Header Ads

මහා ජනගඟක්‌ මැද පෝරකයට ගිය සම්මාන පුද නොලද සටන්කාමියා උතුවන්කන්දේ සූර සරදියෙල්

සරදියෙල් මියගොස්‌ වසර එකසිය පනස් එකක් ගත වුණද ඔහු අදටත් අපට ජීවමාන චරිතයක්‌ බඳුය. සරදියෙල් නිසි ඇගයීමකට ලක්‌ නොවූ ජාතික වීරයෙක් ලෙසද හැඳින්වීම වරදක් නොවන බව මගේ හැඟීමය. පසු කලෙක ඉංග්‍රීසින්ට දර දිය ඇදී වලව්වල හාමුලා මේ රටේ ජාතික වීරයින් වූ අතර සුද්දන්ට පන්න පන්නා පහර දුන් සරදියෙල් ඉතිහාසය ලිවූ මහා පණ්ඩිතයින් විසින්මං පහරන හොරෙක් බවට පත් කළේය.
මේ අපූර්ව මිනිසා මීට වසර එකසිය පනහකට එහා යුගයක මහා බලසම්පන්න සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව කළ හපන්කම් සුළුකොට තැකිය නොහැකිය. සරදියෙල් යනු මේ රටේ දුප්පතාට ආදරේ කළ, අධිරාජ්‍යවදීන්ගේ යකඩ සපත්තුවට පෑගී තැලුණු ජනතාව වෙනුවෙන් නොබියව සටන් කල වීරයෙකි. ෂර්වුඩ් කැලයේ සිටි රොබින්හූඩ් මෙන්ම උතුවන්කන්දේ සූර සරදියෙල්ද වීරයෙක්‌ය. මොවුන් සටන් කළේ අනිසි බලයට යටව තැලී පොඩි වී විඳවන ජනතාව වෙනුවෙනි.

සරදියෙල් උපන්නේ 1832 වසරේය. සරදියෙල්ගේ සම්පූර්ණ නම "දීකිරි කෑවගේ සරදියෙල්ය. පියා කරත්ත කරුවෙකි. සුළු ව්‍යාපාරිකයෙකි. පියා නමින් දීකිරි කෑවගේ අදාසි අප්පුය. "පිඩෝහාමි" යනු සරදියෙල්ගේ මවය. සරදියෙල්ට සහෝදර සහෝදරියන් සිව් දෙනකු සිටි වගද ඉතිහාසයේ සඳහන්ය. මොවුහු පේදුරු, ගේබියෙල්, මර්තා සහ ඇන්ටනී නම් වූහ. සරදියල් පවුලේ වැඩිමලාය.
සරදියල් මුලින්ම අකුරු කර ඇත්තේ බෙලිගම්මන පන්සලෙනි. එතැනින් ඔහු ඉලුක්‌ගොඩ පන්සලට මාරු විය. ඒ පන්සල් අධ්‍යාපනය හදාරද්දී සරදියෙල්ට මොහම්මදා, සිරිමලා, සමාත් උක්‌කින්දා, මෝදර තැන්නේ හෙන්දා සහ නසරදීන් යන මිතුරන් මුණ ගැසිණි. පසු කාලයේදී සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතව කළ සටන් වලට හා අපේ මිනිසුන්ගේ දහදිය මහන්සිය උරාබීව් සුදු අධිරාජ්‍යවාදී ගැති ද්‍රෝහීන්ගේ වස්‌තුව පැහැරගෙන දුප්පතුන්ට බෙදාදුන් කණ්‌ඩායමට මේ පිරිසද එක්‌ වූහ. මම්මලේ මරික්‌කාර් යනු සරදියල්ගේ අවසානය ද දක්‌වා එකට සිටි මිතුරාය. සරදියෙල් කුඩා කල සිටම අයුක්‌තියට, අසාධාරණයට එරෙහි වූවෙකි. ඔහුගේ මිතුරා වූ මම්මලේ මරික්‌කාල් කොළඹ හමුදා බැරැක්‌කයකට බැඳී සේවය කරද්දී සරදියෙල්ගේ ඉල්ලී මත ගිනිඅවියක්‌ පන්නාගනු ලැබීය. එතැන් පටන් ඔහු දුප්පතාගේ හිතවතා වෙමින් අධිරාජ්‍යවාදීන් හා අධිරාජ්‍යවාදී ගැත්තන්ට එරෙහිව සටන් ඇරඹීය.

