Header Ads

සිංහලයින්ගේ ජාන ජාතකය සහ සොඳුරු අලුගුත්තේරුවෝ..! -යශෝවිජය ලියයි-

සත්‍යය මරා දමා එම ඝාතනය උදාන වාක්‍යයක් සේ ලියනු ලැබූ ජාතියක බොහෝ විට හමුවන්නේ හිස් වීරයින් සහ ඔලුව කොලොප්පන් වූ කතාකාරයින්ය. මේ වන විට සාම්ප්‍රදායික මාධ්‍යය බිඳ වැටෙමින් නූතන මාධ්‍යයේ නැගීම හේතුවෙන් එම කතාකාරයින්ට අමුතුම නිදහසක් ලැබී තිබේ. මෙම වල්මත් වූ නිදහස රිසි සේ භුක්ති විඳින ඔවුහු බටහිරට බැණ වදිමින්, බටහිර විසින්ම හඳුන්වා දෙනු ලැබූ තාක්‍ෂණය උපයෝගී කරගෙන තම ලතෝනිය ලෝකයට රඟ දක්වති. "අපට තිබුණු ප්‍රෞඩ ඉතිහාසය හොරකම් කරගෙන ගිහින් සුද්දෝ දියුණු වෙලා," යැයි එවැනි කතා කාරයෙක් මෑතකදී කියනු ලැබීය. ඊට අදාළ පොත්ද ඔහු අත ඇත.

සෑම අවධියකම සිදු වූ ආකාරයෙන් ලෝකය වෙනස් වෙමින් තිබේ. මේ වන විට තාක්ෂණික වශයෙන් ලබා ඇති දියුණුව කෙතරම්ද යත් ලෝකයේ ඕනෑම මුල්ලකට වී තමන්ගේ අදහස් ප්‍රකාශ කොට ඊට සැලකිය යුතු අවධානයක් දිනා ගැනීමට ඕනෑම අයෙකුට හැකිය. තමන්ගේ කතාවේ කුණුහරුප වැඩිවෙන තරමට එය බලන්නෝ වැඩිවෙන බව ඔවුහු දනිති. කුණුහරුප යනු සාහසික සහ පරුෂ වචන භාවිතයෙන් තම පණිවිඩය දීම යයි වැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට ඇත. සැරපරුෂ වචන භාවිතයෙන් හෝ යමෙකු අපේක්ෂා කරන්නේ තවත් අයෙකු වෙලී සිටින මුලාවෙන් මුදා ගැනීම නම් එය කුණුහරුපයක් ලෙස අර්ථ ගැන්විය නොහැකිය.

කුණු වූ හරුප යනු..
-----------------------------
මාගේ අවබෝධයට අනුව නම් කුණුහරුප යනු ඒවා නොවේ. කුණුහරුප යනු, යමෙකු මුලාවේ හෙලීම සඳහා භාවිතා කරන වදන්ය. එය සිල්වත් ආකාරයෙන් එනම් ඉතාම පහත් හඬින් සහ "හොඳ යැයි" සම්මත වචන යොදා ද සිදු කළ හැකිය. බොහෝ දෙනෙකු සිදු කරන්නේ එයයි. එම පණිවිඩකරුවාගේ අවසන් අභිප්‍රාය තම නොදන්නාකම වසා ගැනීම හෝ තම ග්‍රාහකයා මුලාවේ හෙළීමය. කුණු වූ හරුප යනු ඒවාය.

