Header Ads

අපි යන්නේ කොයි පාරේ ... මුගාබේගෙ අඩි පාරේ ..

දිනෙන් දින රොබර්ට් මුගාබේ ගේ පාලනය තුල සිම්බාබ්වේ රටට අත්වුණු ඉරණම අපේ මව්බිමට අත්වීමට ඉතා ආසන්න වෙමින් පවතී. චන්දිම වීරක්කොඩි වැනි වියත් මගේ පතාක යෝධයින් සිය උස හඬින් කියා සිටින්නේ පවතින ආර්ථික ව්‍යසනයෙන් ගොඩ ඒමට සල්ලි තව තවත් අච්චු ගැසිය යුතු බවයි. මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ පසුගිය මාසයේ පඩි පතේ සිට රුපියල් 5000 දීමනාව දීම දක්වා සල්ලු අච්චු ගසා ඇති බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. එලෙස රට තුල කාමර පිරවීමට අච්චු ගසා හොම්බෙන් ගිය රටක් ලෙස සිම්බාබ්වේ හැඳින් වේ. මේ දිග හැරෙන්නේ අට්ටි පිටින් අච්චු ගැසූ සිම්බාබ්වේ රටේ ආර්ථික දියුණුව පිළිබඳව සටහනකි.

රොබර්ට් මුගාබේ බලයට පත්වූ පසු අප්‍රිකාවට උචිත පාලන ක්‍රමයක් වෙනුවට ඇමෙරිකාව බ්‍රිතාන්‍ය වැනි බටහිර රටවල් අනුගමනය කරමින් වෙනස්ම පාලනයක් ඔහු විසින් ගෙන ගියා. මුගාබේ ගේ පාලනය ගෙන යන්නට එම රටවල් මුදලින් ආධාර කරනු ලැබුවා. 1987 දෙසැම්බරයේදී සිම්බාබ්වේ ව්‍යවස්ථාව වෙනස් කර පුර්ණ විධායක ජනපති පදවිය ස්ථාපිත කරමින් එහි වාඩි වූ මුගාබේ , එතැන් සිට රට හිංදන වැඩ පිළිවෙල ආරම්භ කළා. 1990 දශකයේ දෙවන භාගය වනවිට සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථිකය පහළ වැටීමට පටන් ගත්තේ ආණ්ඩුවේ අසීමාන්තික පුහු වියදම් හා දේශපාලන අස්ථාවරත්වය මතය. එම යුගයේ රජයේ සේවකයන්ට පඩි ගෙවූ පසු රජයේ ගිණුමේ ඉතිරිව තිබෙන්නේ ඩොලර් 217 ක්‌ පමණක්‌ බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත වරෙක සඳහන් කළා.