සරදියල් වරක්‌ අරණායක අරක්‌කු ගබඩාව කඩා දැමීය. එහි තිබූ සුද්දන්ගේ අරක්‌කු මෙන්ම වටිනා දෑ ලබාගෙන දුප්පතුන්ට බෙදා දුන්නේය. මොල්ලිගොඩ වලව්වටද හේ නිතර නිතර කඩා පැන වස්‌තුව ගෙන දුප්පතුන්ට බෙදාදී ඇත. කොළඹ, මහනුවර මාර්ගය ඔස්‌සේ සුදු අධිරාජ්‍යවාදීන් බඩු බාහිරාදිය ගෙන යනවිට සරදියෙල්ගෙන් ඒවා බේරා ගැනීම ලෙහෙසි නොවිණි. පොලිසියටත්, පොලිසියේ ගිනි අවිවලටත් සරදියෙල් කිසි දිනක බිය වූයේ නැත. සුද්දන් අත තිබූ ගිනිඅවි පවා සරදියෙල් පැහැරගත් අවස්‌ථා බොහෝය. වරක්‌ සරදියෙල් රාත්‍රියේ කන්දඋඩරටට ගෙන යමින් තිබූ මුදල් තොගයක්‌ අතර මඟදී පැහැර ගත්තේය. පසුව බලන විට ඒ මුදල් වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවන මුදල්ය. සරදියෙල්ගේ හිත කඩා වැටිණි. ඔහු මුදල් ආපසු දී යන්නට ගියේය. සරදියෙල් දුප්පතුන්ට ආදරේ කළේ ඒ පරිද්දෙනි.

සරදියල් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ 1864 මාර්තු 21 වැනිදාය. එදා මහනුවර පොලිසියේ සාජන්ට්‌ මාගාට්‌ සහ කොස්‌තාපල් සභාන් විසිනි. අත්අඩංගුවට ගැනීමට පෙර සරදියෙල් විසින් කොස්තාපල් සහාන් වෙඩි තබා මරා දැමීය . 1864 අප්‍රේල් 14 වැනිදා නඩු විභාගය ආරම්භ කෙරිණි. පුද්ගලයන් විසි දෙදෙනකුට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කෙරිණි. සාක්‍ෂිවලට කැඳවු පිරිසද දුසිමකට වැඩිය. අවසානයේ නඩු විභාගය අවසන් විය. නඩුව විමසන විටත් අධිකරණය තුළ සරදියෙල් හා මම්මලේ සිටියේ එකම මාංචු වේය. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සරදියෙල් හා මන්මලේ එල්ලා මරා දැමීමට ඉංග්‍රීසි අධිකරණය තීන්දු කළේය. 1864 මැයි 04 වැනිදා එල්ලා මරන දිනය තීරණය කළද එය 07 වැනිදාට කල් දැමිනි. මහනුවර ප්‍රදේශයේ ජනයා වැළ නොකැඩී බෝගම්බරට පැමිණියේ 4 වන දිනය . එහෙත් ඔවුන් හත්වනදා දක්වා බෝගම්බර රැඳී සිටියේ ඔහුගේ වීරත්වයට උපහාර දැක්වීමට විය හැක. ආඒආ සිටි බොහෝ මිනිසුන් දිළින්දන් හා සරදියෙල් ගේ උපකාර ලැබූ පිරිස් බව වාර්තා විය.,

Rohana Wijeweera ෆේස්ඉුක් පිටුවෙන්

No comments

Powered by Blogger.