මෙම කුණුහරුප කාරයින්ගේ මූලික මෙවලමක් වන්නේ වර්ගවාදයෙන් ඔප දමනු ලැබූ දේශප්‍රේමයයි. ඇතැමුන් එම ගති ඉදිරියට නොදමා වෙනත් අයෙකු මාර්ගයෙන් තම සිතැඟියාවන් ඉටුකර ගනිති. දෙරණ නමැති රූපවාහිනී නාලිකාවේ චතුර නමැති මාධ්‍යවේදියා මීට කදිම උදාහරණයකි. මෑතකදී මහින්දානන්ද භාවිතා කරමින් මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගැනීමෙන් පසු, එම මාධ්‍යවේදියා හැසිරුණු ආකාරය ( තිරය පිටුපස කතාව) ප්‍රසිද්ධ විය. ඉන් පසු බොහෝ දෙනෙකු හිතුවේ, ස්වාධීන සහ සාධාරන අදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙස ඔහු තම රැකියාවෙන් ඉවත් වනු ඇතැයි කියාය. නමුත්, ඔහුට යන්න තැනක් නැත. තම පැවැත්ම ඇත්තේ වර්ගවාදය පෝෂණය ලබන තැන මිස වෙනත් තැනක නොවන බව ඔහු දන්නේය. එසේම, රුපියල් හයදාහක පමණ වැටුපකට රැකියාවට පැමිණ කාලයක් තිස්සේ කට්ට කෑමෙන් පසු උපයාගත් "මං පොර" සහතිකය එක රැයෙන් මරා දැමිය නොහැකිය. මේ නිසා ලැජ්ජාව වහගෙන කටයුතු කළ යුතුය. මෙවැනිම, තත්වයකට වර්ගවාදී පුවත්පතක් වන දිවයින පුවපතේ සේවය කරන පුද්ගලයින්ද මුහුණ දෙති. මොවුන්ට වැදගත් වන්නේ කුණු වූ හරුප පමණි. උදේ රෑ දවල් තිස්සේ රූපවාහිනී තිරයට පැමිණ " ශුද්ධ ජාන වලින් උපන් නියම හෙළයාගේ වගකීම" ඉටුකරන්නේ එලෙසය. මොවුන්ට, මාධ්‍යය සදාචාර හෝ විනය වැදගත් නැත.

මිනිසෙකුගේ සැබෑ ගතිපැවතුම් හෙළිවන්නේ ඔහු තනි වූ පසුය..
-----------------------------
මිනිසාගේ විනය යනු පුරුදු වලින් හෙවත් ගති පැවතුම් වලින් නිර්මාණය වන සමාජ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එය කැපවීමකින් කළ යුතු කාර්යයකි. එම ක්‍රියාවලියේ නිරත වන ඕනෑම මනුෂ්‍යයකු සෑම මොහොතකම අවිනීත ගතිපැවතුම් වලට ඇද දමනු ලැබේ. මිනිසෙකුගේ සැබෑ ගතිපැවතුම් හෙළිවන්නේ එම මිනිසා තනි වූ මොහොතක හැසිරෙන ආකාරයෙනි. අනෙක් සෑම මොහොතකම ඔහු හෝ ඇය සිදු කරන්නේ රඟපෑමකි. මෙය මෙම මූලික මිනිස් ගතිය තේරුම් ගැනීම සඳහා ඉතාම සරල සමීකරණය වේ. මේ නිසා යුටියුබ්, ෆේස්බූක් ආදී මාධ්‍යය වලට පැමිණ තම තමන්ගේ වීර කාව්‍යය ගයන බොහෝ දෙනෙකු යළි යළිත් කල්පනා කළ බැලිය යුතු මූලික කාරණයක් වන්නේ තමන් තනිව සිටින විට සිදුකරන කටයුතු වල ස්වභාවයයි. එම කටයුතු වල ඇති කැත ගතියයි.

සමාජ රැළි නිර්මාණය..
-----------------------------
ශ්‍රී ලංකාවේ සමාජය ඉතාම බරපතළ ලෙස ව්‍යාකූල වූ සමාජයකි. මූල්‍යමය අහේනිය පමණක් නොව මනුෂ්‍යය නිදහස අතිශය ගැඹුරු ලෙස කප්පාදු කරනු ලැබූ සමාජ සංස්ථාවකි. මේ නිසා, බොහෝ දෙනෙකු ජීවත් වන්නේ සැකයෙනි. මෙම සැකය නිසා බොහෝ දෙනෙකුට කිසිම කටයුත්තක් සම්පූර්ණ කිරීමට නොහැකිය. එම අසම්පූර්ණ ජීවිත ඉතාම පහසුවෙන් කඩා බිඳ දැමිය හැකිය. එවැනි සමාජයක විවිධාකාර සමාජ රැළි නිර්මාණය කිරීම ඉතාම පහසුය. දේශපාලනික වශයෙන් ගත්කල බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, විජේවීර, ප්‍රභාකරන්, චන්ද්‍රිකා, මෛත්‍රී මෙන්ම ගෝඨාබය ආදීන් මූලික කරගෙන ( ඔවුහු දැනුවත්ව හෝ නොදැනුවත් ) ඇති කළ දේශපාලන රැළි ඔස්සේ මෙය ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. එසේම මේ වන විට විවිධ පුද්ගලයින්, සමාජ මාධ්‍යය ඔස්සේ සිදු කරමින් සිටින කටයුතු වලින් මෙය කෙතරම් දුරට සමස්ථ සමාජය තුළ දැකිය හැකිද යන්න අපට පෙනේ.

