Header Ads

දෛනික ලිංගික අල්ලස් හා ඇසින් දුටු සාක්ෂි

දෙදහස් දහසය වසරේදී තම ගමට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත් වැන්දඹු දෙදරු මවක් වන කල්‍යාණි මධුෂිකාට, ගංවතුර ආධාර ලබාගැන්මට යාමේදී ගංවතුරෙන් සිදුවූ විනාශයට වඩා විශාල ඛේදනීය තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. ඇය ආධාර ලබාගැනීමට ග්‍රාම නිලධාරිවරයා වෙත ගිය අවස්ථාවේදී ඔහු සහන ලබාදීමට එකඟවූයේ ඇයට අයුතු යෝජනාවක් ද කරමිනි. ඔහුගේ යොජනාවෙන් 28 හැවිරිදි ඈ වික්ෂිප්ත වූවාය.

“සර්ට, හැකි නම් මට උදව් කරන්න, එත් මම ගණිකාවක් නෙමෙයි.” ග්‍රාම නිලධාරිවරයා වෙතින් පිටව යාමට ඈට සිදුවූයේ එසේ කියමිනි. “මට දින කිහිපයක් යනකම් කෑමට හෝ නිදා ගැනීමට බැරි වුණා, පුංචි දේවල්වලට පවා, මගේ දරුවන් සමග කෝප වුණා, අපිට සහන අත්‍යවශ්‍යම වුණු වෙලාවක් ඒක, මට තවමත් ඒ දේවල් මතක් වෙද්දී කදුළු එනවා,” යැයි ඇය පවසන්නීය.


සමානාත්මතාව සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (CEJ) විසින් යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් ලිංගික අල්ලසට ලක්වීම පිළිබඳ ලේඛනගත කර ඇති සිදුවීම්වලින් මෙය එකක් පමණි. ලිංගික අල්ලස් ගැනීම යනු පෙර නොවූ විරූ අලුත්ම ගැටලුවක් නොවූවත්, එම විෂය පැහැදිලිව හඳුනා ගැනීමට ලක්ව නොමැත. ලිංගික අල්ලස හා බැඳුණු නුහුරුතා හා වරද පිළිබඳ අර්ථකථන සහ නිර්වචන නිශ්චිතව හඳුනා නොගැනීම ඊට හේතුව යි. එනිසා අල්ලස් පනත යටතේ (1965 අංක 2) යටතේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර දැනට සලකා බැලෙමින් පවතින යෝජිත සංශෝධන කිහිපයක් තිබියදීත් ලිංගික අල්ලස අඳුරේ සැඟවී ගිය නිහඬ මාතෘකාවක් වී ඇත.


CEJ විසින් ලිංගික අල්ලස පිළිබඳ පර්යේෂණ 2016 වසරේදී ආරම්භ කෙරිණි. එතැන් සිට ඔවුන්ගේ අධ්‍යයන භෞමික, සංස්කෘතිය, වයස, ආර්ථිකය, ආගමික හා සමාජ දේශපාලන සීමාවලින් ඔබ්බට පුළුල්ව ගමන් කර ඇත. ඔවුන්ගේ අධ්‍යයන අනුව බොහෝ කාන්තාවන් යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් වීම සහ ඔවුන් එකම පොදු තත්ත්වයකට මුහුණදෙමින් සිටින බව අනාවරණය කරගැනීමට හැකිවිය. ඉහතින් සඳහන් කළ කල්‍යාණිගේ පවුල වැනි කුටුම්බවල බොහෝ විට ගෘහ මූලික පිරිමියා යුද්ධයෙන් මියගොස් සිටියේය. එසේත් නැතිනම් තුවාල ලැබීම හෝ සිය පවුල්වලට සහයෝගය දැක්වීමට නොහැකි මට්ටමක හෝ අතුරුදහන් වී හෝ සිය පවුල හැර ගොස් තිබිණ. 2012 දී ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද කුටුම්භ ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ කුටුම්භ මිලියන 5.2 න් මිලියන 1.1 ක් (සියයට 23ක්) කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන අතර ඉන් අඩකට වඩා වැන්දඹුවෝ වෙති.