රටේ ජනතාවට රැකියා නොමැතිව මුදල් නොමැති වෙද්දී රජය කළේ මුදල් අච්චු ගැසීමයි. මේ අතර මුගාබේ පාලනය තුල නිශ්පාදනය කඩා වැටීමෙන් භාණ්ඩ හිඟයක් ඇති වූ විට ඒ සුළු භාණ්ඩ ප්‍රමාණය සඳහා තරඟයක් ඇති වුණා. එවිට බඩු මිල ඉහළ ගියා. එවිට ජනතාවට යළි මුදල් හිඟ වුණා. රජය තව තවත් මුදල් අච්චු ගැසුවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිශ්පාදන අඩපණ වීමෙන් භාණ්ඩ හිඟයට ප්‍රතිකර්මයක් නොවූ හෙයින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ ඇදී ගියා. රජය ද තමන් සතු එකම උපක්‍රමය වූ මුදල් අච්චු ගැසීම දිගටම කරගෙන ගියා. (දැන් මේ රටේ සිදුවන්නේද එයමයි .) .2008 මාර්තු වන විට පාන් රාත්තලක මිල සිම්බාබ්වේ ඩොලර් මිලියන 10 ක් වුණා සිම්බාබ්වේ ඩොලරය තුන් වතාවක් අව ප්‍රමාණය කිරීමෙන් පසුවත් මෙම කඩා
වැටීම පාලනය කරන්න රජයට නොහැකි වුණා. අවසානයේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් පවා අච්චු ගසනු ලැබුවා. මෙම නෝට්ටුව සත්‍ය වශයෙන්ම මුලින්ම තිබූ ඩොලරයට වඩා දහයේ 27 බලයකින් අගය අඩු මුදල් නෝට්ටුවක් වුණා.සල්ලි මල්ලක් වෙළඳපලට රැගෙන විත් ඒ මල්ල පිරෙන්න බඩු භාණ්ඩ මිලදී ගැනීමට සිම්බාබ්වේ ජනතාවට සිදු වුනා. මේ සියල්ලම සිදු වුයේ අඥාන දේශපාලනයේ වරදින් බව වටහා ගන්නා විට ඒ රට සදාකාලික අඳුරු ආඝාදයක ගිලි අවසන් . විකල්පයක් නොමැති තැන මුගාබේ රජය 2009 අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ ඩොලර් භාවිතයෙන් ඉවත් කළා. ඉන්පසු ඇමරිකන් ඩොලර්, යූරෝ, දකුණු අප්‍රිකානු රෑන්ඩ්, චීන යුවාන් ආදී මුදල් ඒකක එරට භාවිතා වනවා. ලංකාවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ ඉහල නැගීම පාලනය කිරීමට පැවති හා පවතින දුරධාන්ත ආණ්ඩුවල කප්පිත්තන්ට කිසි දිනක නොහැකි වනු බව දැන් පැහැදිලි. කාන්තාවන් පිටරට යවා, එය ලංකාවේ විදේශ විනිමය යැයි පුරසාරම් දොඩවමින් , රාජ්‍ය දේපල මහජන දේපල කාබාසිනියා කරමින්, අධික පොලි අනුපාතයන්ට ණය ගෙන , එයද සොරාකමින් ආ දීර්ඝ ගමනේ අවසානයට දැන් අප පැමිණ ඇත. විටෙක මුගාබේ පාලනය තුල සිදු වූ දෙය අභිබවන ලකුණු වර්තමාන දේශපාලන ආර්ථික අස්තාවරත්වයත් සමග හට ගෙන ඇති බවද පැහැදිලිය. ආර්ථිකය වේගයෙන් කඩා වැටෙන විට , පඩිපත ද ගෙවා ගැනීමට නොහැකිව රට තුල ඇතිවන තත්වය මේ මජර දේශපාලුවන්ට වටහා ගැනීමට හෝ ඥානයක නැත. තමන්ගේ පවුල හා පරපුර ගැන සිතන රොබර්ට් මුගාබේලා තව දුරටත් ඉල්ලා සිටින ජනතාවක් අපට සිටීම නිසා , ලෝකල් මුගාබේලාට හැමදාම කරලා පැහුනි.

රට තුල මුදල් සංසරණය වැඩි වීම මත ජනතාව හැකි තරම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට යොමු වීම තුල පවතින ඉල්ලුමට සරිලන ලෙස වෙළෙඳපොළ තුල භාණ්ඩ හිඟ වීමක් ඉබේම ඇති වීම වැළක්විය නොහැකියි. ඉල්ලුම් කරන ප්‍රමාණය සහ වෙළඳපල තුල පවතින භාණ්ඩ වලට සරිලන පරිදි මිළ ඉහල දැමීමට සිදුවේ . එවැනි අවස්තාවක බඩු මිල ඉහල යන අතර රට තුල උද්දමනය ඇති වීම අනිවාරණිය කරුණක්. මෙම තත්වය රජයේ මැති ඇමතිවරුන්ට හෝ ප්‍රධාන පාලකයින්ට තේරුම් ගැනීමට හැකියාවක් නැති උඅද , ඔවුන්ට උපදෙස් දෙන පිරිස් තත්වය දැන දැනම පාලකයන්ගේ හිත සුව පිණිස ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනවා. ඒ පවතින මජර දේශපාලනය කෙසේ හෝ රැකගෙන තම මඩිස්සලය ද පුරවා ගැනීමේ පවිටු බලාපොරොත්තුවකින්. අප රට ගැන ඇති වන්නේ අතිශය කනගාටුදායක හැඟීමක්. සමාප්තයි.

Rohana Wijeweera ෆේස්ඉුක් පිටුවෙන්

No comments

Powered by Blogger.