ජනනායක, සන්නස්ගල සහ ඉරාජ්..
-----------------------------
මෑතකදී තිස්ස ජනනායක සහ උපුල් ශාන්ත සන්නස්ගල යන සිංහලයින් දෙදනා අතර ඇති වී ඇති අදහස් හුවමාරුව සමස්ථ සමාජයේ හරස් කඩක් නිරුපණය කරන්නේය. එය, සමස්ථ ලෝකයක් රවට්ටන බෞද්ධ භික්ෂූන් යැයි පෙනී සිටින කල්ලියට පසුව මෙරට සමාජ ව්‍යාකූලතාව තේරුම් ගැනීම සඳහා මතු වූ වැදගත් සාක්ෂියකි.

කුමන හෝ තැනකින් අල්ලා ගෙන එය තමන්ගේ මඩිය ( බටහිර වෙළඳ පොළෙන් හෙවත් බටහිර ස්වාමියාගෙන් ලැබෙන චෙක්පත.) තරකර ගැනීමට උත්සාහ කරන මෝහයෙන් මුලා වූ නමුත් එම මෝහය ඥානය ලෙස විශ්වාස කරමින් තම නිරුවත වීදි පුරා පෙන්වන තරුණයෙකු වන ඉරාජ් වැනි පුද්ගලයෙකුගේ හැසිරීම මෙහිදී වැදගත් නැත. ඇත්ත වශයෙන්ම අනුන්ගේ පෞද්ගලික ජීවිත වලට "අදහස් ප්‍රකාශනයේ ඇති නිදහස" අයුතු ලෙස භාවිතා කරමින් කළ හානිය නිසා මෙම හාදයා සිටිය යුත්තේ එක්කෝ පුනරුත්තාපන කඳවුරකය. නැතහොත් හිර ගෙදරය. නමුත්, ඔහුගේ ගොදුරු බවට පත් වූ පුද්ගලයින්ට මුදල් නැති නිසාත්, රටේ අධිකරණ පද්ධතිය රටේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී නොසිටින නිසාත්, රටේ මාධ්‍යය මෙවැනි වැදගත් විෂය ක්ෂේත්‍ර ශතයකට මායිම් නොකරන නිසාත්, මෙවැනි මංමුලා වූ චරිත සමාජයට බලපෑම් කරන්නන් බවට පත්වී තිබේ. ඉරාජ් යනු එවැනි මෝහයෙන් මුලා වූ තරුණයින් දහස් ගණනින් කෙනෙකි.මෙය, සිංහලයන්ගේ දිරායෑමේ ප්‍රමාණය පෙන්වන සාධකයකට වඩා වැඩියමක් නොවේ.

බිමක් තිබුණු පළියට කන්නේ ණයට නම්..
-----------------------------
මෙවැනි අවස්ථාවක අපේ තරුණ පරපුර කළ යුත්තේ මෙවැනි අඳුරේ අත්පත ගාමින් තව පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිත වලට පහර දී ගූගල් හෝ ෆේස්බුක් ආයතන වලින් ලැබෙන කීයක් හෝ හම්බකරගෙන ජීවත් වන මිනිසුන් පිටුපස යෑම හෝ ඒ හා සමාන කටයුතු කිරීම නොවේ. ඔබ සිංහලයෙක් නම්, තව භාෂාවන් දෙකක් හෝ තුනක් ඉගෙන ගැනීමට කාලය කැප කළ යුතුය. තමන් හෝ තමන්ගේ දෙමාපියන් මහන්සියෙන් හම්බ කරන මුදල් වලින් ලබා ගන්නා දත්ත ප්‍රයෝජනයට ගනිමින් අන්තර්ජාලය මාර්ගයෙන් එය පහසුවෙන් කළ හැකිය. එසේම, මෝඩ ලෙස "දේශප්‍රේමයෙන් අන්ධ නොවී" ලෝකය දැකීමට පුරුදු වන්න. යම් වැදගත් දෙයක් සිදු කොට, සිංහලයින්ට ප්‍රයෝජනවත් වන චරිතයක් වීමට උත්සාහ කරන්න. තව මිනිහෙකුට හෝ ජාතියකට වෛර කිරීම නොව ඔවුහු සමග ක්‍රමෝපායික ගනුදෙනු සඳහා අවශ්‍යය දැනුම රැස්කර ගන්න. සිංහලයින් මේ යන ගමන් රටාව වෙනස් නොකළොත් අපට ඉතුරුවන රටක් නැත. බිමක් තිබුණු පළියට කන්නේ ණයට නම්, හම්බ කරන්නේ බටහිර වෙළඳපලට සහ බටහිර තාක්ෂණයට පින්සිද්ධ වන්න නම්, එය රටක් වන්නේ නැත. එතන දේශප්‍රේමයක් නැත.

