන් සිටියේ කොහේදැයි අහන, පස්මහ බැලුම් බලද්දී කුලය බැලුවේ ඇයිදැයි අහන, මෘග්ධයන්ගෙන් ඔබට ලැබෙන සමාජ පිළිගැනීම කුමක් ද ?

බුදුන් වහන්සේ කිසිදාක කිසිවකු මරණයෙන් මුදා නොගත් අතර මිනිසුන්ට මරණයෙන් ගැළවෙන (ඉපදීම නැතිකරන) මාර්ගය පෙන්වා දුන්නා පමණයි. මග්ගඤ්ඤු, මග්ගකෝවිදෝ, මග්ගවිදු, මග්ගයෝනිසෝ ආදී පර්යාය වචන වලින්ද තථාගතයන් හදුන්වා ඇත්තේ තමන් වහන්සේ මග පෙන්වන්නෙකු හෙවත් මාර්ගෝපදේශකයකු මිස වෙනත් ආගම්වල මෙන් ගැලවුම්කරුවෙකු නොවෙන බවයි. "අත්තාහි අත්තනෝ නාථෝ - කෝහි නාථෝ පරෝසියා" යනුවෙන් උන්වහන්සේ පෙන්වා ඇත්තේ ද තමාගේ පිහිට තමා මිස අන් කෙනෙක්ගේ පිහිටක් තමාට නැති බවයි. බුදුවරු ඉන්නේ මිනිසුන්ගේ කර්ම-ඵල වෙනස් කිරීමට නම් පුරුෂ වීර්යයට, පුද්ගල ස්වච්ඡන්දතාවයට, බුදුවරුන්ගේ දහමට ඇති තැන කුමක් ද? බුදුන් අංගුලිමාල සොයා ගියේ මාතෘ ඝාතනයෙන් වන ආනන්තරීය පාපකර්මය වලක්වා ගැනීමටයි. මොකද ආනන්තරීය පාප කර්මය නිසා රහත්වෙන්නට තරම් පෙර කුසල් තිබුණත් ඔහුට රහත්භාවය මගහැරෙන නිසා. හරියට මඩෙන් වැසී ඇති මැණිකක් පාදා ගැනීමට උදව්වෙන ආකාරයෙන් බුදුන් පිහිට වූයේ කුසල් තිබූ අයට පමණයි. පස්මහ බැලුම් බලද්දී කුලය බැලුවේද සමස්ත සමාජයක් වසර දහස් ගණනක් කුල ධූරාවලියක යදමින් බැඳ තිබෙන අවස්ථාවක, කුලභේදයට එරෙහිව සමානාත්මතාවයේ දහමක් දේශනා කළ හැක්කේ එම ධූරාවලියේ ඉහළම කුලයක ඉපදීමෙන් මිස පහළ කුලයක ඉපදීමෙන් නොවන බව දන්නා නිසයි. අඩු කුලයක ඉපදී දේශනා කලේ නම් ඒ දහම කිසිවෙකු ගණන් ගන්නේ නැහැ. තමන් හරිහැටි නොදන්නා දහමක එන මෙබඳු ශ්‍රේෂ්ඨ චරිතවලටත් විවිධ අවලාද නගන මිනිසුන්ගෙන් ඔබට ලැබෙන පිළිගැනීම කුමක් ද ? එනිසා ඔය ඊනියා යුක්තිගරුක පුරවැසියන්ගේ පිළිගැනීමට ලක්වෙන්නැයි කරන ඉල්ලීම් කාරලා ගහන කෙළපාරක් තරමටවත් ගණන් නොගන්න.

අද ඔබට මාධ්‍ය ආචාර ධර්ම ගැන ටියුෂන් දෙන්න එන්නේ රජයේ ගුවන්විදුලිය පාවිච්චි කරමින් තරුවන් සරණයි .! නිහොන් සැප ලැබේවා..! යැයි බෞද්ධ සංස්කෘතික වචන පවා පරිභවයට ලක්කැරෙන රේඩියෝ නාට්‍ය නිපදවූ සහ ඒවාට හූමිටි තැබූ අයයි. තමන්ගේම මාධ්‍ය අවකාශයක් තිබුණේ නම් මේ මෘග්ධයන් ඒවා හසුරුවන ආකාරය ඔබට සිතාගත හැකි ද ? එවැන්නන් ඔබේ නාලිකාවෙන් සමබර අපක්ෂපාතිත්වය ඉල්ලීම තරම් විහිළුවක් තවත් තිබේද? අද ආගමික සහජීවනය, සංහිදියාව ගැන වැදිබණ කියන්නේ ද එසේ වැඩකළ අයයි.