අම්පාර දිස්තික්කයේ කාන්තාවන් 500ක් සහභාගී කරගනිමින් 2015 වසරේ කරන ලද අධ්‍යයනයක් අනුව ඉන් 55්‍රකට වැඩි පිරිසක් සිය සැමියාගේ මරණය හේතුවෙන්, අතුරුදහන්වීම හේතුවෙන්, ස්වාමි පුරුෂයාට පවුල රක්ෂා කිරීමේ හැකියාව නොමැතිවීම හේතුවෙන් සහ දික්කසාදවීම් හේතුවෙන් ගෘහමූලිකයාගේ භූමිකාව සිදුකිරීමට සිදුවී තිබේ. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 351 දෙනෙකු සමග කළ තවත් අධ්‍යයනයකින් හෙළිවූයේ මියගිය ස්වාමිපුරුෂයාගේ වැටුප හෝ විශ්‍රාම වැටුප ලැබුණේ කාන්තාවන්ගෙන් 24%කට පමණක් වන අතර 72%ක් එය ලබා නොගත් බවයි. මෙලෙස ඔවුන්ගේ ආර්ථික අවදානම සහ නිවසේ පිරිමින් නොමැති වීම හේතුවෙන් මෙම කාන්තාවන් කොල්ලකාරී නිලධාරීන් සහ නිල බලයේ පහසු ඉලක්ක බවට පත් වී ඇත. මෙවැනි අපරාධවලින් දිවි ගලවාගත් බොහෝ කන්තාවෝ, නිලධාරීන්ගේ බලයත් ඔවුනුත් අතර පවතින බල අසමතුලිතතාවත් හේතුවෙන් නිහඬව සිටිති. එසේම එම කාන්තාවෝ දැඩි මානසික ආතතියකින් සහ බියකින් පෙළෙති.


දශක දෙකකට පෙර සිය සැමියා තමා හැර යාම නිසා හතළිස්පස් හැවිරිදි ජෙන්සි මන්නාරම ප්‍රදේශයේ ජීවත්වන්නේ තනිවම ය. ඇය සිය ප්‍රජාව තුළ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වූවද නීතියෙන් ඇයට ලැබී ඇති ආධාර හා ලියකියවිලි වෙනුවෙන් රජයේ නිලධාරියකු විසින් ඇයගේ දුරකථන අංකය ඉල්ලා සිටිමින් අසභ්‍ය ඉල්ලීම් සිදු කළ අවස්ථා රැසක අමිහිරි මතක ඈ සතුය. නමුත් “මම ඔහු ගැන කිසිවෙකුට පැමිණිලි කළේ නැහැ” යැයි ජෙන්සි කියන්නීය. “මේ වගේ ප්‍රියමනාප වැදගත් කෙනෙක් තමන්ගේම කෙනෙක්ට මේ වගේ යෝජනාවක් කරාවි කියලා කවුද විශ්වාස කරන්නේ? යනුවෙන් ඈ පවසන්නේ ඇයට මෑතකදී රජයේ කාර්යාලයක සේවය කරන තරුණ ඥාති සහෝදරයකු සම්බන්ධයෙන් මුහුණ දෙන්නට වූ සිදුවීමක් පිළිබඳවය. ඈ වැනි තනිකඩ, ස්වාධීන කාන්තාවකගේ පරිණතභාවයවත් මෙම ගැටලුවෙන් මිදීමට ආධාර වී නැති බව මින් පැහැදිලි ය. “මෙවැනි නින්දිත චෝදනාවක් කිරීම නිසා ඔවුන් මගේ චරිතයට අපහාස කරාවි“ යනුවෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන කල්පනා කරමින් ඈ හුදෙකලා වන්නීය.


මේ ආකාරයට ලිංගික අල්ලස එදිනෙදා දෛනික ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකම් හා ස්ථාන තුළ සුලබව පුළුල් අකාරයෙන් පැතිරී තිබේ. ඊට හේතුව මින් දිවි ගලවා ගත් අය කෙරෙහි ඇති කරන “ඩොමිනෝ බලපෑම” හෙවත් ඔවුන්ගේ ජීවිතය හා සමාජය සමග එකිනෙකට බැඳුණු සියලු ක්ෂේත්‍රයන් මෙහි බලපෑමට ලක්වීමත් එමගින් ඇති කරන අතුරු විපාකත් ඔවුන්ගේ දරුවන්ට සහ පවුල්වලට ඇති කළ හැකි බලපෑමත්ය. සමාජීය හා සාමූහික පීඩනය සමග ඇතිවන මානසික හා චිත්තවේගීය කම්පනය හේතුවෙන් ඕනෑම හඩක් යටපත්වීමට ඉඩ ඇත. දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් බලයට ඇති බිය සහ විඳදරා ගැනීමට සිදුවිය හැකි ප්‍රතිවිපාක නිසා ප්‍රතිවාදී පාර්ශ්වයට එරෙහිව කටයුතු කිරීමට අකමැති වෙති.


“මට විරුද්ධව කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව තිබුණත්, මම දැන් වඩාත් ශක්තිමත්ව මා මුහුණ දුන් ලිංගික අල්ලස් සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ හෙළි කිරීමට කැමතියි. මට එරෙහිව ඕනෑම දෙයක් කියන්නට ඔවුන්ට ඉඩ දෙනවා. මම දැන් බය නැහැ” කල්‍යාණි පවසන්නීය.


සැලකිය යුතුයි: සැබෑ සිදුවීම් මත පදනම්ව. පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නම් සහ ස්ථාන වෙනස් කර ඇත.

රජිත ජාගොඩ ආරච්චි
ravaya -


No comments

Powered by Blogger.