සමාජ රෝගයේ රෝග ලක්ෂණය සහ රෝගයේ ගොදුර..
-----------------------------
අපට ඇති සමාජ අභියෝග තේරුම් ගැනීම සඳහා ජනනායක සහ සන්නස්ගල මෙහිදී වැදගත් වේ. මෙම දෙදෙනා ගැන ඉතාම කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකිය. එක් අයෙක් එනම් ජනනායක සමස්ථ සමාජ රෝගයේ රෝග ලක්ෂණයකි. සන්නස්ගල රෝගය දැක එය සුවපත් කිරීමට ගොස් "හොට බිම " ඇනගත් සමාජ රෝගයේ ගොදුරකි. එක අයෙකු සමාජ අවස්ථා ප්‍රයෝජනයට ගනිමින්, වැඩෙන පරපෝෂිතයෙකු වන අතර අනෙකා එම පරපෝෂිතයා හමුවේ හාස්‍යයට ලක්වන හේතුවාදියෙකි.

ජනනායක විද්‍යා ගුරුවරයෙකි. සන්නස්ගල සිංහල ගුරුවරයෙකි.

ශුද්ධ වූ හෙළ ජාන නම් කුණුහරුපය..
-----------------------------
ජනනායක හෙළයින්ගේ ශුද්ධ ජාන ගැන කියන්නේය. හෙළයින්ට, හෙළයින්ගේම සංස්කෘතියක් තිබුන බව කියමින්, ඔහු සිංහල-බෞද්ධයෙකු යැයි කීමට කිසිම තැනක මැළි නොවන බව කියන්නේය. එය ශුද්ධ වූ හෙළ ජාන ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණය බව ඔහු වහරන්නේය. නමුත් මේ පුද්ගලයා, බුදුදහම වෙනත් දේශයකින් මෙරටට රැගෙන එනු ලැබූ දහමක් සහ සංස්කෘතියක් යැයි නොදන්නේද? එවිට ඔහුගේ ශුද්ධ ජානයට සිදුවන්නේ කුමක්ද? ලංකාවේ පමණක් නොව බොහෝමයක් රටවල වහල්බව, කුල ක්‍රමය, ශුද්ධ ජාතිය ආදී පරපීඩක සමාජ මෙවලම් වලට මූලික පදනම කර ගත්තේ මෙම ශුද්ධ ජාන නමැති සංකල්පයය. මෙවැනි තකතීරු සහ ඉතාම භයානක කතා රාශියක් තම සියුම් සහ හැදිච්ච වචන භාවිතා කොට ජනනායක සිදු කරන්නේය.මෙවැනි කතාවක් නූතන යුරෝපයේ සිදු කළේ නම් ඔහුට එරෙහිව නඩුවක් පැවරිය හැකි අතර, එය බරපතළ වන්දි ගෙවීමට සිදුවන තත්වයක් දක්වා ගමන් කළ හැකිය.