ලියුම ටිකක් දිග වුනාට තවත් කාරණා දෙක තුනක් මතක් කරන්න අවශ්‍යයි. සංවිධානාත්මකව කැරෙන දෙරණ විරෝධය පිටුපස ඉන්නේ ජවිපෙ කාඩරය සහ ඊනියා ප්‍රති සංස්කෘතියක් ගැන කියමින් ජාතිකත්වය වැනසීමට සාහිත්‍ය කලාව යොදාගන්නා එන්ජිඕ දෘෂ්ටියේ කුලීකාර උගතුන්. මේ අයගෙත් දේශපාලන නවාතැන ජනතා විමුක්ති පෙරමුණයි. මේ හැමෝම ඔබට සාමුහිකව පහර දෙන්නේ මීට අවුරුද්දකට පමණ පෙර ජවිපෙ සමාගම ගැන ඔබ විසින් කළ සිත්ගන්නා සුළු විචාරය නිසා. එතෙක් කිසිවෙකුත් නොඇල්ලූ නිලයක් ඔබ ඇල්ලූ නිසා ඔවුන් තාමත් ඉන්නේ වෙඩිකාපු ඌරන් වගේ. අද රට ජාතිය ආගම ගැන කතා කළාම අපට ජාතිවාදී පිස්තෝලය දික්කරන ජවිපෙම තමයි ඉස්සර රට ජාතිය, සංස්කෘතිය- සදාචාරය, අතීත උරුමය, ජාතිකාභිමානය ගැන වැඩියෙන්ම කතා කලේ. ජවිපෙ වේදිකාවල ඇහුණේ හෙළ ජාතික අභිමානේ.. ,l ඉදුනිල් ගගුළැල් .. l රත්න දීප ජන්ම භුමි වගේ ගීත. අද එන්ජිඕ නඩවල සුරතලකු වී ඇති අනුර කුමාරගේ ජවිපෙට මේවා ජාතිවාදය කුළුගන්වන ගීත. එන්ජීඕ සාමකඩ කාරයන්ගේ සහ ජවිපෙ දෘෂ්ටිවාදය අතර අද වෙනසක් නෑ. අපි ඒවා මතක් කරලා දෙනකොට ඒ ගොල්ලන්ට සෑහෙන්න කේන්ති යනවා. ඉස්සර ජිප්සීස් සුනිල් පෙරේරා රාජකීය විදුහලේ ස්ටැග් නයිට් නම් ප්‍රසංගයේදී කාන්තාවක් නිරුවතින් රංගනයක යෙදවීමට විරුද්ධව "අපේ සංස්කෘතිය", සදාචාරය, ඉස්මතු කරලා වැඩියෙන්ම පහර ගැහුවේ ලංකා පත්තරෙන්. එහෙව් සුනිල් අද ජවිපෙ වේදිකාවේ පහන පත්තු කරන ප්‍රධාන ආරාධිතයා වෙන තරමට ජවිපෙ ජිප්සීස් වුණේ කොහොමද ඇහුවම අපිව කන්න හදනවා. කෝකටත්තෛලය වගේ ජාතිවාද පිස්තෝලය අපිට දික්කරනවා.

කෙනෙක් තමන්ගේ උරුමයට, තම ජාතියට ආගමට ඇති ආදරය ජාතිවාදය හෝ ආගම්වාදය නොවේ. කොතරම් අඩුපාඩුකම් සහිත වුවද ඕනෑම කෙනෙක් තමන්ගේ පාසලට වැඩියෙන් ආදරය කරනවා. තමන්ගේ මවට වැඩියෙන් ආදරය කරනවා. ඒ වැඩි ආදරය නිසා අපි අනෙකුත් අම්මාලාට වෛර කරන්නේ නැහැ. කෙනෙක් ජාතියට, ආගමට කරන ආදරයද තම මවට කරන වැඩි ආදරයට සමානයි. එනිසා මව්බිමේ පැවැත්ම අභියෝගයට ලක්වෙන සෑම අවස්ථාවකම රටට, දැයට, සමාජයට මග කියාදීමට ඔබ ඔබේ නාලිකාව අනිවාර්යෙන් මෙහෙයවන්න. ඔබ මිය යා යුත්තේ හුදු ව්‍යාපාරිකයකු පමණක් ලෙස නොවෙයි. ඔබව මෙතෙක් දුරක් ගෙන ආ ගහකොළට, පරිසරයට, මේ බිමට, ඔබේ ආකල්ප සිතුම්පැතුම් සකස් කරදුන් සංස්කෘතියට, ඊට බලපෑ ආගමට ණයගෙවා ගිය මිනිසෙකු ලෙසයි. හිතන්න අතීත රජවරු ගැන. අපේ මුතුන් මිත්තන් ගැන. ඒ අතීත මිනිස්සු රට දැය සමය වෙනුවෙන් කළ කැපකිරීම්වලින් දශමයක් අප කර තිබේද? අදටත් පැරණි රජවරු ඉදිකළ වැව්, අමුණු, දාගැබ්, වෙහෙර විහාර, හැර ඔවුන් තනාගත් මාලිගාවල නටබුන් නැහැ. ඔවුන් ඉතිරිකර ගියේ සංස්කෘතික දායාද පමණයි. ඒ තමයි උපන් බිමට ණයගෙවා ගිය මිනිස්සු. අපිට එහෙම බැරි නම් සමනලීගේ පරපුරට කුණු පුරවන්න නොදී තවත් පරම්පරාවකට ඒ උරුමයන් ආරක්ෂාකර දෙන්නවත් අපිට පුළුවන් වෙන්න ඕන.

එහිදී එන්ජිඕ සාම තෙල්කාරයන්ගේ "ජාතිවාද පිස්තෝලය" අපට දික් වෙන්න පුළුවන්. අද මිනිස්සු බය කරලා තියෙන්නේ මේ පිස්තෝලයෙන්. ඔබට පමණක් නෙමෙයි අන් කිසිදු පුවත්පතකට නොඇලවූ "ජාතිවාදී ලේබලය" මීට පෙර "දිවයින" පුවත්පතටත් අලවනු ලැබුවා. ඊට හේතුව එය මිලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාතිකත්ව මතවාදය පෝෂණය කළ පුවත්පත නිසා. ඇත්ත වශයෙන්ම බෙදුම්වාදයට එරෙහිව කළ "දිවයිනේ" න්‍යායික මැදිහත්වීම නොවෙන්නට මේ වනවිට ප්‍රභාකරම් උතුරේ ස්වයංපාලනයද පිහිටුවා අදවනවිට එහි රාජ්‍ය විචාරීමටද ඉඩ තිබිණි. එහෙත් ඒ නපුරු ඉරණම වෙනස් කරනු ලැබුවේ "දිවයිනයි". දෙමළ ඊළම වෙනුවෙන් පැවති දශක තුනක ත්‍රස්තවාදය අතුගා දැමීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් "දිවයිනට" තරම් සතුටු වියහැකි ඉතිහාසයක් මෙරට වෙනත් කිසිම පුවත්පතකට නැහැ. "දිවයින" ජාතියක ඇස් අරවන ප්‍රවෘත්ති පළ කළේ අලෙවි උපායක් ලෙස නොව රට ජාතියේ පැවැත්ම අරභයා සිය හෘද සාක්ෂ්‍යයෙන්ම දෙවුර මත පටවාගත් සමාජ ශීලයක් ආරක්ෂා කිරීමට බැදී සිටි නිසයි. ත්‍රස්තවාදයෙන් බැටකන මෙරට බහුතර ජනයාගේ හෘද සාක්ෂ්‍ය හැර යුධ විරෝධය, සාම වෙළදාම ජිවන මාර්ගයක් කරගත් ඩොලර් කාක්කන්ගේ ලේබල් "දිවයිනට" කිසිදාක වැදගත් නොවීය. මේ ඊනියා සංහිදියා සාමතෙල්කාරයන්ගේ න්‍යායපත්‍ර ගැන "දිවයින" දැන සිටියා පමණක් නොව ඇතැම් දිනවල පුවත්පතේ කතුවැකිය වෙන් කළේද මේ ද්‍රෝහීන් හෙළිදරව් කිරීම සඳහාය. ඔබටත් ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. තවදුරටත් ජාතික මතවාදය පිළිබඳ න්‍යායික දැනුමෙන් ප්‍රේක්ෂකයා පෝෂණය කිරීමට ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ බුද්ධිමය ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් ගන්නා ලෙසද ඉල්ලමු.ඔහු අදහස් වලින් පරාජය වන්නෙකු නොවේ. වරක් ඔබ පවසා තිබුනේ ඔබටත් හිතන්න පුරුදු කලේ සරසවියේ දී නලින් සර්ගේ දේශනවලට සවන්දීමෙන් ලැබුන අභාසයෙන් බවයි. නමුත් එතුමා පසුගිය කාලයේ ලියා තිබුනේ මෙරට මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ අතරට අන් අයගෙන් වොයිෂ් කට් ගත්තද එතුමාගේ අදහස් cut වොයිෂ් වෙන බවයි. වරක් මම චතුරටත් පැවසුවා සාකච්ඡාවකට ප්‍රමාණවත් කාලයක් ලැබෙන Talk With Chatura වැඩසටහනට එතුමා සම්බන්ධ කර ගන්න. ඒත් එය තාම කෙරුණේ නැහැ. එදාට ඔය හිවල් සමාජය නගන ජාතිවාදී වදුරු කුණුහරුපය ගැනත් අහන්න පුළුවන්.

තෙරුවන් සරණයි.!

l රත්තනදෙණියේ මේධානන්ද හිමි

2020.04.23

No comments

Powered by Blogger.