නමුත්, නිවැරදි නීතියට ගරුකරන පරිපාලන ක්‍රමයක් නැති සමාජ සංස්ථාවක් ඇති නිසා ඕනෑම කුණුහරුපයක් කියා පොරක් වීමේ හැකියාව මෙරට තිබේ. එසේම ඔහු සුද්දන් මෙරටින් හොරකම් කළ දෑ ගැන කියන්නේය. ඔහු, එහිදී කියන කතා ඇසිය හැක්කේ ඔහු වැනිම අමනයෙකුට පමණි. ජනනායක ඔහුගෙන්ම ඇසිය යුතු ගැටලුවක් තිබේ. "මහත්තයෝ උසාවියක සහ කච්චේරියක ලිපි ගොනුවක් නොතියා ගිනි තියලා විනාශ කරන රටේ, පුස්කොල පොත් ආරක්ෂා කරයිද? " අවාසනාව වන්නේ, ජනනායක වැනි පුද්ගලයින් කාලයක් තිස්සේ කරමින් සිටින්නේ තම මෝඩ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සමාජය තවදුරටත් මුලාවේ හෙලීමයි. ඔහු මීට පෙරද බොහෝ සමාජ විචාර සිදු කරමින්, අනෙකා මුලාවේ හෙළීමට උත්සාහ කොට ඇත. විද්‍යාව යනු අවිද්‍යාවෙන් මිදීමට ඇති මග වේ. එය උගන්වන ගුරුවරයෙකු වන ජනනායක හැසිරෙන ආකාරය ඉතාම නීරස නොවේද? ජනනායක යනු සිංහලයින්ගේ කුහකකමේ හොඳම සාධකය වේ. ඔහු දෙවැනි වන්නේ නාථ දෙවියන්ගෙන් වෛරසයෙන් මිදෙන ආකාරය ගැන දැනගනීමට හැකි යැයි කියන, චන්න ජයසුමන, සහ වෛද්‍යය පාදෙණිය - සොයිසා ඇතුළු අප්‍රසන්න කල්ලියටය.

සොඳුරු අලුගුත්තේරුවා..
-----------------------------
අනෙක් පසින් සන්නස්ගල මොන තත්වයක් යටතේ වුවද ඇත්ත කියන චරිතයක් ලෙස බොහෝ දෙනෙකු දන්නේය. එසේම ඔහුගේ වාග් කෞශල්‍යය ඔහුට බොහෝ හොඳ මෙන්ම නරක දේවල් ලබා දුන්නේය. එය සමාජයට විශාල බලපෑමක් කළ හැකි බලයක් බවට පත්වෙමින් තිබුණි. නමුත් එම බලයේ හුළං ඇරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. සන්නස්ගල ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් සිටියේ රනිල් වික්‍රමසිංහ විසින් නඩත්තු කිරීමට බැඳී සිටින සමාජ සංස්ථාව තුළය. එම සංස්ථාව අතික්‍රමණය කිරීමට යෑමේ වන්දිය ඉතාම කනගාටුදායක ලෙස සන්නස්ගලට විඳීමට සිදුවිය. නමුත් වැදගත් වන්නේ සන්නස්ගල, තවමත් තම සිංහල භාසාව සහ සමාජ කණ්ඩායම් ඔස්සේ විද්‍යාව දැකීමට උත්සාහ කිරීමය. එය අගය කළ යුතු කාරණයකි. ඔහු ආකල්පයම වශයෙන් කුහකයෙකු නොවන්නා සේම සමාජ වෙනස් වීම් වලදී තමන්ගේ වරද තේරුම් ගැනීමට සහ ව්‍යාජ රඟපෑම් වලින් ඉවත් වීමට උත්සාහ කරන චරිතයකි. මෙවැනි පුද්ගලයින් ඉතාම අවම වන්නා සේම ඔවුහු සමාජ ප්‍රතිසංස්කරණවාදීන්ය.

රටක සමාජයක් වෙනස් කිරීමේදී වැදගත් වන්නේ, ව්‍යාජ දේශප්‍රේමයකින් තමන්ගේ කැත ගති සහ අමනකම වසාගෙන ජීවත්වන කුහකත්වයෙන් පිරුණු අවස්ථාවාදීන්ද? එසේත් නැත්තම්, යමෙකු වෙලී සිටින මුලාවෙන් නිදහස් කොට ඔහුට හෝ ඇයට නිදහසේ පියඹා යෑමට වචනයකින් හෝ උදව් කළ යුතු යැයි කියා යටිගිරියෙන් කෑ ගහන අලුගුත්තේරුවෙකු ද? යන්න තීරණය කළ යුත්තේ ඔබ ය. මා තෝරා ගන්නේ සමාජ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අර අඳින එම සොඳුරු අලුගුත්තේරුවාය.

යශෝවිජය
ලංකා ඊ නිව්ස්
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/62

No comments

Powered by Blogger.